" යකෝ දැන් නිදා ගත්ත විතරනේ. උඹ හිතුවද මගේ ඇස් පේන්නේ නෑ කියල. පොඩ්ඩක් හිටහන් එලිය වැටෙනකන්. මේ මහ රෑ කොහේ කියල යන්ට ද. අනික බං, ඕක ඔච්චරටම හදිස්සියෑ... "
" ඇස් පේන්නේ කොහොමද බං නිදා ගෙන ඉන්නකොට. පොඩ්ඩක් ඇස් ඇරලා බලාපං, හතර වටෙන් එළිය වැටීගෙන එන විදියට පේන්නෙ නං දැන් හය හමාර ට විතර ඇති. පරක්කු වෙන්ට බෑ. මතකනේ මුදලාලි කිව්වදේ "
" එච්චර වෙලා ගියාද. දැන්නේ නිදා ගත්තේ.... මේ ඒක නෙවෙයි බං සිරිදාස අයියේ මිනිහා අපේ ගාන දෙයි නේ. වෙලාවකට හිතෙනවා බං ගෙදෙට්ට වෙලා හිටියනං හොඳයි කියල "
" උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක මං බලා ගන්නං. ගෙදර හිටියා වගේ නෙවෙයි බං. උඹට ආයි ජීවිතේට රස්සාවක් කරන්න ඕන වෙන්නේ නෑ. සැප සැප! "
" ඔව් ඔව්.. හිරේ ගියොත් රස්සාවක් කරන්න ඕන නෑ තමා බං. උඹ මේ පිස්සුවක් කතා කොරනවා "
සිරිදාස යනු 'පිටදෙනිය' ගමේ ග්‍රාම සේවක තැන ගේ පුත්‍රයා ය. පුත්‍රයා යැයි කීවද ඔහුගේ වයස අවුරුදු හතළිහකට නොඅඩු විය යුතුය. නමුත් පෙනුමෙන් නම් අවුරුදු විස්සක විසිපහක කොලුගැටයෙක් මෙනි. තම පියා ගමේ නායකයා උවත් ඔහු එයින් හිස උදුම්මා ගත්තේ නැත. ගමේ කාගේත් සිත දිනා ගැනීමට සිරිදාසට හැකි වූයේ එනිසා විය හැක.
සිරිදාස දවසෙන් වැඩි කාලයක් ගත කළේ ගමෙන් පිට ය. ඔහු මහ කැලෑව තුල හේනක් වගා කළේ ය. ඔහු තම දරු පවුල නඩත්තු කළේ එමගිනි.
දිනක් සිරිදාසට ධර්මවර්ධන නම් පුද්ගලයෙක් මුණ ගැසෙයි. ඔහු පිට ගම් කාරයෙකි. කා අතරත් ඔහු ජනප්‍රිය වූයේ ධර්මවර්ධන මුදලාලි යනුවෙනි. නමින් මුදලාලි වුවද ඔහු කළ වෙළඳාමක් නම් නැත. නමුත් ඔහු නිධන් සොයන්නෙක් බව දැන ගැනීමට සිරිදාස ට වැඩි දවසක් ගත නොවීය.
" මොන නිධන් ද ධර්මේ අයියේ මෙහේ. ඕවා ඔක්කොම හාරලා අරං ඉවරයි "
" සිරිදාස මලයා මගේ වචනේ විශ්වාස කරන්නේ නෑනේ ඉතිං! මම ඔය වගේ කීයක් නම් අරං තියෙනවද. පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. බැරි වෙන්නේ නෑ " දිනක් සිරිදාස සමග ධර්මවර්ධන මුදලාලි එසේ කීවේ ඔහු තුල බලාපොරොත්තුවක් ද ඇති කරමිනි.
