Thursday, July 30, 2015

෴පෞද්ගලීකරණය සහ නිදහස් අධ්‍යාපනය෴

සමාවෙන්න ඕනේ. දැනට මාස පහකට විතර කලින් ඇවිල්ල මෙතන නිකං කෑ ගහල ගියාට.. ආයෙත් ලියනවා කිව්වට මෙලෝ මගුලක් ලිව්වේ නැහැනෙ. 

හ්ම්ම්.... 

මොකද්ද ඉතිං ලියන්නෙ..

වර්තමානයේ ඇතැම් අය හරිහැටි නොදන්න දෙයක්. මේක අද ඊයේ වෙච්චි දෙයක් නෙවෙයි, වසර ගණනක ඉඳන් උඩු දුවන ප්‍රශ්නයක්. දැන් ටිකක් වැඩිපුර කතාවෙන ප්‍රශ්නයක්.

1946 දි කන්නන්ගර මහත්තයා හඳුන්වා දුන්නු නිදහස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න ඉගෙන ගෙන දැන් සමාජයේ ඉහළ තැන් වල ඉන්න අය කොච්චර නම් අපෙ රටේ ඉන්නවද. ඒත් දැන් එන්න එන්න මේ නිදහස් අධ්‍යාපනයටත් කණ කොකා හඬලලා. හැම දෙයක්ම මුදල් මත පදනම් වෙච්චි සමාජයේ අධ්‍යාපනයටත් ඒ සෙතේ ම අයිති වෙන එක අහන්නත් දෙයක්ද.

විශ්ව විද්‍යාල උපාධි වලින් අපේ රටේ මෙතෙක් කාලයක් මුදලට විකිනෙන්නේ නැතුව තිබුනේ වෛද්‍ය උපාධිය විතරයි. ඒත් දැන් ඒකත් හරි අපූරුවට විකිනෙනවා. මීට පෙර රටේ තිබුනේ උසස් පෙළ විභාගයෙන් වැඩිම දක්ෂතා පෙන්වන සිසු සිසුවියන්ට විශ්ව විද්‍යාල වරම් ලැබෙන ක්‍රමයක්. පළමු වර ඇතුලත් වීමට නොහැකි වූ සිසුන්ට නැවත උත්සාහ කර විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව තියෙනවා. නමුත් වර්තමානයේ මේක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මුදල් හදල් හොඳ හැටි තියෙන දෙමාපියන්ගේ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත දරුවන්ට යන්න දැන් පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. ඒත් එදා වේල හරිහැටි හොයා ගන්න බැරි දුප්පත් දෙමාපියන්ගේ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට යා ගන්න බැරුව බොහොම දුක් මහන්සියෙන් පාඩම් කරලා ආයෙමත් උසස් පෙළ කරනවා. සංවර්ධනය කියන්නේ මොකද්ද කියල තාම හරියට දැකලවත් නැති අපේ වගේ රටකට මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ගැලපෙනවද? ඉතිං, කරන්න
ඕන මුලින්ම රටේ දුප්පත් කම නැති කරන එකද නැත්නං නිදහස් අධ්‍යාපනයත් මුදලට විකුණන එකද????





ඉතිං වැඩිය දෙයක් ලියන්න හිතුවේ නෑ..  බ්ලොගේ නිකං පාලුවට යන නිසා තමයි මේකත් ලිව්වේ..

ඒ වගේම මං කැමතියි මේ ගැන ඔබේ අදහසත් කියලම යනවනම් පහල කොමෙන්ටුවකින්...

ආයෙත් දවසක හමු වෙමු..

Saturday, October 19, 2013

කාසි මොට ද තාත්තේ!

     හාත්පස සිසාරා තිබූ ඝන අන්ධකාරය, සෙමින් සෙමින් නැගෙන හිරු කිරණින් පියැවී යන්නට විය. ඒ තවත් එක් දිනයක උදාව යි. උදෑසන නිහැඬියාව බිඳිමින් විටෙක ඇසුණු බල්ලෙකුගේ බිරුම් හඬකින් සලකුණු වූයේ අසල ඇති ගම්මානයකි. සිව් දෙසින් ම පුළුල් කඳු වළල්ලකින් වට වූ මේ කුඩා ගම්මානය උදෑසන නැවුම් වාතයේ පහස විඳිමින් තිබුණි. ඈත සිට බලන්නෙකුට නගරයේ කිසි දා දැකිය නොහැකි ගමේ ගැමි සුන්දරත්වය මොනවට විද්‍යාමාන වනු ඇත. 

" සෝමපාල මල්ලි උදහැනක්ම කොහෙද මේ? " උදෑසන ම අලුතින් කැපූ පස් පාර දිගේ ඉදිරියට ඇදෙන මැදිවියේ පුද්ගලයෙකි.

" ආ කර්ලිනා අක්කේ. මං මේ යනවා ටවුමට ඩිංගක් ගිහින් එන්න.. " 

   සෝමපාල තම ගමන ඉක්මන් කළේ කර්ලිනාට තවත් කිසිවක් කීමට ඉඩකඩ නොතබමිනි.

   අනෙක් ගම් වැසියන්ට මෙන්ම නිවසට උවමනා කරන අඩුම කුඩුම ටික මිලදී ගන්නට හැරුණු විට සෝමපාල ට නගරයට එන්නට තවත් එක් හේතු කාරණාවක් ඇත. නගරයට යන සෑම දිනකම වාගේ ඔහුගේ අත වූයේ ලියුම් කඩදාසියකි. ඒ වෙනත් රටක සේවය කරන තම බිරිඳට ලියූ ලිපියකි. 

   සිය බිරිඳ විදෙස් රටක සේවයට යාමට ගත් තීරණය පිළිබඳව සෝමපාල සිටියේ එතරම් හිත් මනාපයකින් නොවේ. එහෙත් ඉඳහිට ලැබෙන කුලී වැඩකින් වත් ගොවිතැනෙන් වත් තම දරු පවුල නඩත්තු කිරීමට නොහැකි බව හොඳාකාරව ම දත් බැවින් කිසිවක් නොදොඩා පැත්තකට වී සිටින්නට ඔහුට සිදු විය. එදා සිට අද වන තුරු අවුරුදු දෙකක් පමණ සෝමපාලට සිදු වූයේ තම වැඩිමහල් දියණිය සහ කුඩා පුතු සමග පුංචි ගෙපැලක තනි වීමට ය.

