Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

Sunday, January 29, 2017

"සිතුවිලි" - අලුත්ම සිංහල බ්ලොග් සින්ඩිය

ඔන්න අලුතින් සින්ඩියක් පටන් ගත්තා.
හුඟ කාලෙක ඉඳන් තිබුණු අයිඩියා එකක් තමයි ඉතින් මගේම කියල සින්ඩියක් පටන් ගන්න එක. කොහෙද බොගේ පැත්ත පළාතෙවත් එන්න බැරි උනානේ කාලෙකින්..

අවුරුදු දෙකකට විතර පස්සේ අද තමයි බොගියේ පෝස්ටුවක් දා ගත්තේ. ඒත් එක සින්ඩියකවත් වැටුනේ නැහැ නෙව. කොහේ වැටෙන්නද, හුඟ කාලෙකින් පෝස්ටුවක් දා ගන්න බැරි උනානේ.
ඔය අතරේ තමයි දැක්කේ අපේ ගොඩක් ඒ කාලේ තිබුණු සින්ඩි දැන් වැඩ කරන්නේ නෑ. අලුතෙන් යාවත්කාලීන වෙන්නේ නෑ.
එතකොට තමයි හිතුනේ සින්ඩියක් හදන්න ඕනි කියල. 

වැඩිය කියවන්න ඕනි නෑ. ගිහින් බලන්න ඔයාලගේ බ්ලොග් එකත් ඇතුලත් කරලා නැත්තන් අදම එකතු කරන්න. මට පුළුවන් විදියට ටික ටික බ්ලොග් එකතු කරනවා...


මේ බැනර් එක ඔබේ බ්ලොගයේත් එල්ල ගන්න පහත පියවර අනුගමනය කරන්න.

01. මුලින්ම බ්ලොගර් Dashboard ඒකට යන්න.
02. Layout ක්ලික් කරන්න.
03. Add a Gadget ක්ලික් කරන්න.
04. HTML/JavaScript යන්න තෝරන්න.
05. Content වලට පහල තියෙන JavaScript එක Copy කරලා Paste කරන්න.

<!-- Codes by HTML.am -->
<!-- CSS Code -->
<style type="text/css" scoped>
img.GeneratedImage {
width:200px;height:80px;margin:5px;border-color:#FFFFFF;border-style:solid;
}</style>
<!-- HTML Code -->

<a href="http://csklankasyndi.blogspot.com/" target="_self"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhljuC2kBCwLQyRLU6AaHwKvW6el8lq2mHAzMTPZT1u8ED8b1FhzBDRNOJy6AShGIDfW7aw2Bn1YA0-OeTrFRHsFjUDjFq3j730CKK-IbPNwCMBihb900M12kYW_vEX_-qlH1FtQsFi/s1600/Banner.jpg" alt="Photo of the Remarkables mountain range in Queenstown, New Zealand." class="GeneratedImage" /></a>




Saturday, April 13, 2013

අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ........

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ
කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා
කොහෝ කොහෝ කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ......


  ඔන්න සිංදුවක් එහෙම කියලාම පටං ගන්න කියලා හිතුනා අද පෝස්ටුව. දන්නෙම නැතුව අලුත් අවුරුද්දත් අත ළඟටම ආවානෙ නේ.. ඕං පරණ අවුරුද්දට අන්තිමට දාන පෝස්ටුව ඔහොම දානවලු. නොනගතේ ලබලා තියෙද්දී තමා මේක කොටන්නේ මේ. තව දෙයක් කියන්ට එපැයි. මේක මේ බොගේ අස්සෙ ඔබන පනස්වෙනි පෝස්කටුව නොවැ. ඉතිං එදා මෙදා තුර යන්තං ගැට ගහගෙන පනහකුත් ලිව්වා එහෙනම් මේකා...

  සනත් නන්දසිරි, සුජාතා අත්තනායකයන් සමග ගායනා කළ මේ සිංදුව අහද්දී මට නිකම්ම මතක් උනේ අතීතය. ඔහොම සිංදුවක් අහද්දී කවදාවත් වර්තමානයවත් අනාගතයවත් මතක් වෙන එකක්යෑ.. මොකද ඒ සින්දු වල තියෙන සුන්දර පරිසරය දැන් නූතන විද්‍යාව කියන එකෙන් කෘත්‍රීමවවත් ඇතිකරන්න පුලුවන්යෑ.. දැං ඉන්න මොඩර්න් වෙච්චි කොහා (මල් කොහා) දැං අවුරුද්දට කෑගහන එකක්වත්යෑ. අපිටත් හරි ගණන් උස්සනවනේ. කොහා කියලා එකෙක් දැන් මේ ලෝකේ ඉන්නවද කියලවත් හොයා ගන්ට බැරුව ඉන්දැද්දී මෙන්න අද උදේ එකෙක් යන්තං කෑ ගහනවා ඇහුණා. දෙයියනේ කියලා කොච්චර ආසාවෙන්ද හිටියෙ මුගෙ කටහඬ ටිකක් අහන්න. කොහෙද, ඒකත් එක පාරයි. අවුරුද්දට පත්තු කරන රතිඤ්ඤා වල සද්දෙට බයේද කොහෙද මූ කෑ ගහලා තියෙන්නේ. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ... ඒ වෙලාවේ මටත් අහන්ට හිතුනේ ඔහොම තමා.. අම්මපා දැං රබන් පදයක්වත් ඇහෙනවා කියලායෑ..


නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ
ඒ තාලෙට වරල් සළාලා
නව අවුරුදු නැටුම් නටනවා

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙනවා
ගම්මානෙට අවුරුදු එනවා

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනා වේ
රිදී එළිය ගමට ගෙනාවේ


(ඩබ්. ඩී අමරදේවයන්)

අලුත් අවුරුද්දට සිංදුවකුත් අහලම යමු එහෙනම්....


  තව ටිකකින් අලුත් අවුරුද්දකුත් ලබනවනේ එහෙමනම්. සිංහල අපිට අලුත් අවුරුදු කීයක් නම් තියෙනවද. ජනවාරි පළවෙනිදට සුදු මහතැන්ගේ දින දර්ශනේට අනූව කවුරුත් අවුරුද්ද සමරනවා නොවැ. වෙසක් පෝය දවසට තමා සිංහල බෞද්ධයන්ගේ නියම අවුරුද්ද තියෙන්නේ. ශ්‍රී සම්බුද්ධ වර්ෂ වලට අනූව නව බුද්ධ වර්ෂයක් ආරම්භ වෙන්නෙ වෙසක් පොහෝ දාට.. එතකොට මේ අප්‍රේල් මාසේ සමරන්නේ සිංහල-හින්දු අලුත් අවුරුද්ද...  ඒ කියන්නෙ සිංහල බෞද්ධයා හින්දු බැතිමතුන් සමඟ සාමූහිකව එකමුතු වෙලා සමරන අලුත් අවුරුද්ද. විශේෂයෙන්ම අස්වනු ගෙට අරගත්තට පස්සෙ අලුත් සහල් වලින් කිරිබත් එහෙම උයලා ඒ ප්‍රීතිය ජයටම සමරන්නේ මෙදාට තමා. හතර වටින්ම ගිගුම් දෙන රතිඤ්ඤා සද්දෙන්ම තේරෙනවනේ අපේ කට්ටිය කොච්චර නම් ජයට අලුත් අවුරුද්ද සමරනවද කියලා.. 

  හ්ම්ම්ම්... එහෙනම් තවත් හෝරා කිහිපයකින් එළැඹෙන සිංහල හින්දු සමගිය පිළිඹිබු කරන්නා වූ මහා මංගල්‍යය ට බ්ලොග් ලෝකයේ එදා මෙදා තුර හමුවුණු, තවමත් හමු නොවුණු සහ අන්තර් ජංජාලයෙන් හමු වූ දුටු නොදුටු ඔබ සැමට සහ පවුලේ සැමට හද පත්ලෙන්ම (බොක්කෙන්ම) මගෙනුත් සුභාශිංසන....!!! 



Tuesday, April 9, 2013

අපිත් උන්මන්තකයෝද ඈ......!

  ෆේස් බුකියට ඇබ්බැහි වීම උන්මන්තක ලෙඩක්ය කියල කලින් පෝස්ටුවක කිව්වත් මතක ඇතිනේ. මේ පෝස්ටුව දාන්ට හිතුනේ මේ ඒකට ලැබුණු ප්‍රතිචාර සහ අපේ සයිලන්ට් සහන් අයියා ඊයේ පෙරේදා දාලා තිබුණු පෝස්ටුවක් දැකලා..

