Tuesday, April 18, 2017

නොවන් මෙවන් විපත් යලිත්...

මතකද අයිලන් කුර්දිව ? සිරියාවෙන් ඇවිත් මූදේදි මැරිලා ලෝකේම කතාකලා....
එතකොට මේ කවුද ? ඔවු මේ මීතොටමුලෙ ළමෙක්.බලන්න බෑ නේද ? ඔවු එහෙට ප්‍රෙ කරන්න බල්ලෙක්වත් නෑ.....මාධ්‍යයෙන් වසන් කරන ඇත්ත මේ.......අඬවන්න දැම්මෙ නෑ හිතන්න දැම්මේ මේ නොදරුවො මෙහෙම මැරෙන්නෙ මෙ රටේ අසික්කිත දේශපාලනය නිසා

---------------------------------
මීතොටමුල්ල බලා...
අලුයම පහව හිරු ටිකෙන් ටික අවදිවූ මොහොතක දනි පනි ගා අවදි වී මීතොටමුල්ල බලා පිට වීමට ලකලෑස්ති වූයෙමි.. වෙනදාක මෙන් නොව රජයක් විසින් කල සමූල ඝාතනයක අක් මුල් සොයා යන ගමනක් වූයෙන් ඉවිසිලි නොමැති දෑස් ඉක්මනින්ම ඒ මහා විපැත්තිය දැකබලාගන්නට පෙරුම් පිරුවේය.. අවසන ටෙක්නිකල් මංසංදියෙන් නැගි ගමන කොලොන්නාව මං සන්දිය කරා අප ගෙන ගිය බස් රථයේ කොන්දොස්තර මහතාට ස්තූති කොට මමත් මාගේ මිතුරු ගමන් සගයාද වේදනාවෙන් කම්පිත වූ කොලොන්නාව නගරයට පා තැබුවෙමු!
වෙනදාක මෙන් නොව නගරයේ අඩියෙන් අඩිය ගොඩ ගැසුනු කුණු මලු ද ඇතැම් තැන්වල කොලොන්නාව නගර සබාවේ කුණු පුරවා යන එනමං නැතිව නවතා තිබූ කුණු ලොරිද අපගේ සිතෙහි විවිධාකාර සිතුවම් අදිමින් තිබුනි... ටික දුරක් ගොස් කොලොන්නාව රජමහා විහාරයට යාබද ටෙරන්ස් විද්‍ය්‍යාලයට ඇතුලු වූයේ ඒවන විටත් තම කාලය සහ ශ්‍රමය අහිංසක මිනිසුන් වෙනුවෙන් කැපකරමින් සිටි අපගේ ෆේසබුක් හිත මිතුරු චමල් අකලංක මහතා හමුවීමටයි..
ඒ මොහොත වන විටත් ඉස්පාසුවක් නැතිව කොලඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීථ සිසුන් සමග සහනාදාර බෙදා දීමේ යෙදී සිටි චමලේ සමග වචන කිහිපයක් හුවමාරුකොට ගෙන ඉන් අප ඉවත්ව ගියේ මේ මහා විනාශයට ගොදුරු වූ මිනිසුන්ගේ නිහඩ සිරුරු වල දැවෙන ශෝකය දැක බලා ගැනීමට මීතොටමුල්ල ලංගම ඩිපෝව සොයා ගෙනය.
වෙනදා මෙන් නොව නිහඩව මහා විශාල දුකක් දරාගනිමින්දෝ ලංගම ඩිපෝව නිසල වී ඇත.. බස් රථ කිහිපයක් හැරුණු කොට නොඑක් පන්නයේ යුධ හමුදා රථ වලින් පිරී ඉතිරී ගිය ඩිපෝවේ ඉදිරිපස මහ මගෙහි ගොඩ නැගූ ටකරං සෙවනකි.. සුදු කොඩි ලෙලදෙමින් ඇත..තවමත් එකදිගට නාස් පුඩු කඩා යන කුණු ගද මැද පේලියට අතුරා ඇති මිනී පෙට්ටි හයකි.. ඉන් එකක් ඇරෙන්නට අනෙක් සියල්ලම සීල් කොට ඇත..ඒ අසල කදුලු සලමින් තම ඥාතීන් වෙනුවෙන් කම්පා වන මිනිසුන් ය...