   කෙසේ වුවත් ඉන් පසු සෝමපාලලාට මුදල් වලින් නම් එතරම් අඩුවක් නොවීය. ඔහු තම බිරිඳ වැලි කතරේ දුක් විඳ හම්බ කර ගත් මුදල නැති නාස්ති නොකළේ ය. එම මුදල් එකතු කර නිවසක් සෑදූවේ අනාගතය ගැනත් සිතාම ය. 

   " තාත්තේ, අම්මා මේ අවුරුද්දටවත් අපිව බලන්න එයි ද? "

   එය සෝමපාලට නිතර ඇසෙන පැණයකි. එවැනි විටෙක ඔහුට සිදු වූයේ කුමක් හෝ බොරුවක් පවසා දරුවන් සැනසීමට ය. එහෙත් එය සැමදා සිදුකළ හැක්කක් නොවීය.

    අලුත් අවුරුද්ද ළඟ ළඟම එයි. ගමේ කොයි කවුරුත් අලුත් අවුරුද්දට ලක ලැහැස්ති වෙනු දුටු සෝමපාල මෙවර නගරයට යන්නේ තම දරුවන්ට අවුරුද්දට ඇඳුම් ටිකක් ගැනීමට ය. මව ළඟ නැති දරුවන්ට මේ අවුරුදු කිහිපයේ දී පියෙක් මෙන්ම මවක් ද වීමට ඔහුට සිදු විය. උදෑසන ම නගරයට ගිය සෝමපාල නැවත නිවසට පැමිණෙන විට තරමක් දහවල් වී තිබුණි. පොලිතීන් කවර දෙකකින් ඔහුගේ දෑත ම බර වී තිබුණි. ඔහුගේ මුහුණ දෙස බැලූවෙකුට පෙනී යන්නේ දවස පුරා නගරයේ කරක් ගසා හෙම්බත් වූ අයුරකි. 

   තම නිවස ඉදිරිපිට පිරිසක් රැස්ව සිටිනු දුටු සෝමපාලගේ පය තවත් වේගවත් විය. කව්රු කව්රුත් කම්මුලේ අත් ගසාගෙන බලා සිටියේ ඔහුගේ නිවස දෙස ය. 

" අනේ අම්මපා බං, මේ රටට මොන ගිනි විජ්ජුම්බරයක් පාත් වෙන්න යනවද කියල හිතා ගන්න බෑ.. "  ඒ කටහඬ කර්ලිනාගේ ය.

" ඒකනේ මේ මහ ගිනි දවාලේ මෙච්චර දෙයක් වෙන්න තරං.... " ඒ තවත් කටහඬකි.

    සෝමපාල එකවරම කරකවා අතහැරියාක් මෙනි. ඔහුට අගක් මුලක් ගලපා ගැනීමට නොහැකි විය. ඔහු අවසිහියෙන් මෙන් ඇර දමා තිබූ දොරෙන් ඇතුලට රිංගුවේ සිත තුල කැකෑරෙන අසීමත බියකිනි. අවසානයේ දුටු දෙයින් ඔහුගේ පපුව තුල ඇවිලෙමින් තිබූ ගිනිදැල් ක්ෂණයකින් නිවී ගියේය.

" මොකද පුතේ උනේ? " 

" අනේ තාත්තේ! මායි මල්ලියි ................. " සෝමපාලගේ දියණිය සෝමපාල ව බදාගෙන හඬන්නට විය. 

" පොඩි උන් දෙන්නා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල දොර අරිනකොට ගේ ඇතුලේ ඉඳපු මිනිහෙක් කුස්සියේ ජනේලෙකින් පැනල දුවල. බය වෙච්චි පාරට කෑ ගහගෙන ඇවිල්ලා අන්තිමේදී නතර උනේ අපේ ගෙදර " 

  සෝමපාලගේ අසල්වැසියෙක් වූ මැගිලින් කටහඬ අවදි කළාය.

  සෝමපාල ගේ ඇස නිතැතින් ම යොමු වූයේ ඇඳුම් අල්මාරිය දෙසට ය. ඔහු හරිම අපහසුවෙන් පිළිවෙලකට අඩුක් කර තිබූ ඇඳුම් සී සීකඩ විසිරී ගොසිනි. 

" අනේ දෙයියනේ, සල්ලි ටික! "

  නිවසේ ඉතිරි වැඩ කටයුතු සඳහා ඔහු විසින් එකතු කර තිබූ මුදලින් රුපියලක්වත් ඉතිරි කර නොතබා සියල්ල රැගෙන ගොසිනි. රැයක නොව මහ දවාලේ කාගේත් ඇස් වලට වැලි ගසා ය. 

" ඔහොම දෙයක් පිට එකෙක් ට කරන්න බෑ.. අනිවාර්යයෙන් ම ගමේ එකෙක් තමයි " 

" ඔව් ඔව්.. මාත් පිලිගන්නවා ඒක. මොකා උනත් මුංට හෙන හත වදින්න ඕන මේ කරපු දේට " 

   ඒ රැස්ව සිටිදෙතුන් දෙනෙක් කී කතා ය. එහෙත් සෝමපාලගේ සිතට තරමක සැනසිල්ලකි. ඔහු කලින් බිය වී සිටියේ තම දරුවන් ට කුමක් හෝ කරදරයක් දැයි කියා ය. ඔහුට තම පවුල මෙන් අන් කිසිවක් වටින්නේ නැත. කෙසේ වෙතත් නිවසේ වැඩ කටයුතු අතරමග ඇනහිටුණේ  මේ අකරතැබ්බ නිසාවෙනි. එහෙත් බොහෝ දුරට නිවසේ වැඩ ද අවසන් ය.

   කෙමෙන් කෙමෙන් කාලයද ගෙවී යන්නට විය. අලුත් අවුරුද්දට තව ඇත්තේ දින කිහිපයක් පමණි. පසු ගිය සිදුවීම නිසා සෝමපාලගේ දරුවන් සිටින්නේ එතරම් සතුටකින් නොවේ. සෝමපාලගේ නමට තැපෑලෙන් ලියුමක් ලැබෙන්නේ මෙවිට ය.

