Friday, April 5, 2013

සිංහලයා පැවත එන්නේ කුමන පරපුරකින්ද.......

  සිංහලයා පැවත එන්නේ ක්‍රි.පූ 6 වන සියවසේදී පමණ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි විජය ඇතුලු පිරිසගෙන් ද? නැතිනම් ඊටත් පෙර සිට මෙරට ජීවත් වූ මානව පරපුරකින් ද? එසේත් නැතිනම් සිංහලයා යනු මෙලොවට ඉබේ පහළ වූවෙක්ද?? මෙයට නිසියාකාර පිළිතුරක් අප කවුරුත් දැන සිටිය යුත්තකි..

  පිළිතුරක් සෙවීමටනම් අතීතයට ගමන් කළ යුත්තේම ය. මේ ගැන විවිද මත දක්වන පුද්ගලයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එක් කොටසකගේ මතය වන්නේ සිංහල පරපුරේ ආරම්භකයා විජය රජු බවයි. අනෙක් පිරිස එයට තදින්ම විරුද්ධ වන අතර ඔවුන් පවසන්නේ සිංහලයාට ඊට වඩා විශාල අතීතයක් පවතින බවයි. එය ලක් දිව රජ කළේයැයි සැලකෙන රාවනා නම් අධිරාජයේකුගේ කාලයටත් වඩා එහාට දිවයන බව ඔවුන්ගේ මතයයි.

  විජය යනු බුදු රජාණන් වහන්සේට සමකාලීනව ජීවත් වූ පුද්ගලයෙකි. ඔහු එකල ඉන්දියාවේ වංග නම් දේශයේ රජ කළ සිංහබාහු රජුගේ සහ සිංහ සීවලී බිසවගේ පුතණුවන්ය. මොහු රජ කුමාරයෙක් වුවද අපරාධකරුවෙකි. මොහු විසින් සිදුකල විවිධ අපරාද නිසා පිය රජු මොහු ඇතුලු හත්සියයක් පමණ පිරිස හිසෙන් අර්ධයක් බූ ගා නැවක නංවා රටින් පිටුවහල් කළ බව වංශ කතා වල දැක්වේ. මේ පිරිස දැන හෝ නොදැන සිරිලකට ( තම්බපන්ණියට ) ගොඩබසින්නේ මේ සිදුවීමෙන් අනතුරුය. විජය ඇතුලු පිරිස ලංකාවට ගොඩබැසි දින බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ බව මූලාශ්‍ර වල දැක්වේ...


www.divaina.com


 විජය දුටු ලංකාව අද මෙන් නොවීය. එකල ලංකාවේ ගෝත්‍රික ජන කොටස් හතරක් විය. යක්ෂ, නාග, දේව හා රාක්ෂ යනු මේ ජන කොටස් හතරයි. මෙසේ පැමිණි විජය කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවකගේ උදව්වෙන් අනෙකුත් යක්ෂ ගෝත්‍රිකයන් සමග සටන් කර දිනා මෙරට රජකම ලබා ගනී. එහෙත් පසුව කුවේණිය ද හැර දමා වෙනත් ඉන්දියානු බිසවක් සරණ පාවා ගන්නේ කන්න දුන්නු අත හපා කෑවා වාගේ යන පිරුළද පසක් කරමින් යැයි මට හැඟේ.. ශ්‍රී ලාංකීය ප්‍රෞඪ ඉතිහාසය ලියැවෙන්නේද එතැන් සිටය. එහෙත් ඊට පෙර තිබූ ඉතිහාසය මැකී ගොස් ඇත්තේ කෙසේදැයි යන පැණය නිතැතින්ම සිතට නැගෙන්නේ මෙවිටය.

