Tuesday, May 21, 2013

ගුණදාස රා....

    හුඟ කාලෙකින් බ්ලොග් ලෝකේ පැත්තේ ඇවිල්ලා යන්න බැරි උනානේ. කොහේද ඉතින් ඕවට කාලයක්. මේ දවස් වල හරිම බිසී. ඔලුව උස්සලවත් යන්තං බලා ගන්ට බැරුවයි හිටියේ. ඕන් අද තමා යන්තං ඇහැක් කනක් ඇරලා බලන්න පුළුවන් උනේ. ඒ වගේ වෙලාවට ඉතිං ඉස් ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මේ බොගේ තමා. දැන් ඉතිං රජයත් කුඩා කර්මාන්ත වලට අත දෙන හින්දා අපේ පුංචි කරුමාන්තෙත් ගමේ නැගලම යනවා. දන්නවනේ ඉතිං මොකද්ද කර්මාන්තෙ කියල. අපි ඕක මේ ලඟදි පටන් ගත්තට මොකද, ඕක ජීවිතේම කරගෙන ඉන්න උදවියටත් වඩා ලොකු ලාභයක් ලබන්ට පුළුවන් උනානේ. මුල් දවස් ටිකේ ටිකක් අඩු ගානට දුන්නම ඕන තරං සෙනග අද්දා ගන්ට බැරියෑ. ඕක තමා ඉතිං රහස. හිහ්..
    ඔන්‍න‍ ඉතිං ඒ ගමන වෙන කතාවක් මතක් උනා. දැන් ඉතිං ලියන්න හිතාගෙන හිටපු ඔක්කොම ටික පැත්තකින් තියාලා ඔන්‍න‍ ඒක ලියනවා. ඕක තමා මටනම් හරියන්නෙම නැති වැඩේ. කමක් නෑ ඉතිං ලියාලම බලමුකෝ... 
 
