ඉරුවාරදය හෙවත් Migraine කියලා කියන්නේ මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙක් පීඩාවට පත්කරන්න සමත් වෙච්ච රෝගී තත්වයක්. නවතම සමීක්ෂණ වාර්ථා වලට අනුව ලෝකයේ විශාල පිරිසක් පීඩා විඳින රෝග අතුරෙන් තුන්වන ස්ථානය මේ ඉරුවාරදයට ලැබිලා තියෙනවා. ඇමරිකාවෙන් විතරක් ආසන්න වශයෙන් රෝගීන් මිලියන 39ක් පමණ වාර්ථා වෙද්දි මුළු ලෝකයේම රෝගීන් බිලියනයක් පමණ ඉරුවාරදයට ගොදුරු වෙලා තියෙනවා. මේ අතරින් බහුතරයක් වයස අවුරුදු 40 සහ ඊට අඩු අය. එයිනුත් බහුතරය කාන්තාවන්. ඉතින් මේ තරම් දරුණු ලෙස පැතිරිලා තියෙන මේ ඉරුවාරදය ගැන ඔබ දැනගත යුත්තේ මොනවද? ඔබත් ඉරුවාරදය නිසා පීඩා විඳින්නෙක්ද? නැතිනම් ඉදිරියේදී හැදෙන්න පුලුවන්ද? එයින් ගැලවෙන්නේ කොහොමද කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මම දැන් හදන්නේ. එහෙනම් දිගටම කියවගෙන යන්න.
සාමාන්‍යයෙන් කාගෙන් උනත් හිසරදයක් කවදා හරි හැදිලා තියෙනවද කියලා ඇහුවොත් ඒකට නෑ' කියලා පිළිතුරක් බලාපොරොත්තු වෙන්න නම් බෑ. මොකද ජීවිතේ කවදා හරි දවසක ඕනම කෙනෙක්ට හිසරදයක් හැදිලා තියෙනවා. ඒ නිසා හිසරදයක් කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් අර්ථදැක්වීමක් මෙතන කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ඉරුවාරදයෙ (migraine) ප්‍රධානතම රෝග ලක්ෂණය වෙන්නේ හිසරදය. නමුත් ඒ හිසරදය ඔබට සාමාන්‍ය ජීවිතේ හැදිලා තියෙන හිසරදයට වඩා බොහෝ සෙයින් වෙනස්. මොකද්ද ඒ වෙනස. ඒ ගැන කතා කරන්න නම් අපිට මුලින්ම ඉරුවාරදයෙ රෝග ලක්ෂණ හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් අපි ඉරුවාරදය හඳුනා ගන්න වැදගත් වන මේ රෝග ලක්ෂණ ගැන දැනුවත් වෙලා ඉමු.
ඉරුවාරදයේ රෝග ලක්ෂණ මොනවාද?
- ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ හිසරදය. ඉතින් මේ හිසරදය අනෙක් සාමාන්‍ය හිසරද වලට වඩා තරමක් වෙනස් කියලා කලින් කිව්වා මතක ඇති. ඒ වෙනස තමයි මේක බොහෝ දුරට ඔබේ හිසේ එක පැත්තක පමණයි සෑදෙන්නේ. ගොඩක් දරුණු උනොත් මුළු හිසේම සෑදෙන්නත් පුළුවන්. ඒ වගේම මේ හිසරදයත් සමග ඔබට ඔබේ හිස නලියනවා නැත්තම් ගැහෙනවා වගේ හැඟීමක් එනවා. ඒකට කියන්නේ pulsatile and throbbing type headache කියලා. එපමණක් නෙවෙයි, බොහෝ දුරට අදාල හිසේ පැත්තේ තියෙන ඇහෙත් කැක්කුම එන්න ගන්නවා. විශේෂයෙන්ම හිසේ ඉරියව් වෙනස් වෙනවිට කැක්කුමත් වැඩි වෙනවා. මේක ඇත්තටම ඉවසාගෙන ඉන්න අමාරු තරම් කැක්කුමක්. සාමාන්‍යයෙන් මේ හිසරදය පැය 4කටත් වඩා පවතින්න පුළුවන්. නිසි ප්‍රතිකාරයක් නොකලොත් දින 4ක් උනත් තියෙන්න පුළුවන්.
- දරාගන්න බැරි හිසේ කැක්කුම විතරක් නම් මදෑ. ඊට අමතරව ඔක්කාරය හා වමනයත් ගොඩක් දෙනෙක්ට එනවා. ගොඩක් දුරට මේක වෙන්නේ දරුණු හිසරදය නිසා. අපේ ආහාර මාර්ගය සහ මොළය දෙක එකට ස්නායු හරහා සම්බන්ධ වෙලා තියෙන්නේ. මොළය හරහා පණිවිඩ ආහාර මාර්ගයටත් ආහාර මාර්ගය හරහා පණිවිඩ මොලයටත් මේ ස්නායු හරහා ගමන් කරනවා. ඉතින් මේ පද්ධතියට ඉරුවාරදය නිසා වෙන බලපෑමෙන් මේ දේවල් වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒකට වග කියන්න ඕන රසායනික සංයෝග බොහොමයක් දැන් හොයාගෙන තියෙන්නේ. නමුත් මං ඒවා මෙතන කතා කරන්න යන්නේ නෑ.