  ෆේස් බුකියට ඇබ්බැහි වීම දැන්නම් විසාල ලෙඩක් වෙලා තියෙනවා කියලා පේනවා. මේ ළඟදි දවසක ෆොටෝ එකක් දැක්කා බයික් ඇක්සිඩන්ට් එකක්. බයික් කාරයා මළා. මිනිහගේ ළඟ තිබුණු ස්මාර්ට් ෆෝන් එකේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙලා හිටියේ. අනතුරට හේතුව හරියටම ඒකද කියල කියන්ට මම දන්නේ නෑ. ඒත් හැම දෙයක්ම හරි ගානට සමතුලිත කරගෙන වැඩ කළානම් තමා හොඳ.


cuongdang.info

  බලාගෙන ගියාම දැන් මේ ලෝකේ හැමෝටම මොකක් හරි උන්මන්තක රෝගයක් තියෙනවා. ඒත් ඒක සමාජයට ලෙඩක් වෙන්නේ නැත්තං ප්‍රශ්නයක් නැහැනේ. ඒත් මේ දේ ගොඩාක් දුරට දැන් සමාජයටත් බලපාලා තියෙන හැටි ඔබට මූණුපොතේ පැත්තේ ගියොත් බලාගන්ට පුලුවන් වේවි. අන්තර්ජාලය භාවිතය සහ ඇබ්බැහි වීම කියන්නේ මෙතැන වචන දෙකක්. මොකද සාමාන්‍ය විදියට ජීවිතේ සියලු වැඩ කටයුතු පසෙක නොහෙලා අන්තර්ජාලය පාවිච්චි කරන උදවිය ඕනෑතරම් අපි අතර ඉන්නවා නොවැ. සාමාන්‍යයෙන් බොහෝ විට දවසෙන් වැඩි කාලයක් අන්තර්ජාලය භාවිතා කරන යෞවන යෞවනියන්ට මානසික අවපීඩන තත්ව ඇති වී මානසික ඒකාග්‍රතාව ඇතිකර ගැනීමේ අපහසුතා ඇතිවන බව පර්යේෂණ වලින් සනාථ කරගෙන තියෙනවා. 

  ඔන්න අන්තර්ජාලෙට යම් පුද්ගලයෙක් අන්තර්ජාලෙට ඇබ්බැහි වෙලාද නැද්ද කියලා හොයා ගන්න පර්යේෂණයක් කරලා තියෙනවා. ඒකට තියෙන්නෙ පුංචි ප්‍රශ්න කිහිපෙකට උත්තර සපයන්න විතරයි. මේ හැම ප්‍රශ්නෙකටම උත්තර 06 ගානෙ තියෙනවා. අනිවාර්යයෙන් ඒ හයෙන් එකකට උත්තර දෙන්නම ඕන. ඔක්කොම ප්‍රශ්න විස්සක් තියෙනවා. ඔබ ඒ ප්‍රශ්න විස්සට මුලින්ම පුංචි කොළ කෑල්ලක උත්තර දෙන්න ඕන. ඊටපස්සේ කරන්ට තියෙන්නේ ආපු උත්තර විස්සේ අංක ටිකේ එකතුව බලන එක. ඉතිං මාත් ඔය ප්‍රශ්න විස්සට උත්තර දීලා ආපු අංක ටික එකතු කරලා බැලුවා. බොරු කියන්නේ මොටද. ආවා උත්තරේ 32ක්!.. මම දැන් ජංජාලේ පාවිච්චිය ටිකක් අඩු කරලා තියෙන්නේ.. ඉස්සර බැලුවානම් සීයෙන් සීයම එනවා..

  ඉතිං ඔබට වෙලාවක් තිබේනම් කොළයක් අතට අරගෙන පල්ලෙහායින් දාලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර දීලා බලන්න ලකුණු කීයක් ලැබෙනවාද කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ ප්‍රශ්න මම හදාපු එකක් නෙවෙයි පර්යේෂණ කණ්ඩායමක් හදපු ප්‍රශ්න ටිකක්. ඒ වගේම ඒ ටික මට හම්බුනේ මෙන්න මේ ලිංකුවේ තිබිලා..


  1. ඔබ මීළඟ වතාවේ අන්තර්ජාලයට සම්බන්ධ වූ විට කරන්නේ කුමක්දැයි සැළසුම් කරනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  2. අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වූ අවස්ථා වලදී ඔබ අසතුටට, නුරුස්සනා ස්වභාවයකට, නොඉවසිලිවන්ත තත්ත්වයකට පත් වනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  3. අන්තර්ජාල සබඳතාවය බිඳ වැටේයැයි හෝ ඔබගේ අන්තර්ජාල ගිණුම් සොරා ගනීවි යැයි හෝ මකා දමයි යැයි ඔබ බියෙන් පසු වනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  4. අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින වේලාව නිවැසියන්ට හෝ මිතුරන්ට පැවසීමට ඔබ මැළි වෙනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  5. පවුල, මිතුරන්, පෙම්වතා හෝ පෙම්වතිය සමඟ සම්බන්ධතාවය පැවැත්වීමට අවැසි නිසා ඔබ පරිගණක භාවිතය ප්‍රිය කරනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  6. කලින් සිතූ කාලයට වඩා වැඩියෙන් ඔබ අන්තර්ජාලයේ රැදී සිටිනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  7. අන්තර්ජාලයට සම්බන්ධ වූ පසු ඔබ අවම වශයෙන් එක් මිතුරෙක් සමඟවත් හෝ චැට් කරනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  8. අන්තර්ජාලයේ කුමක් කරන්නේ දැයි කෙනෙක් ඇසුවොත් ඔබ කරනා දේවල් පැවසීමේදී ඔබ පරිස්සම් වනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  9. ඔබගේ අන්තර්ජාල භාවිතයට කෙනෙක් බලපෑම් කරයි නම් එය ඔබට කරදරකාරී සහ අප්‍රියජනක දෙයක්ද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  10. අන්තර්ජාල භාවිතය නිසා ඔබගේ සැළසුම් හෝ අරමුණු ව්‍යාර්ථ වී තිබේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  11. ගෙදරින් පිටතට ගොස් මිතුරන් සමඟ කතා බහ කිරීමට අවස්ථාවක් ලද විටෙක ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්‍ය නිසා නොගොස් සිටිනවාද ? හෝ ඔබ යනවා නම් හදිසියේ හෝ අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ජංගම දුරකථනය ටැබ්ලට් පරිගණකය රැගෙන යනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  12. අන්තර්ජාල භාවිතය අඩු කිරීමට ඔබ සැළසුම් සකස් කළත් ඒවා ක්‍රියාවට නැඟෙන්නේ නැතිද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  13. අන්තර්ජාල භාවිතය නිසා ඔබගේ එදිනෙදා වැඩ අතපසු වෙනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  14. අන්තර්ජාලයෙන් නික්මයාමට ඔබට සිතුනද, “තව එක් වරක් ෆේස්බුක් ගිහින් බලලා එන්න ඕනා” හෝ “තව ටික වෙළාවක් ඉන්නවා” යැයි ඔබට සිතෙන්නේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  15. ඔබ රාජකාරී කටයුත්තක හෝ වෙනයම් කරයුත්තක යෙදී සිටින විට අන්තර්ජාලය භාවිතා කිරීම නිසා එම කාර්‍ය උපරිම ඵළදායිතාවෙයෙන් යුතුව කිරීමට නොහැකි වේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  16. අන්තර්ජාලයට සම්බන්ධවීමට යන අවස්ථාවේදී ඔබට සතුටක්, මානසිකව පිබිදුණු ස්වභාවයක් දැනේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  17. ඔබ අන්තර්ජාලයේ සිටින වේළාව ගැන ඔබේ මිතුරන් දොස් කියනවාද ? නැතිනම් ඒ ගැන කතා බහේ යෙදෙනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  18. අන්තර්ජාලයේ කුමක් කරන්නේදැයි සිතමින් ඔබ කාලය ගෙවා දමනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  19. අන්තර්ජාලයෙන් හෝ පරිගණකයෙන් ඔබේ රාජකාරී හෝ පාසල් වැඩක් කිරීමට ඇති අවස්ථාවේදී එයට පෙර ඔබ ෆේස්බුක්, ඊමේල් වැනි දෑ පිරික්සා බලනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  20. මධ්‍යම රාත්‍රියේ හෝ ඊට පසුවත් අන්තර්ජාලය භාවිතා කිරීම නිසා ඔබගේ නින්ද අඩු වී තිබේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
 ඔබ දැන් මෙයට පිළිතුරු සපයා අවසන් නම් ඔබ ළඟ ඉලක්කම් 20ක් ලියූ කොළයක් තිබිය යුතුයි. එම ඉලක්කම් සියල්ල එකතු කරන්න. ඔබට ලැබුණ පිළිතුර,
  • 30ට අඩු නම් -
ඔබ සාමාන්‍ය අන්තර්ජාල භාවිතා කරන්නෙකි. අන්තර්ජාලයට අබ්බැහි වීමක් ඔබට නැත.
  • 30ත් 50ත් අතර නම් -
ඔබ තරමක් දුරට අන්තර්ජාලයට ඇබ්බැහි වූවෙකි. ඔබගේ සැබෑ ජීවිතයේ යම් යම් දේ ඔබෙන් ඈත්වීමට පවා හැකියාවක් තිබේ. නමුත් එය එතරම් බරපතල තත්ත්වයක් නොගනී.
  • 50ට වැඩි නම් -
නිසැකවම ඔබ අන්තර්ජාලයට සම්පූරණයෙන්ම ඇබ්බැහි වූවෙකි.  ඔබ දැන් අත්විඳිනවාට වඩා විශාල ප්‍රතිලාභයක් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමෙන් උදාකර ගත හැක. ඔබගේ මානසික නිරෝගීභාවය වර්ධනය කොට පවත්වාගෙන යාම සඳහා මෙම තත්ත්වයෙන් මිදෙන්නට උත්සාහ ගන්න. 