elakiri.com

   ඔන්න ඉස්සර අපේ ගමේ ඉඳල තියෙනවා ගුණපාල ද, ගුණදාස ද කොහෙද කියල එක්කෙනෙක්. අපි දැන් ඉඳං මෙයාට ගුණදාස කියල කියමුකෝ. මිනිහත් නම ‘ගුණදාස’ උනාට කරලා තියෙන්නේ බෝධිසත්ත්ව වැඩනම් නෙවෙයි. නම දිහා බලලා මිනිහෙක්ගේ හැටි කියන්නේ කෝමද.. මට මතක් උනේ පුංචි කාලේ අහපු සින්දුවක්. අර මාළු වලේ කුසල් හාමි මාළු බානවා - සිල් අරං ඇවිත් සීලවතී මකුණෝ මරනවා කියල සින්දුවක් තිබුනේ. අද කාලේ ධර්මසිරිලත් මිනී මරණ එකේ ඕකත් මහ ලොකු දෙයක්ද.. කොහොම හරි ඔය මේ කතාවේ එන ගුණදාසත් කරන්න පුළුවන් හැම වැරදි වැඩක්ම කොරපු මිනිහෙක් තමා. ගමට රා බෙදල තියෙන්නෙත් මිනිහාම තමා. මහ රෑ තුවක්කුවක් පත්තු උනොත් ඒකත් ගුණදාසගේ ම තුවක්කුවක් තමා කියලා සද්දෙන්ම කියන්න මිනිස්සුන්ට පුළුවන්ලු. කොහොම හරි පහුවෙනිදට ගමේම සෙනග ගුණදාසලාගේ ගෙදරට එක්කාසු වෙන්නේ පොර කාලා හරි මස් ටිකක් අරං යන්න. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. ගිනි කඳක සද්දයක් ඇහුණු හැම රෑකම පහුවෙනිදා පාන්දර ගුණදාසගේ ගෙදර අතුරු සිදුරු නැතුවම පිරී යන්නේ එබැවිණි. කොහොමින් කොහොම හරි ගුණදාස, ගමේ කවුරුත් දන්නා තරමින් නොකරපු එකම වැඩේ මිනීමරන එක විතරයි. තව ඩින්ගෙන් ගුනදාසයා ගමේම උන් ටික මරලා තමා නිකා ඉන්නේ. බලමුකෝ මොකෝ උනේ කියලා.
    ගුණදාස කියන්නේ රා කරුමාන්තෙත් ජයටම කරගෙන ආපු මිනිහෙක්. කොයි දේ කලත් මේ මනුස්සයා ඒ කාලේ හැටියට හොඳ සල්ලියක් හම්බු කරන්න ඇති කියල මටත් හිතෙනවා. මොකද නොකරපු දෙයක් නැහැ නෙව. හැන්දෑ ජාමේ වෙනකොට එකා දෙන්නා ගුණදාසගේ ගෙවල් පැත්තට රූටන්නේ ආයි හොර බළල්ලු වගේ. එකා දෙන්න ආපු මේ ගැන්සිය ටිකක් රෑ බෝ වෙනකොට ගුණදාසගේ ගෙදර මිදුලෙයි, වත්තේ ගස් යටයි රංචු පිටින් සෙට් වෙලා ඉන්නවා බලා ගන්න පුළුවන් ටිකක් රෑ වෙලා ඒ පැත්තේ ගියානම්. මම නම් ඉතිං ඔයකාලේ ඉපදිලාවත් නැද්ද කොහේද. නැත්තං ඉතිං වරදවා තේරුම් ගන්න උදවියත් ඉන්නවනේ අපි අතරේ... ගමේ හිටිය උදවියගෙන් මේ රස්සාව කළේ අපේ ගුණදාස විතරක්ම නෙවෙයි. තව කිහිප දෙනෙක්ම කරලා තියෙනවා. එත් ඒ උදවියට වෙලා තියෙන්නේ ඒවායින් පැණියි හකුරුයි හදන්න. මොකද මේ උන්දලාගේ රා බොන්ට කවුරුවත්ම ඇවිත් නෑ.
    “ගුණදාස රා” ගුණාත්මක අතින් ඉස්තරම්ම ඒවා වෙන්න ඇති නේ. නැත්තං අර මම කලින් කිව්වා වගේ අඩු ගානට දෙන්න ඇත්තේ. නම දිහා බලලම මොකුත් තීන්දු කරන්න බෑ කියල කලින්ම කිව්වනේ. මිනිහා ලඟ තිබුනේ වෙනස්ම රහසක්. ඒත් කවුරු ඇහුවත් මිනිහා මේ රහස නම් කියලා නෑ. අනිත් උන්ටත් ආරංචි උනොත් තමන්ගේ බිස්නස් පාඩු වෙනවනේ. ගුණදාසගෙන් රා පොල් කට්ටක් ගහපු නැති එකෙක් ගමේම හිටියේ නැතුව ඇති. ඒ තරමටම ගුණදාස රා හරිම ප්‍රසිද්ද වෙලා තිබුණේ. පහු පහු වෙනකොට අහල පහළ ගං වලටත් මේ ගුණදාස රා ප්‍රසිද්ද වුනේ හරිම වේගයෙන්. සාමාන්‍යයෙන් රා කියන දේ ටිකක් බිව්වයි කියල එතරම් ම වෙරි වෙන්නේ නෑ. රා බොන්නේ නැති උනත් මම ඕකනම් දන්නවා. ඒ කාලේ විතරක් නෙවෙයි දැන් කාලේ උනත් මිනිස්සු දවස තිස්සේ මහන්සි වෙලා හවස් උනාම ටිකක් ඇඟේ පතේ අමාරුව යන්න රා පොල් කට්ටක් දෙකක් තොල අග තියන්න අමතක කරන්නේ නෑ. ඒ තරමට ම රා කියල කියන්නේ ගැමියාට අමෘතයක්. ඒත් මේ ගුණදාසයාගේ රා වල පොඩි වෙනසක් තිබුනා. ඒ තමයි එක පොල් කට්ට ගහද්දි නරලොව හොල්මන් පේන එක.
    රා බොන උන්ට කියන්නේ රා ගුඩ්ඩො කියලා. ඉතිං ගුණදාසලයි ගෙදරට හැන්දෑ ජාමේ එකතු වෙච්චි රා ගුඩ්ඩො ටික ගුණදාසගේ ඉස්තරම් වර්ගයේ රා පොල් කට්ටකින් සප්පායම් වෙලා ගුණදාසගේ ගෙදර ඉඩමේ තියෙන ගස් ටිකටත් උඩින් ගුවන් ගත වෙලා හඳ පායපු දවසකනම් ඒ පැත්තෙත් පොඩි විසිට් එකක් එහෙම දාලා හඳේ ආවාට ටිකත් ගණන් කරගෙන තමයි ආපහු ගෙවල් වලට යන්නේ. ගුණදාසත් හැබැයි අනික් උන් කොච්චර ඉල්ලුවත් එකාට රා පොල් කටු දෙකට වඩා නොදෙන්නනම් පරෙස්සම් උනා. අන්තිමේදී ගමේ ඉස්කෝලේ යන වයසේ හිටපු කොල්ලෝ කුරුට්ටෝ ටිකත් හොර රහසේම පිළිකන්න පැත්තෙන් ගුණදාසයයි ගෙට රිංගන්න පටන් අරං. උන්ටත් මේ පානයේ රහ වැටිලා වෙන්ටෑ.. මටත් ඔය කතාව කිව්වේ ඒ කාලේ ඔහොම හොරෙන් රිංගපු එකෙක් තමා.
    ඔන්න ඉතිං වෙනද වගේම එදත් හවස් වෙද්දී ගුණදාසලයි ගෙදරට වටින් පිටින් කට්ටිය එකතු වෙන්න ගත්තා. අහල පහල ගම් වල උදවියත් කිහිප දෙනෙක්ම ඇවිල්ල හිටියා. කවුරුත් බලාගෙන හිටියේ වෙනදා වගේම ගුණදාසගේ රා පොල් කට්ට ලෙව කන්න.. ටික වෙලාවකින් කවුරු කවුරුත් බලා ගෙන හිටිය මොහොත උදා උනා. රා මුට්ටි දෙකකුත් අත් දෙකින් ගත්තු ගුණදාස ගෙයින් එලියට ආවේ හරිම උජාරුවෙන් වගේ. එතකං වත්තේ ගස් ටික යටට වෙලා හිටපු උන් ටික හෙමිහිට නැගිට්ටේ මුට්ටියට කෙළ හල හල. එක එකා පෝලිමේ ඇවිත් පොල් කට්ට පුරෝලා රා අරගෙන ගියා. වෙනදා වගේම ගුණදාසගේ රා වලින් එන අමෘතය පරදින පුසුඹ එදත් නොඅඩුව ලැබුනා. ඉතිං කවුරු කවුරුත් නෑ බෑ නොකිය තමන්ට ලැබිච්ච රා පොල් කට්ට එක හුස්මට බී ගෙන ගියා. තමන් දිව්‍යලෝකෙට පා වෙලා යනවා වගේ එදා බීපු උන්ට හිතෙන්ට ඇති. සමහර උන් තවත් පොල් කට්ට ගානේ අරගෙන හිස් කරා. ඒත් තත්ත්වය වෙනස් වෙන්න වැඩි වෙලා ගියේ නෑ. හොඳ සිහියෙන් කෙලින් හිටගෙන හිටිය එකා දෙන්නා කැරකි කැරකි බිම පතබෑවෙන්න පටන් ගත්තේ දිව්‍යලෝකේ පොළොවට කඩාගෙන වැටුනා වගේ.
   “බුදු අම්මෝ මම ඉවරෝයියියි...... මං මැරෙන්න යනෝ... මට බැරියෝ...යන්තං හෝ සිහි කල්පනාව තිබුන උන් බඩ අල්ලාගෙන කෑ ගහන්නට පටන් ගත්තා.
   සමහරුන්ට මෙලෝ කල්පනාවක් නෑ. වැටුණු වැටුණු තැන කෑ මොර දෙන්නට පටන් ගත්තේ නිකං මිනී මරනවා වගේ.
   පෙරේතකමේ පොල් කටු දෙකක් ම හිස් කරපු උන් කටෙන් සෙම පෙරාගෙන බිම වැටී හිටියේ නිකං වහ බී මළ උන් වගේ....

