Tuesday, January 1, 2013

කන්දේ අසිරිය බලන්න ගිය ගමන... (1 කොටස)

   විශ්වයේ තියෙන ස්ථාන අතුරින් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ තවමත් මිනිසා විසින් සොයා නොගත් ස්ථාන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. මා මේ තනන්නේ කිසිවෙක් සොයා නොගත්තක් ගැන පැවසීමට නොව සංචාරක ආකර්ෂණයට එතරම් ලක් නොවුණු අපේ රටේ ඇති සුන්දර තැනක් ගැන පැවසීමටයි.

එදා නත්තල් දා, ඒ කියන්නෙ 25. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන වටිනාකමින් අනූන වූ සුන්දර වන පෙතක් බැලීමට යාමට මටත් අවස්ථාව උදා උනා. ඒ ගැන ඔබත් සමග ටිකක් කතා කරන්න තමයි මේ කොම්පියුටරේ ඉස්සරහට ආවෙ.. හරියටම කියනවනම් මේ තැන තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය ප්‍රදේශයේ. ඔයාලගේ පහසුවටත් එක්ක මැප් එකත් දාන්නම්කෝ.



View Larger Map


 නමින් ගෝනදෙණිය කන්ද රක්ෂිතය. වර්ග ප්‍රමාණය අක්කර 900 කටත් වඩා වැඩි වෙනවා.  මෙය කඳු 7කින් යුතු කඳු පන්තියක්. වියළි කලාපයට අනන්‍ය වූ භූ විෂමතා ලක්ෂණ ඉතා හොඳින් මෙහිදී දැක බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව ගත්තම ප්‍රධාන වනාන්තර ආකාර 4ක් තියෙනවනේ. ඉන් වියළි කලාපයට අනන්‍ය වූ භූ විෂමතා ලක්ෂණ සහිත වනාන්තර දර්ශ දෙකකි. ඒ වියලි මිශ්‍ර සදා හරිත වනාන්තර සහ කටු පඳුරු හා ලඳු කැලෑ ය. මේ වනාන්තර ආකාර දෙකම මෙහිදී දැක ගන්න පුළුවන්.


ගෝනදෙණිය කන්ද කියල කියන්නේ සංචාරකයන්ගේ එතරම් ආකර්ෂණයට ලක් නොවුණු, එහෙත් ආකර්ෂණයට ලක් විය යුතු වන අරණකි.

වියළි කලාපීය වෘක්ෂලතා
කන්දේ පහළ කෙළවරෙන් ගමන් ඇරඹි අපේ කණ්ඩායමේ 13 දෙනෙක් සිටියෝය. මෙය නියම අත්දැකීමකි. සිරීපාදේ නගිනවාට වඩා අන්ත ය. කැලෑව ඇතුලට ගමන් කිරීමට මාර්ගයක් තිබුනද අප තෝරා ගත්තේ ඒ මාර්ගය නොවේ. කුඩා දිය පහරකි. මේ දිය පහර දිගේ අපි කන්ද බඩගෑමට පටන් ගත්තෙමු. කන්දේ ඉහලට ගමන් කළ මට දැනුනේ අමුතුම හැඟීමකි. හරියට සිංහරාජ වනාන්තරයේ ගමන් කරනවා වැනිය. තෙත් කලාපයේ වනාන්තර වල යම් යම් ලක්ෂණ ද මෙහි දැකිය හැක. එහෙත් වැඩියෙන්ම වියලි කලාපයට ආවේණික වූ ශාක ඇත.

 වනයට ඇතුල් වීමට කලින් නම් නිශ්චිත මාර්ගයක් නොවීය. නමුත් දැන් නම් මාර්ගයක් සකසා ඇත. හැබැයි කිව යුත්තක් තිබේ. ගමන් මාර්ගය ලේසි පහසු නැත. තරමක් දුෂ්කරය. මේ නිසාම විනෝදය ද වැඩිය. කඳු හෙල් අතරින් කන්දේ ඉහලටම ගමන් කළ හැක. බොහොමත්ම හොඳින් නිරීක්ෂණය කරමින් ගමන් කරන්නෙකුට කන්දේ ඉහලට ක්‍රමයෙන් ගමන් කරන විට එහි භූ විෂමතා ලක්ෂණ වෙනස් වන අයුරු නිරීක්ෂණය කළ හැක. කන්දේ ඉහළ සිට පහළට ගලන දිය පහරවල් කිහිපයකි. අප ගමන් කළේ එවන් දිය පහරක් දිගේ ය. වර්ෂා කාලයට ඒ හරහා විශාල ජල පහරක් ගලා එන බව අප සමග ආ කෙනෙක් පැවසීය. කෙසේ වුවද වියලි කලාපයේ ඇති වියලි බව මෙහි නම් දශමයකුදු නැත. 