- Photophobia සහ Phonophobia කියලා කියන්නේ තවත් ප්‍රධාන රෝග ලක්ෂණ දෙකක්. ෆොටෝෆෝබියාව (photophobia) කියලා කියන්නේ ආලෝකයට තියෙන බය, නැත්තම් ආලෝකය දරාගන්න අමාරු එක. ඒ කියන්නේ ඉරුවාරදය හැදිලා තියෙන වෙලාවට ගෙදර රෑට දල්වලා තියෙන ලයිට් දිහා කෙලින් බලන්න අමාරුයි. හිරු එළිය දිහා බලන්න අමාරුයි. හිසරදය වැඩි වෙනවා. ඒ වගේම දෙයක් තමයි ෆෝනෝෆෝබියාව (phonophobia) කියලා කියන්නේ. ඒකෙදි වටපිටාවේ ඇහෙන ශබ්ද දරාගන්න අපහසුවක් එනවා. මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ photophobia සමහර අක්ෂි රෝග වලට වගේම මොළේට විෂබීජ ගියාම හැදෙන meningitis වලදීත් එන්න පුළුවන්.
- Aura - ඕරාව හෙවත් රැස් මඬල කියලා කියන්නේ ඉරුවාරදයේ තවත් එක් ලක්ෂණයක්. මේ aura කියන දේ ඉරුවාරදය තියෙන කෙනෙක්ට හැදෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒක අනිවාර්ය අංගයක් නෙවෙයි. මෙහිදී වෙන්නේ ඉරුවාරදය හැදෙන්න පැය භාගයකට විතර කලින් ඒ පුද්ගලයාට යම් යම් දේවල් පේන්න පටන් ගන්න එක. උදාහරණයක් විදියට තැන් තැන් වල කළු ලප පේන්න ගන්නවා (blind spots), නැතිනම් ආලෝක කිරණ (flashlight) පේන්න ගන්නවා. සමහරුන්ට ඇස් නොපෙනී යන්නත් පුළුවන්. ඇතැම් විට කුඩා zig-zag හැඩැති වස්තූන් පාවෙනවා පේන්න පුළුවන්. ඇතැමුන්ට මේ කිසිවක් පේන්නේ නැතිව ඇතැම් ශබ්ද ඇසෙන්න, ගඳ සුවඳ දැනෙන්න උනත් පුළුවන්. බොහෝ දෙනෙක්ට මේ කිසිම ඕරාවක් දැනෙන්නේ නෑ. ඉතින් ඒක නිසා ඉරුවාරදය ඕරාව සහිත හා රහිත කියලා කොටස් දෙකකටත් බෙදලා තියෙනවා.
ඉරුවාරදය හැදෙන්නේ කොහොමද?
- විවිධ ආහාර වර්ග නිසා ඉරුවාරදය උත්සන්න වෙනවා කියල රෝගීන් ම කියනවා. චොකලට්, චීස් වගේ ආහාර වලට වගේම කැෆේන් අඩංගු ඕනෑම ආහාරයකට ඉරුවාරදය උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර රසකාරකයක් වන මොනෝ සෝඩියම් ග්ලූටමේට් (MSG) අඩංගු ඕනෑම ආහාරයක් නිසා ඉරුවාරදය උත්සන්න වෙන්න පුළුවන්.
- ආහාර ගන්නවා වගේම නොගෙන හිටියත්, ඒ කියන්නේ අධික කුසගින්න ඉරුවාරදය ඇති කරන්න හේතු වෙනවා.
- මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම නිසාත් මෙය ඇති වන්න පුළුවන්.
- කාන්තාවන් උපත් පාලනයට ගන්න හෝර්මෝන පෙති නැතහොත් උපත් පාලන පෙති නිසාත් ඉරුවාරදය උත්සන්න වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මීට හේතු වෙලා තියෙන්නේ ඒවායේ තියෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝර්මෝන. විශේෂයෙන්ම ඊස්ට්‍රජන්. මොකද බොහෝ ඉරුවාරදයෙන් පීඩා විඳින කාන්තාවන් පවසන දෙයක් තමයි ඔවුන්ට දරුවන් ලැබීමට සිටින විට ඉරුවාරදය සෑදී නැති බව. ගර්භණී සමයේදී කාන්තාවන්ගේ රුධිරයේ ඊස්ට්‍රජන් මට්ටම ගොඩක් අඩු අගයක පවතින එක මෙයට හේතුවයි.
- ආතතිය කියලා කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක්ට ඉරුවාරදය ඇති කරන්න සමත් වෙච්ච සාධකයක්.
- නිදි වැරීම කියන්නෙත් තවත් එක් සාධකයක්.
- විජලනය නැතිනම් dehydration කියලා කියන්නේ ඉරුවාරදය පමණක් නෙවෙයි, ඕනෑම හිසරදයක් උත්සන්න කරන්න පුළුවන් දෙයක්.
- මීට අමතරව දේශගුණික වෙනස් වීම්, ඇතැම් ගඳ සුවඳ අඝ්‍රානය කිරීම නිසාත් ඉරුවාරදය උත්සන්න වෙන්න පුළුවන්.
ඉරුවාරදයට තිබෙන ප්‍රතිකාර මොනවාද?
- දරුණු හිසරදයට ප්‍රතිකාර කිරීමට වේදනා නාශක භාවිතා කිරීම. මෙහිදී පැරසිටමෝල්, Brufen වැනි ඖෂධ භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව opiod, sumatriptan, dihydroergotamine ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශ මත ලබා ගත හැක.
- ඔක්කාරය සහ වමනයට අදාල ඖෂධ ලබා ගන්න පුළුවන්.
- මීට අමතරව නැවත ඉරුවාරදය ඇති නොවීමට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ඇත. Flunarizine, Amitriptyline, Beta blockers සහ Pizotifen මේ අතර ප්‍රමුඛ තැනක් ගන්නවා. මේ ඖෂධ ලබා ගන්න වෛද්‍ය නිර්දේශය අවශ්‍යයි.