Friday, March 27, 2020

දුම් පානය නිසා කොරෝනා හැදෙන හැටි

දුම්වැටි පානය කරන පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වෙන්න තියෙන හැකියාව වැඩියි කියලා පහුගිය ටිකේ  නිතරම අහන්න ලැබුනනෙ. ඉතිං ඒකෙ ඇත්ත නැත්ත ගැන කතා කරන්න තමයි අද හැදුවෙ.



අපි දැනටමත් දන්න දෙය තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ  පවතින අයට සහ දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග, පිළිකා වැනි රෝග තිබෙන අයටත් මේ කොරෝනා ආසාදනය වුනොත් දරුණු ප්‍රතිවිපාක අත්වෙන්න පුලුවන්. එතකොට කොහොමද දුම් පානය කිරීම මේකට සම්බන්ධ වෙන්නෙ? ඇත්තටම දුම්පානය කිරීම විවිධ ආකාර වලට මේ රෝගයත් සමග සම්බන්ධ වෙනවා. මම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මේ සම්බන්ධ විෂය ප්‍රවීනයන්⁣ගේ අදහස් කිහිපයක් සඳහන් කරන්නම්.


01. පෙනහලු වලට සිදුවන බලපෑම

දුම්පානය ප්‍රධාන ලෙසම බලපාන්නෙ පෙනහලු වලට. ලොකු කාලයක් තිස්සෙ දුම් පානය කිරීම නිසා පෙනහලු වල වාතය ගමන් කරන ස්ථර විනාශ වීමෙන් COPD (Chronic Obstructive Pulmonary Disease) වැනි රෝග තත්ත්ව ඇති වෙන්න පුලුවන්. ඒ වගේම පෙනහලු පිළිකාවටත් ප්‍රධානතම ⁣හේතුව වන්නෙ දුම්පානය. ශ්වසන පද්ධතිය ආශ්‍රිත බොහෝ ආසාත්මිකතා වලටත් දුම්පානය හේතුවක් වෙනවා. ඉතින් මේ දේවල් නිසා සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා දුම්පානය කරන කෙනෙක්ට කොරෝනා වැළඳුනොත් එහි භයානක කම වැඩියි. මොකද මේ CoviD-19 කියන්නෙත් ප්‍රධාන ලෙසම ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරසයක්. ඔබ වෛරසයට අවශ්‍ය කරන පරිසරය ඔබ විසින්ම නිර්මාණය කරලා තියෙන නිසා වෛරසයට බොහොම පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්.

02. හෘදයවස්තුවට ඇතිකරන බලපෑම

අනෙක් අවදානම් කණ්ඩායම තමයි හෘදයාබාධ ඇති රෝගීන්. ඔබ දැන හෝ නොදැන හෘදයාබාධ ඇති වීමටත් ප්‍රධානතම හේතුවක් ලෙස දුම්පානය සඳහන් කරන්න පුලුවන්. ඇතරොස්ක්ලෙරෝසිස් කියන රෝගී තත්ත්වය, ඒ කියන්නෙ රුධිර නාල අවහිර වීමට දුම්පානය හේතුවෙනවා.

03. දුම්වැටිය අන් අයත් සමග හුවමාරු කර ගැනීම

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට කො⁣රෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් තමයි මේක. කණ්ඩායම් වශයෙන් සිටිමින් දුම් පානය කිරීම, දුම් වැටිය හුවමාරු කර පානය කිරීම නිසා සියලුම දෙනාට කොරෝනා වැළඳෙන්න පුලුවන්. ⁣එක් අයෙක් තුල තිබෙන වෛරසය දුම්වැටියේ ෆිල්ටරය හරහා ගමන් කිරීම මෙහිදී සිදුවෙනවා.

04. අතේ ඇති වෛරසය කටේ දමාගැනීම

කොරෝනා වැඩියෙන්ම බෝවෙන්නෙ ඇඟිලි නහයෙ, කටේ ගහන නිසා කියලා අහලා ඇතිනෙ. ඉතින් ඔබ දුම් වැටියක් පානය කරන විටත් ඔබට නොදැනීම මේ දේ වෙනවා. එවිට පහසුවෙන්ම ඔබේ අතේ ඇති වෛරසය කටට ඇතුලුවෙනවා.