   කෙසේ හෝ අහල පහල ගෙවල් වල උදවිය එකතු වෙලා මෙම බේබදු රෝගීන් ටික වහාම ගමේ ඉස්පිරිතාලයට ගෙන ගියේ බොහොම අමාරුවෙන්. ඇයි එකෙක් දෙන්නෙක් කියලයෑ. අන්තිමේදී වැඩි හරියක් අය නගරයේ ඉස්පිරිතාලයට මාරුකරලා යැවුවේ බෙහෙවින් අසාධ්‍ය හින්දා.
   මේ සියල්ල අස්සේ ගුණදාසයා කොහේ ගියාදැයි සොයා ගන්නට නැත. ගමේ කට කතාව ගියේ ගුණදාස රා වලට කංසා කුඩු එකතු කර ඇති බවයි. ඒ කියන්නේ ගුණදාස රා වල රස රහස කංසා ය. මෙදා පොටේ මිනිහාට පදම වැරදී ඇත. ඇතැම් විට මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක් ද විය හැක. එහෙත් ටික දිනකට පසු සැඟවී සිටි ගුණදාසයා කුදලා ගැනීමට පොලීසියට හැකි විය. මිනිහා මාසෙකින් විතර නැවත ගමට ආවේය. ඒත් නැවත කිසිම දවසක රා මැදීම නම් සිදු කළ බවට ආරංචියක් නැත. එහෙත් අනෙක් ජඩ වැඩනම් අකුරක් නෑරම සිදු කරලා....