  ඉතිහාසය නම් විෂයකි. එය පිළිබඳ මූලාශ්‍රගත සාක්ෂි නොමැතිව කතිකා කළ නොහැක. ශ්‍රී ලංකාවේ විජය රජුගෙන් ඇරඹී තවමත් ලියැවෙන ලිඛිත ඉතිහාසයක් ඇත. ඒත් ඊට පෙර! ලක්දිව තම ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස තෝරාගෙන රජ කළ රාවනා නම් අධිරාජයෙකු ගැන බොහෝ දෙනා පවසති. එහෙත් එයද පුරාවෘතයක්ම පමණක් වී ඇත්තේ ඒ ගැන මූලාශ්‍ර හිඟ බැවිනි. විජය රජු තම්බපන්ණියට ගොඩ බසින විට මෙරට ප්‍රධාන ගෝත්‍රික ජන කොටස් කිහිපයක්ම වාසය කළ බව කලින් පැවසූයෙමි. දැන් අපිට ඇති සැකය නම් නූතන සිංහලයා බවට පරිනාමය වූයේ කුමන ජන කොට්ඨාසයද යන්නයි..

  "සිංහලය" යන වදන සෑදුනු ආකාරය මුලින්ම සොයා බලමු. මේ ගැන කියැවෙන කතාන්දර අතරින් එකක් දෙකක් කීමට කැමැත්තෙමි. සිංහලයාගේ උපත ගැන මත දක්වන පුද්ගලයන් කොටස් දෙකක් බව කලියෙන්ම පැවසූයෙමි. ඉන් පළමු කොටස එනම් සිංහල ජන කොට්ඨාසය විජය රජුගෙන් පැවත එන්නක් බව පිලිගන්නා අයගේ මතයනම් සිංහල යනු "සිංහ ලේ" යන වදනින් සෑදුනු වචනයක් යන්නයි. එහි යම් සත්‍යතාවක් දකිමි. විජය කුමරුගේ පිය රජු වන සිංහබාහු රජුගේ පියා සිංහයෙක් බව ඉතිහාසයේ සඳහන් වේ. සිංහබාහු විවාහ වී ඇති සිංහ සීවලී බිසව තමාගේම නැගණියයි. එනම් මේ දෙදෙනාගේම පියා සිංහයෙකි. මව සුප්පා දේවිය. ඇය මනුෂ්‍ය දුවක්. අපි දන්නා විද්‍යාවට අනූවනම් කිසිම දිනෙක සිංහයෙකුට හා ගැහැණියකට දාව දරුවන් දෙදෙනෙකු තබා එක දරුවෙකුවත් ඉපදීමට හැකියාවක් නැත. ඒ අනූව මේ කියන තැනැත්තා එනම් සිංහබාහු රජුගේ පියා සැබවවින්ම සිංහයෙකු නොව, සිංහයෙකු වැනි දරුණු, හැඩි දැඩි, ශක්තිමත් පුද්ගලයෙකු විය යුතුය. එනම් සිංහ යන නම සහිත ගෝත්‍රයක අයෙකු විය හැක. උදහරණයක් ලෙස අප රටේ නාග ගෝත්‍රිකයන් ලෙස ජන කොටසක් සිටියද ඔවුන් සැබවින්ම නාගයන් නොවීය. අප මෙන් සාමාන්‍ය මිනිසුන්ය. ඉතින් මේ සිංහ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් තම සිරුර තුලද සිංහ ලේ පවතින බැව් විශ්වාස කළහ. සිංහල යන වචනය ඉන් බිඳී ආවක් විය හැක.


  අනෙක් මතය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. එම මතය රැගෙන එන්නේ මා කලින් කියූ දෙවන කණ්ඩායමයි. මෙහිදී 'සිවු හෙළය' නම් වූ සංකල්පයක් ගැන කතා කළ යුතුය. මේ සිවු හෙළය යනු මා ඉහතින් දැක්වූ ලංකාවේ එකල සිටි ගෝත්‍රික ජන කොටස් හතරයි. ඔවුන්ගේ මතය අනූව සිංහලයාගේ උපත සිදුවී ඇත්තේ මෙම ප්‍රධාන පෙළපත් හතර මුල්කර ගෙනය. ඒවා නම් යක්ෂ, නාග, දේව හා රාක්ෂ යන පෙළපත්ය. මේ අනූව යක්ෂ ගෝත්‍රිකයින් යකඩ කර්මාන්තයේ යෙදුන බවත්, නාග ගෝත්‍රිකයන් නාවික කටයුතු සිදුකළ බවත්, දේව ගෝත්‍රිකයන් පාලන තන්ත්‍රයේ අනුශාසකවරු ලෙස කටයුතු කළ බවත්, රාක්ෂයින් ගොවිතැනෙහි යෙදුණු බවත් දැක්වේ. සිංහල යන වචනය මේ සිවු හෙළය යන වදනින් සෑදුනු බවද විශ්වාස කිරීමට අපහසු නැත.



