Monday, April 22, 2013

සමනොළ අඩවිය

  සිරිලක රජ කළ නිශ්ශංකමල්ල රජ දවස (1187 - 1196) එතුමාගේ රාජකීය මල් උයනේ තිබූ මල් දිනපතා කිසිවෙකු විසින් සොරකම් කරන බව එහි උයන්පල්ලාට දැනගැනීමට ලැබී ඇත. මේ බව සොයා බැලූ ඔහුට රාත්‍රියේ දී උයනට පැමිණෙන දිව්‍යාංගනාවන් විසින් මල් කඩා රැගෙන යන බව දැකගත හැකි විය. ඒ මග ඔස්සේ ගමන්කළ ඔහුට දිව්‍යාංගනාවන් විසින් සමන්තකූඨ පර්වතය පෙන්වා ඇත. බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශයට ලක් වූ සිරිපාද පද්මය වැඳපුදා ගැනීමට මාර්ගයක් විවෘත වූයේ එලෙසිනි. මෙය ජනප්‍රවාදයක් පමණක් බවට පත් වූයේ ඒ පිලිබඳ සාක්ෂි අඩු බැවිණි. එදා එලෙස අනාවරණය කරගත් මාර්ගය නිශ්ශංකමල්ල රජු විසින් හොඳින් සකස්කර රජ මාවත ලෙස නම් කරන ලදි. එදා මෙදා තුර සිරිපා වන්දනාවට පැරැන්නෝ තෝරා ගත්තේ මෙම මාර්ගයයි. 



  ජනප්‍රවාදයේ එසේ පැවතියද ඊට පෙර රජ කළ පළමු වන විජයබාහු රජතුමාගේ කාලයට (1059 - 1164) අයත්යැයි සැළකෙන අඹගමුව සෙල්ලිපියේද සමනළ කන්ද පිළිබඳ සඳහන් වේ. ක්‍රී.පූ.29-17 අතර කාලයේදී  රජ කළ වලගම්බා රජතුමාද සිරීපාදය වැඳ පුදා ගැනීමට පැමිණි බව ඉතිහාස කතාවේ දැක්වේ. ඒ ඉතිහාස කතා කියැවීමට උවමනානම් මෙන්න මේ ලිංකුව දිගේ ගිහිං ඒවත් කියවලාම එන්න...

  අප රටේ ඇති කඳු ශිඛර අතුරින් සමනොළ කන්දට හිමිවන්නේ උසින් සිව්වන ස්ථානයයි (උස මීටර් 2243). සබරගමු පළාතට අයත් වූ තවත් එක් පූජනීය ස්ථානයකි. මෙහි විශේෂත්වයක් තිබේ. ඒ අනෙකුත් පූජනීය ස්ථාන මෙන් නොව මෙය බෞද්ධ, හින්දු, ඉස්ලාම් මෙන්ම ක්‍රිස්තියානි ආගමිකයන්ටද එනම් සර්ව ආගමිකයන්ට ම පූජනීය ස්ථානයක් වීමය. එබැවින් සමනොළ සිරස අප රටේ ආගමික සබැඳියාවේ සංකේතය වැනිය. බෞද්ධයන්ගේ අති පූජනීය මුදුන් මල්කඩක් ලෙස සිරීපාදය හැඳින්විය හැක. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සළකුණ එහි තබා ඇති නිසාවෙනි. හින්දු බැතිමතුන් සිරිපාදය වන්දනා කරනුයේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන්ගේ සිරිපා සළකුණ මෙහි ඇතිබව විශ්වාස කරන බැවිණි. බටහිර ජාතිකයින් සහ අනෙකුත් පිරිස් මෙය ඇඩම්ස් පීක් ලෙස හඳුන්වයි. එසේ පවසන්නේ ආදම් ගේ පා සළකුණ එහි තබා ඇතැයි ඔවුන් විශ්වාස කරන බැවිණි.

  සැළලිහිණි සංදේශය යනු කෝට්ටේ යුගයේදී ලියැවුණු කාව්‍ය ග්‍රන්ථයකි.. මේ එහි දැක්වෙන එක් කවියකි.

සුරරද සමන් සමගින් සුරඟන                  එවර
පැහැ නද මදාරා පරසතු මල්                  පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා                   තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල       නැගෙනහිර


   ශ්‍රීපාදස්ථානයට ප්‍රවේශ මාර්ග හතක් පවතී.. ඒවා මෙසේය..