මහ කැලේ මැද්දේ ඇත්තේ විසල් කඳු ගැටයකි. එතරම් මිනිස් පහසක් නොලද මෙම කන්දේ නිදන් වදුලක් තිබේදැයි සෙවීමට මුදලාලි විසින් සිරිදාස ව පිටත් කරන්නේ ඔහු කැලේ ගැන හොඳින් දන්නා නිසාවෙනි. මේ ගමනට සේන ද කැටුව යාමට සිරිදාස ට සිදු වන්නේ අන් කිසිවක් නිසා නොව, කෙසේ හෝ මේ නිධන් කතාව සේනගේ ද කනට වැටුණු නිසාවෙනි. ඔහු ද මේ කාර්යයට හවුල් කර නොගත්තේ නම් නපුරක් විය හැකි බව සිරිදාස ට සිතුනේ ඉබේටම ය.
" හරිද උඹ දැන් ලෑස්තිද. ඉක්මනට යමං. ගිනි මද්දහනේ බෑ ඔය කන්දේ නගින්න. ඒකයි මං උඹට කිව්වේ ඉක්මනට යමු කියල " සිරිදාස එසේ කීවේ තාමත් නිදිමත විකාරෙන් කියවන තම ගමන් සගයා දෙස බලා සිනාසෙමිනි.
සේන වයස අවුරුදු විසිපහක පමණ කොලු ගැටයෙකි. ඉගෙනීමට සිතක් යොමු නොකළ ඔහුගේ රාජකාරිය වූයේ නිවසට වී දවල් දොළහ පමණ වන තුරු නිදා ගැනීම ය. එයින් එහා රාජකාරියක් ඔහුට නොමැත. මේ ගමනට තමන් සමග පැමිණේ කියාවත් සිරිදාසට මුලදී ඔහු ගැන විශ්වාසයක් නොවීය.
ඔවුන් පිටත් වූයේ ඊට පෙර දා සවස ය. රෑ බෝ වන විට කඳු පාමුලට පැමිණි දෙදෙනා රැය පහන් කිරීමට තැනක් සොයා ගත්තේ පසු දින උදෑසනින් ම කන්ද නැගීමට ය. දවල් ගිනි ගහන අව් කාෂ්ටකේ කන්ද නැගීම කෙතරම් අපහසුදැයි දන්නේ සිරිදාස පමණි.
" හා.. හා යමු. හැබැයි සිරිදාස අයියේ උඹට විශ්වාසයිනේ අපි හොයන එක එහේ ඇති කියල "
" උඹට මං දැන් කී සැරයක් කිව්වද. විශ්වාසෙ තියා ගනින් " සිරිදාස කීවේ තරමක නොරුස්සනා ගතියකිනි.
දැන් සිරිදාස සහ සේන සිටින්නේ මහ කන්ද පාමුල ය. තමන් ඉදිරියෙන් හිටගෙන සිටින්නේ පතාක යෝධයෙකු දැයි සිරිදාස ට සිතුනි. සිරිදාස මේ රාජකාරියට ධර්මවර්ධන මුදලාලි සමග කැමති වූයේ ඔහුගේ කීම නිසාමත් නොවේ. ඔහු කුඩා කළ ඔහුගේ සීයා විසින් පැවසූ දෙයක් නිසාවෙනි. එනම් මේ කඳු මුදුනේ ඇති නිධන් වදුලක් පිළිබඳව ය. ඒ ගැන වැඩි විස්තර තම සීයාගෙන් විමසා දැන ගැනීමට සිරිදාස ට නොහැකි වූයේ කුඩා කළ ඔහුට මෙය තවත් එක් කතාවක් පමණක් වූ නිසා ය.
කන්දක් යැයි කීවද මෙය තනිකරම ගල් පරුවතයකි. එබැවින් දවල් දොළහට පමණ මෙය නැගීම සිතන්ටවත් බැරිය. උදෙන්ම ගමන පටන් ගත් බැවින් ඔවුනට මෙය එතරම් අපහසු කාර්යයක් නොවීය. සිරිදාස ට කෙසේ වෙතත් සේන ට නම් මෙය මහ එපා කරපු වැඩකි. හරියට මහගිරි දඹේ නගිනවා වාගේ ය. කෙසේ වුවත් වැඩිය දොඩවන්ට නොගොස් හිටියේ සිරිදාස ට කේන්ති ගියොත් යැයි සිතා ය.