ඔන්න ඔහොම තමයි දුම්පානය කොරෝනා වලට හේතු වෙන්නෙ. කොරෝනා විතරක් නෙවෙයි, බහුතරයක් ලෙඩරෝග ඇතිවෙන්න ප්‍රධාන ලෙසම දුම්පානය හේතුවෙනවා. ඉතින් දුම් පානයෙන් වැළකෙන්න පුලුවන්නම් මේ හැම ලෙඩකින්ම බේරෙන්න ඔබට පුලුවන්. ඒ වගේම පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා දුම්පානය නැවැත්වූ පසු පෙනහලු වල විනාශ වී ගිය සෛල සීඝ්‍රයෙන් නැවත වර්ධනය වෙනවා කියලා. ඔබත් දුම් පානය කරන්නෙක්නම් මේ ගැන හොඳට හිතලා බලන්න. මොකද දුම්පානය නවත්වන්නත් කවදාකවත් නැති අවස්ථාවක් කොරෝනා විසින්ම ඔබට ලබාදීලා තියෙනවා. එනිසා නිවසට වෙලා ඉන්න මේ දවස් ටිකෙන්ම ඒක ආරම්භ කරන්න පුලුවන්.





Wednesday, March 25, 2020

චීනෙන් තවත් වෛරසයක්!

කොරෝනා වෛරසයෙන් මුලු ලොවක්ම කැළඹිලා තියෙන මොහොතක තවත් විවිධ ලෙඩ රෝග හිස ඔසවමින් තියෙනවා.  ඒ අතර මේ සිදුවීම වාර්තා වෙන්නෙ පහුගිය කාලෙ බො⁣හොම ජනප්‍රිය වුන චීනයෙන්ම තමයි.

චීනයේ යූනාන් පළාතේ පුද්ගලයෙක් රාජකාරිය සඳහා බස් රථයක ගමන් කරමින් ඉන්නකොට හදිසියෙම අසනීප වෙලා රෝහලකට ඇතුලත් කරනවා. ඊට පස්සෙ කරපු පරීක්ෂණ වලින් මේ රෝගියාට හන්ටා වෛරස් (hantavirus) කියන වෛරසය ආසාදනය වෙලා කියලා හොයාගන්නවා. ඊට පස්සෙ ඔහුත් එක්ක බස් එකේ හිටපු අනෙක් මගීන් 32ත් පරීක්ෂා කරලා තියෙනවා. නමුත් ඔවුන්ට රෝගය තිබිලා නෑ. ලෝකයම නැවත වරක් කැළඹිලා යන්නෙ මේ නිසා නෙවෙයි, ඒ රෝගියා මිය ගියා කියන ප්‍රවෘත්තිය දැනගත්තට පස්සෙ.

ඉතින් මොකද්ද මේ හන්ටා වෛරස් කියන්නෙ? ඇත්තටම අපි බය වෙන්න ඕනිද? කොරෝනා වගේම වෙයිද? ඔන්න ඔය ප්‍රශ්න ටික අද දවසෙ හැම කෙනෙක්ගෙම හිතේ හොල්මන් කරනවට කිසිම සැකයක් නෑ. මේ ලිපියෙ අරමුණ අන්න ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන එක.

ඇත්තටම මොකද්ද හන්ටා වෛරසය කියන්නෙ? 

හන්ටා කියලා කියන්නෙ ලොකු ඉතිහාසයක් තියෙන වෛරසයක්. 1976 වසරෙදි තමයි මුලින්ම මේ වෛරසය හොයාගන්නෙ. ඒ දකුණු කොරියාවෙ 'හන්ටන්' කියන ගංඟාව ආශ්‍රිතව විශාල වශයෙන් රෝගය ව්‍යාප්ත වීමත් සමග. මේ වෛරසය මිනිසාට බෝවෙලා තියෙන්නෙ මීයන්ගෙන්. මීයන්ගෙන් බෝ උනාට මේ මී උණනම් නෙවෙයි.


හන්ටා වෛරසය සාමාන්‍යයෙන් මීයන්ට සහ අනෙකුත් කෘන්තකයින්ට (rodents) ආසාදනය වන වෛරසයක්. මෙය මිනිසාට බෝ වෙන්නෙ මීයන්ගෙ මුත්‍ර, කෙළ හා වසුරු වලින්. එසේ මිශ්‍ර වූ ජලය පානය කිරීමන් හරි බිඳිති ආශ්වාස කිරීමෙන් හරි මෙය මිනිසාට බෝ වෙනවා. හන්ටා වෛරසයෙත් විවිද ප්‍රභේද තියෙනවා. ඒ හැම එකක්ම දරුණු නෑ. හැබැයි දරුණු ප්‍රභේදයක් ආසාදනය උනොත් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙලා මියයන්න උනත් පුලුවන්. ඒ වගේම දරුණු උණ රෝග හා වකුගඩු අකර්මණ්‍ය වීම් පවා වෙන්න පුලුවන්.