1. හැටන් - මස්‌කෙළිය - නල්ලතන්නිය - ගෙත්තම්පාන - සීතගඟුල - අහස්‌ගව්ව - මහගිරිදඹ - මළුව

2. කුරුවිට - එරත්න - අඩවිකන්ද - පැළැඳ කන්ද - වර්ණගල - සීත ගඟුල - බේරුමැන්ඩිය - මැදඉන්න - ඉදිකටුපහන - ගල්කඩේ - හැරමිටිපහන (ගල්වංගෙඩි කඩේ) මැහැල්ලමල කඳුර - ආඬියාමලතැන්න - ඇහැලකනුව අහස්‌ගව්ව - මහාගිරිදඹ - මළුව.

3 රත්නපුරය - ගිලීමලේ - පලාබද්දල - පවනැල්ල - කොකටියකන්ද - ළිහිණිහෙල - කටුකිතුල වංගුව - ගෝනතල්ල - ගැටනිටුල - කොඩියහෙල - ධර්මරාජගල - ගල්පොත්තකඩේ - සෙවලගල - සීත ගඟුල - හීංගඟුල - හැරමිටිපහන - ගල්වංගෙඩිකඩේ - මළුව.

4 දැරණියගල - මාලිබොඩ - හැරමිටිපහන -ආඬියාමලතැන්න - මහගිරිදඹ - මළුව


5 රත්නපුර - මූක්‌කුවත්ත - ඇහැල කනුව,

6
ගවරවිල - මස්‌කෙළිය මාර්ගය 
 
7.
මරේවත්ත - රජමලේ

( ඉහත සඳහන් කළ අවසන් මාර්ග තුන ප්‍රධාන මාර්ග නොවේ. ඒවා වර්ථමානයේ භාවිතා නොවන තරම්ය ) මෙම මාර්ග අතුරින් හැටන් - නල්ලතම්බි මාර්ගය සහ රත්නපුර - පලාබද්දල මාර්ග ඉතා ප්‍රසිද්ධ ය.

  ශ්‍රී පාදස්ථානය හෙවත් සමනළ කන්ද යනු සමනළ අඩවියේ උසින් වැඩිම ස්ථානයයි. සමනළ අඩවිය යනු මුලු භූමි ප්‍රමාණයෙන් හෙක්‌ටයාර් 22379 ක් පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින පුළුල් ප්‍රදේශයකි. එය සොභාව සෞන්දර්යය අතින් අනූන වූ ජෛව විවිධත්වයෙන් පොහොසත් භූමියකි. දුර්ලභ වෘක්ෂලතා මෙන්ම දුර්ලභ සතුන්ගෙන්ද ගහන ප්‍රදේශයකි. මෙය සබරගමු කඳු පන්තියට අයත් වේ. 
 

 සිරීපාදෙ ගැන කියැවුණු කවි ටිකකුත් එහෙනම් අහලම යමු....

අලට කන්න බැරි අලගල්ලේ කන්              ද
බතට කන්න බැරි බතලේ ගල කන්            ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්            ද
මෙකඳු තුනට නායක සමනළ කන්             ද

සුද්ද ලෙසින් නිති ගත බබලන්                නේ
සුද්ද ඇතා පිට වද වැඩ ඉන්                    නේ
බුද්ධ මෙසාසන දිවුණු කරන්                   නේ
සුද්ද සමන් දෙවියෝය වඩින්                   නේ
 
සිත ගඟුලෙහි දි පන්සිල් අර ගෙ                න
උණුසුම් ඇති පිළි පමණක් ඇඳ ගෙ            න
සමන් දෙවිඳුහට පඬුරුත් බැඳ ගෙ               න
සාදු කියා යමු සතුටින් හැම දෙ                 න

ගෙත්තම් පාන ඉදිකටු පූජා කර                  මු
හැරමිටි පාන හැරමිටි පූජා කර                  මු
දොඩම් බැවිල තල අබ පූජා කර                මු
සිරිපතුලට රත් මල් පූජා කර                     මු
  
ධර්ම රාජ ගල යමින් පෙනෙන්                 නේ
බොහොම දෙනෙක් පඩි ගණන් කරන්        නේ
ගණන කියන්නට බැරිද බොලන්               නේ
මන්ද කියා සමහරු ලතවන්                      නේ

සමන් දෙවිඳුගෙන් පිහිට ලබන                  වා
උතුම් බුදුන් අපි වඳින්න යන                     වා
හැරමිටි පානේ අපි නවතින                      වා
එතනදි සමහරු පඬුරු බඳින                       වා

ඇහැළ කණුව ළඟ ගොස් නවතින්            නේ
අටසිල් පන්සිල් අරගෙන යන්                   නේ
සිතේ කුහක කම් අත්හැර ගන්                  නේ
සමන් දෙවිඳුනේ පිහිටක් වන්                   නේ

