Saturday, October 19, 2013

කාසි මොට ද තාත්තේ!

     හාත්පස සිසාරා තිබූ ඝන අන්ධකාරය, සෙමින් සෙමින් නැගෙන හිරු කිරණින් පියැවී යන්නට විය. ඒ තවත් එක් දිනයක උදාව යි. උදෑසන නිහැඬියාව බිඳිමින් විටෙක ඇසුණු බල්ලෙකුගේ බිරුම් හඬකින් සලකුණු වූයේ අසල ඇති ගම්මානයකි. සිව් දෙසින් ම පුළුල් කඳු වළල්ලකින් වට වූ මේ කුඩා ගම්මානය උදෑසන නැවුම් වාතයේ පහස විඳිමින් තිබුණි. ඈත සිට බලන්නෙකුට නගරයේ කිසි දා දැකිය නොහැකි ගමේ ගැමි සුන්දරත්වය මොනවට විද්‍යාමාන වනු ඇත. 

" සෝමපාල මල්ලි උදහැනක්ම කොහෙද මේ? " උදෑසන ම අලුතින් කැපූ පස් පාර දිගේ ඉදිරියට ඇදෙන මැදිවියේ පුද්ගලයෙකි.

" ආ කර්ලිනා අක්කේ. මං මේ යනවා ටවුමට ඩිංගක් ගිහින් එන්න.. " 

   සෝමපාල තම ගමන ඉක්මන් කළේ කර්ලිනාට තවත් කිසිවක් කීමට ඉඩකඩ නොතබමිනි.

   අනෙක් ගම් වැසියන්ට මෙන්ම නිවසට උවමනා කරන අඩුම කුඩුම ටික මිලදී ගන්නට හැරුණු විට සෝමපාල ට නගරයට එන්නට තවත් එක් හේතු කාරණාවක් ඇත. නගරයට යන සෑම දිනකම වාගේ ඔහුගේ අත වූයේ ලියුම් කඩදාසියකි. ඒ වෙනත් රටක සේවය කරන තම බිරිඳට ලියූ ලිපියකි. 

   සිය බිරිඳ විදෙස් රටක සේවයට යාමට ගත් තීරණය පිළිබඳව සෝමපාල සිටියේ එතරම් හිත් මනාපයකින් නොවේ. එහෙත් ඉඳහිට ලැබෙන කුලී වැඩකින් වත් ගොවිතැනෙන් වත් තම දරු පවුල නඩත්තු කිරීමට නොහැකි බව හොඳාකාරව ම දත් බැවින් කිසිවක් නොදොඩා පැත්තකට වී සිටින්නට ඔහුට සිදු විය. එදා සිට අද වන තුරු අවුරුදු දෙකක් පමණ සෝමපාලට සිදු වූයේ තම වැඩිමහල් දියණිය සහ කුඩා පුතු සමග පුංචි ගෙපැලක තනි වීමට ය.

   කෙසේ වුවත් ඉන් පසු සෝමපාලලාට මුදල් වලින් නම් එතරම් අඩුවක් නොවීය. ඔහු තම බිරිඳ වැලි කතරේ දුක් විඳ හම්බ කර ගත් මුදල නැති නාස්ති නොකළේ ය. එම මුදල් එකතු කර නිවසක් සෑදූවේ අනාගතය ගැනත් සිතාම ය. 

   " තාත්තේ, අම්මා මේ අවුරුද්දටවත් අපිව බලන්න එයි ද? "

   එය සෝමපාලට නිතර ඇසෙන පැණයකි. එවැනි විටෙක ඔහුට සිදු වූයේ කුමක් හෝ බොරුවක් පවසා දරුවන් සැනසීමට ය. එහෙත් එය සැමදා සිදුකළ හැක්කක් නොවීය.

