Monday, May 16, 2022

නිතර නිතර ඔබට සෑදෙන හිසරදය ඉරුවාරදය ද? - ඉරුවාරදය (Migraine) ගැන ඔබ දැනගත යුතුම දේ...

ඉරුවාරදය හෙවත් Migraine කියලා කියන්නේ මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙක් පීඩාවට පත්කරන්න සමත් වෙච්ච රෝගී තත්වයක්. නවතම සමීක්ෂණ වාර්ථා වලට අනුව ලෝකයේ විශාල පිරිසක් පීඩා විඳින රෝග අතුරෙන් තුන්වන ස්ථානය මේ ඉරුවාරදයට ලැබිලා තියෙනවා. ඇමරිකාවෙන් විතරක් ආසන්න වශයෙන් රෝගීන් මිලියන 39ක් පමණ වාර්ථා වෙද්දි මුළු ලෝකයේම රෝගීන් බිලියනයක් පමණ ඉරුවාරදයට ගොදුරු වෙලා තියෙනවා. මේ අතරින් බහුතරයක් වයස අවුරුදු 40 සහ ඊට අඩු අය. එයිනුත් බහුතරය කාන්තාවන්. ඉතින් මේ තරම් දරුණු ලෙස පැතිරිලා තියෙන මේ ඉරුවාරදය ගැන ඔබ දැනගත යුත්තේ මොනවද? ඔබත් ඉරුවාරදය නිසා පීඩා විඳින්නෙක්ද? නැතිනම් ඉදිරියේදී හැදෙන්න පුලුවන්ද? එයින් ගැලවෙන්නේ කොහොමද කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මම දැන් හදන්නේ. එහෙනම් දිගටම කියවගෙන යන්න.


ඉරුවාරදය


සාමාන්‍යයෙන් කාගෙන් උනත් හිසරදයක් කවදා හරි හැදිලා තියෙනවද කියලා ඇහුවොත් ඒකට නෑ' කියලා පිළිතුරක් බලාපොරොත්තු වෙන්න නම් බෑ. මොකද ජීවිතේ කවදා හරි දවසක ඕනම කෙනෙක්ට හිසරදයක් හැදිලා තියෙනවා. ඒ නිසා හිසරදයක් කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් අර්ථදැක්වීමක් මෙතන කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ඉරුවාරදයෙ (migraine) ප්‍රධානතම රෝග ලක්ෂණය වෙන්නේ හිසරදය. නමුත් ඒ හිසරදය ඔබට සාමාන්‍ය ජීවිතේ හැදිලා තියෙන හිසරදයට වඩා බොහෝ සෙයින් වෙනස්. මොකද්ද ඒ වෙනස. ඒ ගැන කතා කරන්න නම් අපිට මුලින්ම  ඉරුවාරදයෙ රෝග ලක්ෂණ හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන.  එහෙනම් අපි ඉරුවාරදය හඳුනා ගන්න වැදගත් වන මේ රෝග ලක්ෂණ ගැන දැනුවත් වෙලා ඉමු. 

ඉරුවාරදයේ රෝග ලක්ෂණ මොනවාද?

වෛද්‍යවරුන් ඔබේ හිසරදය ඉරුවාරදයමයි කියා තහවුරු කර ගන්නේ ඊටම අනන්‍ය වූ රෝග ලක්ෂණ වලිනුයි. 

  • ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ හිසරදය. ඉතින් මේ හිසරදය අනෙක් සාමාන්‍ය හිසරද වලට වඩා තරමක් වෙනස් කියලා කලින් කිව්වා මතක ඇති. ඒ වෙනස තමයි මේක බොහෝ දුරට ඔබේ හිසේ එක පැත්තක පමණයි සෑදෙන්නේ. ගොඩක් දරුණු උනොත් මුළු හිසේම සෑදෙන්නත් පුළුවන්. ඒ වගේම මේ හිසරදයත් සමග ඔබට ඔබේ හිස නලියනවා නැත්තම් ගැහෙනවා වගේ හැඟීමක් එනවා. ඒකට කියන්නේ pulsatile and throbbing type headache කියලා. එපමණක් නෙවෙයි, බොහෝ දුරට අදාල හිසේ පැත්තේ තියෙන ඇහෙත් කැක්කුම එන්න ගන්නවා. විශේෂයෙන්ම හිසේ ඉරියව් වෙනස් වෙනවිට කැක්කුමත් වැඩි වෙනවා. මේක ඇත්තටම ඉවසාගෙන ඉන්න අමාරු තරම් කැක්කුමක්. සාමාන්‍යයෙන් මේ හිසරදය පැය 4කටත් වඩා පවතින්න පුළුවන්. නිසි ප්‍රතිකාරයක් නොකලොත් දින 4ක් උනත් තියෙන්න පුළුවන්. 
  • දරාගන්න බැරි හිසේ කැක්කුම විතරක් නම් මදෑ. ඊට අමතරව ඔක්කාරය හා වමනයත් ගොඩක් දෙනෙක්ට එනවා. ගොඩක් දුරට මේක වෙන්නේ දරුණු හිසරදය නිසා. අපේ ආහාර මාර්ගය සහ මොළය දෙක එකට ස්නායු හරහා සම්බන්ධ වෙලා තියෙන්නේ. මොළය හරහා පණිවිඩ ආහාර මාර්ගයටත් ආහාර මාර්ගය හරහා පණිවිඩ මොලයටත් මේ ස්නායු හරහා ගමන් කරනවා. ඉතින් මේ පද්ධතියට ඉරුවාරදය නිසා වෙන බලපෑමෙන් මේ දේවල් වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒකට වග කියන්න ඕන රසායනික සංයෝග බොහොමයක් දැන් හොයාගෙන තියෙන්නේ. නමුත් මං ඒවා මෙතන කතා කරන්න යන්නේ නෑ.
  • Photophobia සහ Phonophobia කියලා කියන්නේ තවත් ප්‍රධාන රෝග ලක්ෂණ දෙකක්. ෆොටෝෆෝබියාව (photophobia) කියලා කියන්නේ ආලෝකයට තියෙන බය, නැත්තම් ආලෝකය දරාගන්න අමාරු එක. ඒ කියන්නේ ඉරුවාරදය හැදිලා තියෙන වෙලාවට ගෙදර රෑට දල්වලා තියෙන ලයිට් දිහා කෙලින් බලන්න අමාරුයි. හිරු එළිය දිහා බලන්න අමාරුයි. හිසරදය වැඩි වෙනවා. ඒ වගේම දෙයක් තමයි ෆෝනෝෆෝබියාව (phonophobia) කියලා කියන්නේ. ඒකෙදි වටපිටාවේ ඇහෙන ශබ්ද දරාගන්න අපහසුවක් එනවා. මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ photophobia සමහර අක්ෂි රෝග වලට වගේම මොළේට විෂබීජ ගියාම හැදෙන meningitis වලදීත් එන්න පුළුවන්.
  • Aura - ඕරාව හෙවත් රැස් මඬල කියලා කියන්නේ ඉරුවාරදයේ තවත් එක් ලක්ෂණයක්. මේ aura කියන දේ ඉරුවාරදය තියෙන කෙනෙක්ට හැදෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒක අනිවාර්ය අංගයක් නෙවෙයි. මෙහිදී වෙන්නේ ඉරුවාරදය හැදෙන්න පැය භාගයකට විතර කලින් ඒ පුද්ගලයාට යම් යම් දේවල් පේන්න පටන් ගන්න එක. උදාහරණයක් විදියට තැන් තැන් වල කළු ලප පේන්න ගන්නවා (blind spots), නැතිනම් ආලෝක කිරණ (flashlight) පේන්න ගන්නවා. සමහරුන්ට ඇස් නොපෙනී යන්නත් පුළුවන්. ඇතැම් විට කුඩා zig-zag හැඩැති වස්තූන් පාවෙනවා පේන්න පුළුවන්. ඇතැමුන්ට මේ කිසිවක් පේන්නේ නැතිව ඇතැම් ශබ්ද ඇසෙන්න, ගඳ සුවඳ දැනෙන්න උනත් පුළුවන්. බොහෝ දෙනෙක්ට මේ කිසිම ඕරාවක් දැනෙන්නේ නෑ. ඉතින් ඒක නිසා ඉරුවාරදය ඕරාව සහිත හා රහිත කියලා කොටස් දෙකකටත් බෙදලා තියෙනවා. 
ඒ සඳහන් කළේ ඉරුවාරදයේ ප්‍රධාන ලක්ෂණ. ඊට අමතරව සමහරුන්ට පූර්ව රෝග ලක්ෂණ (prodrome phase) ඇතිවෙන්න පුලුවන්. එහිදී අධික ලෙස ඈනුම් යෑම, නිතර මුත්‍ර බර සෑදීම, ඇතැම් ආහාර වර්ග වලට අධික ආශාවක් ඇති වීම සහ මළ බද්ධය ඇති වෙන්න පුළුවන්. මේ ලක්ෂණ බොහෝ දුරට ඇති වෙන්නේ ඉරුවාරදය හැදෙන්න පැයකට විතර කලින්. 

