Friday, September 13, 2013

..෴ හක්ක පටස් ෴..

      හීන් බණ්ඩාර යනු ගමේ සිටි කවුරුත් හඳුනන, ප්‍රසිද්ධ චරිතයකි. නමින් හීන් බණ්ඩාර වුවද ඔහුගේ ශරීරයේ හීන්දෑරි පෙනුමක් නම් ගෑවී වත් තිබුනේ නැත. හැඩි දැඩි අඟ පසඟ සහ මුහුණ පුරා වැවී තිබුණු දැලි රැවුලෙන් පෙන්නුම් කළේ දුටු ගැමුණු රජ දවස සිටි දස මහා යෝධයෙකුගේ ලක්ෂණ යැයි නොසිතූ කෙනෙක් එම ගමේ සිටින්නට ඇතැයි සිතිය නොහැක. ගමේ කා අතරත් ඔහු ජනප්‍රිය වී තිබුනේ හීන් බණ්ඩා යන නමිනි. ඔහුගෙන් උපකාර පතා පැමිණි ගැමියන් ඔහුව ඇමතුවේ බණ්ඩයියා යනුවෙනි. එය තරමක් ගරු කටයුතු නමක් නිසා විය යුතුය. එසේ කියන්නේ ඔහුටත් වඩා වැඩිමහල් ගැමියන් ද ඇමතුවේ එසේ බැවිනි.

     සිංහරාජ මහ වනය මායිමේ පිහිටි මේ ගමේ ජීවත් වූයේ පවුල් කිහිපයක් පමණි. එය සම්පූර්ණයෙන්ම වාගේ බාහිර ලෝකයෙන් වෙන් වූ නිසංසල ගමකි. රුදුරු වන සතුන් බහුල මහ වනයත් සමග නිරන්තර සටන් කර තම ජීවන සටන ගෙන යාමට එම ගමේ මිනිසුන්ට සිදු විය. මේ කතාවේ කතා නායකයා වන හීන් බණ්ඩාර යනු වනාන්තරය හා බද්ධ වූ ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. ඔහු කුඩා කල සිටම හැදුණේ වැඩුනේ තනිවම ය. ඔහු විවාහ ජීවිතයක් ගත කළේ ද නැත. හීන් බණ්ඩාරගේ පියා කුඩා කලදීම ඔවුන් අතහැර ගොස් ඇත. ඔහු යන්තම් බහ තෝරන කාලය වන විට මව ද අකාලයේ මිය ගියා ය. එතැන් පටන් හීන් බණ්ඩා ට තමන් වෙනුවෙන් සිටියේ තමන් ම පමණි.

     හීන් බණ්ඩා යනු කිසිසේත්ම උපාසක චරිතයක් නම් නොවේ. රාත්‍රී කාලයේ වනාන්තරය දෙසින් ඇසෙන වෙඩි ශබ්ද ගැමියන්ට එතරම් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එවන් දිනක පසුදා උදෑසන හීන් බණ්ඩාගේ නිවස ඉදිරිපිට දිගු පෝලිම් දැකිය හැක්කේ ගංවතුරෙන් අවතැන් වූවන් සහනාධාර බලාපොරොත්තුවෙන් සිටින්නා මෙනි. සතෙකු දෙන්නෙකු මරා මස් කරගෙන නගරයට යන හීන් බණ්ඩා කළු කඩ කාරයෙකුට මස් ටික විකුණා යම් මුදලක් උපයා ගනී. දඩයම් කිරීම අතින් නම් හීන් බණ්ඩා යනු අති විශිෂ්ටයෙකි. මහ වනේ ගැන ඔහු දන්නා තරම් වනේ වන සතෙකුවත් දන්නවාදැයි සැක සහිත ය. ඒ හැකියාව ඔහුට ලැබුනේ කුඩා කළ සිටම මහ වනේ කරක් ගසා ලත් අත්දැකීම් නිසාවෙනි. නිරන්තර සතුන් ගැවසෙන තැන්වල හීන් බණ්ඩාගේ ගිනි බටයක් නම් වරදින්නේ නැත. වල් ඌරෙකුට, ඕලු මුවෙකුට තබා මී මින්නෙකුටවත් නිදහසේ වනයේ ඇවිදීමට හීන් බණ්ඩාගෙන් ඉඩක් නැත. ඇරත් හීන් බණ්ඩාට නොදන්වා වනයට රිංගීමට ගැමියෙකුටවත් නුපුළුවන. එසේ නොකියා ගියේ නම් ඔහුටත් සිදු වන්නේ ඌරන්ට ඇටවූ මරු වැලකට හසු වී ඌරන් ගිය ලෝකෙට ම යන්නට ය.