  විජය රජුට ලක්දිව සිටි සියලු ගෝත්‍රික ජනතාව විනාශ කර දැමීමට හැකියාව නොලැබුණි. ලක් රජය ගෙන යාමට ඔහුට මෙන්ම ඔහුගෙන් පසුව රජ වුණු අනෙක් රජවරුන්ටද මේ ගෝත්‍රිකයන්ගේ උදව් උපකාර නොමදව ලැබුණු බව ඉතිහාසය සාක්ෂි දරයි. විශේෂයෙන්ම ඔහුගෙන් පසු කාලයකදී ලක්දිව රජ වුනු පණ්ඩූකාභය යනු විජය පරපුරේ චිත්‍රා කුමරියගේ හා යක්ෂ පරපුරේ දීඝ ගාමිණී කුමාරයාගේ පුතණුවන්ය. එනම් එතැන් පටන් සියලු රජවරු එක පරපුරකින් නොව මේ සියලු මානව පරම්පරා වලින් පැවත එන්නන් විය. ඉතින් සිංහලයාගේ ආරම්භය ද එසේ සිදුවූවා විය හැක. සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාය ඇරඹෙන්නේ එලෙසින් විය යුතුය. එනම් සිංහලයාගේ මූලාරම්භකයා ලෙස විජය රජු පමණක් පිදීම එතරම් උචිත නොවේ. ඔහුද එහි එක් පුරුකකි. නූතනයේ මෙසේ පරිණාමය වූ සිංහලයා නම් මානවයාගේ මූලාරම්භය එක පුරුකක් නොව පුරුක් කිහිපයකින් බැඳී ගිය ජාලයක් සේ පවතින්නකි. ඒ සියල්ල මනාව වටහා ගැනීම සිංහලයන් වන අපගේ යුතුකමකි.



36 comments:

  1. විමසීමට ලක් කලයුතු දෙයක් නේද? කොහොම උනත් දැන් ඉන්න උන් ගෙන් වැඩිහරියක් කිසිම කමකට නැති උන්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයිලාෂ් අයියා මේ පැත්තෙත් ආවාට.. //කොහොම උනත් දැන් ඉන්න උන් ගෙන් වැඩිහරියක් කිසිම කමකට නැති උන්// ඇත්ත තමා..

      Delete
  2. //..එක් කොටසකගේ මතය වන්නේ සිංහල පරපුරේ ආරම්භකයා විජය රජු බවයි...//

    මේ මතය ඉදිරිපත් කරන්නේ මූලාශ්‍රය නිසියාකාරව අධ්‍යනය නොකරපු අය. මේ මතය ගොඩනගන්න මූලිකවම පාදක කරගන්න මහාවංසයේ 7 වෙනි පරිච්ඡේදයේ මේ කතාව කියන්නේ මේ විදිහට

    සීහබාහු නරින්දො සො සීහං ආදින්නවා ඉති
    සීහලො තෙන සම්බන්ධා එතෙ සබ්බෙ පි සීහලා

    තේරුම තමා සිංහයා නිසා සිංහබාහු රජතුමා සිංහල නම් වෙනවා. සිංහල නම් වෙන රාජ කුමාරයා [විජය] හා සම්බන්ධ වෙන 700 ක් ජනතාවත් ඔවුන්ගේ දරු මී මුනුබුරු සියලු දෙනාම සිංහල නමින් හැඳින්වෙනවා කියලා.

    ඒක නිසා විජය සිංහල පරපුරේ ආරම්භකයාය කියන මතයම දෝෂ සහිතයි.