අප ගමන් කළ දිය පහර

   අප ක්‍රම ක්‍රමයෙන් මේ දිය පහරේ ආරම්භය කරා පැමිණියෙමු. එතැන කුඩා දිය ඇල්ලකි. අව් රශ්මියෙන් හෙම්බත් වූ ගල් තලාවක් සිප ගනිමින් එය පහලට ඇදී යයි. මෙතැන යෝධ අට්ටික්කා ගසකි. මෙම ස්ථානය ගම් වැසියන් "කඳුල" කියා හඳුන්වති. ඉතා වියලි කාල වලදී පවා මෙහි ජලය නොසිඳෙන බව ඔව්හු කියති.

කුඩා දිය ඇල්ල

  මේ කන්ද හා බැඳුනු ජනප්‍රවාද නම් එමටය. මෙයින් ප්‍රධාන එකක් ගැන කියන්නම්. සොළීන්ගෙන් පැරද පලා ආ මහා කළු සිංහලයා නොහොත් වළගම්භා රජු කලක් මේ වනයේ සැඟව සිටි බවට ජනප්‍රවාදයක් පවතිනවා. මෙය සත්‍යක් ලෙස බොහෝ දෙන පිළිගන්නා මතයක්. මෙයට සාක්ෂ්‍ය ද තිබෙනවා. ඉහත සඳහන් කළ කඳුලට තරමක් පහළින් ගල් ලෙනක් හමු වෙනවා. එතැන විශාල ගල් ලෙනට අමතරව කුඩා කුඩා ගල් ලෙන් රැසක් හමු වෙනවා. මේවායේ තිබී පුරාණයේ පාවිච්චි කළ වලං කැබලි ආදිය හමු වී තිබෙනවා. 

ගල් ලෙනක්
 ඔහ්! කතාවෙන් කතාව ගොඩක් දුර ඇවිල්ලනේ. තව ලියන්න විතරක් නෙවෙයි, පෙන්නන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඒ ටික ඊළඟ පොස්ටුවෙන් ඉක්මනට දාන්න පොරොන්දු වෙනවා. සංචාරක ඇස නොගැටුණු මේ සුන්දර ස්ථානය ගැන ගොඩාක් තොරතුරු මේ වෙන කොටත් අප වෙත ලැබෙමින් තියෙනවා. ඉදිරියේ දී මේ ගැන පුංචි වීඩියෝවක් දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එතකං මේ පින්තුරත් බලලා ඉන්නකෝ.











 

ප.ලි :  ඉතිං ඔන්න මේ පොස්ටුව ලියල ඉවර වෙද්දී අලුත් අවුරුද්දකුත් ලැබුවා. ඔන්න ඉතින් මේ ගමන්ම කියන්නම් මේ ලැබූ 2013 නව වසර ලෝකයේ හැමෝටම සාමකාමී, සුභම සුභ නව වසරක් වේවා! කියල සීඑස්කේ ලංකා අපි සුභ පතනවා. අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලම මේ පොස්ටුව දාන්න ලැබීම ගැන මම බොහොමත්ම සන්තෝෂ වෙනවා....

2 comments:

  1. නියම ගමනක්.ඒත් මට යන්න නොලැබුන එක ගැන ගොඩාක් දුකයි බන්...

    ReplyDelete
    Replies
    1. යමු දවසක කන්ද නගින්න...

      Delete

ඔබේ අදහසත් කියල ම යන්න..
මොකුත් කිව්වේ නෑ කියල තරහා නෑ හොඳේ.........

Related Posts Plugin for WordPress, Blogger...