     දිනක් හැන්දෑ යාමයේ හීන් බණ්ඩා මහ මූකලාන දෙසට ඇදුනේ හක්ක පටස් කිහිපයක් ද අතින් ගෙන ය. හක්ක පටස් සෑදීම ට හීන් බණ්ඩා උපන් හපනෙකි. බොහෝ දෙනා හක්ක පටස් හදනුයේ "චීන පටස්" නම් ගිනි කෙළි වර්ගයෙනි. නමුත් හීන් බණ්ඩා එම කිසිවක් යොදා නොගෙන තනිවම හක්ක පටස් සාදයි. ඔහු යොදා ගන්නේ තිරිවානා ගල් කැබලි තුනක් සහ වෙඩි බෙහෙත් ටිකකි. ඒවා නිවැරදිව සම්භන්ධ කොට හොඳින් ආවරණය කර පිටින් මෝර කරවල කැබැල්ලක් හෝ බොම්බිලි කරවල කැබැල්ලක් ගැට ගසයි. බොම්බිලි කරවල කෑල්ලේ ගඳ ඌරන්ට හැතැප්ම ගණනක් දුරට දැනෙන බව හීන් බණ්ඩා දනී. රසවත් ආහාරයක් යැයි රැවටී මෙම තිරිසන් සතුන් ඒ වෙත ඇදෙන්නේ බඩ කට පුරවා ගන්නට ය. බඩ කෙසේ වෙතත් හක්ක නම් පුරවා ඉස්මොල්ල පැලී මොළ ගෙඩිය එලියට ඒමට ගත වන්නේ නිමේශයක් පමණි. හීන් බණ්ඩාගේ හක්ක පටස් වලට හසු වූයේ මේ අහිංසක වන සිවුපාවුන් පමණක් ම නොවේ. අහල පහල ගෙවල් වල සිටි බල්ලන් ද හක්ක පටස් අනුභව කිරීමට ගොස් දිවි නසා ගෙන සිටිනු අනන්තවත් දැකිය හැක. කෙසේ නමුත් දින කිහිපයක ම සිට හීන් බණ්ඩාගේ තුවක්කු වලටවත් හක්ක පටස් වලට වත් සතුන් හසු නොවීය. පසු වන්නේ දීර්ඝ වියලි කාලගුණයක් බැවින් සතුන් ජලය සොයා වනාන්තරය ඇතුලට යනවා විය හැක.

"ඈ බං බණ්ඩයියේ, මොකෝ මේ ටිකේ වෙලා තියෙන්නෙ. කැලේ හිටපු සත්තු ටික ඔක්කොම ඉවර වෙලැයි?" කැලෑව දෙසට ඇදෙන හීන් බණ්ඩා දුටු ගැමියෙක් ඇසීය.

"එහෙමත් ඉවර වෙනවද බං සුගතෝ ... මේ මහ කැලේ ඉන්න සත්තු ටික. උනුත් අපි වාගේම තමා. දරු මල්ලෝ හදනවා.." හීන්බණ්ඩා පිළිතුරු දුන්නේ ය. "මේ පෑවිල්ලේ සත්තු අල්ලගන්න අමාරුයි බං. උනුත් කුලප්පු වෙලා ඉන්නේ අපි වගේ.. අදවත් බලන්ට ඕන මොකක් හරි කරන්න" එසේ කියමින් හීන් බණ්ඩා මහ වනය තුලට ඇදී නොපෙනී ගියේ ය.