" මොකද්ද තාත්තේ ලියල තියෙන්නෙ? " 

" අම්මා අවුරුද්දට අපිව බලන්න එනවලු පුතේ.... " 

  සිය කුඩා පුතුගේ කඳුළු පිරි මුහුණෙන් සියුම් සිනහවක් නැගෙනු දුටු සෝමපාල සැනසුම් සුසුමක් හෙලීය.

Wednesday, October 9, 2013

වල්ල පට්ටා වවමු - රට නගමු

   අපේ ලොකු තාත්තලයි වත්තේ තිබිච්ච විසාල වල්ල පට්ට ගහක් හොරු කපලා! මං කියන්නේ නෑ මේක කරපු එවුන්ට හෙන ගහන්න කියල. මට තියෙන ප්‍රශ්නේ තමා හොරු ඉස්සර වෙන්ට කලින් අපිට ඉස්සර වෙන්ට බැරි වුනු එක. ඒ වත්ත තියෙන්නෙ අපේ ගෙට උඩහ. වැඩි ඈතක නෙවෙයි. කවුරුත් නැති වෙලාවක් බලල මුං ගහ පිටින්ම ගලෝගෙන ගිහිල්ල free smiley... මේ සිද්ධිය වෙනකං මම දන්නේ නෑ වල්ල පට්ටා මෙච්චර වටිනවා කියල. ඔය කාගේ කාගෙත් වතු වල වල්ල පට්ටා හෙම තියෙයි නං ටිකක් පරිස්සං කර ගන්න වෙයි.

  පොල් ලී කිලෝවකට රුපියල් ලක්ෂ එක හමාරක් විතර දෙනවා කිව්වොත් කොහොමද? මුළු රටේම තියෙන පොල් ගස් ටික කපල දාල අන්තිමට පොල් ගස් න්‍යෂ්ට වූ විශේෂයක් බවට පත් වෙයි. ( න්‍යෂ්ට උනා කිව්වේ මේ පොළොවෙන් සදහටම වඳ වෙලා ගියා ය කියන එක ) ඔන්න ඔය වගේ වටිනා කියන දෙයක් හැබැයි වැඩේ සිද්ධ වෙන විදිය නම් හරි නෑ. 

  අපි වල්ල පට්ටා කියන මේ ගහේ විද්‍යාත්මක නම Gyrinops walla. අපේ රටට ආවේනික ශාකයක්. රටේ අනිත් තැන් වල කොහොම උනත් අපේ පැති වල නම් බොහොම සරුවට මේවා හැදෙනවා. සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වල්ල පට්ටා ගහක් උස යනවා. ඉස්සරනං ලණු අඹරන්ට, උදලු මිට හදා ගන්නට පවා පාවිච්චි කරලා තියෙන්නෙ මෙව්වා තමා. ඒකට දැන්. රා කරුමාන්තේ ජනප්‍රිය කොලා වගේ මේවටත් වෙනම ම රජය මැදිහත් වෙලා නීත්‍යානුකූල ක්‍රමේකට මිනිස්සුන්ට වගා කරන්න ඉඩ දුන්නනම් අපේ රටේ වටිනා ජාන සම්පත නිකං නිකරුනේ සුද්දන්ට විකිණෙන එක නවත්ත ගන්න පුළුවන්.

  අපේ රටේ දැනට තියෙන නීතියෙන් නං ඉතිං මෙව්වා රට පටවන්න තහනං. ඒත් අපේ උන්දැල කාලයක් තිස්සේ හරිම සූක්ෂම විදියට කාටත් හොරා මෙව්වා පිට රට පැටෙව්වා. ඒකත් අහු වුනේ මේ ඊයේ පෙරේදා.. ඒ අහුවෙනකොටත් ශ්‍රී ලංකන් වල්ල පට්ටා ටොන් ගණන් පිට ගිහිං ඉවරයි.

   ඇත්තටම මොකද්ද මේ ගහේ ලක්ෂ ගානක් වටිනා දේකට තියෙන්නෙ. එකනං බලන්නම වටිනවා. හැම ගහක්ම ඔය කියන විදියට වටින්නේ නෑ. හොඳ පරණ ගස් තමයි වටින්නේ. වල්ල පට්ටා ශාකය ටිකක් පරණ වෙන කොට ඔය ගහේ හැදෙනවා කියනවා එක්තරා දිලීරයක්. වල්ල පට්ටා විතරක් නෙවෙයි ගොඩක් ආවෘත බීජක ශාක වල ඔය දිලීරය ඉන්නවා. වල්ල පට්ට ගහේ විශේෂත්වය තමයි ඔය කියන දිලීරයට එරෙහිව ගහ තුල නිපදවෙනවා රසායනික සංයෝගයක්. ඒක එක්තරා රෙසීනයක්. මේ රෙසීනය කළු පාටයි. ඕක තමා වටින්නේ. මේ රෙසීනය ඉතා වටිනා සුවඳ විලවුන් නිපදවන්න යොදා ගන්නවා.


   වල්ල පට්ටා ගහක් හොඳින් වර්ධනය වෙන්න යන්නේ අවුරුදු හත අටක් විතරයි. ඒත් අර කලින් කිව්ව රෙසීනය හැදෙන්න ඊට වඩා වැඩි කාලයක් යනවා. සමහර විට අවුරුදු 20 ක ටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකයි වටිනාකම තවත් වැඩි වෙන්න හේතුව. ඒත් අපේ රටෙත් මේක වගාවක් විදියට නීත්‍යානුකූලව කරනවානම් අවුරුදු විසි තිස් ගණන් බලන් ඉන්න ඕන නෑ. දැන් විද්‍යාව දියුණුයි. අපි හිතමු අපි අපේ ගෙවත්තෙත් වල්ල පට්ටා ගස් දෙක තුනක් හිටෙව්වා කියල. හොඳ පරිනත අවධියට ආවට පස්සේ අපිට පුළුවන් අර කලින් කිව්ව දිලීරේ ඔය ගස් දෙක තුනට කෘත්‍රිම ව  එන්නත් කරන්න. එතකොට හොඳ ප්‍රතිඵල වඩා ඉක්මනින් අරගන්ට පුළුවන්. cool smiley 
  
gyrinops.blogspot.com/


    අනිත් දේ තමයි ඔය ගස් හැදෙන්නේ පඳුරු විදියට. ඉතිං එක වල්ල පට්ටා ගහක් ලඟින් තවත් පැළ ටිකක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මේ ශාකය බීජ වලින් වගේම අතු වලිනුත් පැළ වෙනවා. ඉතිං වගාවක් හදා ගන්න ඒ හැටි ප්‍රශ්නයක් නෑ.