මෙය මිනිසාගෙන් මිනිසාට බෝ වෙනවද?

මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. මොකද කොරෝනා වෛරසයත් ලෝකෙටම ප්‍රශ්නයක් උනේ මේ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමට තිබෙන හැකියාව. ඔබ දන්නවා ඇති මීට කලින් තිබුණ කොරෝනා වෛරස කාණ්ඩ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය උනේ නැහැ. නමුත් ඉන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තමයි මේ නව CoViD-19 වෛරසය බිහිවෙන්නෙ.
ඒ වගේම තමයි හන්ටා වෛරසයත් සාමාන්‍යයෙන් මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වෙන්නෙ නෑ. නමුත් 2005 සහ 2019 අවුරුදු වල මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වියහැකි හන්ටා වෛරසයක් දකුණු ඇමරිකාවෙන් වාර්තා වෙලා තියෙනවා. මෙය හඳුන්වන්නෙ 'අන්දීස් වෛරසය' නමින්.  ඒවගේම එම වෛරසය අනෙකුත් හන්ටා වෛරසය වලට වඩා දරුණු බවත් වාර්තා වෙනවා. නමුත් මේ වෙද්දි එම රෝගය ගොඩාක් දුරට පාලනය කරලා තියෙනවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇතිකරගන්න නම් උවමනා නෑ.

රෝග ලක්ෂණ ගොඩක් දුරට කොරෝනා වෛරසයට සමානයි. ඒත් රෝග ලක්ෂණ මතුවෙන්න දින 4 සිට ඇතැම් විට සති  6ක් පමණ උනත් ගතවිය හැකිබව වාර්තා වෙනවා. නමුත් මේ වෛරසය කොරෝනා වගේ ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ බොහෝම අඩුයි (නැත්තටම නැතිතරම්) කියලා තමයි විශේෂඥයන් පවසන්නෙ.

කොරෝනා වෛරසයට වගේම මේ හන්ටා වෛරසයටත් තවම හරි බෙහෙතක් හොයාගෙන නම් නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නෙ සෑමවිටම දෑත් පිරිසිදුව තබාගැනීම වැදගත් කියලා. ඒ වගේම මීයන් බෝ නොවෙන විදියට නිවෙස් සහ වටපිටාව පිරිසිදුව තබාගැනීමත් වැදගත්.

චීයෙන් වාර්තා වූ සිදුවීම වගේම සියගණනක් සිදුවීම් දිනපතා ලෝකයේ සිවුදෙසින්ම වාර්තා වෙනවා. හන්ටා වෛරස් විතරක් නෙවෙයි, ඔබ කිසිදාක අහලවත් නැති දුර්ලබ වෛරස් ආසාදන. ඒත් ඒ හැම දේකටම බය වෙලා අපිට මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ. ඒ වගේ වෛරස් ආසාදන නිසා දවසකට මිනිසුන් කිහිප දෙනෙක් මියයද්දි, ලෝකයේ හදිසි අනතුරු නිසා, හදවත් රෝග නිසා මිනිසුන් සිය දහස් ගණනින් මියයනවා. ඒනිසා මෙවැනි පුවත්වලට බිය නොවී, අපේ දොරකඩ ළඟටම පැමිණි කොරෝනා නමැති මාරයාගෙන් ගැලවෙන්න උත්සාහ කරමු.




ඉතින් අපි හිතුවෙවත් නැති වෙලාවක මුලු ලෝකයක්ම අඩපණ කරපු මේ කොරෝනා වෛරසය අපිට ඉගෙනගන්න පාඩම් ගොඩක් කියලා දීලා තියෙනවා. අනාගතයේ දී එන්න පුලුවන් ⁣මීටත් වඩා දරුණු වෛරසයකින් මුලු ලෝකයම විනාශ නොවී ගැලවෙන්න සිදුකරන පෙරහුරුවක් වෙන්නත් පුලුවන් මේක. තවත් අලුත් දේකින් හමුවෙමු.෴

