Monday, April 22, 2013

සමනොළ අඩවිය

  සිරිලක රජ කළ නිශ්ශංකමල්ල රජ දවස (1187 - 1196) එතුමාගේ රාජකීය මල් උයනේ තිබූ මල් දිනපතා කිසිවෙකු විසින් සොරකම් කරන බව එහි උයන්පල්ලාට දැනගැනීමට ලැබී ඇත. මේ බව සොයා බැලූ ඔහුට රාත්‍රියේ දී උයනට පැමිණෙන දිව්‍යාංගනාවන් විසින් මල් කඩා රැගෙන යන බව දැකගත හැකි විය. ඒ මග ඔස්සේ ගමන්කළ ඔහුට දිව්‍යාංගනාවන් විසින් සමන්තකූඨ පර්වතය පෙන්වා ඇත. බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශයට ලක් වූ සිරිපාද පද්මය වැඳපුදා ගැනීමට මාර්ගයක් විවෘත වූයේ එලෙසිනි. මෙය ජනප්‍රවාදයක් පමණක් බවට පත් වූයේ ඒ පිලිබඳ සාක්ෂි අඩු බැවිණි. එදා එලෙස අනාවරණය කරගත් මාර්ගය නිශ්ශංකමල්ල රජු විසින් හොඳින් සකස්කර රජ මාවත ලෙස නම් කරන ලදි. එදා මෙදා තුර සිරිපා වන්දනාවට පැරැන්නෝ තෝරා ගත්තේ මෙම මාර්ගයයි. 



  ජනප්‍රවාදයේ එසේ පැවතියද ඊට පෙර රජ කළ පළමු වන විජයබාහු රජතුමාගේ කාලයට (1059 - 1164) අයත්යැයි සැළකෙන අඹගමුව සෙල්ලිපියේද සමනළ කන්ද පිළිබඳ සඳහන් වේ. ක්‍රී.පූ.29-17 අතර කාලයේදී  රජ කළ වලගම්බා රජතුමාද සිරීපාදය වැඳ පුදා ගැනීමට පැමිණි බව ඉතිහාස කතාවේ දැක්වේ. ඒ ඉතිහාස කතා කියැවීමට උවමනානම් මෙන්න මේ ලිංකුව දිගේ ගිහිං ඒවත් කියවලාම එන්න...

  අප රටේ ඇති කඳු ශිඛර අතුරින් සමනොළ කන්දට හිමිවන්නේ උසින් සිව්වන ස්ථානයයි (උස මීටර් 2243). සබරගමු පළාතට අයත් වූ තවත් එක් පූජනීය ස්ථානයකි. මෙහි විශේෂත්වයක් තිබේ. ඒ අනෙකුත් පූජනීය ස්ථාන මෙන් නොව මෙය බෞද්ධ, හින්දු, ඉස්ලාම් මෙන්ම ක්‍රිස්තියානි ආගමිකයන්ටද එනම් සර්ව ආගමිකයන්ට ම පූජනීය ස්ථානයක් වීමය. එබැවින් සමනොළ සිරස අප රටේ ආගමික සබැඳියාවේ සංකේතය වැනිය. බෞද්ධයන්ගේ අති පූජනීය මුදුන් මල්කඩක් ලෙස සිරීපාදය හැඳින්විය හැක. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සළකුණ එහි තබා ඇති නිසාවෙනි. හින්දු බැතිමතුන් සිරිපාදය වන්දනා කරනුයේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන්ගේ සිරිපා සළකුණ මෙහි ඇතිබව විශ්වාස කරන බැවිණි. බටහිර ජාතිකයින් සහ අනෙකුත් පිරිස් මෙය ඇඩම්ස් පීක් ලෙස හඳුන්වයි. එසේ පවසන්නේ ආදම් ගේ පා සළකුණ එහි තබා ඇතැයි ඔවුන් විශ්වාස කරන බැවිණි.

  සැළලිහිණි සංදේශය යනු කෝට්ටේ යුගයේදී ලියැවුණු කාව්‍ය ග්‍රන්ථයකි.. මේ එහි දැක්වෙන එක් කවියකි.

සුරරද සමන් සමගින් සුරඟන                  එවර
පැහැ නද මදාරා පරසතු මල්                  පතර
කර පුද වඳින රැඳි මුනි සිරිපා                   තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල       නැගෙනහිර


   ශ්‍රීපාදස්ථානයට ප්‍රවේශ මාර්ග හතක් පවතී.. ඒවා මෙසේය..