     තමන් සතුන්ට අවසන් ගමන් සලසා ඇති ස්ථාන හීන් බණ්ඩා හොඳාකාරව ම දනී. ඔහුගේ මෙවර තීරණය වනයේ තරමක් ඇතුලට වන්නට තුවක්කු කඳක් බැඳීම ය. වන සතුන් නිතර යන එන ජලාශයක් වනය මැදට වන්නට තිබෙනු හීන් බණ්ඩාගේ මතකයට නැගුණි. අඩිය ඉක්මන් කළ හීන් බණ්ඩාට එතැනට ඇඳිරි වැටීමට පෙර ලඟා වීමට හැකි විය. දැඩි පෑවුමක් වුවද එම ජලාශයේ වතුර සිඳී ගොස් නොතිබුණි. හක්ක පටස් දෙක තුනක් ඌරන් පැමිණෙතැයි සිතිය හැකි තැන් කිහිපයක තැබූ හීන් බණ්ඩා ආපසු පැමිණියේ තරමක් රෑ බෝ වූ බැවිනි. නමුත් වැඩි දුරක් ඒමට ඔහුට ඉඩ ලැබුනේ නැත. තමා පසු කර ආ ජලාශය දෙසින් විශාල ශබ්දයකින් හක්ක පටස් කරලක් පුපුරා යනු ඔහුට ඇසුණි. "ගම්භාර දෙයියන්ට ඉස්තූති වෙන්ට ඕන.." හීන් බණ්ඩාට ඉබේටම කියැවුණි. දැන් නම් ආපසු හිස් අතින් ගමට යාමේ අදහසක් ඔහු තුල නැත. ඔහු ආපසු හැරුනේ රෑ බෝ වී තිබුනත් තමන්ට ලැබුණු වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටයි. 

     වියලි කාලගුණය නිසා වනයේ ගස් කොලන් මැලවී ගොස් තිබුනේ වියලි කලාපයේ දේශගුණය සිහිපත් කරවමිනි. වනයට ඇතුළු වන කෙනෙකුට මේ සිංහරාජ වනය ම දැයි සැකයක් නැගෙන්නේ නිතැතිනි. ඉඳ හිට නැගෙන රැහැයියන්ගේ හඬ, බස්සෙකුගේ විලාපය හැරුණු විට වනාන්තරය රාත්‍රී කාලයේදී නම් ඉතා නිසංසල ය. රාත්‍රීය එලිය කරන චන්ද්‍රයා අහසේ පෙනෙන්නට නොතිබුණු අතර තිබුනේ තාරකා කිහිපයක ආලෝකය පමණි. අඳුරට හුරු හීන් බණ්ඩාගේ දෑස් වලට මෙය එතරම් නුහුරු අත්දැකීමක් නොවීය. පොකුණ අසලට ගිය හීන් බණ්ඩාට දැක ගත හැකි වූයේ මැරී වැටී සිටින වල් ඌරු නාම්බෙකි. ඔහුට දැනුන සතුට කියා නිම කළ නොහැක. නැවත වරක් මුදල් ටිකක් අතේ ගැවසෙන කාලය ළඟට ම පැමිණ ඇත. හීන් බණ්ඩා උමතු වූවෙකු මෙන් වල් ඌරා කරට ගෙන ගම දෙසට ආවේ සුනංගු වීම එතරම් හොඳ දෙයක් නොවන බැවිනි. ඔහුගේ අදහස වූයේ පසුදා පාන්දර ම ගැමියන් අවදි වීමටත් පෙර නගරයට යාම යි. නැතිනම් මස් වලින් කොටසක් ගමේ උදවියට ද දීමට හීන් බණ්ඩාට සිදු වේ. එබැවින් ගම හරහා නොගොස් වෙනත් පාරකින් නිවසට යාමට ඔහු අදහස් කළේ ය.