 
www.helpingpsychology.com


 ඔබට ඔබ ගැනම සිතීමට දැන් හැකිවනු ඇත. (මම මා ගැන සිතා ගත්තෙමි)

ප.ලි:: ඉහත සඳහන් ප්‍රශ්න පමණක් උපුටා ගත්තේ http://lionlk.com/how-to-tips/sinhala-internet-addiction-disorder-test යන ලිංකුවෙන් බව කරුණාවෙන් සළකන්න... 

Friday, April 5, 2013

සිංහලයා පැවත එන්නේ කුමන පරපුරකින්ද.......

  සිංහලයා පැවත එන්නේ ක්‍රි.පූ 6 වන සියවසේදී පමණ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි විජය ඇතුලු පිරිසගෙන් ද? නැතිනම් ඊටත් පෙර සිට මෙරට ජීවත් වූ මානව පරපුරකින් ද? එසේත් නැතිනම් සිංහලයා යනු මෙලොවට ඉබේ පහළ වූවෙක්ද?? මෙයට නිසියාකාර පිළිතුරක් අප කවුරුත් දැන සිටිය යුත්තකි..

  පිළිතුරක් සෙවීමටනම් අතීතයට ගමන් කළ යුත්තේම ය. මේ ගැන විවිද මත දක්වන පුද්ගලයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එක් කොටසකගේ මතය වන්නේ සිංහල පරපුරේ ආරම්භකයා විජය රජු බවයි. අනෙක් පිරිස එයට තදින්ම විරුද්ධ වන අතර ඔවුන් පවසන්නේ සිංහලයාට ඊට වඩා විශාල අතීතයක් පවතින බවයි. එය ලක් දිව රජ කළේයැයි සැලකෙන රාවනා නම් අධිරාජයේකුගේ කාලයටත් වඩා එහාට දිවයන බව ඔවුන්ගේ මතයයි.

  විජය යනු බුදු රජාණන් වහන්සේට සමකාලීනව ජීවත් වූ පුද්ගලයෙකි. ඔහු එකල ඉන්දියාවේ වංග නම් දේශයේ රජ කළ සිංහබාහු රජුගේ සහ සිංහ සීවලී බිසවගේ පුතණුවන්ය. මොහු රජ කුමාරයෙක් වුවද අපරාධකරුවෙකි. මොහු විසින් සිදුකල විවිධ අපරාද නිසා පිය රජු මොහු ඇතුලු හත්සියයක් පමණ පිරිස හිසෙන් අර්ධයක් බූ ගා නැවක නංවා රටින් පිටුවහල් කළ බව වංශ කතා වල දැක්වේ. මේ පිරිස දැන හෝ නොදැන සිරිලකට ( තම්බපන්ණියට ) ගොඩබසින්නේ මේ සිදුවීමෙන් අනතුරුය. විජය ඇතුලු පිරිස ලංකාවට ගොඩබැසි දින බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ බව මූලාශ්‍ර වල දැක්වේ...


www.divaina.com


 විජය දුටු ලංකාව අද මෙන් නොවීය. එකල ලංකාවේ ගෝත්‍රික ජන කොටස් හතරක් විය. යක්ෂ, නාග, දේව හා රාක්ෂ යනු මේ ජන කොටස් හතරයි. මෙසේ පැමිණි විජය කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවකගේ උදව්වෙන් අනෙකුත් යක්ෂ ගෝත්‍රිකයන් සමග සටන් කර දිනා මෙරට රජකම ලබා ගනී. එහෙත් පසුව කුවේණිය ද හැර දමා වෙනත් ඉන්දියානු බිසවක් සරණ පාවා ගන්නේ කන්න දුන්නු අත හපා කෑවා වාගේ යන පිරුළද පසක් කරමින් යැයි මට හැඟේ.. ශ්‍රී ලාංකීය ප්‍රෞඪ ඉතිහාසය ලියැවෙන්නේද එතැන් සිටය. එහෙත් ඊට පෙර තිබූ ඉතිහාසය මැකී ගොස් ඇත්තේ කෙසේදැයි යන පැණය නිතැතින්ම සිතට නැගෙන්නේ මෙවිටය.

  ඉතිහාසය නම් විෂයකි. එය පිළිබඳ මූලාශ්‍රගත සාක්ෂි නොමැතිව කතිකා කළ නොහැක. ශ්‍රී ලංකාවේ විජය රජුගෙන් ඇරඹී තවමත් ලියැවෙන ලිඛිත ඉතිහාසයක් ඇත. ඒත් ඊට පෙර! ලක්දිව තම ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස තෝරාගෙන රජ කළ රාවනා නම් අධිරාජයෙකු ගැන බොහෝ දෙනා පවසති. එහෙත් එයද පුරාවෘතයක්ම පමණක් වී ඇත්තේ ඒ ගැන මූලාශ්‍ර හිඟ බැවිනි. විජය රජු තම්බපන්ණියට ගොඩ බසින විට මෙරට ප්‍රධාන ගෝත්‍රික ජන කොටස් කිහිපයක්ම වාසය කළ බව කලින් පැවසූයෙමි. දැන් අපිට ඇති සැකය නම් නූතන සිංහලයා බවට පරිනාමය වූයේ කුමන ජන කොට්ඨාසයද යන්නයි..

  "සිංහලය" යන වදන සෑදුනු ආකාරය මුලින්ම සොයා බලමු. මේ ගැන කියැවෙන කතාන්දර අතරින් එකක් දෙකක් කීමට කැමැත්තෙමි. සිංහලයාගේ උපත ගැන මත දක්වන පුද්ගලයන් කොටස් දෙකක් බව කලියෙන්ම පැවසූයෙමි. ඉන් පළමු කොටස එනම් සිංහල ජන කොට්ඨාසය විජය රජුගෙන් පැවත එන්නක් බව පිලිගන්නා අයගේ මතයනම් සිංහල යනු "සිංහ ලේ" යන වදනින් සෑදුනු වචනයක් යන්නයි. එහි යම් සත්‍යතාවක් දකිමි. විජය කුමරුගේ පිය රජු වන සිංහබාහු රජුගේ පියා සිංහයෙක් බව ඉතිහාසයේ සඳහන් වේ. සිංහබාහු විවාහ වී ඇති සිංහ සීවලී බිසව තමාගේම නැගණියයි. එනම් මේ දෙදෙනාගේම පියා සිංහයෙකි. මව සුප්පා දේවිය. ඇය මනුෂ්‍ය දුවක්. අපි දන්නා විද්‍යාවට අනූවනම් කිසිම දිනෙක සිංහයෙකුට හා ගැහැණියකට දාව දරුවන් දෙදෙනෙකු තබා එක දරුවෙකුවත් ඉපදීමට හැකියාවක් නැත. ඒ අනූව මේ කියන තැනැත්තා එනම් සිංහබාහු රජුගේ පියා සැබවවින්ම සිංහයෙකු නොව, සිංහයෙකු වැනි දරුණු, හැඩි දැඩි, ශක්තිමත් පුද්ගලයෙකු විය යුතුය. එනම් සිංහ යන නම සහිත ගෝත්‍රයක අයෙකු විය හැක. උදහරණයක් ලෙස අප රටේ නාග ගෝත්‍රිකයන් ලෙස ජන කොටසක් සිටියද ඔවුන් සැබවින්ම නාගයන් නොවීය. අප මෙන් සාමාන්‍ය මිනිසුන්ය. ඉතින් මේ සිංහ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් තම සිරුර තුලද සිංහ ලේ පවතින බැව් විශ්වාස කළහ. සිංහල යන වචනය ඉන් බිඳී ආවක් විය හැක.