    //..විජය ඇතුලු පිරිස ලංකාවට ගොඩබැසි දින වන විට බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා සතියක් ගත වී ඇති බව මූලාශ්‍ර වල දැක්වේ..//

    පරිනිර්වාණය සිදු වෙන දවසේම විජයාගමනයත් වූ බව තමා කියන්නේ

    //..එහෙත් පසුව කුවේණිය ද හැර දමා වෙනත් ඉන්දියානු බිසවක් සරණ පාවා ගන්නේ කන්න දුන්නු අත හපා කෑවා වාගේ යන පිරුළද පසක් කරමින් යැයි මට හැඟේ...//

    මෙතනදී වෙන්නේ විජයගේ රාජාභිෂේකය සඳහා උභය කුල පාරිශුද්ධ කුමරියක් අවශ්‍ය නිසා ඉන්දියානු කුමරියක් ගෙන ඒම. ඒ පදනම මත කුවේණිය පලවා හැරීම සිදුවෙයි.

    //..විශේෂයෙන්ම ඔහුගෙන් පසු කාලයකදී ලක්දිව රජ වුනු පණ්ඩූකාභය යනු විජය පරපුරේ චිත්‍රා කුමරියගේ හා යක්ෂ පරපුරේ දීඝායු කුමාරයාගේ පුතණුවන්ය...//

    මෙතන විජය පරපුරේ චිත්‍රා කුමරිය කියනවාටත් වඩා සුදුසු සිංහබාහු පරපුරේ චිත්‍රා කියන එක. මොකද විජයගේ දරුවන්ගෙන් නෙමේයිනේ චිත්‍රා පැවත එන්නේ. ඒ වගේමයි යක්ෂ පරපුරේ දීඝායු කියන කතාව වැරදියි. දීඝායු කියන්නේ භද්දකච්චානා කුමරියගේ සොයුරෙක්. ඔහු සුද්ධෝදන රජතුමාගේ සොයුරෙක්ගේ පුතෙක් වුණු පණ්ඩුශාක්‍යගේ පුතෙක්. ඔහු ශාක්‍ය වංශිකයෙක්. චිත්‍රා කුමරිය සමඟ සම්බන්ධ වෙන්නේ ඔහු පුත් දීඝ ගාමිණී.

    දීඝ ගාමිණී වුවත් යක්ෂ පරපුරේ කියන කතාවේ ගැටලු කීපයක් මතු වෙනවා. මේ මතය ඉදිරිපත් කරන්න පාදක කරගන්නේ දීඝායු කුමාරයා ලංකාවේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක් විවාහ කරගත්තු බවත් ඔවුන් දෙදෙනාගේ දරුවා දීඝ ගාමිණී කියන එක. මව් උරුමය අනුව වංශය තීරණය වෙන නිසා ඔහු යක්ෂ පරපුරේ කියලා තමා මේ නිගමනය අරගෙන තියෙන්නේ. ඒක එතරම් ප්‍රබල කරුණක් විදිහට ගන්න බැරි බවයි මගේ අදහස

    සැබවින්ම සිංහලයන් කියන්නේ අනාදිමත් කාලයක ඉදන් එකට එක්වුණු විවිධාකරයේ ඉන්දියානු සහ ලාංකීය ජන කණ්ඩායම් කීපයක එකතුවක්. ඒකට පසු කාලීනව තවත් ජන කොටස් එකතු වෙලා තියෙන බව පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට..

      //පරිනිර්වාණය සිදු වෙන දවසේම විජයාගමනයත් වූ බව තමා කියන්නේ// නිවැරදි කළා..

      //චිත්‍රා කුමරිය සමඟ සම්බන්ධ වෙන්නේ ඔහු පුත් දීඝ ගාමිණී// නිවැරදි කළා.. ස්තූති වේවා.. ඉතිහාස කතන්දරේ ගැන නම් මම දන්න ටික තමා ලීවේ..මට ඕන උනේ සිංහලයාගේ අතීතේ ගැන ටිකක් හාරා අවුස්සන්න විතරයි..

      Delete
    2. කවදත් වගේ හසිත මල්ලි ගෙන් වටිනා විස්තරයක්...

      Delete
    3. ඒකනේ... තවත් අලුත් විස්තර ටිකක්..