     රාත්‍රී කාලයේ තිබූ නිහැඬියාව බිඳිමින් මුළු ගමම දෙවනත් කරගෙන ගිනි කඳක හඬක් ඇසුනේ ගමේ සිට කිලෝමීටරයක් පමණ ඈතිනි. ඒ හඬට නොදෙවෙනිව ඇසුණු තවත් ශබ්දයකින් ගැමියෝ වික්‍ෂිප්ත වී ගියහ. ඒ මිනිසෙකුගේ විලාපයකි. කාට කාටත් මතක් වූයේ හීන් බණ්ඩා ය. නමුත් මේ මහ රෑ වනයට ඇතුළු වීමට කිසිවෙකු තුල ආත්ම ශක්තියක් නොවීය. කෙසේ වුවද අවසානයේ ගැමියෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුහු හඬ ආ දෙසට ගිය විට දුටු දර්ශනයෙන් අන්ද මන්ද වී ගියහ. හීන් බණ්ඩා ලේ විලක් මැද වල් ඌරෙකු ද බදා ගෙන පණ අදිමින් සිටියේ ය. ඔහුගේ කකුලේ උකුල් ඇටයට පහලින් සුනු විසුනු වී ගොස් තිබුණි. අධිකව රුධිරය වහනය වී තිබූ බැවින් ඔහුට වැඩි වේලාවක් ජීවත් වීමේ වාසනාව නොලැබුණි.

     පසු දා ගමේ ප්‍රධාන පුවත හීන් බණ්ඩා ය. 

"මෙච්චර කාලයක් වන සතෙකුට පාඩුවේ ඉන්න නොදීපු එකේ විපාකේ තමා බොල ඔය.. ඕකට තමා කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කරුමේ කියල.. මේ ලෝකෙදීම පල දෙනවා. ඕක වෙන්න තිබුනේ ඔයිට ඉස්සෙල්ල.." එක් ගැමියෙක් එසේ කීවේය. නමුත් ඔහු ද හීන් බණ්ඩා ගෙනා මස් කෑල්ලක රස බලා නැති දැයි සැක සහිතය.


ප.ලි.  ඔන්න ඉන්න ගමන් කතාවක් ලිව්වා..කියවලා බලලා අඩු පාඩු කියන්ට හොඳේ.....

31 comments:

  1. කතාව හොදයි මලේ.. තව ටිකක් හදන්න තිබුනා මොකද වාර්තාමය ගතියක් තමා මට පෙනුනේ..

    මට මතක් උනේම මේක කියවන කොට අර බලෙන්ම තම ඇගිලි සගවන් ඉන්න අපේ චන්දන සුකුමාරව.. මිනිහට අඩෝවැඩියාවක් ගහල දැන් ලියන්නැහැ නෙව..

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.ආරම්භය මතක් කළේ ඩබ්.ඒ.සිල්වා ගේ වෛරෝඩිය කෙටි කතාව. කොහොම වුණත් ඉදිරියට යන්න ජය!

      Delete
    2. @ දේශක යා: බොහොම ස්තූතියි.. අදහස් තමා වටින්නේ.. අඩුපාඩු හදා ගන්න.. :)
      චන්දන අයියනම් මගේ හිතේ මේ දවස් වල මොකක් හරි ලොකු රාජකාරියක මයේ හිතේ.. :D

      Delete
    3. @ දිලිනි: ස්තූතියි ඔබට.. වෛරෝඩිය තමයි මට මතක හැටියට මං කියවපු පලවෙනි කෙටිකතාව.. මගේ මතකේ හරිනම්, ඒ මං ඉස්කෝලේ හතර වසරේ ඉද්දි. අහම්බෙන් වගේ අපේ නැන්දගේ කෙටිකථා පොතක් අහු උනා.. ඕක ඉවර වෙනකම්ම කියෙව්වා... :D

      Delete
    4. වෛරෝඩිය නියම කෙටි කතාව.මන් මේ ලගතිත් කියෙව්වා ආයි..ඒකට හදපු සිංහල ෆිල්ම් එකත් බැලුවා..මරු ඇත්තටම..