  අනෙක් මතය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. එම මතය රැගෙන එන්නේ මා කලින් කියූ දෙවන කණ්ඩායමයි. මෙහිදී 'සිවු හෙළය' නම් වූ සංකල්පයක් ගැන කතා කළ යුතුය. මේ සිවු හෙළය යනු මා ඉහතින් දැක්වූ ලංකාවේ එකල සිටි ගෝත්‍රික ජන කොටස් හතරයි. ඔවුන්ගේ මතය අනූව සිංහලයාගේ උපත සිදුවී ඇත්තේ මෙම ප්‍රධාන පෙළපත් හතර මුල්කර ගෙනය. ඒවා නම් යක්ෂ, නාග, දේව හා රාක්ෂ යන පෙළපත්ය. මේ අනූව යක්ෂ ගෝත්‍රිකයින් යකඩ කර්මාන්තයේ යෙදුන බවත්, නාග ගෝත්‍රිකයන් නාවික කටයුතු සිදුකළ බවත්, දේව ගෝත්‍රිකයන් පාලන තන්ත්‍රයේ අනුශාසකවරු ලෙස කටයුතු කළ බවත්, රාක්ෂයින් ගොවිතැනෙහි යෙදුණු බවත් දැක්වේ. සිංහල යන වචනය මේ සිවු හෙළය යන වදනින් සෑදුනු බවද විශ්වාස කිරීමට අපහසු නැත.



  විජය රජුට ලක්දිව සිටි සියලු ගෝත්‍රික ජනතාව විනාශ කර දැමීමට හැකියාව නොලැබුණි. ලක් රජය ගෙන යාමට ඔහුට මෙන්ම ඔහුගෙන් පසුව රජ වුණු අනෙක් රජවරුන්ටද මේ ගෝත්‍රිකයන්ගේ උදව් උපකාර නොමදව ලැබුණු බව ඉතිහාසය සාක්ෂි දරයි. විශේෂයෙන්ම ඔහුගෙන් පසු කාලයකදී ලක්දිව රජ වුනු පණ්ඩූකාභය යනු විජය පරපුරේ චිත්‍රා කුමරියගේ හා යක්ෂ පරපුරේ දීඝ ගාමිණී කුමාරයාගේ පුතණුවන්ය. එනම් එතැන් පටන් සියලු රජවරු එක පරපුරකින් නොව මේ සියලු මානව පරම්පරා වලින් පැවත එන්නන් විය. ඉතින් සිංහලයාගේ ආරම්භය ද එසේ සිදුවූවා විය හැක. සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාය ඇරඹෙන්නේ එලෙසින් විය යුතුය. එනම් සිංහලයාගේ මූලාරම්භකයා ලෙස විජය රජු පමණක් පිදීම එතරම් උචිත නොවේ. ඔහුද එහි එක් පුරුකකි. නූතනයේ මෙසේ පරිණාමය වූ සිංහලයා නම් මානවයාගේ මූලාරම්භය එක පුරුකක් නොව පුරුක් කිහිපයකින් බැඳී ගිය ජාලයක් සේ පවතින්නකි. ඒ සියල්ල මනාව වටහා ගැනීම සිංහලයන් වන අපගේ යුතුකමකි.



Saturday, March 16, 2013

මේඩ් ඉන් ශ්‍රී ලඞකා... ( ශ්‍රී ලංකා ඉස්පෙෂැල්)

   පොතුපිටිය පැත්තෙ ගිහිං කිතුල් පැණි හොයා ගෙන ආපු හැටි කලින් පෝස්ටුවේ කිව්වා මතක ඇතිනෙ.. ඒක කියෙව්වෙ නැති කව්රුහරි ඉන්නවනම් ඉතිං මෙතැනින් ගිහිං කියවලාම එන්න..

    ඒ ගිය ගමනෙදි ඔය කිතුල් මල ගැන ගොඩාක් දේවල් අසා දැන ගන්ට ලැබුණා.. ගොඩක් පරම්පරාවෙන් පරම්පරාවට වගේ ආපු මේ කර්මාන්තෙට දැන් කණ කොකා හඬළලා කියලා තමා අපිටත් ආරංචි උනේ.. ඒකට විවිධ විවිධ හේතු බලපාලා තියෙනවා. එකක් තමයි අද ඉන්න අලුත් පරම්පරාව මේකට දක්වන අකමැත්ත.. ඔය ගොඩක් පාරම්පරික කර්මාන්ත අභාවයට යන්න ලොකු හේතුවක් තමා මේක.. මොනවා කොරන්නදෑ ඉතිං, දැං කාලෙ ඉස්ටැයිල් එක්ක ඕවා ගැලපෙන්නෙ නැති කොට... මේක මේ අයගෙ ජීවන වෘත්තිය උනා කාලයක්. ඒත් ඒ නිෂ්පාදන වලට හරි මිලක් ලැබුනෙ නෑ.. ඉතිං ඔය පොඩි සොච්චම් මුදලකට ඔය කිතුල් ගස් බඩ ගාන්ට දැන් ඉන්න උන් කැමති වෙයිද මං අහන්නේ.. දැන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම සියල්ල මුදල් වලින් මනින සමාජයක් නොවැ.. 




  කොහොමින් කොහොම හරි මාත් ඔන්න කිතුල් මල් කපලා කිතුල් පැණි හා අනෙකුත් නිෂ්පාදන සාදා ගන්නා ආකාරය දැන ගත්තා.. ගෙදර ආපු ගමන් බැලුවේ කොහේද හොඳ මලක් වැටිච්ච කිතුල් ගහක් තියෙන්නෙ කියලා. කිතුල් මල විතරක් නෙවෙයි, පොල් මලත් ඕකට කියාපු භාන්ඩේ.. විශේෂයෙන්ම මේ පැති වල නම් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කිතුල් මල් තමා.. ගොඩක් වියලි කලාපේ පැත්තේ සහ වෙරළබඩ ප්‍රදේශ වල ගොඩාක් ප්‍රසිද්ධ පොල් මල... ඔය විනාකිරි ( ඇසිටික් අම්ලය ) හදන්නත් වැඩියෙන්ම යොදා ගන්නවාය කියන්නෙ පොල් මලනේ...

   හරි හරි... වැඩි කතා ඔනෑ නෑ... අපි දැන් සූදානම් වන්නේ නිවසේ සිටම රා පොල් කට්ටක් සාදා ගැනීමට ය.... මං කිව්වේ පොල් කට්ටක් හොඳේ!

  පලමු පියවර තමා හොඳ මලක් වැටිච්ච ගහක් හොයා ගැනීම. ඔබට කිතුල් ගසක් සොයා ගැනීම අපහසු නම් පොල් ගසක් වුවද කම් නැත. එහෙත් මෙහි ලා විස්තර කෙරෙනුයේ කිතුල් මල සම්භන්ධවය. සෑම කිතුල් මලකින්ම පැණි ලබා ගත නොහැක. මේ පිලිබඳ විෂය ප්‍රවීණයා නිවැරදි මල තෝරා ගැනීමට දනී. කිතුල් මල තෝරාගෙන සිදු කරන රාජකාරියට අපේ ඇත්තෝ කියන්නේ කිතුල් මල පදම් කරනවා කියාය. ඔය කිතුල් ගහක මලක් පිපෙනවා කියන්නේ අවුරුදු දහයකට විතර සැරයක් නේ.. ඔය වැඩේට තෝර ගන්නේ නොමේරූ ළපටි මලක්. ඉස්සෙල්ලාම ඔය තෝරා ගත්තු මල අල්ලලා පට්ටා වලින් ගැට ගහනවා. එහම කරන්නේ මල විසිරිලා යන එක වලක්වන්න. ඊට පස්සේ මල ඉහලින් තියෙන අත්තක ගැට ගහනවා. ඔහොම තෝර ගත්තු මල දවස් තුන හතරක් තියෙන්න අරිනවා. එතකොට මල හොඳට තැම්බෙනවා. ඔන්න ඔහොමලු මල පදම් කරන්නේ හොඳේ..... ඊට පස්සෙ තමා කපන්නේ..


dinamina.lk
   ඉතා සියුම් ලෙස කැපෙන හොඳ මුවහතක් තිබෙන පිහියක් මල කැපීමට යොදා ගනී. මේ වැඩේට කව්රුත් කියන්නේ මල මැදීම කියලා. කිතුල් මලේ කෙළවර මේ පිහියෙන් කපා එතෙන්ට මුට්ටියක් එල්ලනවා. ඔය මුට්ටියට තමා තෙලිජ්ජ ( තෙලි දිය ) ටික එකතු වෙන්නේ. ඔය තෙලිජ්ජ කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. කිතුල් ගහේ ප්ලෝයම පටකයේ ගමන් කරන පලෝයම තරලය. ඒ කියන්නේ ශාකයට අවශ්‍ය ආහාර. ඔය තෙලිජ්ජ වල වැඩි ප්‍රමාණයක්ම තියෙන්නේ සුක්‍රෝස්... ඒකයි ඔච්චරටම පැණි රස...! මෙන්න මේ තෙලිජ්ජ ටික දවසක් දෙකක් ඔහොම තියෙන කොට ඉබේටම රා බවට පත් වෙනවා. ඔය වැඩේ අපිට නොමිලේම කරලා දෙන්නේ වායුගෝලයේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන් තමා. විශේෂයෙන්ම යීස්ට්... මෙයාලා මේ තෙලිජ්ජ වල තියෙන සුක්‍රෝස් එතිල් මධ්‍යසාර බවට පත් කරනවා.. ඒවට තමා අපි මේ රා කියන්නේ.. ගොඩක් වෙලාවට මේ වැඩේ වෙන්නේ මුට්ටිය ගහේ තියෙද්දී ම.. ඉතිං අපේ උන්දැලා ගහේ ඉඳන්ම රා ටික බීලා තමා බිමට බහින්නේ... දැං ඉතිං මේක කියවන උන්දැලා කිතුල් ගස් බඩ ගානවා එහෙම නෙවෙයි ඕං...