      Delete
  3. හෙහ්.. අපි රාවණාගේ හෙළුවන් බව තට අමතක වීම වද කහ සුදිය පෙවීමට තරම් වන කාරණයකි...

    ReplyDelete
  4. නියම ලිපියක්.

    අලුතෙන් මොකක් හරි පුරාවිද්‍යාත්මක සාධකයක් හම්බඋනොත් ඔය දැං කියන කතා වෙනස් වෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.. ඔය පොත් වල ලියැවුණු දේවලුත් සීයට සීයක් හරිය කියලා කියන්නේ කෝමද...

      Delete
    2. @ Praසන්ன

      සිරාන් දැරණියගල මහත්තයා අනුරාධපුර ඇතුළු නුවර කරපු කැණීමෙන් වගේම රාජ් සෝමදේව මහත්තයා රංචාමඩමේ කරපු කැණීම්වලින් විජයාවතරණයටත් කලින් දියුණු ශිෂ්ටාචාරයක අපි අනුගත වෙලා හිටි බට සාධක හමුවෙලා තියෙනවා මට මතක විදිහට

      Delete
    3. මට මතකයි ක්‍රමවත් ව හදපු පැරණි වැසිකිලි පද්ධතියක් හොයාගෙන තිබුනා කැණීමකින්. ස්ථානය මතක නෑ. හෝර්ටන් තැන්න කියන්නෙත් අතීතයේ විශාල ධාන්‍ය බිමක් කියල කියනවා.

      හසිත මල්ලි කිව්ව දේ ගැන පොඩි විස්තරයක් මේ.

      http://www.silumina.lk/punkalasa/20111127/_art.asp?fn=ar1111271

      Delete
    4. @ Hasitha, Chandana

      ස්තූතියි අදහස් වලට.. ලිංකුවට තෑංක්ස් චන්දන අයියා.... g-)

      Delete
    5. @ Chandana

      හෝර්ටන් තැන්න විශේෂ තැනක්. එහේ කරපු පරාග පර්යේෂණවලින් අනාවරණය කරගෙන තියෙන්නේ ලෝකයේ මුල්වරට කෘෂිකර්මය සිදු කළා කියලා විශ්වාස කෙරෙන මැද පෙරදිග ජෝර්දාන් ආදී ප්‍රදේශවලට සමකාලීනව හෝර්ටන් තැන්නෙත් කෘෂිකාර්මික කටයුතු සිද්ධ වුණාය කියලා

      Delete
  5. නියම සිංහලයො ඉන්නෙ ෆේස්බුක් එකේ.. හෆ්ෆා.. ගිහින් බලන්න එපැයි..

    වැදගත් ලිපියක්.. එහෙම කිව්වෙ ආවට ගියාට නෙවෙයි.. මේ වගේ මාතෘකා සංවාදයට ලක්වෙනවා ගොඩාක් අඩුයි.....

    ReplyDelete
    Replies
    1. හෆෝ මමනම් දැන් වැඩිය ඒ පැත්තෙ යන් නෑ.. එපා වෙලා තියෙන්නේ.. තැන්කූ වේවා.. මේ ගැන අපි කතා කොරන්න ඔනෑ සිංහලයෝ විදියට,,

      Delete
  6. මේ ගැන වැඩි දැනුමක් නම් නෑ මල්ලි. ඒත් විජය එන්න කලින් ලංකාවේ ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ඉඳල තියන බව අපි දන්නවා නේ. එහෙම බැලුවාම අර "සිවු හෙළ" කතාව සිංහල වුනා කියල තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... එහෙම වෙන්න පුලුවං...

      Delete
  7. හෙමින් කියවන්න ඕනි ලිපියක් දැන් ඔෆිස් ගෙදර ගිහින් කියවන්නම්.. ඔයගේ පෝස්ට් එකට හසිතගෙ කමෙන්ට් එකත් වැටුනම වටිනාකම වැඩිවෙලා.

    ReplyDelete
    Replies
    1. කියවන්ට.. වැඩි වෙලා නේන්නම්.. ඔනෑම පෝස්ටුවක කොමෙන්ට් ටික කියවද්දී තව අලුත් විස්තර ගොඩාක් එකතු වෙනවා..