වඩාත්ම කනගාටුදායක සිදූවීම වූයේ එම සීල් පෙට්ටි අතර හයක් හතරක් නොදන්නා මන්දමානසික රෝගී කුඩා ලැදරියකගේ සිනහ මුසු චායාරූපයක් රැන්දූ වාර්නිශ් පෙට්ටියක් තබා තිබීමයි.. එම කුඩා දැරිය මේ මහා කුණු කන්ද නාය යන මොහොතේ කුමක් කරන්නට ඇත්ද..එය දන්නේ ඉහල අහසේ සිට මේ මහා ශාපය දෙස බලා සිටි දෙවියන් පමණි.. අනෙක් පස එකම පවුලේ මව පියා සමග කුඩා දියනියකි... ඉන් එහා පසින් වයස අවුරුදු දහ නමයක් පමන කිව හැකි තරුණයෙකුගේ සිනහ මුසු සෙල්ෆි චායාරූපයකි..එයද සීල් පෙට්ටියකි.. ඔහු පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනයේ සේවය කල බවත් එදින අලුත් අවුරුදු නමුත් නිවාඩු නොමැතිවීමෙන් ටික මොහොතකට නිවසට ගොඩවූ සැනෙකින් මේ මහා විපතට ලක් වූ බවත් කියමින් හඩා වැටෙන්නේ දිවි බේරාගත් ඔහුගේ ඥාතිවරයෙකි...
මල සිරුරු හොවා ඇති ටකරම් මඩුවට යාබදව ශෝකී මුහුණින් සිටින ඉතා උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකි.. ඊට නුදුරින් පොලිස් විශේෂ කාර්‍යබලකා සෙබලුන් රොත්තක් අවි අමෝරාගෙන ඇත.. මේ ආරක්ෂාව සීල් පෙට්ටි වලටද එය වටා හඩා වැලපෙන අහිංසක මිනිසුන්ටද නැතිනම් මිනිසුන්ගේ සිත් වලින් නැගෙන කෝපාග්නියට අසුවී විලිලැජ්ජැවේ ගැහෙන ආන්ඩුව රකින්නටදැයි අපි ඒ මොහොතේ ඔවුන්ගෙන් නෑසුවේ එය සදාචාරාත්මක නොවන නිසා වෙනි.. ඉනික්බිති කුණු කන්ද කඩා වැටි ස්ථානයට පියමන් කල අතර ඒ වනවිටත් එම ස්ථානයට යාමට නොහැකි වන පරිද්දෙන් අති දැවැන්ත මුරකාවල් යොදා ඇත... මෙයට හේතු විමසූ විට සොර සතුරන්ගෙන් බාන්ඩ ආරක්ෂා කරගැනීම උදෙසා බව හමුදාව ප්‍රකාශ කල අතර ගම් වැසියෙකු කීවේ එයට හාත්පසින්ම වෙනස් කතාවකි..
"මොන හොරුද මහත්තයෝ..ඔක්කොම එක ගමේ.. ඔතනට මරික්කාර් ආවා.. මිනිස්සු ගල් ගහලා හූ තිබ්බා.. මෙච්චර කල් රෙද්ද පල්ලේ හැංගිලා උන්න මහ ඒජන්තලා දැන් රොත්ත පිටින් කුණු ගොඩ ඉබිනවා.. ගල් ගහලා හූ තියාවි කියලා බයට එන්න නොදෙන්නේ අපිට..
එසේ කියූ ඔහු මොනවාදෝ මුමුනමින් අපෙන් ඉවතට ගියේය.. පසුව අපි ඈතින් සිදුවූ විනාශය දැකබලා ගැනීමේ පරමාර්ථයෙන් ඒ ස්ථානයට යන විටත් කලු පැහැ ඩිෆෙන්ඩර් කිහිපයක් මහමග පුරා අරක්ගෙන සිටිනු දුටුවෙමු..
කුනු කන්දේ ඈත කෙලවරක ගිනි ගෙන දැවුනු එස්කැවේටර් යන්ත්‍රයකි.. සිදුවීමෙන් කුපිත වූ ජනයා යන්ත්‍ර දෙකක් සහමුලින්ම ගිනිබත් කල බව අසන්නට ලැබිනි
එම අවස්තාවේ අසල ගම්වාසියෙකු වන මගේ මිතුරු චමිල් විතාරන මහතා මුණ ගැසුනේ වාසනාවටය..ඔහු නොවන්නට අපට පහල දක්වා ඇති ව්‍යසනයේ සමීප රූප රාමු ඔබ හමුවේ තැබීම සිහිනයක්ම වනු ඇත...