  දැං බලමු කොහොමෙයි කියලා කිතුල් පැණි හදා ගන්නේ.. මම කලියෙං කිව්වනෙ තෙලිජ්ජ ටික ගහේදිම රා වෙනවාය කියල.. ඉතිං එතකොට කොහොමද පැණි හදා ගන්නේ නේද... ඒකට අපේ අය නියම වැඩක් කරනවා.. ඒ තමයි අර මුට්ටිය ගහේ ගැට ගහන්න කලින් ඒක ඇතුලේ හුණු ටිකක් ගාන එක.. එතකොට රා හැදෙන්නෙ නෑ කියලයි එයාලා විශ්වාස කරන්නේ.. ඒකේ විද්‍යාත්මක කතන්දරේ මේකයි.. ඔය හුණු කියල කියන්නේ භාෂ්මික ද්‍රව්‍යයක්නේ.. ඉතිං ඕක මුට්ටිය ඇතුලෙ ගෑවාම ඕක ඇතුලේ යීස්ට් වගේ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙන්නේ නෑ.. මොකද ඒ ක්ෂුද්‍ර ජීවීන්ට භාෂ්මික පරිසර වල ජීවත් වෙන්න බෑ. ඉතිං ක්ෂුද්‍ර ජීවීන් නැතුව රා නිෂ්පාදනයකුත් වෙන්නේ නෑ... ඒ වගේම මලේ එල්ලපු මුටිටිය පරණ වෙන්න දෙන්නේ නැතුව ඉක්මණට තෙලිජ්ජ ටික අර ගන්නවා.. ඊට පස්සේ ඒවා හොඳට උණු කරනවා.. නියම පදමට උණු කළාම නියම පැණි හදා ගන්ට පුලුවන්.. 

  ඔය හදා ගත්ත පැණි වලින් කරන තවත් දෙයක් තමා කිතුල් හකුරු හදා ගන්න එක.. අර හදා ගත්තු පැණි ටික පොල් කටු වලට දාලා දවසක් විතර තියෙන්න හරිනවා.. එහෙම තමා හකුරු හදා ගන්නේ.. ඔය වැඩේට ගන්න පොල් කට්ටත් හොඳට පොලිෂ් කරලා එහෙම තමා ගන්නේ..

  රා වලින්ම තමා විනාකිරි නිෂ්පාදන කරන්නෙත්.. ඒකටනම් ගොඩාක් යොදා ගන්නේ පොල් රා තමා.. ඔය රා තවත් ටික දවසක් තියෙන්න ඇරියාම ඒවා විනාකිරි බවට පත් වෙනවා. විනාකිරි කියන්නේ අම්ලයක්. රා වල තියෙන එතිල් මධ්‍යසාර වායුගෝලීය බැක්ටීරියා මගින් ඇසිටික් අම්ලය බවට පත් කරනවා. විනාකිරි කියන්නේ මෙව්වාට තමා...

  ඔන්න ඔහොම තමා කිතුල් කරුමාන්තේ අපේ උන්දැලා කරන්නේ.. හරිම අලංකාර කර්මාන්තයක් තමා.. අපේ පැත්තෙත් කිතුල් ගස් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා.. ඉස්සරනම් ඔය ගහක පිපිලා තියෙන මලක මුට්ටියක් වරදින්නේ නෑ.. ඒත් දැන්නම් ඒ ගස් පාලුවට ගිහිල්ලා.. මහා ජාතික අපරාධයක් කියලයි මටනම් හිතෙන්නේ. 




www.vidusara.com





Wednesday, March 13, 2013

කලවානේ කිතුල් පැණි සොයා ගිය ගමන

    මේක මේ මාස තුන හතරකට උඩදී වෙච්චි සිද්දියක්.. බ්ලොගේට දාන්ට කියලා හිතුනා.. කව්රු කවුරුත් දන්නවා ඇතිනේ ඉතින් සිංහරාජ මායිම ගොඩක් කිතුල් පැණි වලට ප්‍රසිද්ධයි කියල.. විශේෂයෙන්ම කලවාන පොතුපිටිය පැත්ත.. ඉස්සරනම් ඒ පැති වල මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් උනේ මේ කිතුලේ තමා.. ඒත් දැන්නම් ඒක හුඟාක් දුරට අඩුවෙලා... ඒකට විවිධ විවිධ හේතු බලපාලා තියෙනවා...

    උසස් පෙළ එහෙම ලියල ඉවරවෙලා කරන්න දෙයක් නැතුව ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්නකොට තමයි මේ අපේ පැත්තේ එකෙක්ගේ ගෙදර පොඩි පින්කමකට කිතුල් පැණි හොයන්ට යන්න සෙට් උනේ... මිනිහ දන්නා අඳුනන එකෙක් කලවාන පොතුපිටිය පැත්තේ ඉන්නවා කියල කිව්වා... ඉතින් ඒ හිතවතාටත් දුරකථන ඇමතුමකින් එහෙම දැනුම් දීල අපි ලැස්ති උනේ යන්ට කියල... ඔන්න උදේ පාන්දරින්ම දෙන්නත් එක්ක සෙට් උනේ යන්න කියල. සහ පිරිවර කැටුව යන්නේ නැතුව මේ තුමාලා දෙන්නත් එක්කම හොර රහසේ තමා ගියේ.. නැත්තං උන් කට්ටියත් යන්න කෑ ගහනවා නොවැ.. ඇයි ඉතිං මුන් කිතුල් මලකටවත් ඉන්න දෙන එකක් යෑ.. අපි දෙන්නෙක් විතරක් යන හින්ද ත්, සිංහරාජ මායිමේ සුන්දරත්වය මනාව විඳ ගත හැකි නිසාත්.... ගමනට තෝරා ගත්තේ රෝද දෙක ය....


http://www.apeurumaya.lk/wp-content/uploads/2010/10/06.jpg


   ගමන ආරම්භ කරන විට උදේ හතට වන්නට ඇත.. රක්වාන නගරයට ගොස් එතැන් සිට යාමට තිබුනේ රක්වාන - පොතුපිටිය මාර්ගයේය. මෙය සුන්දර භූමි භාගයකි. මාර්ගය වැටී තිබුනේ සිංහරාජ වන අරණ මායිම හරහාය.. උදෑසන නිසාදෝ අමුතුම නිහැඬියාවක් ගැබ්වී තිබුනි. ඇත්තෙන්ම නගරයේ කොන්ක්‍රීට් වනාන්තර තුල ඇති මහා ගෝෂාව මේවායේ නැත. හරිම නිස්කලංක ය. මිනිසාගේ ඇස නොගැටී තිබුනේනම් කෙතරම් සුන්දර වනු ඇත්ද... රක්වාන නගරයෙන් පසු මාර්ගය ගැනද යමක් කි්ව යුතුය. මේවායේ ඇත්තේ තනි කෙලින් තිබෙන අධිවේගී මාර්ග නොව, වංගු වලින් පමණක් සමන්විත කඳු ය. ඇත්තෙන්ම මේවාට මහා මාර්ග යැයි කීවාට ඇත්තේ වංගු පමණි. මේ සියලු මාර්ග සාදා ඇත්තේ විශාල කඳු මට්ටම් කිරීමෙනි. කන්දේ ඉහලටම ගොස් පහළ බැලූ විට මුලු මාර්ගයම දැක ගත හැකි වන තරමටම පැහැදිලිය. කන්දක් නැග්ගොත් පල්ලමක් තිබේ යන කියමන සනාථ කරමින් යන ගමනේ හොඳ හොඳ පල්ලම්ද නැතුවාම නොවේ.. මේ කියන මොහොතේද අපි එවැනි කන්දක් නගිමින් සිටියෙමු. කන්දේ තරම කිව්වොත් හොඳින් කාපට් කර තිබුණු පාරේ බයිසිකලය ඇදුණේද මර හඩ ලා ගෙනය. ඒ නම් පිටුපස අසුනේ සිටි අලියාගේ බර නිසා විය හැක..