      Delete
  8. මටත් හිතෙන්නෙ "සිව් හෙළ", සිංහල වෙන්න ඇති කියන මතය අනිත් මතයට වඩා විශ්වාස කරන්න පුලුවන් කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් දැං හිතෙනවා,, චන්දන අයියටත් එහෙම හිතිලා

      Delete
  9. මේක ගමන් තු හතරකවත් කියවලා තව හිතන්න වෙනවා .......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හිතන්න ඕන දෙයක්.. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      Delete
  10. ෂඃ හරිම ආස හිතෙන ලියමනක් චින්තක ..මම ආසම මාතෘකාවක්...
    ඒත් මම නම් කතා අහල රස විඳලා නිකන් ඉන්නවා ..තීන්දු තීරණ
    දෙන්න යන්නේ නැහැ ..මොකද කිසිම දේක 100% ඇත්ත නැත්ත
    අපි දන්නේ නැහැ සහ හොයාගන්න බැහැ ..

    ( පොත් වල තියෙන දේවලුත් 100% හරි කියල කියන්න බැහැනේ ..
    ඕව එක එක්කෙනාගේ උවමනාවට අඩු වැඩි , ලුණු ඇඹුල් දාල කියපුවනේ )


    කොහොම නමුත් මේ පරියේෂණාත්මක සටහන හරිම වටිනවා ...
    නියමයි ...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. මූලාශ්‍රගත සාක්ෂි තිබුණත් ඒවත් සියයට සීයක් විශ්වාස කරන්න බෑ.. පුරාවිද්‍යාත්මක සාක්ෂි ඕන..

      Delete
  11. සිංහල කියන නාමය හැදුණු හැටි ගැන තියෙන තවත් මතයක් තමා ලක්දිව එකල හිටිය ස්වදේශිකයන් හෙළ නමින් හඳුන්වපු බවත් විජය ඇතුළු පිරිස සිංහ වංශිකයන් වූ නිසා සිංහ+හෙළ එකතු වීමෙන් සිංහල කියන නම හැදුණු බව

    ReplyDelete
    Replies
    1. සා ඒක අදමයි ඇහුවේ, නියමයි... තව ඔය වගේ මත ගොඩාක් ඇති මයෙ හිතේ... g-)

      Delete
  12. සිංහල විතරක් නෙවේ දැනට ලෝකයේ තියන සෑම අනන්‍යවූ ජනවර්ගයක්ම හැදෙන්න ඇත්තෙ 'මට හිතෙන විදියට' මෙහෙමයි.
    විජය ඇතුළු පිරිස මෙහේ පිරිසක් හිටිය නම් එයාල සමඟ මිශ්‍ර වීමෙන්. වර්තමාන ලෝකයේ පවතින දේශ සීමා ආදිය අතික්‍රමණය කිරීමේ හැකියාවක් එකල තිබුනෙ නෑ. යම් තැනක ජනවර්ගයක් හිටිය නම් ඔවුන් කාලයත් එක්ක වෙනස්වෙලා භාෂාවක් සංස්කතෘතියක් ගොඩනැ‍ෙඟෙනව. අන්න ඒකයි වෙන්න ඇතිතෙ. අපේ මතක ඇති කාලෙ සිංහල භාෂාවේ ඇතිවෙලා තියන වෙනස්කම් හිතල බැලුවොත් අදට වඩා සංවෘත ලෝකෙක අවුරුදු 2000ක් කියන්නෙ යම් ජනවර්ගයක මුල් ලක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනස්වෙන්න හැකියාව තියන කාලයක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත කතාව ඒක..

      //සිංහල භාෂාවේ ඇතිවෙලා තියන වෙනස්කම් හිතල බැලුවොත් //

      දැං යන විදියට අනාගතේ සිංහල භාෂාවේ සොභාවය කොහොම වෙයිද කියලා හිතා ගන්ට බෑ.. දැනට අවුරුදු කීපෙකට කලින් තිබුණු භාෂාව දැන් හොයා ගන්නවත් නෑ..

      Delete