  ඔන්න එහෙනං ඔහොමයි වැඩේ වෙන්නේ. සුදු හඳුන් කියන්නෙත් ඔය වගේම වටිනා දෙයක්. ඒත් සුදු හඳුන් වලට වඩා වල්ල පට්ට සුලභයි....






Thursday, September 26, 2013

වලස් වෙස් .....

 " නැගිටපං බං සේනයෝ! උඹේ කල්පනාව මෙතෙන්ටම වෙලා ඉන්ඩ ද? ඉර ත් පායලා "

" යකෝ දැන් නිදා ගත්ත විතරනේ. උඹ හිතුවද මගේ ඇස් පේන්නේ නෑ කියල. පොඩ්ඩක් හිටහන් එලිය වැටෙනකන්. මේ මහ රෑ කොහේ කියල යන්ට ද. අනික බං, ඕක ඔච්චරටම හදිස්සියෑ...  "

 " ඇස් පේන්නේ කොහොමද බං නිදා ගෙන ඉන්නකොට. පොඩ්ඩක් ඇස් ඇරලා බලාපං, හතර වටෙන් එළිය වැටීගෙන එන විදියට පේන්නෙ නං දැන් හය හමාර ට විතර ඇති. පරක්කු වෙන්ට බෑ. මතකනේ මුදලාලි කිව්වදේ " 

"  එච්චර වෙලා ගියාද. දැන්නේ නිදා ගත්තේ.... මේ ඒක නෙවෙයි බං සිරිදාස අයියේ මිනිහා අපේ ගාන දෙයි නේ. වෙලාවකට හිතෙනවා බං ගෙදෙට්ට වෙලා හිටියනං හොඳයි කියල  " 

" උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක මං බලා ගන්නං. ගෙදර හිටියා වගේ නෙවෙයි බං. උඹට ආයි ජීවිතේට රස්සාවක් කරන්න ඕන වෙන්නේ නෑ. සැප සැප! " 

" ඔව් ඔව්.. හිරේ ගියොත් රස්සාවක් කරන්න ඕන නෑ තමා බං. උඹ මේ පිස්සුවක් කතා කොරනවා "

   සිරිදාස යනු 'පිටදෙනිය' ගමේ ග්‍රාම සේවක තැන ගේ පුත්‍රයා ය. පුත්‍රයා යැයි කීවද ඔහුගේ වයස අවුරුදු හතළිහකට නොඅඩු විය යුතුය. නමුත් පෙනුමෙන් නම් අවුරුදු විස්සක විසිපහක කොලුගැටයෙක් මෙනි. තම පියා ගමේ නායකයා උවත් ඔහු එයින් හිස උදුම්මා ගත්තේ නැත. ගමේ කාගේත් සිත දිනා ගැනීමට සිරිදාසට හැකි වූයේ එනිසා විය හැක. 
සිරිදාස දවසෙන් වැඩි කාලයක් ගත කළේ ගමෙන් පිට ය. ඔහු මහ කැලෑව තුල හේනක් වගා කළේ ය. ඔහු තම දරු පවුල නඩත්තු කළේ එමගිනි. 

   දිනක් සිරිදාසට ධර්මවර්ධන නම් පුද්ගලයෙක් මුණ ගැසෙයි. ඔහු පිට ගම් කාරයෙකි. කා අතරත් ඔහු ජනප්‍රිය වූයේ ධර්මවර්ධන මුදලාලි යනුවෙනි. නමින් මුදලාලි වුවද ඔහු කළ වෙළඳාමක් නම් නැත. නමුත් ඔහු නිධන් සොයන්නෙක් බව දැන ගැනීමට සිරිදාස ට වැඩි දවසක් ගත නොවීය. 

" මොන නිධන් ද ධර්මේ අයියේ මෙහේ. ඕවා ඔක්කොම හාරලා අරං ඉවරයි "

" සිරිදාස මලයා මගේ වචනේ විශ්වාස කරන්නේ නෑනේ ඉතිං! මම ඔය වගේ කීයක් නම් අරං තියෙනවද. පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. බැරි වෙන්නේ නෑ " දිනක් සිරිදාස සමග ධර්මවර්ධන මුදලාලි එසේ කීවේ ඔහු තුල බලාපොරොත්තුවක් ද ඇති කරමිනි. 

මහ කැලේ මැද්දේ ඇත්තේ විසල් කඳු ගැටයකි. එතරම් මිනිස් පහසක් නොලද මෙම කන්දේ නිදන් වදුලක් තිබේදැයි සෙවීමට මුදලාලි විසින් සිරිදාස ව පිටත් කරන්නේ ඔහු කැලේ ගැන හොඳින් දන්නා නිසාවෙනි. මේ ගමනට සේන ද කැටුව යාමට සිරිදාස ට සිදු වන්නේ අන් කිසිවක් නිසා නොව, කෙසේ හෝ මේ නිධන් කතාව සේනගේ ද කනට වැටුණු නිසාවෙනි. ඔහු ද මේ කාර්යයට හවුල් කර නොගත්තේ නම් නපුරක් විය හැකි බව සිරිදාස ට සිතුනේ ඉබේටම ය.


" හරිද උඹ දැන් ලෑස්තිද. ඉක්මනට යමං. ගිනි මද්දහනේ බෑ ඔය කන්දේ නගින්න. ඒකයි මං උඹට කිව්වේ ඉක්මනට යමු කියල " සිරිදාස එසේ කීවේ තාමත් නිදිමත විකාරෙන් කියවන තම ගමන් සගයා දෙස බලා සිනාසෙමිනි. 