 ප.ලි. හුඟ දවසකින් බ්ලොග් පැත්තේ එන්ට බැරිඋනා. ඒක නිසා බ්ලොග් ටික කියවන්නත් බැරි උනා. ඉන්න ගමන් හෙමීට ඔක්කොම කියවන්නම් යාලූ... තරහා වෙන්න එපාලු.....


20 comments:

  1. මම බැලුවෙ චින්තක මල්ලි මොකද පෝස්ට් එකක් නොදැම්මෙ කාලෙකින් කියල.
    රා වලට කන්සා දාල දෙන එක පාඩු නැද්ද දන්නෑ මිනිහට.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නොවැ අයියේ.. ඩිංගක් කවලම් කලාට පාඩු නැතුව ඇති ඒ කාලේ..

      Delete
  2. සෙහ් රා බොන්නත් බයයි දැන්නං

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා.. හැම වෙලේම නම කියල ඉල්ලන්න.. එතකොට අනුකරණ වලට රැවටෙන්නේ නෑ.. :D

      Delete
  3. ෆොටෝ ඒක දැක්කම නම් කටට කෙල ඉනුවාය.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් .. කෙළ උනන් නැතුව තියෙයෑ ...

      Delete
  4. http://hisahasa.blogspot.com/2012/07/blog-post.html
    copyak neda meka

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... හිස් අහසෙත් මේ වගේම එකක් තියෙන හින්ද වෙනස් කරලා ලියන්න හැදුවේ.. ඒත් ඉතිං මේකත් ඒ වගේම වෙලා තියෙන ඇත්ත කතාවක්... කොපියක් වගේ පේනවද ආයිබෝං..... :((

      Delete
  5. ගුණදාස රා බොන්න යන ඉස්කෝලෙ වයසෙ කොල්ලො කුරුට්ටො සෙට් එක අතරෙ හරි චින්තක ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මං කොහෙද .. ඉපදිලාවත් නෑ..

      Delete
  6. කංසා එකතු උනා කියලා ඔහොම වෙනවද....? නොදන්න නිසයි අහන්නේ..

    ReplyDelete
    Replies
    1. ආහ්හ්... ඔය ඩිංගක් එකතු උනාය කියල මොකුත් වෙන්නේ නැතුව ඇති. ඒකනේ මිනිහ හැමදාම ඩිංග ඩිංග දාල තියෙන්නේ. ඒත් මෙදා පාර පදම වැඩිවෙලා...

      Delete
  7. රා කට්ටක් ගහපු කාලයක් මතක නෑ.. ආසාවක් ඇතිවුණා මලයා

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපේ පැත්තේ එන්ට. ගුණදාස රා බොත හැකි...

      Delete
  8. ඔන්න හුග දවසකින් ගුණෙ අයියගෙ රා කට්ටක් ගහලා යන්න මමත් ආවා...ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ජය වේවා! වැඩිය ගහන්න එපා හොඳේ

      Delete
  9. හිකිස් :) මේ වගේ කතාවක් කලින් කියවලා තියෙනවා. සඳරු අයියගේ බ්ලොගේ තිබිලා. ඇත්ත කතානේ ඕවා. කොහේ වෙන්න බැරි ද!

    ReplyDelete
    Replies
    1. එක වගේ කතා ඕන තරම් වෙන්න පුළුවන්

      Delete