දැන් ඔබටත් ඉරුවාරදය තියෙනවාද? නැතිනම් ඔබේ මිතුරාට තියෙනවද කියලා හොයාගන්න පුළුවන් මට්ටමේ දැනුමක් ලැබෙන්න ඇතැයි කියලා හිතනවා. 

ඉරුවාරදය හැදෙන්නේ කොහොමද?

ඉරුවාරදය හැදෙන ආකාරය ගැන විවිධ මත තිබුණත් දැනට විශ්වාස කරන්නේ මොළය හා සම්බන්ධ ස්නායු පද්ධතියේ සිදුවන රසායනික වෙනස් වීම් වලින් හැදෙනවා කියලා. ඒ වගේම ජාන වලත් ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඔබේ පවුලේ කෙනෙක්ට ඉරුවාරදය තිබෙනවා නම් ඔබටත් ඉරුවාරදය හැදෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. 

ලෝකය පුරා සිදු කරන ලද සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා විවිධ සාධක වලට, ඉරුවාරදය හැදෙන කෙනෙක්ට ඒක නැවත නැවතත් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබ ඉරුවාරදය රෝගියෙනම් ඔබ යම් සාධකයකට නිරාවරණය උනොත් ඔබට නැවතත් ඉරුවාරදය හැදෙන්න පුළුවන්. මේ සාධක migraine triggers කියලා හඳුන්වනවා. මොනවද මේ ඉරුවාරදය උත්සන්න කරන්න පුළුවන් සාධක? පහලින් දක්වලා තියෙන්නේ ඉන් කිහිපයක්.

  • විවිධ ආහාර වර්ග නිසා ඉරුවාරදය උත්සන්න වෙනවා කියල රෝගීන් ම කියනවා. චොකලට්, චීස් වගේ ආහාර වලට වගේම කැෆේන් අඩංගු ඕනෑම ආහාරයකට ඉරුවාරදය උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර රසකාරකයක් වන මොනෝ සෝඩියම් ග්ලූටමේට් (MSG) අඩංගු ඕනෑම ආහාරයක් නිසා ඉරුවාරදය උත්සන්න වෙන්න පුළුවන්. 
  • ආහාර ගන්නවා වගේම නොගෙන හිටියත්, ඒ කියන්නේ අධික කුසගින්න ඉරුවාරදය ඇති කරන්න හේතු වෙනවා.
  • මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම නිසාත් මෙය ඇති වන්න පුළුවන්.
  • කාන්තාවන් උපත් පාලනයට ගන්න හෝර්මෝන පෙති නැතහොත් උපත් පාලන පෙති නිසාත් ඉරුවාරදය උත්සන්න වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මීට හේතු වෙලා තියෙන්නේ ඒවායේ තියෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝර්මෝන. විශේෂයෙන්ම ඊස්ට්‍රජන්. මොකද බොහෝ ඉරුවාරදයෙන් පීඩා විඳින කාන්තාවන් පවසන දෙයක් තමයි ඔවුන්ට දරුවන් ලැබීමට සිටින විට ඉරුවාරදය සෑදී නැති බව. ගර්භණී සමයේදී කාන්තාවන්ගේ රුධිරයේ ඊස්ට්‍රජන් මට්ටම ගොඩක් අඩු අගයක පවතින එක මෙයට හේතුවයි.
  • ආතතිය කියලා කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක්ට ඉරුවාරදය ඇති කරන්න සමත් වෙච්ච සාධකයක්. 
  • නිදි වැරීම කියන්නෙත් තවත් එක් සාධකයක්. 
  • විජලනය නැතිනම් dehydration කියලා කියන්නේ ඉරුවාරදය පමණක් නෙවෙයි, ඕනෑම හිසරදයක් උත්සන්න කරන්න පුළුවන් දෙයක්. 
  • මීට අමතරව දේශගුණික වෙනස් වීම්, ඇතැම් ගඳ සුවඳ අඝ්‍රානය කිරීම නිසාත් ඉරුවාරදය උත්සන්න වෙන්න පුළුවන්. 
ඉතින් මෙවැනි ඉරුවාරදය උත්සන්න කරන්න පුළුවන් සාධක (migraine triggers) ගැන යම් අවබෝධයක් ඔබට තියෙනවනම් ඒවායින් වැළකී සිටීමෙන් ඉරුවාරදය යම් තාක් දුරකට පාලනය කරගන්න ඔබට පුළුවන්. 