   මාර්ගේ දෙපස ගැනද යමක් නොකී්වොත් හිතට හරි මදියැයි හැඟේ. මාර්ගයේ එක් පසෙකින් සිංහරාජ වන අරණ ය. නිහඬ පතාක යෝධයෙකු ලෙස එය අපට දිස් විය. අනෙක් පසින් විශාල තේ වතු ය. මේවා එසේ මෙසේ තේ වතු නොව අක්කර ගණන් විශාල තේ යායවල් ය. මෙම දර්ශනය අමුතුම සුන්දරත්වයක් එකතු කරයි. ඒ ගමනේ ඡායා රූ කිසිවකුදු ගැනීමට නොහැකි වීම ගැන දැනුදු මා ලත වන්නේ එබැවිණි. අපි උදෑසන යන ගමනේදී දුටු මේ විශාල තේ වතු වල තේ දලු නෙලීමට පෙළ ගැසී යන පිරිස් හා සවස ආපසු එන ගමනේදී දුටු දලු ගෝනි හිස මත තබා එක පෙළට මහා මාර්ගය අයින දිගේ ගමන් කළ මේ පිරිස වට පිටාවේ සිරි අසිරිය තව තවත් වැඩි කලේයැයි මට හැඟේ.

   අපි පොතුපිටිය ප්‍රදේශයට පැමිණෙන විට උදෑසන නවය පමණ විය. කලවාන පොතුපිටිය ප්‍රදේශය යනු නගරයක්‍ නොව තවත් එක් සුන්දර ගම්මානයක් පමනි.. සුන්දර මිනිසුන් සිටින ප්‍රදේශයකි. අපේ යහලුවාගෙත් යාලුවාගේ නිවසට යාමට පොතුපිටියේ සිට තවත් අතුරු පාරක යෑමට සිදු විය. ඒ පාරේ ගිය හැටි සිහි වීමෙදී රෝද දෙකේ ඒවා පැදීම ද එපා වේ.. ඒ තරමටම මාර්ගය අබලන්ය.. අතරමග තිබූ පාලමකින් එගොඩ වීමට යාමේදී අපට එලොව පොල් පෙනී නොපෙනී ගියේ අර කලින් කී යාලුවා එතැනට පැමිණ සිටි නිසාවෙනි. නමට "පාලම" වුවද ඇත්තටම එය ඒ දණ්ඩකි. යකෝ! ඒ දණ්ඩෙන් කොහොමද බයික් එකක් ගත්තේ... එවේලේ අපේ පිහිටට ආ අපේ යහලුවා නම් දෙයියෙකි.. ඌට මේවා සිම්පල් වැඩ බව අපිට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. එම ඒ දණ්ඩ හරහා බයිසිකලය මා විසින් රැගෙන ගියේනම් බයිසිකලය මෙන්ම මාව සෙවීමටද කිමිදුම්කරුවන්ගේ පිහිට පැතීමට සිදු වනු නොඅනුමානය....

   අපි කලින්ම පවසා පැමිණි බැවින් මිත්‍රයා අප වෙනුවෙන් වෙනමම පිරිසිදු කිතුල් පැණි තොගයක් තබා තිබුණි. ඇත්තටම අපි කිතුල් පැණි සොයා මෙතරම් දුරක් පැමිණියේද පිරිසිදු කිතුල් පැණි ලබාගැනීමටය.. වෙනත් තැන් වල ඇත්තේ කිතුල් පැණි නොව බොරු ලේබල් ගැසූ සීනි පැණි ය... ඒත් අපේ එකාට මේ මදිය.. ඌ තවත් පැණි උවමනා බව පැවසීය.. තමා සතු කිතුල් පැණි සියල්ල අපට දුන් බව පැවසූ පොතුපිටියේ මිතුරා තවත් උවමනා නම් සොයා ගෙන යමු යැයි යොජනාවක් ගෙනාවේය.. වැඩි කතා නැතිවම කිතුල් පැණි සොයා යෑමේ මෙහෙයුම ආරම්භ විය... 

http://mirror.lk/sinhala/images/image_gallery/news/2013/feb/KitulTree_360px_13_02_07.jpg


   අපේ එකා රා ගුඩ්ඩා ය.. මිනිහා මේ වහින් ඔරෝ කියන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මට එතරම් අපහසු නොවීය. මෙතරම් දුරක් ආපු එකේ රා පොල් කට්ටක් දෙකක් කටට දා ගෙන යන්ටෝන බං යැයි එන මග දිගට කිය කියා ආවේ මේකා ය... ඉතිං දැන් ඔය තටමන්නේ ඒකට බව මම දැන ගතිමි.. දැන් මේ කිතුල් මල් හා සම්භන්ධව රාජකාරි කරන පුද්ගලයන් ඉතා අඩු බව අපට දැන ගන්නට ලැබුණි. එබැවින් තවත් පැණි ටිකක් සොයා ගැනීමට පොතුපිටිය ප්‍රදේශය පීරීමට අපට සිදුවිය. අවසානයේ එළ පොට් එකක් හමු විය.. කිතුල් මල හා ආශ්‍රිත සියලු නිශ්පාදන එතැනින් ඉතා ලාභදායී මිලකට ලබා ගැනීමට පුලුවන් විය. මේවා ශ්‍රී ලංකන්‍ බඩු බං... මේඩ් ඉන් ශ්‍රී ලංකා යැයි කියමින් අපේ එකා වැඩ පටන් ගත්තේය... මා නම් උපතින්ම අමද්‍යප බැවින් පසෙකට වී පැණි හකුරු ටිකක් භුක්ති වින්දෙමි......  ආපසු එන ගමනේදී රෝද දෙක වත්තම් කරගෙන ආවේ හරිම අමාරුවෙනි. ඒ අන් කිසිවක් නිසා නොව පිටුපස සිටියේ එසේ මෙසේ අලියෙක් නොව රා කල හතක් බිවූ නාලාගිරි ඇතෙක් බැවිණි....

   කෙසේ වුවද සවස තුන හතර වෙද්දී ආපසු එන්නට හැරුනෙමු. ඒ අපේ මිතුරාටද කළ උදවු වලට අනේක වාරයක් ස්තූති කරමින්ය.. අපේ එකා හොඳ හැටි සප්පායම් වෙද්දී මම මේ කිතුල් මල හා සම්භන්ධ කර්මාන්ත ගැන ඒ විෂය ප්‍රවීනයන්ගෙන් අසා දැන ගතිමි. ඒ අවශ්‍ය වුවහොත් පොල් කට්ටක් දෙකක්වත් සාදා ගැනීමටය... මොකද අපේ පැත්තේද ඕනෑ තරම් කිතුල් ගස් ඇත.. මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදනයක් නිවසේදීම සාදා ගන්නා ආකාරය ඉදිරි පෝස්ටුවකින් කියන්ට බැරියෑ...

Saturday, December 15, 2012

පිටසක්වලයින් ඇත්තටම ඇවිල්ලද?



       දැන් ඉතින් 2012 දෙසැම්බර් මස 21 වැනිදාටත් බොහෝම ළඟයිනෙ. සමහර අය ටිකක් විතර බය වෙලා ඇත්තේ මොකද ලෝක විනාසයක් එනවලුනේ. මං මේ කතා කරන්නට හදන්නේ ඔය ලෝක විනාසේ ගැන නෙවෙයි. දැන් දැන් අපේ රටේ ලොකු මාතෘකාවක් වී ගෙන එන මේ පිටසක්වල හබේ ගැන. ඇත්තටම මේ පිටසක්වළ ජීවයක් තියෙනවද? ඒක අද ගොඩක් දෙනෙක් අතර තියෙන ප්‍රශ්නයක්. හිතුන ටිකක් මේ ගැන හොයල බලන්ට.

ඉස්සෙල්ලම කියන්න ඕන පිටසක්වලයින් ගැන තියෙන ගොඩක් කතා එක්කෝ කට කතා නැත්තන් කිසිම විද්‍යාත්මක සාක්ෂියකින් තොර ඒවා. ඒත් මේ අස්සේ හොඳින් ඔප්පු කරලා පෙන්නපු සිදුවීම් පවා තියෙනවා. මේ දවස් වල ලංකාවේ බොහෝ තැන්වල අහසේ විවිධ එළි දැක්ක කියල විවිධ ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම මේ සිදු වීම් බොරුය කියල ඒක සැරේටම අහක දාන්නත් බෑ. කොහොම හරි ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකේ බොහෝ රටවල් වලින් විවිධ ආකාරයේ අරුම පුදුම සිදුවීම් මේ ගැන අහන්ට ලැබෙනවා.