පසුව අප මුණගැහුනේ ගමේ විහාරයේ අනුනායක හිමි වහන්සේය..
උන් වහන්සේ ප්‍රකාශ කල පරිදි හමුදාව සහ ජනතාව අතර ඇති වූ ගැටුමකින් පසු එම ස්ථානය ජනතා වට ඒමට තහනම් කොට ඇත.. ගැටුම ඇති වී තිබෙන්නේ හමුදාව මිනී ගොඩ ගැනීමට මැලි කමක් දැක්වීම නිසා ජනතාව එයට එරෙහිවීමත් සමගය.. එම අවස්තාවේද කුඩා දරුවෙකුගේ මිනියක් ගත්තේ හමුදාවට වැද වැටී බව බොහෝ අය පවසනු අපගේ සවන් වලට වැකුණි.. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ රජය මිනී ගොඩ ගැනීමට එරෙහිව හමුදාව යොදවා ඇති බවයි.. මක්ද මේවන තුරු සොයාගත් සිරුරු වලින් බහුතරයක් සොයාගෙන ඇත්තේ හමුදාව නොවන බවත් සිවිල් සංවිධාන සහ ගම්වැසියන් විසින් බවත් උන් වහන්සේ ප්‍රකාශ කරයි
එකසිය හතලිහකට වඩා අතුරුදන් බවත් ඔවුන් අඩි හතලිහක් පමන වන පස් කන්ද යට ජීවතුන් අතර හෝ නැතිව සිටිනු ඇති බවත් සිරුරු ගොඩ ගැනීමේදී එහි විශාලත්වය මත ජනයා කුපිත වීම නිසාවෙන් සිරුරු ගොඩ ගැනීම පසෙකලා ගොඩනැගිලි පස් වලින් වසා දැමීමේ පාපකාරී කුමන්ත්‍රණයක හමුදාව යෙදෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කල උන් වහන්සේ අවසන පිටත්ව ගියේ දැඩි කනගාටුදායක මුහුණිනි.
කුණු කන්දට යටවූ ගම්වැසියන් ට අමතරව නුවර ප්‍රදේශයෙන් පැමිනි විස්සකට අධික ඥාතීන් පිරිසක් සහ ඔවුන් ආ වෑන් රියද අතුරුදන් බව ගම්වැසියන් ගේ හෝඩුවා වලින් අපට දැනගන්නට ලැබුනු අතර ඒ පිලිබදව මා කොලොන්නාව පොලිස් නිලධාරී මහතෙකුගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කලේ එම පිරිස සොයා ගැනීමට මේ වන විටත් කොමාන්ඩෝ බලකාය වෙහෙසන බවයි..
ආරක්ෂක අංශ ජනතාවගේ ඇසට වැලිගසා මල සිරුරු යට කරමින් සිදුකරන මිලේච්ඡ ක්‍රියාවට ගම්වාසීන් මෙන්ම ප්‍රදේශයේ ආගමික නායකයන්ද විරුද්ධව අදහස් ප්‍රකාශ කල අතර මල සිරුරු වල අවසන් ආගමික වතාවත් සිදු කිරීමට යාමට කෙටි කාලයක් තිබියදි නැවතත් සිරුරක් ගෙන එන ලදි..එම සිරුරද අනෙක් සිරුරු සමග බූමදානය කරන බැව් සැලවූ විට ප්‍රදර්ශන කාලය මදි බව කියමින් ජනතාව හඩ නගන්නටවූ අතර පසුව වැඩිහිටියන්ගේ උපදෙස් මත සියල්ලෝම එයට එකග විය..