" තව ටිකයි ඕකත් යමං.. හැබැයි පුතෝ පල්ලෙහනං බලන්න එපා " සිරිදාස සේනට කීවේ ය.
" සිරි අයියේ නයෙක් ! " කඳු මුදුනට ඔන්න මෙන්න තියා සේන විලාප දුන්නේ ය.
************
(දින කිහිපයකට පසු)
කුකුලා හඬලන්නටත් පෙරාතුව කඳු නගින නඩයකි. නඩේ ඉස්සරහින්ම යන්නේ දැනටමත් අප දන්නා දෙදෙනෙකි. ඒ සිරිදාස හා සේන ය. ඉන් පසුව ධර්මවර්ධන මුදලාලි ය. ඔහුගේ පිටුපසින් කට්ටඩියෙකි. ඊටත් පිටුපසින් මුදලාලිගේ ගෝලයෙකි. කාගේත් අතේ පිහි, උදලු හා අලවංගු ය. කඳු නගින අතරමගදී ම කුකුලා ද හැඬලුවේ ය. ඒ හඬ ආවේ ධර්මවර්ධන මුදලාලිගේ ගෝලයාගේ අතේ එල්ලී තිබුණු කූඩුවෙනි.
මොවුන් මේ යන්නේ කඳු මුදුනේ ඇති ගලක සලකුණු කොට ඇති නයි සලකුණක් සොයා ගෙන ය. කලින් දිනයක සිරිදාස හා සේන හෝඩුවාවක් සොයා පැමිණි විට ඔවුනට මෙම සලකුණ දැක ගත හැකි විය.
කාගේ කාගේත් ගමන ඉක්මන් වූ බැවින් වැඩි වේලාවක් නොගොස් තැනට යාමට හැකි විය. තරමක විශාල ගල් තලාවකි. එහි එක් කෙළවරක නයි සලකුණකි. සේන දැක ඇත්තේ මෙය යි.
" ගුරුන්නාන්සේට විශ්වාසද මෙතන තියෙයි කියල " එසේ ඇසුවේ මුදලාලි ය.
" එකපාරටම කියන්ට බෑ නෙව.. ටිකක් පරීක්සා කරලා බලන්ටෝන " කට්ටඩියා කීය.
" මට කොහොඹ අතු කෑලි ටිකක් කඩාන ගෙනත් දියන්.."
" එහෙමයි ගුරුන්නාන්සේ " සිරිදාස හා සේන වැඩේ බාර ගත්හ.
කඳු මුදුනේ නම් කොහොඹ ගහක් තබා ලුණු මිදෙල්ල ගහක් වත් හොයා ගැනීමට නැත. දැන් නැවතත් කඳු පාමුලට යා යුතු ය. දෙතුන් සැරයක් ම ඉහල පහල ගිය සේනට හා සිරිදාස ට මෙය අපහසුවක් නොවීය.
" අපි ආපු පාරෙ කොහොඹ ගහක් තිබුණා " කඳු පහලට පැමිණි පසු සේන කීවේය.
" යමං යමං.. කෝක උනත් ඉක්මනට " සිරිදාස ඉස්සර විය.
සේන කීවා සේම රූස්ස කොහොඹ ගසක් ඔවුන් ඉදිරිපිට තිබුණි. හනිකට ගසට නැගී සිරිදාස කොහොඹ අතු කෑලි කිහිපයක් කඩා ගත්තේ ය. දැන් නැවතත් තිබෙන්නේ කඳු බඩගෑම ය. කෙතරම් මහන්සි වුවද තමන්ට ඉදිරියේදී ලැබෙන්න තිබෙන වස්තුව ගැන දෙදෙනාම සිහින මවන්නට විය.
" ෂ්.. ෂ්.. සිරි අයියේ උඹට ඇහුනද ඒ සද්දේ ! " නිහඬතාව බිඳිමින් සේන එක්වරම ඇසීය.
