Monday, December 17, 2012

සිත ද එක් කවියකි



         සිත! නම් අරුමයකි. එය ගැන පැවසිය හැකි අරුම පුදුම දෑ ද අපමණකි. එවන් අරුම වූ සිත ගැන, අරුම වූ සිතුවිලි ටිකක් එකතු කිරීමට මගේ සිතට සිතුණි. එය සිතුවිල්ලක්ම නොකොට, ඔබ හමුවේ තැබීමට සිතුවෙමි. ඔබත් මෙය හැකිනම් කටින් නොව සිතින් කියවන්ට.

‘සිත’ යනු කිමෙක්දැයි යමෙක් ඇසුවොත් ඔබෙන්, කිමෙක්ද ඔබ දෙන පිළිතුර. සිත තිබෙනුයේ කොහිදැයි යමෙක් ඇසුවොත් ඔබෙන් කිමෙක්ද ඔබගේ පිළිතුර එයට. අහෝ! නැතිදෝ පිළිතුරක්. සමහරෙකුටනම් ඇත්තේය පිළිතුරක්. උපන් දා සිට මිය යන මොහොත දක්වා ඔබ දන්නේ ඔබට සිතක් ඇති බව පමණි. එය ගැන ටිකක් සිතා බලන්ට ටිකක් හෝ සිතුවාද? ‘එය මට වැඩක් නැත. එයට කාලයක් නොමැත’ යන්න ඔබේ පිළිතුර විය යුතුය. ඇත්තෙන්ම එය ඔබේ පිළිතුර නොවිය යුතුය. සිත නම් පුදුමයකි. එහි ශක්තියද අපමණකි. ඒ මහත් ශක්තිය ඔබ අප කිසිවෙක් භාවිතා නොකිරීම දුකකි. විටින් විට ඔබෙ සිතට ගලා එන සිතුවිලි ගැන, ඔබ සිතනුයේ කිමද. සැමෝටම එක ලෙසට සිතුවිලි පහල නොවේ එලෙසට. කවි ලියන්ට හැමෝටම බැරුවා  සේය. එහෙත් විවිධ වූ සිතුවිලි විවිධ වූ ලෙසකට, විවිධ පුද්ගලයන්ගේ සිතට ගලා ඒ නිමක් නැතුව. ඒ සිතුවිලි එක්කොට ඔබේ උසටත් වැඩිය පොත් ගොඩක් ලිවිය හැකි බව ඔබ දන්නවද? වරද නම් ඔබ ඔබේ සිතට සවන් නොදීම ය. මෙයට හේතු බොහෝ ඇත. එකක්නම් මෙයට, ඔබට කාලයක් නොමැත. වර්ථමානයේ තිබෙන තරඟකාරී ලොවේ තරඟයට අප හසුව ඇත. දෙවැන්න නම් ඔබ, හරිම කම්මැලිය. එය හදා ගත යුත්තේ ඔබමය. කම්මැලිකම ඇති වන හැටිද මේ ගමනේම කියාලන්නෙමි. එය ඇති වන්නේ මෙලෙසිනි, ඔබ ඔබේ සිතට සවන් දීමට අකමැතිය. එවිට මේ කිසිත් අදහසක් ඔබේ සිතට නොනැගේ. එවිට ඔබ නින්දට හරිම කැමතිය. එවිට මෙලෝ වැඩක් නැති ඔබේ සිතද ගොරව ගොරවා නිදා ගනී. කම්මැලිකම ඇතිවන්නේ එලෙසිනි.



ඇත්තෙන්ම සිත නම් කවියකි. අප ඒ කවිය ලියන කිවිඳියෝ වෙමු. යමෙකුට කවි සිතුවිලි පහළ කරන්නේ සිතම ය. සිත යනු කිමෙක්දැයි සොයා බලමු. මට ඉස් ඉස්සෙල්ලාම මතක් උනේ ධම්ම පදයේ චිත්ත වග්ගයට අයත් ගාථාවක්.

දුරඞගමං ඒක චරං                                                    
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා

මොකද්ද මේ ගාථාවෙන් කියවෙන්නේ.... එය ඉතාමත් සරල වූ අදහසකි. දුරගමන් යන තනිව හැසිරෙන දෙයක් ගැන යම් දෙයක් ගැන මේ ගාථාවෙන් කියයි. “දුරඞගමං ඒක චරං” යනු එයයි. ඇත්තෙන්ම මේ කියන්නේ සිත ගැන නොවේද. අප වැනි පෘතක්ජන මිනිසුනට සිත පාලනය කර ගත නොහැක. එනම් සිත එක අරමුණක තබා ගැනීම ඉතාමත්ම අපහසුය. එය ශරීරය නම් වූ ගුහාවේ වාසය කරන ශරීරයක් නැති දෙයකි. “අසරීරං ගුහාසයං” යනු එයයි.  ඇත්තටම සිතට ශරීරයක් නැත එනම් එයට පඨවි ධාතුව නැත. එබැවින් මිනිසෙකුගේ ශරීරය කපා සිත කොහේදැයි සෙවීමට නොහැක. නූතන විද්‍යාවෙන් වත් මෙයට පිළිතුරක් නැත්තේය. එහෙත් මේ සිත පාලනය කළ හැකි ක්‍රම තිබේ. “යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති” යන පදයෙන් කියවෙන්නේ ඒ ගැනයි. සමථ හා විදර්ශනා භාවනා වැඩීමෙන් යමෙකුට සිත දියුණු කළ හැක. එවිට ඔහු සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා උසස් අයෙක් වේ. විදර්ශනා භාවනාව වැඩීමෙන් වැඩි දුරටත් සිත දියුණු කළ පුද්ගලයෙකුට අරහත් ඵලයට පත් වීමට පුළුවන. එනම් නැවත භවයක ඉපදීම නැවතිය හැක. එනම් ඔහු මාර බන්ධනයෙන් මිදේ. “මොක්ඛන්ති මාර බන්ධනා” යනු එයයි. ඒ අනුව නැවත භවයක අපට ඉපදීමට හේතු වන්නේද සිතම බව ඔබට වැටහෙන්නට ඇත. මාගේ මේ වෑයම ඔබට ධර්මය කියාදීම නොව, සිත ගැන යම් වැටහුමක් ලබා දීමය. 

සිත නොහොත් හිත අපි සිතනවාට වඩා අරුම වූ ශක්තියක් ගැබ් වූ අසිරිමත් දෙයකි. යමෙක් හොඳ මිනිසෙකු කරන්නේද, තවත් අයෙක් නරක මිනිසෙකු කරන්නේද සිතම ය. නුතන විද්‍යාඥයෝ පවා මේ ගැන පර්යේෂණ කරමින් සිටිති. සිත නම් අභෞතිකය. එනම් අපට එය දැකිය නොහැක. අපට එය ඇල්ලිය නොහැක. නමුත් අපට එය විඳිය හැක. එයයි සිතෙහි ඇති අරුමය. සිතේ කොටස් දෙකක් ගැන කතා කිරීමට හැක. මේ කොටස් දෙකනම් කවුරුත් දන්නා උඩු සිත හා යටි සිතය. ඒ දෙක අතර සම්බන්ධක පාලමක් ලෙස අතරමැදි සිතක් ද ඇති බව කියන්නෝද සිටිති. එහෙත් මේ කිසිවෙක් ඇත්තටම සිත දැක නොමැත. මන්ද, සිත නම් අභෞතික බැවිනි. උඩු සිත හා යටි සිත ගැන කතා කරමු. ඔබ අප සැවොම 99% ක්ම භාවිතා කරනුයේ උඩු සිතය. යටි සිත යොදා ගන්නෙම නැති තරම්ය. එදිනෙදා ජීවිතේ අපව පාලනය කරනුයේ මේ උඩු සිත මගිනි. එය තාවකාලිකය. සදහටම නොපවතින්නකි. එබැවින් එහි වටිනාකමක් නැත. මන්ද සැවොම භාවිතා කරන්නේ මේ උඩු සිත බැවිනි. මිනිසාගේ ක්ෂණික ආවේගයට වග කිව යුත්තා මේ උඩු සිතය. අප හොඳට හෝ නරක යොමු කරන්නේ මොහුය. යටි සිත එසේ නැත. එය උඩු සිතට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය. එය ස්ථීර ය. දුර්වල නැත. යටි සිතෙන් ප්‍රයෝජන ගන්නෝ ඉතා දුලභය. අපේ යටි සිත පවතින්නේ මර නින්දේය. මන්ද අප එය භාවිතා නොකරන බැවිනි. යටි සිත සැමවිටම අපට උපකාර කිරීමට ඉදිරිපත් වේ. එයින් නියම ප්‍රයෝජන ගැනීමට අප දැනගත යුතුය. යම් දෙයක් අපට දීර්ඝ කාලීනව මතකයේ තිබෙන්නේ යටි හිතේ පිහිටෙනි. ඔබට ඔබේ නම ඔබ බහ තෝරන අවධියේ සිට අද දක්වාම අමතක නොවී පවතින්නේ ඇයි කියා ඔබ නිකමටවත් සිතුවාද. ඔබ දැන හෝ නොදැන ඔබේ යටි සිත ඔබට උපකාර කර ඇත. 

