Monday, March 9, 2020

ක්ෂණික මෝචනය ඔබට ප්‍රශ්නයක් වෙලාද?

ක්ෂණික මෝචනය කියන්නෙ මොකද්ද? මේක ඉතිං පිරිමින්ට විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා මං අමුතුවෙන්ම කියන්න ඕන නැහැනෙ.


සරලවම කිව්වොත්, ඔබ ලිංගිකව එකතුවන විට, ඉතාමත් කුඩා කාලයක් තුල ඒ කියන්නෙ පුරුෂ ලිගුව යෝනි මාර්ගය තුලට ඇතුල් කිරීමටත් කලින් හෝ ඇතුල් කර ඉතාමත් කෙටි කාලයකින් ධාතු පිටවීමට තමයි ක්ෂණික මෝචනය කියන්නෙ.




බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ටත් මේ ක්ෂණික මෝචනය කියන දේ තියෙනව කියලා හිතෙන එක. මේක කියවන ඔබටත් එහෙම හිතිලා ඇති. ඇත්තටම එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්. මොකද මිනිහෙක්ට තම ලිගුව ධාතු පිට වීමට නොදී යෝනියක් තුල තබාගතහැකි කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම ඇතැම් විට එකම පුද්ගලයාටත් එම කාලය අවස්තාව අනූව වෙනස් වෙනවා. ඒ නිසා අවම වශයෙන් මිනිත්තුවක් වගේ  කාලයක් අල්ලගෙන ඉන්න පුලුවන්නම් ඔබට ක්ෂණික මෝචනය නෑ.



ඒ වගේම ලෝකය පුරා පිරිමින් යොදාගෙන කරපු සමීක්ෂණ වාර්තා වලට අනූව බහුතරයකගෙ මේ කාලය මිනිත්තු 4ත් 5ත් අතර කාලයකට සීමා වෙලා තියෙනවා. ඉතාමත් අතලොස්සකගෙ මේ කාලය මිනිත්තු 30ත් පැනලා තියෙනවා.

අපි බලමු මේ ක්ෂණික මෝචනයට හේතු මොනවද කියලා. මෙයට විවිද හේතු හොයාගෙන තියෙනවා එයින් කිහිපයක් තමයි මේ.

1. මානසික ආතතිය
2. නිතරම තමාට ක්ෂණික මෝචනය ඇතැයි සිතීම
3. සහකාරිය සමග ගැටලු ඇති වීම
4. වෘත්තීය දිවියේ ඇති පීඩන
5. සිරුර තුල ඇති ඇතැම් රසායනික සංයෝග වල වෙනස් වීම්
6. ඇතැම් ඖෂධ වල අහිතකර ප්‍රතික්‍රියා

මේ සියල්ලම වගේ වලක්වා ගතහැකි දේවල් කියලා ඔබට පේනවා ඇති. ඇත්තටම ක්ෂණික මෝචනයට හේතුවන බොහෝමයක් සාධක අපිට වලක්වා ගන්න පුලුවන් දේවල්. ඒත් බොහෝවිට මේ ගැන නොදැනුවත් කම සහ වෛද්‍ය උපදෙස් පැතීමට ඇති ලැජ්ජාව නිසා බොහෝමයක් දෙනා මේ රෝගී තත්ත්ව සඟව ගෙන ඉන්නවා. ඉතිං මේ දේවල් අවසාන වෙන්නෙ පවුල් ප්‍රශ්න රාශියකටත් හේතු වෙලා.

ඔබටත් මේ ලක්ෂණ තියෙනවනම් වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ගැන උපදෙස් ගන්න එක තමයි කළ යුතු හොඳම දේ. මානසික ආතතිය මග හරවා ගන්න මනෝ වෛද්‍ය උපදේශන සේවා වගේම ඖෂධ පාවිච්චි කරන්නත් පුලුවන්. මේවා මානසික රෝග නෙවෙයි.

අනිත් වැදගත්ම කාරණේ තමයි ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කිරීමට පාවිච්චි කරන ඖෂධ වර්ග හිතුමතේ පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඒවයෙ අහිතකර ප්‍රතික්‍රියා ඊටත් වඩා බරපතලයි. සෑම විටම වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.

ඔබටත් ක්ෂණික මෝචනය නැතත්, ඉක්මනින් ධාතු පිට වීම වලක්වා ගන්න පුලුවන් උපක්‍රම කිහිපයක් සඳහන් කරන්නම්.