    සේන වයස අවුරුදු විසිපහක පමණ කොලු ගැටයෙකි. ඉගෙනීමට සිතක් යොමු නොකළ ඔහුගේ රාජකාරිය වූයේ නිවසට වී දවල් දොළහ පමණ වන තුරු නිදා ගැනීම ය. එයින් එහා රාජකාරියක් ඔහුට නොමැත. මේ ගමනට තමන් සමග පැමිණේ කියාවත් සිරිදාසට මුලදී ඔහු ගැන විශ්වාසයක් නොවීය.

    ඔවුන්  පිටත් වූයේ ඊට පෙර දා සවස ය. රෑ බෝ වන විට කඳු පාමුලට පැමිණි දෙදෙනා රැය පහන් කිරීමට තැනක් සොයා ගත්තේ පසු දින උදෑසනින් ම කන්ද නැගීමට ය. දවල් ගිනි ගහන අව් කාෂ්ටකේ කන්ද නැගීම කෙතරම් අපහසුදැයි දන්නේ සිරිදාස පමණි.

" හා.. හා යමු. හැබැයි සිරිදාස අයියේ උඹට විශ්වාසයිනේ අපි හොයන එක එහේ ඇති කියල " 

" උඹට මං දැන් කී සැරයක් කිව්වද. විශ්වාසෙ තියා ගනින් " සිරිදාස කීවේ තරමක නොරුස්සනා ගතියකිනි.

    දැන් සිරිදාස සහ සේන සිටින්නේ මහ කන්ද පාමුල ය. තමන් ඉදිරියෙන් හිටගෙන සිටින්නේ පතාක යෝධයෙකු දැයි සිරිදාස ට සිතුනි. සිරිදාස මේ රාජකාරියට ධර්මවර්ධන මුදලාලි සමග කැමති වූයේ ඔහුගේ කීම නිසාමත් නොවේ. ඔහු කුඩා කළ ඔහුගේ සීයා විසින් පැවසූ දෙයක් නිසාවෙනි. එනම් මේ කඳු මුදුනේ ඇති නිධන් වදුලක් පිළිබඳව ය. ඒ ගැන වැඩි විස්තර තම සීයාගෙන් විමසා දැන ගැනීමට සිරිදාස ට නොහැකි වූයේ කුඩා කළ ඔහුට මෙය තවත් එක් කතාවක් පමණක් වූ නිසා ය.

   කන්දක් යැයි කීවද මෙය තනිකරම ගල් පරුවතයකි. එබැවින් දවල් දොළහට පමණ මෙය නැගීම සිතන්ටවත්  බැරිය. උදෙන්ම ගමන පටන් ගත් බැවින් ඔවුනට මෙය එතරම් අපහසු කාර්යයක් නොවීය. සිරිදාස ට කෙසේ වෙතත් සේන ට නම් මෙය මහ එපා කරපු වැඩකි. හරියට මහගිරි දඹේ නගිනවා වාගේ ය. කෙසේ වුවත් වැඩිය දොඩවන්ට නොගොස් හිටියේ සිරිදාස ට කේන්ති ගියොත් යැයි සිතා ය. 

" තව ටිකයි ඕකත් යමං.. හැබැයි පුතෝ පල්ලෙහනං බලන්න එපා " සිරිදාස සේනට කීවේ ය.

 " සිරි අයියේ නයෙක් ! "  කඳු මුදුනට ඔන්න මෙන්න තියා සේන විලාප දුන්නේ ය.



************
(දින කිහිපයකට පසු)



    කුකුලා හඬලන්නටත් පෙරාතුව කඳු නගින නඩයකි. නඩේ ඉස්සරහින්ම යන්නේ දැනටමත් අප දන්නා දෙදෙනෙකි. ඒ සිරිදාස හා සේන ය. ඉන් පසුව ධර්මවර්ධන මුදලාලි ය. ඔහුගේ පිටුපසින් කට්ටඩියෙකි. ඊටත් පිටුපසින් මුදලාලිගේ ගෝලයෙකි. කාගේත් අතේ පිහි, උදලු හා අලවංගු ය. කඳු නගින අතරමගදී ම කුකුලා ද හැඬලුවේ ය. ඒ හඬ ආවේ ධර්මවර්ධන මුදලාලිගේ ගෝලයාගේ අතේ එල්ලී තිබුණු කූඩුවෙනි. 
   මොවුන් මේ යන්නේ කඳු මුදුනේ ඇති ගලක සලකුණු කොට ඇති නයි සලකුණක් සොයා ගෙන ය. කලින් දිනයක සිරිදාස හා සේන හෝඩුවාවක් සොයා පැමිණි විට ඔවුනට මෙම සලකුණ දැක ගත හැකි විය. 

   කාගේ කාගේත් ගමන ඉක්මන් වූ බැවින් වැඩි වේලාවක් නොගොස් තැනට යාමට හැකි විය. තරමක විශාල ගල් තලාවකි. එහි එක් කෙළවරක නයි සලකුණකි. සේන දැක ඇත්තේ මෙය යි.

" ගුරුන්නාන්සේට විශ්වාසද මෙතන තියෙයි කියල "  එසේ ඇසුවේ මුදලාලි ය.

" එකපාරටම කියන්ට බෑ නෙව.. ටිකක් පරීක්සා කරලා බලන්ටෝන " කට්ටඩියා කීය.
" මට කොහොඹ අතු කෑලි ටිකක් කඩාන ගෙනත් දියන්.."

" එහෙමයි ගුරුන්නාන්සේ "  සිරිදාස හා සේන  වැඩේ බාර ගත්හ.

    කඳු මුදුනේ නම් කොහොඹ ගහක් තබා ලුණු මිදෙල්ල ගහක් වත් හොයා ගැනීමට නැත. දැන් නැවතත් කඳු පාමුලට යා යුතු ය. දෙතුන් සැරයක් ම ඉහල පහල ගිය සේනට හා සිරිදාස ට මෙය අපහසුවක් නොවීය. 

" අපි ආපු පාරෙ කොහොඹ ගහක් තිබුණා " කඳු පහලට පැමිණි පසු සේන කීවේය.

" යමං යමං.. කෝක උනත් ඉක්මනට " සිරිදාස ඉස්සර විය.