Thursday, March 19, 2020

කොරෝනා සාර්ථකව මැඩලිය හැකි ඖෂධයක් සොයා ගනී

නව කොරෝනා වෛරසය එහෙමත් නැත්තන් COVID-19 වෛරසය කියල කියන්නේ 'කොරෝනා' කියන වෛරස පවුලේ අලුත්ම සාමාජිකයා. ඔබ මීට කලින් සමහර විට අහල ඇති SARS (Severe Acute Respiratory Syndrome) හා  MERS (Middle East Respiratory Syndrome) වෛරස ගැන. ඒ වෛරස අයිති වෙන්නෙත් මේ කොරෝනා වෛරස කාණ්ඩයට ම තමයි. නමුත් ඔය  අනෙකුත් වෛරස එක්ක බලපුවාම මේ නව කොරෝනා වෛරසය ටිකක් වෙනස්. සාමාන්‍යයෙන් කොරෝනා වෛරස සම්ප්‍රේෂණය වෙන්නේ සතුන්ගෙන් මිනිසාට පමණයි. ඒත් මේ නව කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වෙනවා. ඒ හැකියාව තමයි මේ සියලුම දේට හේතු වෙලා තියෙන්නෙ.



මම දැන් කොරෝනා ගැන කතා කරන්න යන්නෙ නෑ, මොකද හැම කෙනෙක්ම වගේ මේ වෙද්දි පොඩි හරි අවබෝධයක් තියෙනවා.

හැම කෙනෙක්ම බලාපොරොත්තුවෙන් හිටියෙ මේකට කවුරු කවදා බෙහෙතක් හොයාගනීවි ද කියලා. ඉතිං ඒ බලාපොරොත්තු මල්පල නංවමින් නව ඖෂධයක් සොයාගෙන තියෙනවා.

මුලින්ම කියන්න ඕන වෛරස් ආසාදන වලට බෙහෙතක් හදන්න හරිම අපහසුයි. මොකද අනෙක් ක්ෂුද්‍ර ජීවින් වගේ නෙවෙයි, වෛරස නිතරම තම ව්‍යුහය වෙනස්කර ගන්නවා.

මේ ඖෂධය මුලින්ම පරීක්ෂා කරලා තියෙන්නේ චීනයේ වුහාන් සහ ශේන්සෙන් වල කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් යොදාගෙන. ඔවුන් ඉතාමත් සාර්ථක  ප්‍රතිඵල පෙන්නලා තියෙනවා.

මේ ඖෂධය නම් කරන්නේ favipiravir කියල. එය මීට කලින් භාවිතා කරලා තියෙන්නේ ජපානයේ ඉන්ෆ්ලුවන්සා වෛරසයට ප්‍රතිකාරයක් හැටියට. ඇවිගන් (Avigan) කියල හඳුන්වන්නේත් මේකම තමයි. මෙම ඖෂධය ලබාදුන් රෝගීන් දින 04 ක් වගේ පොඩි කාලයක් තුල සුව වෙලා තියෙනවා. ඒ වගේම කොරෝනා වෛරසයේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස ඇති වන නිව්මෝනියා තත්ත්වය ඇතිවීම වලක්වන්නටත් මේ කොවිගන් වලට පුළුවන්. නමුත් විශේෂඥයන් පවසන විදියට රෝගය ගොඩක් දරුණු උන වෙලාවට මේ ඖෂධයෙන් ලොකු දෙයක් කරන්න අමාරුයි. ඒත් රෝගය දරුණු වෙන එක නවත්තන්න පුළුවන්නේ. ඉතින් මේ ඖෂධය පරීක්ෂණ මට්ටමෙන් සාර්ථක උනත් ලෝකය පුරා ප්‍රතිකාර වලට තාම අවසරයනම් ලැබිල නෑ.



කොවිගන් වලට අමතරව, නව කොරෝනා වෛරසයට මුහුණ දෙන්න පුළුවන් එන්නත් ද  කියුබාවෙන් හා ඇමෙරිකාවෙන් සොයා ගෙන තියෙනවා. එම එන්නත් වල සාර්ථක බව තවමත් නිවැරදිව අත්හදා බලල නෑ. ඉතින් මේ සියල්ලෙන්ම කියවෙන විදියට අනාගතය එතරම්ම අඳුරු වෙන එකක් නෑ.

Monday, March 9, 2020

ක්ෂණික මෝචනය ඔබට ප්‍රශ්නයක් වෙලාද?

ක්ෂණික මෝචනය කියන්නෙ මොකද්ද? මේක ඉතිං පිරිමින්ට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා මං අමුතුවෙන්ම කියන්න ඕන නැහැනෙ.