ඉරුවාරදයට තිබෙන ප්‍රතිකාර මොනවාද?

කලිනුත් කිව්වා වගේ ඉරුවාරදය කියලා කියන්නේ ලෝකය පුරා විශාල පිරිසකගේ දෛනික ජීවිතයේ බොහොමයක් වැඩකටයතු අකර්මණ්‍ය කරන්න සමත් වුන රෝගයක්. ඒ නිසා එයට නිශ්චිත ප්‍රතිකාරයක් අවශ්‍යයි. නමුත් තවමත් එයට ස්ථීර ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. ඇත්තේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සහ නැවතත් ඇති නොවන ලෙස දිගටම ප්‍රතිකාර පවත්වා ගෙන යාමයි. පහත දක්වා තියෙන්නේ එවැනි ප්‍රතිකාර ක්‍රම කිහිපයක්. 

  1. දරුණු හිසරදයට ප්‍රතිකාර කිරීමට වේදනා නාශක භාවිතා කිරීම. මෙහිදී පැරසිටමෝල්, Brufen වැනි ඖෂධ භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව opiod, sumatriptan, dihydroergotamine ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශ මත ලබා ගත හැක. 
  2. ඔක්කාරය සහ වමනයට අදාල ඖෂධ ලබා ගන්න පුළුවන්.
  3. මීට අමතරව නැවත ඉරුවාරදය ඇති නොවීමට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ඇත. Flunarizine, Amitriptyline, Beta blockers සහ Pizotifen මේ අතර ප්‍රමුඛ තැනක් ගන්නවා. මේ ඖෂධ ලබා ගන්න වෛද්‍ය නිර්දේශය අවශ්‍යයි. 
ඒ සඳහන් කරපු ප්‍රතිකාර වලට අමතරව තවත් විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. චීන කටු (acupuncture) කියන්නේ එහෙම එකක්. මෙකෙදි සම හරහා කුඩා කටු ඇතුළු කරනවා. එහිදී බලාපොරොත්තු වෙන්නේ ස්නායු අකර්මණ්‍ය කිරීම. 

Acupuncture



මීට අමතරව භාවනා ක්‍රම, යෝග ව්‍යායාම, ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහ තවත් බොහෝ ප්‍රතිකාර තියෙනවා. 

සැමවිටම ප්‍රතිකාරයට වඩා ඉන් වැළකීම හොඳයි යන්න නූතන වෛද්‍ය විද්‍යාවේ බහුලව භවිතාවන වදනක්. ඉරුවාරදයටත් මෙය ඉතා අදාලයි. මොකද මීට පෙර කතා කරපු ඉරුවාරදය උත්සන්න කරන්න බලපාන සාධක (migraine triggers) හඳුනාගෙන ඒවායෙන් වැළකී සිටියහොත් මේ ප්‍රතිකාර කිසිවක් අවශ්‍ය වෙන්නේ නැත.

ඉතින් ඉරුවාරදය ගැන යම් අවබෝධයක් මේ ලිපිය කියවීමෙන් ලැබෙන්න ඇතැයි කියලා හිතනවා. එය ඔබට පමණක් නොවෙයි, ඔබේ මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට උවත් වටිනා දෙයක් වෙන්න පුළුවන්. මේ ගැන තවත් දැනගැනීමට තියෙනවනම් හරි ඔබේ අදහසක් හරි පහලින් කොමෙන්ටුවක් විදියට දාන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් ලිපියකින් හමුවෙමු. ජයවේවා!


No comments:

Post a Comment