      Delete
  2. දිගින් දිගටම ලියපන් CSK !

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. තැන්කු වේවා!!

      Delete
  3. නමුත් ඔහු ද හීන් බණ්ඩා ගෙනා මස් කෑල්ලක රස බලා නැති දැයි සැක සහිතය.

    +++++

    දිගටම ලියන්න මල්ලි . හොඳටම තියෙනවා.. චන්දනගේ කතා මතක් උනා.. ඔයා ඒවත් පොඩ්ඩක් බලන්න.. මේ කතාව බොහොම ලස්සනට තියෙනවා... අන්තිම කොටස තමයි වටිනාම කොටස..

    ReplyDelete
    Replies
    1. චන්දන අයියගේ කතා මම ඔක්කොම කියවල තියෙනවා... ඒවා ලොකු උදව්වක් උනා මේකට..
      හීන් බණ්ඩාට විතරක් ම වරද පටවන්න බැරි හින්දයි එහෙම ලිව්වේ.. :D

      Delete
  4. මෙච්චර කල් මුන්ට හීංබන්ඩ ගේන මස් කන්න හොදයි... දැන් මිනිහ තුවක්කු බටෙන් මැරුනම දුක් වෙනවා..
    ඉරිසියාකාර හැත්ත.. සික් ඉතරක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ..... මිනිස්සුන්ගේ හැටි ඕම තමා,,,, :)

      Delete
  5. මේ වගේ කතාවක් ලියන කොට කතා කරන භාෂාවෙන් ලියන්න. එතකොට දැනෙනවා වැඩියි. ඉස්සර අපිට ආච්ච්ලා කතා කියලා දුන්නා වගේ.. 550 ජාතක පොතේ තියෙන විදියට කිව්වේ නෑ නේ. අනික කතන්දරගෙ කතා වගේ කෙටි කරන්න.. ඒ කියලා මේ පෝස්ට් එකේ රසේ අඩුවක් නෑ..

    අපේ ගම්වලත් ඔය සත්තු මරන උන් නම් දුක් විඳලම තමා මලේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්... ඊළඟ එක ඒම ලියන්නං..
      :)

      Delete
  6. ඉහළින් තියෙන මාතලන්ගෙ කමෙන්ටුවට මමත් එකගයි...මේ වගේ කථාවක් පාඨක අපට ගොඩාක් දැනෙන්නෙ ඒ තුල තියෙන ජීවමය ගුණය ගොඩාක් තීව්ර උනාම...ඒකට පුද්ගලයන් අතර දෙබස් ගොඩාක් ඉවහල් වෙනවා...කථාව කොහෙන් අහලා තිබුනත්..අතින් බණ්ඩි පෝර පාරක් ගහලා මුල් කථාවෙ තිබුන නැති කෑලිත් එකතු කරලා රසවත්ව ඉදිරිපත් කිරීම තමයි වැදගත්...

    මට හිතෙන විදියට හීන් බණ්ඩා ආයෙ මිනිස් ආත්මෙක ආත්ම ගණනාවකට ඉපදෙන එකක් නැතුව ඇති..ඔය හක්ක පටස් වලින් ඒ සත්තු එකවරම මැරෙන්නෙ නැතුව සෑහෙන වෙලාවක් දුක් විදලා මැරෙන බවක් තමයි මම අහලා තියෙන්නෙ....උත්සාහය අගය කරනවා...ඊළග එක තවත් රසවත්ව ලියමු.