සරලවම කිව්වොත්, ඔබ ලිංගිකව එකතුවන විට, ඉතාමත් කුඩා කාලයක් තුල ඒ කියන්නෙ පුරුෂ ලිගුව යෝනි මාර්ගය තුලට ඇතුල් කිරීමටත් කලින් හෝ ඇතුල් කර ඉතාමත් කෙටි කාලයකින් ධාතු පිටවීමට තමයි ක්ෂණික මෝචනය කියන්නෙ.




බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ටත් මේ ක්ෂණික මෝචනය කියන දේ තියෙනව කියලා හිතෙන එක. මේක කියවන ඔබටත් එහෙම හිතිලා ඇති. ඇත්තටම එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්. මොකද මිනිහෙක්ට තම ලිගුව ධාතු පිට වීමට නොදී යෝනියක් තුල තබාගතහැකි කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම ඇතැම් විට එකම පුද්ගලයාටත් එම කාලය අවස්තාව අනූව වෙනස් වෙනවා. ඒ නිසා අවම වශයෙන් මිනිත්තුවක් වගේ  කාලයක් අල්ලගෙන ඉන්න පුලුවන්නම් ඔබට ක්ෂණික මෝචනය නෑ.



ඒ වගේම ලෝකය පුරා පිරිමින් යොදාගෙන කරපු සමීක්ෂණ වාර්තා වලට අනූව බහුතරයකගෙ මේ කාලය මිනිත්තු 4ත් 5ත් අතර කාලයකට සීමා වෙලා තියෙනවා. ඉතාමත් අතලොස්සකගෙ මේ කාලය මිනිත්තු 30ත් පැනලා තියෙනවා.

අපි බලමු මේ ක්ෂණික මෝචනයට හේතු මොනවද කියලා. මෙයට විවිද හේතු හොයාගෙන තියෙනවා එයින් කිහිපයක් තමයි මේ.

1. මානසික ආතතිය
2. නිතරම තමාට ක්ෂණික මෝචනය ඇතැයි සිතීම
3. සහකාරිය සමග ගැටලු ඇති වීම
4. වෘත්තීය දිවියේ ඇති පීඩන
5. සිරුර තුල ඇති ඇතැම් රසායනික සංයෝග වල වෙනස් වීම්
6. ඇතැම් ඖෂධ වල අහිතකර ප්‍රතික්‍රියා

මේ සියල්ලම වගේ වලක්වා ගතහැකි දේවල් කියලා ඔබට පේනවා ඇති. ඇත්තටම ක්ෂණික මෝචනයට හේතුවන බොහෝමයක් සාධක අපිට වලක්වා ගන්න පුලුවන් දේවල්. ඒත් බොහෝවිට මේ ගැන නොදැනුවත් කම සහ වෛද්‍ය උපදෙස් පැතීමට ඇති ලැජ්ජාව නිසා බොහෝමයක් දෙනා මේ රෝගී තත්ත්ව සඟව ගෙන ඉන්නවා. ඉතිං මේ දේවල් අවසාන වෙන්නෙ පවුල් ප්‍රශ්න රාශියකටත් හේතු වෙලා.

ඔබටත් මේ ලක්ෂණ තියෙනවනම් වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ගැන උපදෙස් ගන්න එක තමයි කළ යුතු හොඳම දේ. මානසික ආතතිය මග හරවා ගන්න මනෝ වෛද්‍ය උපදේශන සේවා වගේම ඖෂධ පාවිච්චි කරන්නත් පුලුවන්. මේවා මානසික රෝග නෙවෙයි.

අනිත් වැදගත්ම කාරණේ තමයි ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කිරීමට පාවිච්චි කරන ඖෂධ වර්ග හිතුමතේ පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඒවයෙ අහිතකර ප්‍රතික්‍රියා ඊටත් වඩා බරපතලයි. සෑම විටම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.

ඔබටත් ක්ෂණික මෝචනය නැතත්, ඉක්මනින් ධාතු පිට වීම වලක්වා ගන්න පුලුවන් උපක්‍රම කිහිපයක් සඳහන් කරන්නම්.

මුලින්ම කියන්න ඕන ලිංගික සංසර්ගය සහ ස්වයං වින්දනය කියන දෙක පටලවා ගන්න එපා. මොකද ක්ෂණික මෝචනය කියලා දෙයක් අපි ස්වයං වින්දනයේදි කතා කරන්නෙ නෑ. බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් වරදවා තේරුම් ගත් බොහෝ දෑ ඇති. ඒ දේවල් කොමෙන්ටු විදියට පල කරන්න. පිලිතුරු දෙන්නම්.