    අලුත් අවුරුද්ද ළඟ ළඟම එයි. ගමේ කොයි කවුරුත් අලුත් අවුරුද්දට ලක ලැහැස්ති වෙනු දුටු සෝමපාල මෙවර නගරයට යන්නේ තම දරුවන්ට අවුරුද්දට ඇඳුම් ටිකක් ගැනීමට ය. මව ළඟ නැති දරුවන්ට මේ අවුරුදු කිහිපයේ දී පියෙක් මෙන්ම මවක් ද වීමට ඔහුට සිදු විය. උදෑසන ම නගරයට ගිය සෝමපාල නැවත නිවසට පැමිණෙන විට තරමක් දහවල් වී තිබුණි. පොලිතීන් කවර දෙකකින් ඔහුගේ දෑත ම බර වී තිබුණි. ඔහුගේ මුහුණ දෙස බැලූවෙකුට පෙනී යන්නේ දවස පුරා නගරයේ කරක් ගසා හෙම්බත් වූ අයුරකි. 

   තම නිවස ඉදිරිපිට පිරිසක් රැස්ව සිටිනු දුටු සෝමපාලගේ පය තවත් වේගවත් විය. කව්රු කව්රුත් කම්මුලේ අත් ගසාගෙන බලා සිටියේ ඔහුගේ නිවස දෙස ය. 

" අනේ අම්මපා බං, මේ රටට මොන ගිනි විජ්ජුම්බරයක් පාත් වෙන්න යනවද කියල හිතා ගන්න බෑ.. "  ඒ කටහඬ කර්ලිනාගේ ය.

" ඒකනේ මේ මහ ගිනි දවාලේ මෙච්චර දෙයක් වෙන්න තරං.... " ඒ තවත් කටහඬකි.

    සෝමපාල එකවරම කරකවා අතහැරියාක් මෙනි. ඔහුට අගක් මුලක් ගලපා ගැනීමට නොහැකි විය. ඔහු අවසිහියෙන් මෙන් ඇර දමා තිබූ දොරෙන් ඇතුලට රිංගුවේ සිත තුල කැකෑරෙන අසීමත බියකිනි. අවසානයේ දුටු දෙයින් ඔහුගේ පපුව තුල ඇවිලෙමින් තිබූ ගිනිදැල් ක්ෂණයකින් නිවී ගියේය.

" මොකද පුතේ උනේ? " 

" අනේ තාත්තේ! මායි මල්ලියි ................. " සෝමපාලගේ දියණිය සෝමපාල ව බදාගෙන හඬන්නට විය. 

" පොඩි උන් දෙන්නා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල දොර අරිනකොට ගේ ඇතුලේ ඉඳපු මිනිහෙක් කුස්සියේ ජනේලෙකින් පැනල දුවල. බය වෙච්චි පාරට කෑ ගහගෙන ඇවිල්ලා අන්තිමේදී නතර උනේ අපේ ගෙදර " 

  සෝමපාලගේ අසල්වැසියෙක් වූ මැගිලින් කටහඬ අවදි කළාය.

  සෝමපාල ගේ ඇස නිතැතින් ම යොමු වූයේ ඇඳුම් අල්මාරිය දෙසට ය. ඔහු හරිම අපහසුවෙන් පිළිවෙලකට අඩුක් කර තිබූ ඇඳුම් සී සීකඩ විසිරී ගොසිනි. 

" අනේ දෙයියනේ, සල්ලි ටික! "

  නිවසේ ඉතිරි වැඩ කටයුතු සඳහා ඔහු විසින් එකතු කර තිබූ මුදලින් රුපියලක්වත් ඉතිරි කර නොතබා සියල්ල රැගෙන ගොසිනි. රැයක නොව මහ දවාලේ කාගේත් ඇස් වලට වැලි ගසා ය. 