    සේන කීවා සේම රූස්ස කොහොඹ ගසක් ඔවුන් ඉදිරිපිට තිබුණි. හනිකට ගසට නැගී සිරිදාස කොහොඹ අතු කෑලි කිහිපයක් කඩා ගත්තේ ය. දැන් නැවතත් තිබෙන්නේ කඳු බඩගෑම ය. කෙතරම් මහන්සි වුවද තමන්ට ඉදිරියේදී ලැබෙන්න තිබෙන වස්තුව ගැන දෙදෙනාම සිහින මවන්නට විය.

" ෂ්..  ෂ්.. සිරි අයියේ උඹට ඇහුනද ඒ සද්දේ ! " නිහඬතාව බිඳිමින් සේන එක්වරම ඇසීය. 

" මොන සද්ද ද බං. මට ඇහුන් නෑ. සද්ද ද නැත්තේ මේ කැලේ " සිරිදාස එය එතරම් ගණන් නොගෙන කීය. 

" නෑ නෑ බං, එහෙම එ.. ක... ක්  නෙ..... " තමා කීමට ගිය වචන ටික ද ගිලගනිමින් සේන එකවරම ගල් පිළිමයක් විය. ඇසුණු ගෙරවිලි හඬින් ඒ දෙස බැලූ විට දුටු දර්ශනයෙන් සිරිදාස තුෂ්නීම්භූත වී ගියේ ය.

" දුවපාං! " සිරිදාස මර හඬ දෙමින් සේන ව ද ඇදගෙන පසු නොබලා දුවන්නට විය. ඔවුන් පසු පස පන්නන්නේ මහ ගල් පරුවතයකි. එදා මෙදා තුර සිරිදාස වලසුන් දැක ඇතත් මේ සා විසාල  එකෙක් දැක්කාම ය. තමන් යන්නේ කොයිබටදෝයි  කියාවත් සිහියක් නැති මේ දෙමිතුරෝ අවසානයේ නතර වූයේ තමන් පසුපස කිසිවෙක් නොපැමිනේ යැයි හොඳින් අවබෝධ උනු පසුව ය. 



" උඹලට මොකද්ද බං උනේ. මේ දාඩිය පෙරාගෙන. මොකෑ අවතාරයක්වත් දැක්කද " සුපුරුදු කටහඬකින් තමන් අමතනු ඇසුණු දෙදෙනාට පියවි සිහිය ආවේ එවිට ය. ඒ ඔවුන්ගේ හිතමිතුරු ගැමියෙකි. වලසා එළවාගෙන එනවිට තමන්ට පාර වැරදී ආපසු ගමටම දිව විත් තිබෙන බව සිරිදාස ට තේරුම් ගියේ එවිට ය.

" අවතාරෙටත් අන්තයි බං " සිරිදාස ට යන්තම් කතා කරගත හැකි විය.

" උඹලා මහ කැලේ මොද්ද කළේ. ඔන්න පොලීසියෙන් කඩාගෙන පැන්න කැලේට. කන්දේ නිධන් හාරනවලු " එසේ කියමින් ගැමියා යන්න ගියේ ය.

" විනාසයි , දැන් මොකෑ බං කරන්නේ " සිරිදාස නැවතත් භීරාන්ත විය. 

" කොහොම උනත් වලහා පැන්නේ අපිව ඕකෙන් බේර ගන්න! " සේන පැවසීය. 

" මොන බේරිල්ලක් ද බං. උඹ හිතං ඉන්නේ අරුන් ටික අපි ගැන නොකිය ඉඳියි කියලද. දැන් කරන්න දෙයක් නෑ. ටික කාලෙකට ගමෙන් වහං වෙලා ඉන්නයි වෙන්නේ " සිරිදාස තීරණයක් ගෙන තිබුණි.

 " සිරිදාස අයියේ උඹ මේ ඇත්තටම ද කියන්නේ. අපි අහුවෙයිද බං ? " සේන ඇසුවේ චකිතයකිනි.

    එදා ඒ සිද්දියෙන් පසු කන්දේ නිධන් හාරමින් සිටි පිරිස පොලීසියට කොටු විය. කවුරුන් ඔත්තුව දුන්නේදැයි කිසිවෙක් නොදනී. සිරිදාස හා සේන වලසාගේ උදව්වෙන් බේරුණු අතර ඉන් පසුව ඔවුන් එම ගමෙන් පිටවී වෙනත් ප්‍රදේශයක සිටි සිරිදාසගේ යහළුවෙකුගේ නිවසකට ගොස් එහි හේනක් වගා කළහ. ඔවුන් ආපසු ගමට පැමිණෙන විට සියල්ල යටගොස් තිබුණි.

*******************


Friday, September 13, 2013

..෴ හක්ක පටස් ෴..

      හීන් බණ්ඩාර යනු ගමේ සිටි කවුරුත් හඳුනන, ප්‍රසිද්ධ චරිතයකි. නමින් හීන් බණ්ඩාර වුවද ඔහුගේ ශරීරයේ හීන්දෑරි පෙනුමක් නම් ගෑවී වත් තිබුනේ නැත. හැඩි දැඩි අඟ පසඟ සහ මුහුණ පුරා වැවී තිබුණු දැලි රැවුලෙන් පෙන්නුම් කළේ දුටු ගැමුණු රජ දවස සිටි දස මහා යෝධයෙකුගේ ලක්ෂණ යැයි නොසිතූ කෙනෙක් එම ගමේ සිටින්නට ඇතැයි සිතිය නොහැක. ගමේ කා අතරත් ඔහු ජනප්‍රිය වී තිබුනේ හීන් බණ්ඩා යන නමිනි. ඔහුගෙන් උපකාර පතා පැමිණි ගැමියන් ඔහුව ඇමතුවේ බණ්ඩයියා යනුවෙනි. එය තරමක් ගරු කටයුතු නමක් නිසා විය යුතුය. එසේ කියන්නේ ඔහුටත් වඩා වැඩිමහල් ගැමියන් ද ඇමතුවේ එසේ බැවිනි.