දැන් ආයෙමත් මාතෘකාවට එමු. ධාතු පිටවීම ප්‍රමාද කිරීමට කළ හැකි දෑ.

1. සරලම සහ ඉක්මන්ම ක්‍රමය තමයි උපත් පාලන කොපු. ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන රසායනික සංයෝග ඇතුලත් උපත් පාලන කොපු වර්ග ඕන තරම් වෙළඳපොළේ තියෙනවා. ඒ ගැනත් ඉදිරියෙදි කියන්නම්. ඒත් ඉතිං රේන් කෝට් එකක් දාගෙන නෑවම තියෙන ෆීලිං එක ගැන අමුතුවෙන් මෙතන විස්තර කරන්න ඕන නැහැනෙ.

2. දෙවැනි ක්‍රමය තමයි 'foreplay' එක දීර්ඝ කිරීම. Foreplay එක කියලා කියන්නෙ ලිංගික එකතු වීමකදි යෝනිය තුලට පුරුෂ ලිගුව ඇතුලු කිරීමට පෙර සිදුකරන ක්‍රියාකාරකම් ටික. මේ කාලය ක්‍රමවත්ව වැඩි කිරීම මගින් සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුලුවන්.

අපේ රටේ තියෙන ලිංගික අධ්‍යාපනයෙ තියෙන දුර්වලතාවය හරිම ලස්සනට ඉස්මතු වෙන තැනක් තමයි මෙතන. ඇතැමුන් මේ foreplay ගැන අහලවත් නෑ. දැන් ඉන්න අලුත් පරම්පරාව මේ දැනුම අරගන්නෙ බටහිර නිල් චිත්‍රපට බලලා. ඒත් ඒවායින් ඔවුන්ගෙ සිත් තුලට කා වැදෙන්නෙ හාත්පසින්ම වෙනස් දේවල්. මේ ගැන වෙනම බ්ලොග් පෝස්ටුවක් උනත් ලියන්න පුලුවන්.

3. තවත් පහසුම ක්‍රමයක් තමයි ඉරියව් වෙනස් කිරීම. පුරාණ ඉන්දියානු ග්‍රන්ථයක් වන කාමසූත්‍ර වල විවිධ ලිංගික ඉරියව් සියයකටත් වඩා ඉදිරිපත් කරලා තියෙනවා. ඒගැන ඉදිරියට වෙනම කතා කරමු. ඇත්තටම ඒ හැම ඉරියව්වක්ම කරන්න බැරි උනත් ඉරියව් කිහිපයක් මාරු කරමින් ලිංගිකව යෙදෙන විට ධාතු පිටවීමට යන කාලය වැඩි කරගන්න පුලුවන්.

4. සහකාරියගේ උදව්වෙන් කරන්න පුලුවන් දේවලුත් තියෙනවා. ඉන් එක උපක්‍රමයක් තමයි ලිංගිකව එක් වන අවස්ථාවකදි තමන්ට ශුක්‍රාණු පිටවෙන්න ආසන්න වෙන විට ඒ බව සහකාරියට දැනුම් දීම. එවිට ඇය තම අතේ ඇඟිලි දෙකකින් ලිගුවේ කෙලවර වේදනාවක් ඇතිවන පරිදි තෙරපීමක් සිදු කරනවා. එවිට ශුක්‍රාණු පිටවන්නෙ නෑ. නැවත ලිංගික එක්වීම සිදු කළ හැකියි. මෙය නැවත නැවතත් සිදු කරන්න පුලුවන්.

මෙවැනි උපක්‍රම ඕනෑතරම් තියෙනවා. ඔක්කොම කියන්න ගියොත් ලිපිය අනවශ්‍ය විදියට දිගු වෙන එක තමයි වෙන්නෙ. එනිසා මෙතැනින් නතර කරන්නම්.

තවත් අලුත් මාතෘකාවකින් නැවත හමුවෙමු!

Wednesday, March 4, 2020

ඔබත් නින්දෙන් සිහින දකින්නෙක්ද?

නපුරු හීන දැකීම, හීනෙන් බය වීම, හීනෙන් ඇවිදීම වගේ දේවල් රෝගයක් කියලා කිව්වොත් ඔබ මොකද කියන්නෙ. සමහර විට මෙය කියවන ඔබ පවා කුඩා කාලයේ මෙවැනි සිදුවීම් වලට මුහුණපාලා ඇති. ඔව් එය රෝගයක්. හැබැයි ගොඩාක් දුරට, බොහොම අහිංසක රෝගයක්. අපි බලමු මොකද්ද මේ කියන්නෙ කියලා.