" ඔහොම දෙයක් පිට එකෙක් ට කරන්න බෑ.. අනිවාර්යයෙන් ම ගමේ එකෙක් තමයි " 

" ඔව් ඔව්.. මාත් පිලිගන්නවා ඒක. මොකා උනත් මුංට හෙන හත වදින්න ඕන මේ කරපු දේට " 

   ඒ රැස්ව සිටිදෙතුන් දෙනෙක් කී කතා ය. එහෙත් සෝමපාලගේ සිතට තරමක සැනසිල්ලකි. ඔහු කලින් බිය වී සිටියේ තම දරුවන් ට කුමක් හෝ කරදරයක් දැයි කියා ය. ඔහුට තම පවුල මෙන් අන් කිසිවක් වටින්නේ නැත. කෙසේ වෙතත් නිවසේ වැඩ කටයුතු අතරමග ඇනහිටුණේ  මේ අකරතැබ්බ නිසාවෙනි. එහෙත් බොහෝ දුරට නිවසේ වැඩ ද අවසන් ය.

   කෙමෙන් කෙමෙන් කාලයද ගෙවී යන්නට විය. අලුත් අවුරුද්දට තව ඇත්තේ දින කිහිපයක් පමණි. පසු ගිය සිදුවීම නිසා සෝමපාලගේ දරුවන් සිටින්නේ එතරම් සතුටකින් නොවේ. සෝමපාලගේ නමට තැපෑලෙන් ලියුමක් ලැබෙන්නේ මෙවිට ය.

" මොකද්ද තාත්තේ ලියල තියෙන්නෙ? " 

" අම්මා අවුරුද්දට අපිව බලන්න එනවලු පුතේ.... " 

  සිය කුඩා පුතුගේ කඳුළු පිරි මුහුණෙන් සියුම් සිනහවක් නැගෙනු දුටු සෝමපාල සැනසුම් සුසුමක් හෙලීය.

Wednesday, October 9, 2013

වල්ල පට්ටා වවමු - රට නගමු

   අපේ ලොකු තාත්තලයි වත්තේ තිබිච්ච විසාල වල්ල පට්ට ගහක් හොරු කපලා! මං කියන්නේ නෑ මේක කරපු එවුන්ට හෙන ගහන්න කියල. මට තියෙන ප්‍රශ්නේ තමා හොරු ඉස්සර වෙන්ට කලින් අපිට ඉස්සර වෙන්ට බැරි වුනු එක. ඒ වත්ත තියෙන්නෙ අපේ ගෙට උඩහ. වැඩි ඈතක නෙවෙයි. කවුරුත් නැති වෙලාවක් බලල මුං ගහ පිටින්ම ගලෝගෙන ගිහිල්ල free smiley... මේ සිද්ධිය වෙනකං මම දන්නේ නෑ වල්ල පට්ටා මෙච්චර වටිනවා කියල. ඔය කාගේ කාගෙත් වතු වල වල්ල පට්ටා හෙම තියෙයි නං ටිකක් පරිස්සං කර ගන්න වෙයි.

  පොල් ලී කිලෝවකට රුපියල් ලක්ෂ එක හමාරක් විතර දෙනවා කිව්වොත් කොහොමද? මුළු රටේම තියෙන පොල් ගස් ටික කපල දාල අන්තිමට පොල් ගස් න්‍යෂ්ට වූ විශේෂයක් බවට පත් වෙයි. ( න්‍යෂ්ට උනා කිව්වේ මේ පොළොවෙන් සදහටම වඳ වෙලා ගියා ය කියන එක ) ඔන්න ඔය වගේ වටිනා කියන දෙයක් හැබැයි වැඩේ සිද්ධ වෙන විදිය නම් හරි නෑ. 

  අපි වල්ල පට්ටා කියන මේ ගහේ විද්‍යාත්මක නම Gyrinops walla. අපේ රටට ආවේනික ශාකයක්. රටේ අනිත් තැන් වල කොහොම උනත් අපේ පැති වල නම් බොහොම සරුවට මේවා හැදෙනවා. සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වල්ල පට්ටා ගහක් උස යනවා. ඉස්සරනං ලණු අඹරන්ට, උදලු මිට හදා ගන්නට පවා පාවිච්චි කරලා තියෙන්නෙ මෙව්වා තමා. ඒකට දැන්. රා කරුමාන්තේ ජනප්‍රිය කොලා වගේ මේවටත් වෙනම ම රජය මැදිහත් වෙලා නීත්‍යානුකූල ක්‍රමේකට මිනිස්සුන්ට වගා කරන්න ඉඩ දුන්නනම් අපේ රටේ වටිනා ජාන සම්පත නිකං නිකරුනේ සුද්දන්ට විකිණෙන එක නවත්ත ගන්න පුළුවන්.