 මම මේ ගැන කතා කරන්න ආරම්භයක් ගන්නට හිතුවේ බුදු දහමෙන්. ඇත්තටම මම හිතන විදියට මේ පිටසක්වල ජීවය ගැන තොරතුරු ගොඩක් අපිට බුදු දහම ඇසුරෙන් ලබා ගන්නට පුළුවන්. එකල, එනම් බුද්ධ කාලීන භාරතයේ මෙවන් ජීවින් ගැන එනම් අහසින් පැමිණියවුන් ගැන විවිධ කතා හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ ද තමන් වහන්සේගේ සුත්‍ර දේශනා වල අපේ ලෝකයට පරිභාහිර වෙනත් ලෝක ගැන සඳහන් කොට තිබෙනවා. සදෙව් ලොව, බ්‍රහ්ම ලෝක වැනි ඉතා දියුණු ජීවින් ජීවත් වන ලෝක ගැන බුදු දහමේ සඳහන් වෙනවා. මින් බ්‍රහ්ම ලෝක ප්‍රමුඛ වන බවද සඳහන් වෙනවා. රූපාවචර හා අරූපාවචර ලෙස බ්‍රහ්ම ලෝක ප්‍රධාන ආකාර දෙකකින් යුක්ත වේ. මේවායේ මිනිසාට වඩා දියුණු ජීවින් ජීවත් වේ. එපමණක් නොවේ, එම දියුණු ජීවින් අතීතයේ සිටම අපගේ ලොවත් සමඟ ගනු දෙනු කරමින් සිටී. මෙයට සාක්ෂි ඕනෑ තරම් බුදු දහමෙන් සොයාගත හැක. සම්බුද්ධ සුත්‍ර දේශනා වල සඳහන් වන පරිදි, බුදු රජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමට දෙව් බඹුන් පවා පැමිණ තිබේ. ඔවුන් බුදුන් වැඩසිටි ආරාමයට ඉහළ අහස බුබුළුවමින් පැමිණි බව එම සූත්‍ර දේශනා වල සඳහන් වෙනවා. එපමණක්ම නොවේ. ප්‍රේත, අසුර ලෝක හා යම ලොව වැනි පහත් ජීවින් සිටින ලෝක ගැනද බුදු දහමේ සඳහන් වෙනවා. බුදු රජාණන් වහන්සේ මේ බොහෝ ලෝක වෙත වැඩම කළ බවද සඳහන් වෙනවා. එමෙන්ම බුදු රදුන් තමන් වහන්සේගේ දින චර්යාවේ එක් අංගයක් ලෙස දෙව් බඹුන්ට ධර්මය දේශනා කිරීමට වෙනම කාලයක් යොදවා ගෙන ද තිබෙනවා. 

වෙනත් ආගම් වලින්ද මේ පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැක. කතෝලික ආගමේ සර්වබලධාරි දෙවි කෙනෙක් ගැන සඳහන් වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේව පුත්‍රයෙක් ලෙස සලකා ඔවුන් ගරු කරති. එමෙන්ම හින්දු ආගමේ ද විවිධ දෙවිවරු ගැන සඳහන් වේ. ඉස්ලාම් ධර්මයේද එලෙසමය. නබි නායක තුමා යනු දේව වරම් ලද පුද්ගලයෙක් බව ඔවුහු අදහති. මේ සියල්ලම සැලකු විට අතීතයේ සිටම වෙනත් ලෝක වල ජීවින් පෘතුවි වාසීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව පෙනී යයි.

බුදු දහමේ පමණක් නොවේ, වර්තමාන දියුණු තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් විද්‍යාඥයන් ද සොයා ගෙන ඇති පරිදි මේ මුළු මහත් වූ විශ්වය අනන්තය, අප්‍රමාණය. එසේ අපරිමාණ වූ මේ විශ්වයේ අප ජීවත් වන මේ සෞරග්‍රහ මණ්ඩලය නිකං දුහුවිලි අංශුවක් තරම් පමණක් වනවා ඇත. අපට ජීවය දෙන සුර්යයා වැනි තවත් විශාල වූ තාරකාවෝ මිලියන ගණනක් මේ විශ්වයේ ඇත. එනම් අපේ සෞරග්‍රහ මණ්ඩලය වැනි තවත් ග්‍රහ මණ්ඩල මෙපමණකැයි කිව නොහැකි තරමක් මේ විශ්වයේ තිබිය හැක. ඒවායේ දියුණු ජීවින් කොපමණ ඇත්ද. ඔවුන් ද අප ගැන විපරමෙන් සිටිනවා විය හැක. 

අප ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලයේ නම් වෙනත් ග්‍රහ ලොවක ජීවින් නැති බව දැන් මිනිසා දනී. එහෙත් ඒවායේද යම් දිනක මිනිසාට ජීවත් විය හැකි පරිසර නිර්මාණය කළ හැකි බව සොයා ගෙන ඇත. උදාහරණයක් ලෙස ලෙස බ්‍රහස්පති ග්‍රහයාගේ උප ග්‍රහයින් වන ගැනිමීඩ් හා අයෝ වැනි ග්‍රහයින් සැලකිය හැක. නමුත් හැමෝගෙම හිතට නැගෙන ප්‍රශ්නය වන්නේ මෙය නොවේ. මේ පිටසක්වල ජීවය ගැන තවමත් පැහැදිලි අදහස් ඉදිරිපත් කිරීමට තවමත් කිසිම කෙනෙකුට නොහැකි වී තිබීමයි. 



නූතන තාරකා විද්‍යාඥයින්ට අනුව අප අයත් වන චක්‍රාවාටය හා එහි අවට දියුණු හා ප්‍රාථමික අවධි වල පසු වන ජීවින් ලක්ෂ ගණනක් ජීවත් වෙති. එම දියුණු ජීවින් අපට වඩා දියුණු වූ ශිෂ්ටාචාර වලට උරුමකම් කියන්නෝ වෙති. ඇතැම් විට අපගේ හා ඔවුන්ගේ ශිෂ්ටාචාර අතර පරතරය වසර කල්ප ගණනක් විය හැක. එනිසා එවැනි ජීවීන්ට අප ඉතාමත් නොදියුණු ප්‍රාථමික මට්ටමේ ජීවින් ලෙස පෙනෙනවා ද විය හැක. පෘතුවිය බිහි වීද ගත වන්නේ තවමත් වසර බිලියන 4.5 ක් පමණි. ඇතැම් විට මිනිසා ඇතුළු පෘතුවි වාසි ජීවීන්ගේ පූර්වජයන් වෙනත් ලොවක ජීවින් පිරිසක් විය හැක. මෙය ඇත්තේන්ම සිතුවිල්ලක් පමණි. එය එසේ වූවානම් ඔවුන් පෘතුවි ග්‍රහයා දෙස නිතරම සෙවිල්ලෙන් සිටිනවා විය හැක. 

දැන් ආයිමත් සැරයක් අතීතය දෙස හැරී බලමු. මෙච්චර දෙයක් කතා කරලත් ඒ ගැන නොකිව්වොත් වැඩක් නෑ. අපි පුරාන ඊජිප්තු ශිෂ්ටාචාරය දෙස පුංචි විපරමක් කරමු. ඊජිප්තු ශිෂ්ටාචාරයේ අරම්භය ක්‍රි.පූ 3150 දී පමණ වන බව සලකනවා. එහි ආරම්භකයා වන්නේ පළමුවන පාරාවෝ රජතුමා. අද ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණු වුනත් ඒ දියුණු තාක්ෂණික ක්‍රම වලින්වත් හොයා ගන්න බැරි දේවල් කොච්චර තියෙවද. ඒ වගේ දෙයක් තමයි මේ ඊජිප්තු ශිෂ්ටාචාරය. කිතු උපතටත් වසර දහස් ගණනකට පෙර විසූ මිනිසාට මෙවන් වූ දියුණු තාක්ෂණයක් තිබුනාද? එසේනම් එම තාක්ෂණය දැන් කොහිද? මෙය මහත් ගැටලුවකි. ලොව අරුම පුදුමයක් ලෙස සැලකෙන ඊජිප්තුවේ මහා පිරමීඩ සැදීමේ තාක්ෂණය ඔවුන්ට කෙසේ ලැබුනේද. ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුත් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල පිරමීඩ වේ. එම තාක්ෂණය දැනුදු තිබුනේනම් වර්තමාන ලෝකයේ මහා විස්කම් නිර්මාණ දකින්නට පුළුවන් වනු ඇත. එහෙත් එම තාක්ෂණයට එක් වරම කුමක් සිදු වූයේද? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු තවමත් ලැබී නැත.