'නින්ද' කියලා කියන්නෙ මිනිසාට අත්‍යවශ්‍යම දෙයක්. ඒක ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. හැබැයි මේ නින්ද හා සම්බන්ධ රෝග බොහොමයක් පවතින බව ඔබ විශ්වාස කරනවාද? අපේ සමාජයේ බොහෝ දෙනෙක්ට මේ කුමන හෝ වර්ගයක රෝගයක් තියෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.

මුලින්ම අපි සාමාන්‍ය නින්ද ගැන කතා කරමු. සාමාන්‍ය මිනිසෙකුගෙ නින්ද තියෙන්නෙ චක්‍ර (cycles) විදියට. එක cycle එකක් ප්‍රධාන ලෙසම කොටස් දෙකකින් යුක්ත වෙනවා.

1. non REM sleep
2. REM sleep

REM කියලා කියන්නෙ Rapid Eye Movements. ඒ කියන්නෙ ගැඹුරු නින්දෙදි අපේ ඇස වේගයෙන් ගැහෙන එක.

අපි නිදාගත්තම මුලින්ම එන්නෙ non REM sleep. ඒකෙදි අපේ නින්ද ටික ටික ගැඹුරු නින්දක් බවට පත්වෙනවා. ඒ නින්ද මිනිත්තු 80ක් විතර තියෙනවා.  ඊට පස්සෙ එන්නෙ REM sleep. ඒක තියෙන්නෙ මිනිත්තු 10ක් වගේ කාලයක්. ඔය කාලෙදි තමයි අපිට හීන එහෙම පේන්නෙ. ඒ වෙලාවට අපේ ඇඟ පණ නැතුව තමයි තියෙන්නෙ. ඇයි මොකද නැත්තන් අපි හීන වල දකින දේවල්, කරන දේවල් ඇත්තටම කරන්න යනවනෙ. බලන්න කොච්චර අපූරුවට මේ දේවල් හැඩගැහිලා තියෙනවද කියලා.

 මං කලින් කිව්වනෙ නින්ද තියෙන්නෙ චක්‍ර (cycles) විදියට කියලා. ඉතින් මේ REM sleep එකක් ඉවර උනාම ආයෙමත් non REM sleep එකක් පටන් ගන්නවා. ඔය විදියට දිගටම අපි ඇහැරෙනකන් නිදි චක්‍ර ඇතිවෙනවා. අහලා ඇතිනෙ සාමාන්‍යයෙන් මිනිහෙක් පැය 6ක් 8ක් වත් නිදාගන්න ඕන කියලා කියනවා. ඒ කියන්නෙ ඔය නිදි චක්‍ර (sleep cycles) සාමාන්‍ය මනුස්සයෙක්ගෙ 4ක් 6ක් විතර ඇති වෙනවා. ගණන් හදලා බලන්නකො හරිද කියලා.

මේ දක්වා මං කියපු මොකුත්ම තේරුනේ නැත්තන් කමක් නෑ. දැන් තමයි ලෙඩේ ගැන කියන්න යන්නෙ. දැන් ඉඳං හරියට කියවන්න.

මිනිසාගේ මේ නින්ද සම්බන්ධ ලෙඩවල් කිහිපයක්ම තියෙනවා. එයින් බහුලම ලෙඩක් තමයි හරියට නින්ද නොයන එක (Insomnia). ඒ වගේම වැඩිපුර නින්ද යන එකත් (Hypersomnia) ලෙඩක්. මේ ලෙඩවල් ගැන කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් ඉස්සරහට ඉඩ ලැබෙන හැටියකට කියන්නම්. නැත්තන් මේක කියවන්න ගිහින් ඔබට වෙනම ලෙඩක් හැදෙයි.

මම අද කියන්න යන්නෙ මේ ඔබ දකින සිහින හා ඒ ආශ්‍රිතව ඇති රෝග කාණ්ඩය (Parasomnias) ගැන. නපුරු සිහින දැකීම (nightmares), සිහිනෙන් බිය වී කෑගැසීම (night terrors) හා සිහිනෙන් ඇවිදීම (sleep walking) තමයි මේ කාණ්ඩයට අයිති වෙන ලෙඩවල්. ඒ ගැන තමයි මං කතා කරන්න යන්නෙ.