එසේම අනෙක් මිලේච්ඡ සිදුවීම වනුයේ ඉතා හොදින් ප්‍රදර්ශනය ට සුදුසු තත්වයේ මල සිරුරුද සීල් පෙට්ටි වල එවීමයි..විශේෂයෙන් කුඩා දරුවන්ගේ සිරුරු මෙසේ සීල් කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ තමන් කල ඝාතනය ජනතාවගේ කෝපයෙන් වහන් කිරීමට බව සියල්ලෝම දනිති..එහෙත් එය කෙතරම් අමානුෂික දැයි වැටහෙන්නේ එම දරුවන්ගේ මවු පියන් සිය දරුවාගේ අවසාන ස්වරූපය වත් නෙතෙහි දරා ගැනීමට අවාසනාවන්ත වූ බව හඩ තලමින් කියා පෑම දුටු විටය.. පාලකයන් මෙතරම් මිලේච්ඡ ද.. එම ප්‍රශ්නය සිය දහස් වතාවක් මා සිතෙහි තැන්පත් කිරීමට මීතොටමුල්ල කුණු කන්ද සමත් විය..
පසුව සවස් බාගය වන විට මලසිරුරුවල අවසන් ආගමික වතාවත් සදහා විශාල චීවරධාරී ස්වාමීන් වහන්සේලා ගනනක් සහබාගී වූ අතර ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමි ආගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටිමින් දර්ම දේශනයක් සිදු කල අතර එය දේශනයකටත් වඩා පාලකයන්ගේ රෙදි ගලවා ඇත්ත ජනතාවගේ හදවතේ තැබූ හදවත් ආමන්ත්‍රණයක් ලෙස හැදින්වීම කාලෝචිතය..
ඉන් පසු මීතොටමුල්ල කුනු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ නීතීඥ ප්‍රදේශවාසී නුවන් බෝපගේ මහතා අවසන් කතාව පැවැත්වූ අතර එම කතාව අතර තුල පොලිස් නිලධාරීන් ආගිය තැනක් සොයා ගත නොහැකි වූ අතර පොලිසියේ ශෝක ප්‍රකාශ බැනරයද බුලත් කෙල ගසා ඉරා තිබින.
දෙනෝදහසගේ හැඩුම් ලතෝනි ඉකිබිදුම් මැද සිරුරෙන් සිරුර කරට ගත් තරුණයෝ කුටියෙන් ඉවත් වූ අතර එක පෙලකට සිරුරු සියල්ල කරගසා ගෙන ගමන් කරත්දී මතකයට නැගුනේ එල්ටීටීඊ සංවිධානය විසින් අම්පාර මායිම් ගම්මානයේ ජනතාව ඝාතනය කල අවස්තාවේ ගමන් කල අවමඟුල් පෙරහරයි..එහෙත් මෙය එයට වඩා ඇත්තටම වෙනස් අවමගුලකි.. ජනතාව විසින් තෝරාගත් ආන්ඩු කිහිපයක් කුමන්ත්‍රණ කාරී ලෙස කල සමූල ඝාතනයක අවමගුලකි. සුදු කොඩි වෙනුවට නැගුනේ කලු කොඩි පමණි.. අතරින් පතර තද වචනින් ලියූ පෝස්ටර් කිහිපයකි.. කලු පාටින් ලෙල දුන් කොඩි යට ගමන් ගත් නිසල දේහ කිහිපය අඩි කිහිපයක් ඉදිරියට ගොස් එක් විටම නැවතුනි..
පෙට්ටි කැඩෙනවා..අල්ලපල්ලා.. ඔන්න යටින් යනවා.. මහා අදෝනාවකි..
සිදුවන්නේ කුමක්දැයි හිතාගැනීමට නොහැකි වූ අප වහාම එම ස්තානයට ගිය විට කුණු වී ගිය අතක් එල්ලෙන මිනී පෙට්ටියකි..එහි අඩිය කඩා ගෙන ගොස් ඇත.. රජයෙන් පනස් දහසක් ඇස්තමේන්තු ගත කොට සැකසූ වාර්ණිශ් පෙට්ටි තුනක් එසේ කඩා වැටී තිබින..එකෙනෙහිම හට ගත්තේ දැඩි උනුසුම් තත්වයකි .ඒ ජනතාව සහ මාධ්‍යවේදීන් අතරයි