  අපේ රටේ දැනට තියෙන නීතියෙන් නං ඉතිං මෙව්වා රට පටවන්න තහනං. ඒත් අපේ උන්දැල කාලයක් තිස්සේ හරිම සූක්ෂම විදියට කාටත් හොරා මෙව්වා පිට රට පැටෙව්වා. ඒකත් අහු වුනේ මේ ඊයේ පෙරේදා.. ඒ අහුවෙනකොටත් ශ්‍රී ලංකන් වල්ල පට්ටා ටොන් ගණන් පිට ගිහිං ඉවරයි.

   ඇත්තටම මොකද්ද මේ ගහේ ලක්ෂ ගානක් වටිනා දේකට තියෙන්නෙ. එකනං බලන්නම වටිනවා. හැම ගහක්ම ඔය කියන විදියට වටින්නේ නෑ. හොඳ පරණ ගස් තමයි වටින්නේ. වල්ල පට්ටා ශාකය ටිකක් පරණ වෙන කොට ඔය ගහේ හැදෙනවා කියනවා එක්තරා දිලීරයක්. වල්ල පට්ටා විතරක් නෙවෙයි ගොඩක් ආවෘත බීජක ශාක වල ඔය දිලීරය ඉන්නවා. වල්ල පට්ට ගහේ විශේෂත්වය තමයි ඔය කියන දිලීරයට එරෙහිව ගහ තුල නිපදවෙනවා රසායනික සංයෝගයක්. ඒක එක්තරා රෙසීනයක්. මේ රෙසීනය කළු පාටයි. ඕක තමා වටින්නේ. මේ රෙසීනය ඉතා වටිනා සුවඳ විලවුන් නිපදවන්න යොදා ගන්නවා.


   වල්ල පට්ටා ගහක් හොඳින් වර්ධනය වෙන්න යන්නේ අවුරුදු හත අටක් විතරයි. ඒත් අර කලින් කිව්ව රෙසීනය හැදෙන්න ඊට වඩා වැඩි කාලයක් යනවා. සමහර විට අවුරුදු 20 ක ටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකයි වටිනාකම තවත් වැඩි වෙන්න හේතුව. ඒත් අපේ රටෙත් මේක වගාවක් විදියට නීත්‍යානුකූලව කරනවානම් අවුරුදු විසි තිස් ගණන් බලන් ඉන්න ඕන නෑ. දැන් විද්‍යාව දියුණුයි. අපි හිතමු අපි අපේ ගෙවත්තෙත් වල්ල පට්ටා ගස් දෙක තුනක් හිටෙව්වා කියල. හොඳ පරිනත අවධියට ආවට පස්සේ අපිට පුළුවන් අර කලින් කිව්ව දිලීරේ ඔය ගස් දෙක තුනට කෘත්‍රිම ව  එන්නත් කරන්න. එතකොට හොඳ ප්‍රතිඵල වඩා ඉක්මනින් අරගන්ට පුළුවන්. cool smiley 
  
gyrinops.blogspot.com/


    අනිත් දේ තමයි ඔය ගස් හැදෙන්නේ පඳුරු විදියට. ඉතිං එක වල්ල පට්ටා ගහක් ලඟින් තවත් පැළ ටිකක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මේ ශාකය බීජ වලින් වගේම අතු වලිනුත් පැළ වෙනවා. ඉතිං වගාවක් හදා ගන්න ඒ හැටි ප්‍රශ්නයක් නෑ.

  ඔන්න එහෙනං ඔහොමයි වැඩේ වෙන්නේ. සුදු හඳුන් කියන්නෙත් ඔය වගේම වටිනා දෙයක්. ඒත් සුදු හඳුන් වලට වඩා වල්ල පට්ට සුලභයි....