  • නපුරු සිහින දැකීම (nightmares)

දැන් ඔබ හිතනවා ඇති ඔබත් ඕනෑතරම් නපුරු සිහින අත්විඳලා තියෙනවා කියලා. හැබැයි ඔබත් මමත් නිතර දෙවේලෙ දකින හැම හීනයක්ම මේකට අයිති වෙන්නෙ නෑ. නමේම තියෙනවනෙ නපුරු හීන කියලා. මේ හීන ඔබ දකින්නෙ REM sleep වලදි. වැදගත්ම දේ තමයි ඔබ සිහිනෙන් දැකපු සියල්ල අවදි උනාම මතක තිබීම. හීනෙන් බය වෙලා කෑ ගහන්නෙ නෑ. ඒවගේම අවදි උනාම හොඳ සිහියෙනුත් ඉන්නවා.

ඇත්තටම මේක බොහෝ දුරට කුඩා දරුවන්ට තියෙන දෙයක්. මෙය රෝගයක් කියලා කියන්නත් බොහෝ දෙනා කැමති නැහැ. ඒත් ඇත්තටම මෙය රෝගී තත්ත්වයක්. නමුත් මේකට ගොඩාක් දුරට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නෙත් නෑ. බොහෝ දුරට දරුවන් ලොකු වෙනකොට ඉබේටම නැතිවෙනවා. හැබැයි ඔබේ හෝ ඔබ දන්නා හෝ දරුවෙක්ට මේ තත්ත්වය ගොඩක් දරුණුවටම තියෙනවනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක තමයි හොඳම. මොකද මේකට ප්‍රතිකාර ක්‍රම තියෙනවා.


  • සිහිනෙන් බිය වී කෑගැසීම (night terrors)


මේක වෙන්නෙ non REM sleep වලදි. කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඇතිවෙන රෝගී තත්ත්වයක්. ඔබ නිදා සිටින විට වරින් වර අවදි වෙනවා වගේම බය වෙලා කෑ ගහනවා. හදවත් ස්පන්දන වේගය, හුස්ම ගන්න වේගය වැඩිවෙනවා වගේම දහඩියත් දමනවා. වැදගත්ම දේ තමයි ඔබ අවදි උනාට සිහියෙන් නෙවෙයි ඉන්නෙ. ඒ වගේම ඔබට හීනෙන් දැකපු කිසිම දෙයක් මතක හිටින්නෙත් නැහැ. මෙවැනි ලක්ෂණ තියෙනවනම් වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි හොඳ. ඒ වගේම මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ට දවල් කාලයේ පොඩි නින්දක් දැම්මමත් රෝග ලක්ෂණ අඩුවෙනවා කියලා හොයාගෙන තියෙනවා.


  • සිහිනෙන් ඇවිදීම (sleep walking)

මේකත් ඇතිවෙන්නෙ non REM sleep වලදි. දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඇතිවන රෝගී තත්ත්වයක්.
සරලවම කිව්වොත් මේකෙදි වෙන්නෙ ඇඳෙන් බැහැලා ඇවිදින එක. නිදාගෙන තමයි ඉන්නෙ. ඒත් වැදගත්ම දේ තමයි නිදාගෙන හිටියත් බොහෝ වෙලාවට ඇවිදින්නෙ ඇස් දෙක ඇරගෙන.  ඒ විතරක් නෙවෙයි ගෙදර තියෙන බිත්ති, පුටු මගහැරගෙන යන්නත් පුලුවන්. ගොඩක් දුරට මේක හානිකර නැහැ. හැබැයි මෙහෙම ඇවිදින්න ගිහින් වැටිලා තුවාල කරගන්නනම් පුලුවන්. ඒක නිසා ගෙදර දොරවල් ජනෙල් හොඳට ලොක් කරලා, භයානක දේවල් ඈත් කරලා තිබ්බනම් හොඳයි. කුඩා දරුවන්ටනම් ඉබේටම වයසත් එක්ක නැතිවෙලා යනවා. ප්‍රතිකාර අවශ්‍යම නැති තරම්. ඒත් නිතර නිතර සිදු වෙනවනම් හරි, වැඩිහිටි අවධියෙදිත් තියෙනවනම් හරි වෛද්‍ය උපදෙස් ගන්න එක හොඳයි.

ඉතින් නින්ද ගැන තව ටිකක් ඉඩ තියෙන වෙලාවක ලියන්නම්. ආයෙමත් බ්ලොගේ  ලියන්න කියලා බැලුවෙ වෙලාවක් ලැබෙන හැටියකට. එහෙනම් ආයෙත් හමු වෙමු. ජය!