හරි හැටි එම්බාම් නොකල කඩා වැටුනු සිරුරු රූගත කරන්නට ගිය රජයට හිතැති එක්තරා මාධ්‍යවේදියෙකුට මෙසේ ජනතා විරෝධය එල්ල වූයේ එම නාලිකාව මගින් දිගින් දිගටම මෙම සිදුවීම සාමාන්‍ය පුවතක් බවට පත්කරලීම නිසාය ..පසුව මාධ්‍යවේදියා හට එම ස්තානය වාර්තා කිරීමට නොදුන් අතර විරෝධතා කොඩි ඉරා ගත් පටි කැබලි වලින් එතූ පෙට්ටි කර තබා ගත් අවමගුල් පෙරහර යලිත් ගමන් ආරම්භ කලේය
මෙම ජනතාව කුනු කන්දක් අසලට ගොස් නිවාස තනා ගත්තේ නැත..මජර පාලකයන් ඔවුන් අසලට කුනු කන්ද ගෙනැවිත් දැමුවා පමනක් නොව සෑම වසරකම කුනු කන්ද පෙන්වා බඩ වඩා ගත් හ..කන්ද ඉවත්කරනා බවට බොරු පොරොන්දු දුන්හ.. පසුව ජනතාව කල උත්ගෝශන වලට ආන්ඩුවේ කුලීහේවායන් ලවා පහරදී ජනතාවගේ ඉල ඇට බින්දෝය..අවසන අද... උන් මේ අහිංසකයන්ගේ මිනී පෙට්ටියෙන්ද ගසා කෑහ...මට මතක් වන්නේ නන්දා මාලනියගේ ගීතයක කොටසකි... මැරුණත් මේ බිමේ.. ..ඉතුරු ටික ලැජ්ජාව නිසා නොකියමි
කොලොන්නාව සුසාන බූමිය එකම හිස් ගොඩකි.. කැමරා රැසකි.. අතර මැද කහ පැහැති බැකෝවකි.. ඒ අසල විශාල වලකි... මොහොතකින් යලිත් මිනිසුන්ගේ විලාප හඩ උස්ව නැගෙන්නට විය.. සීල් පෙට්ටි එකින් එක එම සමූහ මිනී වලේ අතුරන්නට වූ අතර තම මව පියා සහෝදරයා සහෝදරිය පුතා දුව අතැර වෙන්වන්නට බැරිව හඩා වැලපෙන මිනිසුන් රොත්තකි..ඔවුන් පපුවට ගසා ගනිමින් පොලවේ හැපෙමින් අසන්නේ එකම එක දෙයකි.. ඇයි අපිට මෙහම කලේ ..ඇයි මෙයාලව මරාගත්තේ..අපි උඹලට කල වරද මොකක්ද... එපමනය...
මමද මිනිසෙකි කොතරම් ලිව්වද එම මොහොත ලිවීමට දෑස මට ඉඩ නොදෙන්නේ මන්දැයි නොදනිමි... එය එතරම්ම කේදජනකය.කනගාටුදායකය.. මා එතනින් නික්ම ගියේ අතින් ගස් පස් අහුරක් සීල් පෙට්ටි මතට මුදා හරිමින් ය.. සිහිසුන් වෙන කෑ ගසන විලාප නගන මිනිසුන් මැද එකදු පාලකයෙකු වත් නැත.. ජන්දයට හිගා කන එකම ජනතා නියෝජිට්ජයෙකු වත් නැත..ඇත්තේ අපට අපි පමණකි..
මල හිරු බැසයන සැදෑවක ඒ අහිංසකයන් අට දෙනා පොලවට වැලලී ගියේය.. තවත් එකසිය ගනනක් චාරිත්‍ර වාරිත්‍ර නොමැතිවම කුනු කන්දක් යටය.. කුණු කන්දකට යට වීම.. කෙතරම් ශෝචනීය සිදුවීමක්ද..
මුලු රටම සතොසින් කිරිබත් කෑ දිනයක පාලකයන් ඔවුන් සමූල ඝාතනය කලෝය.. මෙය තවත් ස්වබාවික ව්‍යසනයක් නොවේ වසර ගනනාවක් දැන දැනම කල කුරිරු ඝාතනයකි.. එම ඝාතනයට වචනෙකින් හෝ සහය දුන් එවුනට මෙලොවදීම දඩුවම් ලැබෙනු ඇත...

විශේෂ ස්තුතිය ප්‍රදේශවාසී Chamila Vitharana මහතාට


ලිව්වේ චරිත් ජනප්‍රිය

No comments:

Post a Comment

ඔබේ අදහසත් කියල ම යන්න..
මොකුත් කිව්වේ නෑ කියල තරහා නෑ හොඳේ.........

Related Posts Plugin for WordPress, Blogger...