Friday, March 27, 2020

දුම් පානය නිසා කොරෝනා හැදෙන හැටි

දුම්වැටි පානය කරන පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වෙන්න තියෙන හැකියාව වැඩියි කියලා පහුගිය ටිකේ  නිතරම අහන්න ලැබුනනෙ. ඉතිං ඒකෙ ඇත්ත නැත්ත ගැන කතා කරන්න තමයි අද හැදුවෙ.



අපි දැනටමත් දන්න දෙය තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ  පවතින අයට සහ දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග, පිළිකා වැනි රෝග තිබෙන අයටත් මේ කොරෝනා ආසාදනය වුනොත් දරුණු ප්‍රතිවිපාක අත්වෙන්න පුලුවන්. එතකොට කොහොමද දුම් පානය කිරීම මේකට සම්බන්ධ වෙන්නෙ? ඇත්තටම දුම්පානය කිරීම විවිධ ආකාර වලට මේ රෝගයත් සමග සම්බන්ධ වෙනවා. මම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මේ සම්බන්ධ විෂය ප්‍රවීනයන්⁣ගේ අදහස් කිහිපයක් සඳහන් කරන්නම්.


01. පෙනහලු වලට සිදුවන බලපෑම

දුම්පානය ප්‍රධාන ලෙසම බලපාන්නෙ පෙනහලු වලට. ලොකු කාලයක් තිස්සෙ දුම් පානය කිරීම නිසා පෙනහලු වල වාතය ගමන් කරන ස්ථර විනාශ වීමෙන් COPD (Chronic Obstructive Pulmonary Disease) වැනි රෝග තත්ත්ව ඇති වෙන්න පුලුවන්. ඒ වගේම පෙනහලු පිළිකාවටත් ප්‍රධානතම ⁣හේතුව වන්නෙ දුම්පානය. ශ්වසන පද්ධතිය ආශ්‍රිත බොහෝ ආසාත්මිකතා වලටත් දුම්පානය හේතුවක් වෙනවා. ඉතින් මේ දේවල් නිසා සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා දුම්පානය කරන කෙනෙක්ට කොරෝනා වැළඳුනොත් එහි භයානක කම වැඩියි. මොකද මේ CoviD-19 කියන්නෙත් ප්‍රධාන ලෙසම ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරසයක්. ඔබ වෛරසයට අවශ්‍ය කරන පරිසරය ඔබ විසින්ම නිර්මාණය කරලා තියෙන නිසා වෛරසයට බොහොම පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්.

02. හෘදයවස්තුවට ඇතිකරන බලපෑම

අනෙක් අවදානම් කණ්ඩායම තමයි හෘදයාබාධ ඇති රෝගීන්. ඔබ දැන හෝ නොදැන හෘදයාබාධ ඇති වීමටත් ප්‍රධානතම හේතුවක් ලෙස දුම්පානය සඳහන් කරන්න පුලුවන්. ඇතරොස්ක්ලෙරෝසිස් කියන රෝගී තත්ත්වය, ඒ කියන්නෙ රුධිර නාල අවහිර වීමට දුම්පානය හේතුවෙනවා.

03. දුම්වැටිය අන් අයත් සමග හුවමාරු කර ගැනීම

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට කො⁣රෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් තමයි මේක. කණ්ඩායම් වශයෙන් සිටිමින් දුම් පානය කිරීම, දුම් වැටිය හුවමාරු කර පානය කිරීම නිසා සියලුම දෙනාට කොරෝනා වැළඳෙන්න පුලුවන්. ⁣එක් අයෙක් තුල තිබෙන වෛරසය දුම්වැටියේ ෆිල්ටරය හරහා ගමන් කිරීම මෙහිදී සිදුවෙනවා.

04. අතේ ඇති වෛරසය කටේ දමාගැනීම

කොරෝනා වැඩියෙන්ම බෝවෙන්නෙ ඇඟිලි නහයෙ, කටේ ගහන නිසා කියලා අහලා ඇතිනෙ. ඉතින් ඔබ දුම් වැටියක් පානය කරන විටත් ඔබට නොදැනීම මේ දේ වෙනවා. එවිට පහසුවෙන්ම ඔබේ අතේ ඇති වෛරසය කටට ඇතුලුවෙනවා.


ඔන්න ඔහොම තමයි දුම්පානය කොරෝනා වලට හේතු වෙන්නෙ. කොරෝනා විතරක් නෙවෙයි, බහුතරයක් ලෙඩරෝග ඇතිවෙන්න ප්‍රධාන ලෙසම දුම්පානය හේතුවෙනවා. ඉතින් දුම් පානයෙන් වැළකෙන්න පුලුවන්නම් මේ හැම ලෙඩකින්ම බේරෙන්න ඔබට පුලුවන්. ඒ වගේම පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා දුම්පානය නැවැත්වූ පසු පෙනහලු වල විනාශ වී ගිය සෛල සීඝ්‍රයෙන් නැවත වර්ධනය වෙනවා කියලා. ඔබත් දුම් පානය කරන්නෙක්නම් මේ ගැන හොඳට හිතලා බලන්න. මොකද දුම්පානය නවත්වන්නත් කවදාකවත් නැති අවස්ථාවක් කොරෝනා විසින්ම ඔබට ලබාදීලා තියෙනවා. එනිසා නිවසට වෙලා ඉන්න මේ දවස් ටිකෙන්ම ඒක ආරම්භ කරන්න පුලුවන්.





2 comments:

  1. අවුරුදු 25ක් දුකට සැපට හිටියේ ඔච්චරයි

    ReplyDelete
    Replies
    1. දුම්වැටියෙ භයානක කම ගැනත් දැනගෙන ඉන්න.. 😁

      Delete