     සිංහරාජ මහ වනය මායිමේ පිහිටි මේ ගමේ ජීවත් වූයේ පවුල් කිහිපයක් පමණි. එය සම්පූර්ණයෙන්ම වාගේ බාහිර ලෝකයෙන් වෙන් වූ නිසංසල ගමකි. රුදුරු වන සතුන් බහුල මහ වනයත් සමග නිරන්තර සටන් කර තම ජීවන සටන ගෙන යාමට එම ගමේ මිනිසුන්ට සිදු විය. මේ කතාවේ කතා නායකයා වන හීන් බණ්ඩාර යනු වනාන්තරය හා බද්ධ වූ ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. ඔහු කුඩා කල සිටම හැදුණේ වැඩුනේ තනිවම ය. ඔහු විවාහ ජීවිතයක් ගත කළේ ද නැත. හීන් බණ්ඩාරගේ පියා කුඩා කලදීම ඔවුන් අතහැර ගොස් ඇත. ඔහු යන්තම් බහ තෝරන කාලය වන විට මව ද අකාලයේ මිය ගියා ය. එතැන් පටන් හීන් බණ්ඩා ට තමන් වෙනුවෙන් සිටියේ තමන් ම පමණි.

     හීන් බණ්ඩා යනු කිසිසේත්ම උපාසක චරිතයක් නම් නොවේ. රාත්‍රී කාලයේ වනාන්තරය දෙසින් ඇසෙන වෙඩි ශබ්ද ගැමියන්ට එතරම් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එවන් දිනක පසුදා උදෑසන හීන් බණ්ඩාගේ නිවස ඉදිරිපිට දිගු පෝලිම් දැකිය හැක්කේ ගංවතුරෙන් අවතැන් වූවන් සහනාධාර බලාපොරොත්තුවෙන් සිටින්නා මෙනි. සතෙකු දෙන්නෙකු මරා මස් කරගෙන නගරයට යන හීන් බණ්ඩා කළු කඩ කාරයෙකුට මස් ටික විකුණා යම් මුදලක් උපයා ගනී. දඩයම් කිරීම අතින් නම් හීන් බණ්ඩා යනු අති විශිෂ්ටයෙකි. මහ වනේ ගැන ඔහු දන්නා තරම් වනේ වන සතෙකුවත් දන්නවාදැයි සැක සහිත ය. ඒ හැකියාව ඔහුට ලැබුනේ කුඩා කළ සිටම මහ වනේ කරක් ගසා ලත් අත්දැකීම් නිසාවෙනි. නිරන්තර සතුන් ගැවසෙන තැන්වල හීන් බණ්ඩාගේ ගිනි බටයක් නම් වරදින්නේ නැත. වල් ඌරෙකුට, ඕලු මුවෙකුට තබා මී මින්නෙකුටවත් නිදහසේ වනයේ ඇවිදීමට හීන් බණ්ඩාගෙන් ඉඩක් නැත. ඇරත් හීන් බණ්ඩාට නොදන්වා වනයට රිංගීමට ගැමියෙකුටවත් නුපුළුවන. එසේ නොකියා ගියේ නම් ඔහුටත් සිදු වන්නේ ඌරන්ට ඇටවූ මරු වැලකට හසු වී ඌරන් ගිය ලෝකෙට ම යන්නට ය.



     දිනක් හැන්දෑ යාමයේ හීන් බණ්ඩා මහ මූකලාන දෙසට ඇදුනේ හක්ක පටස් කිහිපයක් ද අතින් ගෙන ය. හක්ක පටස් සෑදීම ට හීන් බණ්ඩා උපන් හපනෙකි. බොහෝ දෙනා හක්ක පටස් හදනුයේ "චීන පටස්" නම් ගිනි කෙළි වර්ගයෙනි. නමුත් හීන් බණ්ඩා එම කිසිවක් යොදා නොගෙන තනිවම හක්ක පටස් සාදයි. ඔහු යොදා ගන්නේ තිරිවානා ගල් කැබලි තුනක් සහ වෙඩි බෙහෙත් ටිකකි. ඒවා නිවැරදිව සම්භන්ධ කොට හොඳින් ආවරණය කර පිටින් මෝර කරවල කැබැල්ලක් හෝ බොම්බිලි කරවල කැබැල්ලක් ගැට ගසයි. බොම්බිලි කරවල කෑල්ලේ ගඳ ඌරන්ට හැතැප්ම ගණනක් දුරට දැනෙන බව හීන් බණ්ඩා දනී. රසවත් ආහාරයක් යැයි රැවටී මෙම තිරිසන් සතුන් ඒ වෙත ඇදෙන්නේ බඩ කට පුරවා ගන්නට ය. බඩ කෙසේ වෙතත් හක්ක නම් පුරවා ඉස්මොල්ල පැලී මොළ ගෙඩිය එලියට ඒමට ගත වන්නේ නිමේශයක් පමණි. හීන් බණ්ඩාගේ හක්ක පටස් වලට හසු වූයේ මේ අහිංසක වන සිවුපාවුන් පමණක් ම නොවේ. අහල පහල ගෙවල් වල සිටි බල්ලන් ද හක්ක පටස් අනුභව කිරීමට ගොස් දිවි නසා ගෙන සිටිනු අනන්තවත් දැකිය හැක. කෙසේ නමුත් දින කිහිපයක ම සිට හීන් බණ්ඩාගේ තුවක්කු වලටවත් හක්ක පටස් වලට වත් සතුන් හසු නොවීය. පසු වන්නේ දීර්ඝ වියලි කාලගුණයක් බැවින් සතුන් ජලය සොයා වනාන්තරය ඇතුලට යනවා විය හැක.

"ඈ බං බණ්ඩයියේ, මොකෝ මේ ටිකේ වෙලා තියෙන්නෙ. කැලේ හිටපු සත්තු ටික ඔක්කොම ඉවර වෙලැයි?" කැලෑව දෙසට ඇදෙන හීන් බණ්ඩා දුටු ගැමියෙක් ඇසීය.

"එහෙමත් ඉවර වෙනවද බං සුගතෝ ... මේ මහ කැලේ ඉන්න සත්තු ටික. උනුත් අපි වාගේම තමා. දරු මල්ලෝ හදනවා.." හීන්බණ්ඩා පිළිතුරු දුන්නේ ය. "මේ පෑවිල්ලේ සත්තු අල්ලගන්න අමාරුයි බං. උනුත් කුලප්පු වෙලා ඉන්නේ අපි වගේ.. අදවත් බලන්ට ඕන මොකක් හරි කරන්න" එසේ කියමින් හීන් බණ්ඩා මහ වනය තුලට ඇදී නොපෙනී ගියේ ය.