මේ කියන කතාත් එක්ක මේ දවස් වල ලංකාව පුරා අය දකින අද්භූත එළි වල සම්භන්ධයක් තියෙනවද කියලත් හොයල බලන්න ඕන. මේ වෙන කොට ලංකාවේ ඉරණවිල, අම්බලන්තොට, වැල්ලවාය, අනුරාධපුර, වැලිමඩ, කෝවිල්යාය, මල්පෙත්තාව, ලුණුගම, නෝනාගම, උහුපිටගොඩ, පුහුල්යාය, තවාළුවිල, තණලන්ද වගේ ප්‍රදේශ වලින් මේ අද්භූත එළි ගැන වාර්තා වෙනවා. කොළඹ ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් නම් කියන්නේ ඒ ගොල්ලෝ මේ ගැන හොයල බලනවා කියලයි. මේ වෙනකොටත් ලංකාවේ ගුවන් හමුදාව මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා කියල ඔවුන් පවසනවා. ගුවන් හමුදවෙන්නම් ප්‍රකාශ කරලා තියෙන්නේ හඳුනා නොගත් යානා පිළිබඳව ඔවුන්ගේ රේඩාර් වල සටහන් වෙලා නෑ කියලයි. කෙසේ වෙතත් මේ අද්භූත එළි ගැන ටිකක් අවධානයෙන් ඉඳින්න කියල ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් කියල තියෙනවා.

ඒක නෙවෙයි, මේ අද්භූත එළි වලින් වැඩිම ප්‍රමාණයක් බ්‍රහස්පති ග්‍රහයාගෙන් නිකුත්වන ඒවා බව තාරකා විද්‍යාඥ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේ දවස් වල පෘතුවිය හා සමීපව බ්‍රහස්පති ග්‍රහයා ගමන් කරනවාලු. ඒත් මේ අතරේ හඳුනා නොගත් ආලෝක ධාරාවන් ද පවතින බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව වැඩි දුරටත් සොයා බලනවලු.

කොහොමින් කොහොම හරි මේ අද්භූත එළි නම් මම තාම දැක්කේ නෑ. ළඟදීම දකින්ට ලැබුනොත් අගනේය කියල හිතෙනවා. ඒත් මට එක දෙයක් හිතාගන්න පුළුවන්. මේ එළි ඇත්තටම මොනවද කියාලා අපිට ළඟදීම දැන ගන්න පුළුවන් වේවි.


Sunday, November 11, 2012

මිනිසා සහ රැවුල



 රැවුල කියන්නේ මොකද්ද කියල කාගෙන්වත් අහන්න ඕන නෑනේ. හැමෝම ඕක ගැන දන්නවනේ. ඉතින් කවුරුත් දන්නා මේ රැවුල ගැන ටිකක් කතාකරන්න හිතුනා. තමන්ට හිතෙන දෙයක් පලකරන්න බ්ලොග් කරුවෙකුට අයිතියක් තියෙනවා නොවැ. පිරිමින්ගේ  ගාම්භීරත්වයට හේතු වෙන රැවුල ගැනයි මේ කතිකාවත. කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න.

රැවුලත් ඕනි කැඳත් ඕනි කියල අපේ අය අතරේ කතාවක් තියෙනවා නොවැ. ඔන්න ඉතින් මම දැන් රැවුලයි කැඳයි දෙකම බේරගෙන මේ පොස්ටුව ලියන්නයි යන්නේ.

රැවුල ගැනනම් ගොඩක් දේවල් කතා කරන්න තියෙනව. ඒත් ඉතින් ඔය ඔක්කොම ගැන කතාකර කර ඉන්න දැන් වෙලාවක් නෑ. කාන්තාවන්ට අහිමි වෙච්ච පිරිමින්ට උරුම වෙච්ච වස්තුවක් නොවැ මේක. ඕක අහල කාන්තාවන් තරහ ගන්න ඕන නෑ. මොකද රැවුලයි කැඳයි දෙකම බේරගෙන මේක ලියනවා කියල මම කලින්ම කිව්වා නෙව.

ඔන්න ඔය රැවුල ගැන කට්ටිය හිතන්නේ එක එක විදියට. ගොඩක් අය පොඩි කාලේ ඉඳලම රැවුල වවන්න මාර ගේමක් දෙන්නෙ. කොහොම කොහොම හරි 18ක් වෙන්නත් කලින් යූරියා ටිකක් එහෙම දාලා කට්ටිය ඕක සැරටම වවා ගන්නවනෙ. ඇයි ඉතින් නැතුව කෙල්ලෙක්වත් සෙට් කරගන්න බැහැනේ.  ඔය කාලේ එන රැවුලට කට්ටිය තව එක එක නමුත් දානවා. කිරි රැවුල, දැලි රැවුල, එක එක රැවුල්..... කොහොම හරි ඉතින් හරිම අමාරුවෙන් වවාගත්ත එකනේ. ඔහොම ඉතින් එක එක රැවුල් ස්ටයිල් දාගෙන කට්ටිය එහෙ මෙහෙ යනව. හැබැයි ඉතින් ඊට පස්සෙනම් කැලේ හැදුනු  ලෝකපාළු වැල් වගේ තමයි. ග්‍රමොක්සෝන් ගහලවත් නවත්තගන්නනම් බෑ. 



කොහොමින් කොහොම හරි ඔය රැවුල ගැනත් අපේ අය පර්යේෂණ ගොඩාක් කරල තියෙනව. එකේදී තමයි මෙයාල හොයාගෙන තියෙන්නේ රැවුලට කාන්තා ආකර්ෂණය ඇතිවෙනවා කියල. කොහොම හරි අපේ කොල්ලොනම් ඕක ගැන  මේ විද්‍යාඥයෝ හොයාගන්න කලින් ඉඳන්ම දන්නවා නෙව. ඉතිහාස පොත අරගෙන බැලුවොත් රැවුලක් නැති රජකෙනෙක් නම් හොයාගන්න ටිකක් අමාරු වෙයි. ඒ තරමට මේ රැවුල ඒ කාලෙත් ජනප්‍රිය වෙලා තිබිල තියෙනව නොවැ. එකනේ රජවරුන්ට ඒ කාලේ අන්තඃපුර පවා තිබිල තියෙන්නේ. රැවුලේ බලේ තමා ඉතින්.

මූනේ දැලි ගානවා කියල කතාවකුත් අපි අතරේ තියෙනව නෙව. ඒ කියන්නේ කාට හරි නොහොබිනා වැඩක් කරා කියන එකනෙ. මං හිතන්නේ එහෙම වැඩ කරන්නේ රැවුල නැති අය වෙන්න ඇති. නැත්තන් දැලි ගාන්නේ මොකටද. කොහොම හරි රැවුල නැති අය මූනේ දැලි ගාල හරි තමන්ට රැවුලක් තියෙනව කියල පෙන්නන්ට උත්සහ කරනව. ඒ තරමට රැවුල අදකාලේ ජනප්‍රිය භාණ්ඩයක් නෙව. අද කාලේ ටිකක් ( ටිකක් නෙවෙයි ගොඩක්) කැපිල පෙන්න උත්සාහ කරන උදවිය ඒකට භාවිතා කරන්නේ තමන්ගේ රැවුල. අනේ රැවුලටත් ගිය කලක්!

පිරිමින්ගේ රැවුල වැවෙන්නෙ ඒ අය වැඩිවියට පැමිණීමත් සමග ක්‍රියාත්මක වන හෝර්මෝන නිසා. ටෙස්ටොස්ටෙරෝන් කියන හෝර්මෝනය තමා මේකට ලොකු දායකත්වයක් සපයන්නේ. ඕකට විද්‍යානුකුලව කියන්නේ ද්විතියික ලිංගික ලක්ෂණ පහල වෙනවා කියල නොවැ. කොහොම හරි මොකක් හරි ලක්ෂණයක් පහලවෙලා ඇතිවන රැවුල ගැන පොඩි කතිකාවතක් තමයි කොලේ. රැවුල තියෙන අයයි, නැති අයයි, ඉදිරියට වවන්න ඉන්න අයයි හැමෝම මේක බලනවා ඇතිනේ. ඒ අයට ඉතින් මට කියන්න තියෙන්නේ රැවුලයි කැඳයි දෙකම බේරගෙන අනිත් අයගේ මූනේ දැලි ගාන්නේ නැතිව, තමන්ගේ මූනෙත් දැලි ගා ගන්නේ නැතිව ඉන්න කියල තමයි. අනේ මන්ද ඉතින් අන්තිමට මට රැවුල බේරගන්න පුළුවන් උනත් කැඳ බේරගන්න පුළුවන් උනාද මන්ද. ඔයාලට හිතෙන එකක් කියල යන්න. මම මේ කිව්ව ටික ඔයාලට තේරෙන්නත් පුළුවන්, සමහරවිට නොතේරෙන්නත් පුළුවන්... කොහොමහරි හිතෙන දෙයක් කියල යන්න අමතක කරන්න එපා............