වට පිට නොබලා පාර බලන්                   නේ
අඩියෙන් අඩියට සාදු කියන්                    නේ
දම්වැලෙ එල්ලී දඹය නඟින්                    නේ
සමන් දෙවිඳුනේ අප රැක දෙන්                 නේ

සියලු දෙනම ගොස් පද්මෙ වඳින්               නේ
මාර යුදෙන් ජය ගත්තා වැන්                    නේ
පුද පූජා කොට පින් ලැබ ගන්                   නේ
සුමන සමන් දෙවි මේ පින් ගන්                 නේ

ප.ලි..  ඈත හිමේ කරක්ගැහීම ( සිරිපා කරුණා කිරීම සහ සමනොළ අඩවියට ඇතුල් වීම ) එතරම් පහසු කටයුත්තක් ලෙස ගැමියෝ නොසළකති. එම අඩවිය හා බැඳි ජනප්‍රවාද, ජනකතා හා කටකතා බොහෝය.. මේවායේ කියැවෙනුයේ අඩවියේ හාස්කම් පිළිබඳව ය. මේවා යම් පුද්ගලයෙක් පිළිගත්තා හෝ පිළිනොගත්තා හෝ ඔහු ඒවා කියැවිය යුත්තේමය.. ඒවා ගැන ලිවීමට නම් වෙනමම පෝස්ටුවක් ඉදිරිපත් කළ යුතුය. 


22 comments:

  1. ඔයා මුලින් ම කියලා තියෙන කතාව නං මම පොඩි කාලේ අම්මගෙන් අහපු එකක්. :) සිරිපා කරුණා කරන්න යන අයට වැදගත් ලිපියක්. ලංකා ඉතිහාසේ කොච්චර ලස්සණ කතා තියෙනව ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ජනප්‍රවාදයේ එන කතාවක්... මම දැක්කා එක තැනක නිශ්ශංකමල්ල රජතුමා වෙනුවට භාතිය රජතුමා කාලෙ මේ සිද්දිය උනාය කියලා තියෙනවා... විකියෙද කොහෙද.... :)

      Delete
  2. ‍හොද විස්තරයක්.. මාත් පාරවල් හතේ කතාව දැන ගෙන හිටියත් මොනවද ඒ කියල හරියටම දැනගෙන හිටියේ නෑ. උඹ කියනව වගේ හිමේ කරක් ගැහීම ගැන තියෙන ජනප්‍රවාද හා කටකතා ලියන්න වෙනම බ්ලොගයක් ම ඕන වේවි. ජය වේවා. ස්තුතියි විස්තරයට. ආ.. කවි ටික ලියා ගන්න ඕන යන වෙලාවක සද්දෙට නෙලන්න.. හැක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. පාරවල් ටික මටත් අහු උනේ පත්තරේක තිබිලා... ඕවා ගැන ලස්සන කතන්දර ටිකක් තියෙනවා.. ඉඩ ලැබුණ වෙලේක දාන්නම්...

      Delete
  3. අර මුලිංම කියල තියෙන විස්තරේ මාත් අහල තියෙනව.
    ඉස්සර දැං වගේ පාරවල් හොඳට නොතිබ්බ හින්ද සිරීපාදෙ යන අය තමංගෙ දේපළ හිටං ළමයින්ට ලියල දීල ගිහිල්ල තියෙනවයි කියලයි කියන්නෙ ආපහු ඒනකං විශ්වාසයක් නැති නිසා.

    නියම විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. දේපල ලියල දීල යන කතාව මාත් අහල තියනවා. අලි කොටි ඉන්න මහ කැලෑවේ ගල් මුල් වල එල්ලිලා පවා යන්න සිද්ධ වුනා ලු.

      Delete
    2. ඒ කතාව ඇත්ත ප්‍රසන්න අයියා... ඒ තරමටම ගමන ෂුවර් නෑ..

      Delete
    3. @ Chandana

      අයියා අහලා තියෙනවද ඉස්සර සිරීපාද අඩවියට ඇතුලු වන කවුරුත් කැලේට ඇතුල් වෙන්නෙ ගිහින් එන්නම් කියලා නෙවෙයිලු... සමන් දෙයියන්ගෙ පිහිටෙන් යන්නම් කියාලා ලු.. :)

      Delete
    4. ඔව් ඔව්. ඉස්සර සිරිපාදේ යද්දී කතා කරන වචන උනත් බොහොම පරිස්සමින් තෝරා බේරා ගෙන තමයි පාවිච්චි කළා කියන්නේ.