සිත තිබෙන්නේ කොහිද. සිත ශරීරය නම් වූ ගුහාවේ තිබෙන බව කලින් පැවසූවා මතක ඇති. එහෙත් එය ඇත්තටම තිබෙන්නේ කොහිද. ඇත්තටම එයට නිවැරදි පිළිතුරක් දිය නොහැක. සිත මුළු ශරීරය පුරාම පවතින බව ඇතැමුන් පවසති. ඔබට කෙටි කාලීන මතකය හා දිගු කාලීන මතකය ලෙස මතකයේ ආකාර දෙකක් පවතින බව ඔබ දන්නවාද? ඔබ එය දැනගෙන සිටිය යුතුය. යම් දෙයක් බොහෝ කාලයක් මතකයේ තිබීමටනම් එය දිගුකාලීන මතකයේ තැන්පත් විය යුතුය. කෙටි කාලීන මතකයේ තැන්පත් වූ යමක් බොහෝ කෙටි කාලයකින් අමතක වී යයි. මේ කෙටි කාලය පැය කිහිපයක් හෝ මිනිත්තු කිහිපයක් විය හැක. පාඩම් කරන දේ ඉක්මනින්ම අමතක වන බව බොහෝ සිසු සිසුවියන් පවසන කරුණක්. එයට හේතුව නම් ඔවුන් පාඩම් කරන කරුණු තැන්පත් වන්නේ කෙටි කාලීන මතකයේ වීමයි. එවිට ඒවා ඉක්මනින් අමතක වී යයි. එය දිගු කාලීන මතකයේ තැන්පත් කරවිය හැකිනම් ඔබට එය ලෙහෙසියෙන් අමතක නොවනු ඇත. ඇත්තටම සිත යනු කුමක්දැයි මෙන්න මෙතැනින් සොයා ගත හැක. සිත යනු, අපගේ මතකය කියවනය යි. එයට අපගේ කෙටි කාලීන මතකය හා දිගු කාලීන මතකය හොඳින් කියවිය හැක. උඩු සිත මගින් කෙටි කාලීන මතකය කියවන අතරම, යටි සිත ක්‍රමානුකූලව දිගු කාලීන මතකය කියවයි. අපේ මතකය ඇත්තේ අපගේ මොලය හා සම්භන්ධ වී ය. මතකය මොලයේ ඇති විශේෂිත ස්නායු සෛල වලින් සැකසී ඇත. එය ස්තර වශයෙන් පිහිටයි. අප මතකයට එකතු කරන කරුණු මේ ස්තර වල පිලිවෙලින් තැන්පත් වේ. එයයි අපේ සිරුරේ අරුමය! මේ අනුව අපේ සිත ද මොලය හා අනුබද්ධව පැවතිය යුතුය.



සිත දුර ගමන් යනවා යැයි කලින් පැවසූවා ඔබට මතක ඇති. එය වන්නේ මෙසේයි. ඔබේ ස්ථීර හෙවත් දිගු කාලීන මතකයේ ස්තර දිගේ ඔබේ සිත හෙවත් “මතක කියවනය” ඇදී යයි. එවිට ඔබ ඉදිරියේ ඒ සියල්ල දර්ශනය වේ. හරියට ඔබ එම ස්ථානයේ හිඳිනවා වැනි හැගීමක් ඔබට දැනේ. ඔබට දර්ශන පෙළක් දැක බලා ගැනීමට හැකි වේවි. මේ සියල්ල ඔබේ සිතේ හාස්කම් ය. වීඩියෝ සීඩී එකක ගබඩා කරලා තියෙන දත්ත ඔබේ වීසීඩී ප්ලේයරයෙන්, හෝ පරිගණකයේ සීඩී/ඩීවීඩී රොම් එකෙන් කියවනවා වගේ. පොඩ්ඩක් මේ ගැන ටිකක් හිතල බලන්ට.

 මේවා මගේ අදහස්. මනෝ විද්‍යාව ගැන ඔයාලගේ දැනුම ගැන කියන්ට මම දන්නේ නෑ. ඒත් මම හිතන්නේ මේ කරුණු ඩිංග හැමෝටම තේරෙනවා. මේකත් පුංචි ආරම්භයක් විතරයි. මනෝ විද්‍යාව කියන්නේ මම හරිම ආස කරන පැත්තක්. මම ගොඩක් දේවල් මනස ගැන, මානව විද්‍යාව ගැන හොයන්න ආසයි. ඉදිරියට තවත් මේ ගැන අදහස් ටිකක් බලාපොරොත්තු වෙන්ට. එතකං මේ ගැන ඔබේ අදහස් ටිකකුත් පහලින් කියල යන්ට අමතක කරන්නට එපා.

ප.ලි: අපි ඉදිරිපත් කරපු 2011 උසස්පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය ඔබ තාම කියෙව්වේ නැත්තන් මෙතනින් ගන්ට

4 comments:

  1. බොහෝම වැදගත් ලිපියක්...ඔබගේ ධනත්මක චින්තනය මම අගය කරමි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි෴

      Delete
  2. එල,එත එක පාරටම මොකෝ බං ඔය වගේ වෙනත් අදහස් ඔලුවට ආවේ..

    ReplyDelete
    Replies
    1. එක පාරටම නෙවෙයි..

      Delete

ඔබේ අදහසත් කියල ම යන්න..
මොකුත් කිව්වේ නෑ කියල තරහා නෑ හොඳේ.........

Related Posts Plugin for WordPress, Blogger...