    ReplyDelete
    Replies
    1. තැන්කු සිරා අදහස් වලට... අපේ පැති වල ඌරෝ අනන්තවත් මැරෙනවා මේ හක්ක පටස් නිසා.. ඒ මදිවට බල්ලෝ. විඳවනවා කියන්නේ සමහර උන්ගේ හකු ගැලවිලා විසි වෙලා තියෙන්නෙ.. දැකලත් තියෙනව. මේ මිනිස්සු කොහොම කරනවද මංදා මේ වැඩ..

      Delete
  7. කනකොට රස උනාට වැඩේ වැරදුනාට පස්සෙ තමං සුදන වෙන්නයි ගමේ මිනිස්සු හදන්නෙ.

    නියමයි චින්තක, කතාව ලස්සනට ලියල තියෙනව. අඩුපාඩු තියෙන ඒව හදාගෙන ඉදිරියටත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රසන්න අයියා.. ගොඩක් උදවිය ඔහොම තමා කතා කරන්නේ. මෙතෙන්දි විතරක් නෙවෙයි. හැම වැඩකදී ම....

      ස්තූතියි අදහස් වලට! :) :D

      Delete
  8. මමත් අවා මචෝ.
    අර හුගක් අයට වගේ මේක කියවනකොට මටත් මතක් වුනේ චන්දනයාව තමයි.

    (වල් ඌරා කාපු කාලයක් මතක නැහැ බං)...:D

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඔන්න මේ පැත්තට..

      මේ පැත්තෙනම් වල් ඌරෝ ඉන්නවා ඇති වෙන්ට... :D :D

      Delete
  9. සොරි වෙන්න ඕන මට පරක්කු උනාට.මොකද මාත් දැන් උබ වගේම බිසිනේ..
    කතාවනම් එල මචං.ටිකක් දුර කියවන් යනකොට මට හිතුනේ උබ කොහොන් හරි උපුටා ගත්තු එකක් කියලයි..ඒත් පහලින් තිබුනේ උබ ලිව්වා කියලයි..ඒක තව ගොඩක් වටිනවා මට මුලින් අරහෙම හිතුනේ නැත්නම්..මොක උනත් කාලෙකින් හොද කෙටි කතාවක් කියෙව්වා..තැන්ක්යූ සහෝ..අර කට කැඩිච්ච කතාව කිව්ව එකා හීන්බණ්ඩාරගේ මස් කෑවේ නැද්ද කියලනම් මට සැකයි බං...ජය වේ...

    ReplyDelete
    Replies
    1. උපුටා ගෙනත් ලියනවද එහෙම ඈ... එල තැන්කූ..

      //අර කට කැඩිච්ච කතාව කිව්ව එකා හීන්බණ්ඩාරගේ මස් කෑවේ නැද්ද කියලනම් මට සැකයි බං// :D

      Delete
    2. ඔහ් ...එහෙමත් හිතන්න පුළුවන් නේ...අනේ මචෝ සමාවෙයන්...

      Delete
    3. හික් හික් ....

      Delete
  10. කොහොමත් වැඩිපුර මස් කාපු එවුන් තමයි ඉස්සෙල්ලම වැරැද්ද කියන්න එන්නේ, දිගටම ලියපන් ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමා බං තත්වේ..

      තැන්කූ ඈ... g-)

      Delete
  11. අපේ ගමේ Dial එකකටත් ඔහොම වෙලා තියනවා කියල මට ආරන්ච්යි.

    ReplyDelete
  12. එක හුස්මට කියවගෙන යන්න පුළුවන් කතා ගොඩක්ම තියෙන්නේ. අගෙයි චින්තක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සැළලිහිනියෝ........

      Delete

ඔබේ අදහසත් කියල ම යන්න..
මොකුත් කිව්වේ නෑ කියල තරහා නෑ හොඳේ.........

Related Posts Plugin for WordPress, Blogger...