මුලින්ම කියන්න ඕන ලිංගික සංසර්ගය සහ ස්වයං වින්දනය කියන දෙක පටලවා ගන්න එපා. මොකද ක්ෂණික මෝචනය කියලා දෙයක් අපි ස්වයං වින්දනයේදි කතා කරන්නෙ නෑ. බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් වරදවා තේරුම් ගත් බොහෝ දෑ ඇති. ඒ දේවල් කොමෙන්ටු විදියට පල කරන්න. පිලිතුරු දෙන්නම්.

දැන් ආයෙමත් මාතෘකාවට එමු. ධාතු පිටවීම ප්‍රමාද කිරීමට කළ හැකි දෑ.

1. සරලම සහ ඉක්මන්ම ක්‍රමය තමයි උපත් පාලන කොපු. ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන රසායනික සංයෝග ඇතුලත් උපත් පාලන කොපු වර්ග ඕන තරම් වෙළඳපොළේ තියෙනවා. ඒ ගැනත් ඉදිරියෙදි කියන්නම්. ඒත් ඉතිං රේන් කෝට් එකක් දාගෙන නෑවම තියෙන ෆීලිං එක ගැන අමුතුවෙන් මෙතන විස්තර කරන්න ඕන නැහැනෙ.

2. දෙවැනි ක්‍රමය තමයි 'foreplay' එක දීර්ඝ කිරීම. Foreplay එක කියලා කියන්නෙ ලිංගික එකතු වීමකදි යෝනිය තුලට පුරුෂ ලිගුව ඇතුලු කිරීමට පෙර සිදුකරන ක්‍රියාකාරකම් ටික. මේ කාලය ක්‍රමවත්ව වැඩි කිරීම මගින් සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුලුවන්.

අපේ රටේ තියෙන ලිංගික අධ්‍යාපනයෙ තියෙන දුර්වලතාවය හරිම ලස්සනට ඉස්මතු වෙන තැනක් තමයි මෙතන. ඇතැමුන් මේ foreplay ගැන අහලවත් නෑ. දැන් ඉන්න අලුත් පරම්පරාව මේ දැනුම අරගන්නෙ බටහිර නිල් චිත්‍රපට බලලා. ඒත් ඒවායින් ඔවුන්ගෙ සිත් තුලට කා වැදෙන්නෙ හාත්පසින්ම වෙනස් දේවල්. මේ ගැන වෙනම බ්ලොග් පෝස්ටුවක් උනත් ලියන්න පුලුවන්.

3. තවත් පහසුම ක්‍රමයක් තමයි ඉරියව් වෙනස් කිරීම. පුරාණ ඉන්දියානු ග්‍රන්ථයක් වන කාමසූත්‍ර වල විවිධ ලිංගික ඉරියව් සියයකටත් වඩා ඉදිරිපත් කරලා තියෙනවා. ඒගැන ඉදිරියට වෙනම කතා කරමු. ඇත්තටම ඒ හැම ඉරියව්වක්ම කරන්න බැරි උනත් ඉරියව් කිහිපයක් මාරු කරමින් ලිංගිකව යෙදෙන විට ධාතු පිටවීමට යන කාලය වැඩි කරගන්න පුලුවන්.

4. සහකාරියගේ උදව්වෙන් කරන්න පුලුවන් දේවලුත් තියෙනවා. ඉන් එක උපක්‍රමයක් තමයි ලිංගිකව එක් වන අවස්ථාවකදි තමන්ට ශුක්‍රාණු පිටවෙන්න ආසන්න වෙන විට ඒ බව සහකාරියට දැනුම් දීම. එවිට ඇය තම අතේ ඇඟිලි දෙකකින් ලිගුවේ කෙලවර වේදනාවක් ඇතිවන පරිදි තෙරපීමක් සිදු කරනවා. එවිට ශුක්‍රාණු පිටවන්නෙ නෑ. නැවත ලිංගික එක්වීම සිදු කළ හැකියි. මෙය නැවත නැවතත් සිදු කරන්න පුලුවන්.

මෙවැනි උපක්‍රම ඕනෑතරම් තියෙනවා. ඔක්කොම කියන්න ගියොත් ලිපිය අනවශ්‍ය විදියට දිගු වෙන එක තමයි වෙන්නෙ. එනිසා මෙතැනින් නතර කරන්නම්.

තවත් අලුත් මාතෘකාවකින් නැවත හමුවෙමු!

No comments:

Post a Comment