" මොන සද්ද ද බං. මට ඇහුන් නෑ. සද්ද ද නැත්තේ මේ කැලේ " සිරිදාස එය එතරම් ගණන් නොගෙන කීය.
" නෑ නෑ බං, එහෙම එ.. ක... ක් නෙ..... " තමා කීමට ගිය වචන ටික ද ගිලගනිමින් සේන එකවරම ගල් පිළිමයක් විය. ඇසුණු ගෙරවිලි හඬින් ඒ දෙස බැලූ විට දුටු දර්ශනයෙන් සිරිදාස තුෂ්නීම්භූත වී ගියේ ය.
" දුවපාං! " සිරිදාස මර හඬ දෙමින් සේන ව ද ඇදගෙන පසු නොබලා දුවන්නට විය. ඔවුන් පසු පස පන්නන්නේ මහ ගල් පරුවතයකි. එදා මෙදා තුර සිරිදාස වලසුන් දැක ඇතත් මේ සා විසාල එකෙක් දැක්කාම ය. තමන් යන්නේ කොයිබටදෝයි කියාවත් සිහියක් නැති මේ දෙමිතුරෝ අවසානයේ නතර වූයේ තමන් පසුපස කිසිවෙක් නොපැමිනේ යැයි හොඳින් අවබෝධ උනු පසුව ය.
" උඹලට මොකද්ද බං උනේ. මේ දාඩිය පෙරාගෙන. මොකෑ අවතාරයක්වත් දැක්කද " සුපුරුදු කටහඬකින් තමන් අමතනු ඇසුණු දෙදෙනාට පියවි සිහිය ආවේ එවිට ය. ඒ ඔවුන්ගේ හිතමිතුරු ගැමියෙකි. වලසා එළවාගෙන එනවිට තමන්ට පාර වැරදී ආපසු ගමටම දිව විත් තිබෙන බව සිරිදාස ට තේරුම් ගියේ එවිට ය.
" අවතාරෙටත් අන්තයි බං " සිරිදාස ට යන්තම් කතා කරගත හැකි විය.
" උඹලා මහ කැලේ මොද්ද කළේ. ඔන්න පොලීසියෙන් කඩාගෙන පැන්න කැලේට. කන්දේ නිධන් හාරනවලු " එසේ කියමින් ගැමියා යන්න ගියේ ය.
" විනාසයි , දැන් මොකෑ බං කරන්නේ " සිරිදාස නැවතත් භීරාන්ත විය.
" කොහොම උනත් වලහා පැන්නේ අපිව ඕකෙන් බේර ගන්න! " සේන පැවසීය.
" මොන බේරිල්ලක් ද බං. උඹ හිතං ඉන්නේ අරුන් ටික අපි ගැන නොකිය ඉඳියි කියලද. දැන් කරන්න දෙයක් නෑ. ටික කාලෙකට ගමෙන් වහං වෙලා ඉන්නයි වෙන්නේ " සිරිදාස තීරණයක් ගෙන තිබුණි.
" සිරිදාස අයියේ උඹ මේ ඇත්තටම ද කියන්නේ. අපි අහුවෙයිද බං ? " සේන ඇසුවේ චකිතයකිනි.
එදා ඒ සිද්දියෙන් පසු කන්දේ නිධන් හාරමින් සිටි පිරිස පොලීසියට කොටු විය. කවුරුන් ඔත්තුව දුන්නේදැයි කිසිවෙක් නොදනී. සිරිදාස හා සේන වලසාගේ උදව්වෙන් බේරුණු අතර ඉන් පසුව ඔවුන් එම ගමෙන් පිටවී වෙනත් ප්‍රදේශයක සිටි සිරිදාසගේ යහළුවෙකුගේ නිවසකට ගොස් එහි හේනක් වගා කළහ. ඔවුන් ආපසු ගමට පැමිණෙන විට සියල්ල යටගොස් තිබුණි.
*******************