     තමන් සතුන්ට අවසන් ගමන් සලසා ඇති ස්ථාන හීන් බණ්ඩා හොඳාකාරව ම දනී. ඔහුගේ මෙවර තීරණය වනයේ තරමක් ඇතුලට වන්නට තුවක්කු කඳක් බැඳීම ය. වන සතුන් නිතර යන එන ජලාශයක් වනය මැදට වන්නට තිබෙනු හීන් බණ්ඩාගේ මතකයට නැගුණි. අඩිය ඉක්මන් කළ හීන් බණ්ඩාට එතැනට ඇඳිරි වැටීමට පෙර ලඟා වීමට හැකි විය. දැඩි පෑවුමක් වුවද එම ජලාශයේ වතුර සිඳී ගොස් නොතිබුණි. හක්ක පටස් දෙක තුනක් ඌරන් පැමිණෙතැයි සිතිය හැකි තැන් කිහිපයක තැබූ හීන් බණ්ඩා ආපසු පැමිණියේ තරමක් රෑ බෝ වූ බැවිනි. නමුත් වැඩි දුරක් ඒමට ඔහුට ඉඩ ලැබුනේ නැත. තමා පසු කර ආ ජලාශය දෙසින් විශාල ශබ්දයකින් හක්ක පටස් කරලක් පුපුරා යනු ඔහුට ඇසුණි. "ගම්භාර දෙයියන්ට ඉස්තූති වෙන්ට ඕන.." හීන් බණ්ඩාට ඉබේටම කියැවුණි. දැන් නම් ආපසු හිස් අතින් ගමට යාමේ අදහසක් ඔහු තුල නැත. ඔහු ආපසු හැරුනේ රෑ බෝ වී තිබුනත් තමන්ට ලැබුණු වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටයි. 

     වියලි කාලගුණය නිසා වනයේ ගස් කොලන් මැලවී ගොස් තිබුනේ වියලි කලාපයේ දේශගුණය සිහිපත් කරවමිනි. වනයට ඇතුළු වන කෙනෙකුට මේ සිංහරාජ වනය ම දැයි සැකයක් නැගෙන්නේ නිතැතිනි. ඉඳ හිට නැගෙන රැහැයියන්ගේ හඬ, බස්සෙකුගේ විලාපය හැරුණු විට වනාන්තරය රාත්‍රී කාලයේදී නම් ඉතා නිසංසල ය. රාත්‍රීය එලිය කරන චන්ද්‍රයා අහසේ පෙනෙන්නට නොතිබුණු අතර තිබුනේ තාරකා කිහිපයක ආලෝකය පමණි. අඳුරට හුරු හීන් බණ්ඩාගේ දෑස් වලට මෙය එතරම් නුහුරු අත්දැකීමක් නොවීය. පොකුණ අසලට ගිය හීන් බණ්ඩාට දැක ගත හැකි වූයේ මැරී වැටී සිටින වල් ඌරු නාම්බෙකි. ඔහුට දැනුන සතුට කියා නිම කළ නොහැක. නැවත වරක් මුදල් ටිකක් අතේ ගැවසෙන කාලය ළඟට ම පැමිණ ඇත. හීන් බණ්ඩා උමතු වූවෙකු මෙන් වල් ඌරා කරට ගෙන ගම දෙසට ආවේ සුනංගු වීම එතරම් හොඳ දෙයක් නොවන බැවිනි. ඔහුගේ අදහස වූයේ පසුදා පාන්දර ම ගැමියන් අවදි වීමටත් පෙර නගරයට යාම යි. නැතිනම් මස් වලින් කොටසක් ගමේ උදවියට ද දීමට හීන් බණ්ඩාට සිදු වේ. එබැවින් ගම හරහා නොගොස් වෙනත් පාරකින් නිවසට යාමට ඔහු අදහස් කළේ ය.

     රාත්‍රී කාලයේ තිබූ නිහැඬියාව බිඳිමින් මුළු ගමම දෙවනත් කරගෙන ගිනි කඳක හඬක් ඇසුනේ ගමේ සිට කිලෝමීටරයක් පමණ ඈතිනි. ඒ හඬට නොදෙවෙනිව ඇසුණු තවත් ශබ්දයකින් ගැමියෝ වික්‍ෂිප්ත වී ගියහ. ඒ මිනිසෙකුගේ විලාපයකි. කාට කාටත් මතක් වූයේ හීන් බණ්ඩා ය. නමුත් මේ මහ රෑ වනයට ඇතුළු වීමට කිසිවෙකු තුල ආත්ම ශක්තියක් නොවීය. කෙසේ වුවද අවසානයේ ගැමියෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුහු හඬ ආ දෙසට ගිය විට දුටු දර්ශනයෙන් අන්ද මන්ද වී ගියහ. හීන් බණ්ඩා ලේ විලක් මැද වල් ඌරෙකු ද බදා ගෙන පණ අදිමින් සිටියේ ය. ඔහුගේ කකුලේ උකුල් ඇටයට පහලින් සුනු විසුනු වී ගොස් තිබුණි. අධිකව රුධිරය වහනය වී තිබූ බැවින් ඔහුට වැඩි වේලාවක් ජීවත් වීමේ වාසනාව නොලැබුණි.

     පසු දා ගමේ ප්‍රධාන පුවත හීන් බණ්ඩා ය. 

"මෙච්චර කාලයක් වන සතෙකුට පාඩුවේ ඉන්න නොදීපු එකේ විපාකේ තමා බොල ඔය.. ඕකට තමා කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කරුමේ කියල.. මේ ලෝකෙදීම පල දෙනවා. ඕක වෙන්න තිබුනේ ඔයිට ඉස්සෙල්ල.." එක් ගැමියෙක් එසේ කීවේය. නමුත් ඔහු ද හීන් බණ්ඩා ගෙනා මස් කෑල්ලක රස බලා නැති දැයි සැක සහිතය.


ප.ලි.  ඔන්න ඉන්න ගමන් කතාවක් ලිව්වා..කියවලා බලලා අඩු පාඩු කියන්ට හොඳේ.....