      Delete
    5. හ්ම්ම්ම... දැනුත් එහෙමනෙ..

      Delete
  4. මුල්ම කාලේ සිරිපාදේ ගියා කියන්නේ කරත්ත වල එහෙම නැගල. දවස් ගණනාවක් ගත වෙන වැඩක් ලු ඒක. දා හතරවෙනි සියවසේ ලංකාවට ආපු ඉබන් බතුතා ත් සිරිපාද කන්ද නැග්ගා කියල කියනවා. වළගම්බා රජතුමා සිරිපාද කන්දට ආවේ මුවෙකුගේ පස්සෙන් ය කියලත් කතාවක් තියනවා...
    ඔය පාරවල් වල ස්ථාන වලට නම් හැදුනු එක පිටිපස්සේත් කතා තියනවා. පලාබද්දල කියන්නේ මැල්ලුම් පාර්සලයක් බත් මුලක් බවට පත් වූ තැනක් ලු..

    හොඳ පෝස්ටුවක්...!

    ReplyDelete
    Replies
    1. //වළගම්බා රජතුමා සිරිපාද කන්දට ආවේ මුවෙකුගේ පස්සෙන් ය කියලත් කතාවක් තියනවා// ඒකනම් මම කලින් අහලා තිබුනේ නෑ.. ඇයි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයත් යකඩ දම්වැල් ආධාරයෙන් සිරීපාදෙ තරණය කළාය කියලා කියන්නෙ.. බොහෝම ස්තූතියි තොරතුරුටිකට...

      Delete
  5. සිරිපා අඩවිය සම්බන්දයෙන් තියෙන ජනප්‍රවාද ගැන කියවන්න, දැනගන්න මාත් ගොඩක් කැමතියි. ඉදිරි පෝස්ට් එකකින් ඒ දේවල් ගැනත් ලියවෙයි කියල හිතනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඉදිරියේදි දාන්ට තමා බලාපොරොත්තුව......... :)

      Delete
  6. පුතාටත්, ගෙදර අයටත් සුබ නව වසරක් වේවා!
    හරිම වටිනා පොස්ට් එකක්. ආසාවෙන් කියෙව්වා. මගේ තාත්තා ගේ නම නිශ්ශංක. සීයා ඉස්සර කියන්නේ රජතුමාගේ වංශයෙන් පැවතෙන බවත් රජතුමා තෑගි දුන් ගම්වරයක ඒ පරපුරේ ඇත්තො අදත් ජීවත් වෙන බවත්ය. කොතෙක් දුරට ඇත්ත ද ? දන්නේ නෑ. දැන් නම් සීයා නෑ. කොහොම හරි ආරච්චි පට්ටමක් නම් තිබ්බා. සිරිපා හිමේ තාම ගිහින් නෑ. ලඟකදී දිවාගුහාවේ ගියා. නිශ්ශංකමල්ල රජතූමා ගැන එහේදී ගොඩාක් විස්තර ස්වාමීන්වහන්සේ ගෙන් දැන ගත්තා. ගොඩාක් ස්තුතියි පොස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි... ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      හ්ම්ම්.. ම්ම් කිව්වත් වගේ එහෙම පරම්පරා වලින් පැවතගෙන එන උදවිය තාමත් ඉන්නවා.. ඇත්ත වෙන්ට ඇති ඒ කතාව..

      Delete
  7. ඔබ සඳහන් නොකළ ප්‍රවේශ මාර්ගයක්ද නුදුරේ ඉදිවේවි. ලොක්කන් සඳහා එන්න හෙලිකොප්පර අංගනය....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... සහතික ඇත්ත.. නුදුරේදීම ඒකත් ඉදිවේවි... ඒත් ඒ වගේ දෙයක්, මේ වගේ තැනකට ගැළපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.... :)

      Delete
  8. ඉතාම වටිනා, ගවේශනාත්මක ,රසබර , හරබර පොස්ටුවක්, හැබැයි මේ කියන සුන්දරත්වය තව ටික දවසකින් " අධි දේශප්‍රේමයට" යටවෙලා යයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට .. මේ වෙන දේවල හැටියට ඒ කතාවත් ඇත්ත අප්පා...

      Delete
  9. අලුත් දේවල් ගොඩක් ඉගෙනගන්න ලැබුනා මේක කියෙව්වම. වටිනා විස්තරයක්. එත් තවමත් මට සිරිපා කරුණා කරන්න යන්න බැරි උනානේ....

    ReplyDelete
  10. ළඟදීම් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..... :)

    ReplyDelete