1. හැටන් - මස්‌කෙළිය - නල්ලතන්නිය - ගෙත්තම්පාන - සීතගඟුල - අහස්‌ගව්ව - මහගිරිදඹ - මළුව

2. කුරුවිට - එරත්න - අඩවිකන්ද - පැළැඳ කන්ද - වර්ණගල - සීත ගඟුල - බේරුමැන්ඩිය - මැදඉන්න - ඉදිකටුපහන - ගල්කඩේ - හැරමිටිපහන (ගල්වංගෙඩි කඩේ) මැහැල්ලමල කඳුර - ආඬියාමලතැන්න - ඇහැලකනුව අහස්‌ගව්ව - මහාගිරිදඹ - මළුව.

3 රත්නපුරය - ගිලීමලේ - පලාබද්දල - පවනැල්ල - කොකටියකන්ද - ළිහිණිහෙල - කටුකිතුල වංගුව - ගෝනතල්ල - ගැටනිටුල - කොඩියහෙල - ධර්මරාජගල - ගල්පොත්තකඩේ - සෙවලගල - සීත ගඟුල - හීංගඟුල - හැරමිටිපහන - ගල්වංගෙඩිකඩේ - මළුව.

4 දැරණියගල - මාලිබොඩ - හැරමිටිපහන -ආඬියාමලතැන්න - මහගිරිදඹ - මළුව


5 රත්නපුර - මූක්‌කුවත්ත - ඇහැල කනුව,

6
ගවරවිල - මස්‌කෙළිය මාර්ගය 
 
7.
මරේවත්ත - රජමලේ

( ඉහත සඳහන් කළ අවසන් මාර්ග තුන ප්‍රධාන මාර්ග නොවේ. ඒවා වර්ථමානයේ භාවිතා නොවන තරම්ය ) මෙම මාර්ග අතුරින් හැටන් - නල්ලතම්බි මාර්ගය සහ රත්නපුර - පලාබද්දල මාර්ග ඉතා ප්‍රසිද්ධ ය.

  ශ්‍රී පාදස්ථානය හෙවත් සමනළ කන්ද යනු සමනළ අඩවියේ උසින් වැඩිම ස්ථානයයි. සමනළ අඩවිය යනු මුලු භූමි ප්‍රමාණයෙන් හෙක්‌ටයාර් 22379 ක් පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින පුළුල් ප්‍රදේශයකි. එය සොභාව සෞන්දර්යය අතින් අනූන වූ ජෛව විවිධත්වයෙන් පොහොසත් භූමියකි. දුර්ලභ වෘක්ෂලතා මෙන්ම දුර්ලභ සතුන්ගෙන්ද ගහන ප්‍රදේශයකි. මෙය සබරගමු කඳු පන්තියට අයත් වේ. 
 

 සිරීපාදෙ ගැන කියැවුණු කවි ටිකකුත් එහෙනම් අහලම යමු....

අලට කන්න බැරි අලගල්ලේ කන්              ද
බතට කන්න බැරි බතලේ ගල කන්            ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්            ද
මෙකඳු තුනට නායක සමනළ කන්             ද

සුද්ද ලෙසින් නිති ගත බබලන්                නේ
සුද්ද ඇතා පිට වද වැඩ ඉන්                    නේ
බුද්ධ මෙසාසන දිවුණු කරන්                   නේ
සුද්ද සමන් දෙවියෝය වඩින්                   නේ
 
සිත ගඟුලෙහි දි පන්සිල් අර ගෙ                න
උණුසුම් ඇති පිළි පමණක් ඇඳ ගෙ            න
සමන් දෙවිඳුහට පඬුරුත් බැඳ ගෙ               න
සාදු කියා යමු සතුටින් හැම දෙ                 න

ගෙත්තම් පාන ඉදිකටු පූජා කර                  මු
හැරමිටි පාන හැරමිටි පූජා කර                  මු
දොඩම් බැවිල තල අබ පූජා කර                මු
සිරිපතුලට රත් මල් පූජා කර                     මු
  
ධර්ම රාජ ගල යමින් පෙනෙන්                 නේ
බොහොම දෙනෙක් පඩි ගණන් කරන්        නේ
ගණන කියන්නට බැරිද බොලන්               නේ
මන්ද කියා සමහරු ලතවන්                      නේ

සමන් දෙවිඳුගෙන් පිහිට ලබන                  වා
උතුම් බුදුන් අපි වඳින්න යන                     වා
හැරමිටි පානේ අපි නවතින                      වා
එතනදි සමහරු පඬුරු බඳින                       වා

ඇහැළ කණුව ළඟ ගොස් නවතින්            නේ
අටසිල් පන්සිල් අරගෙන යන්                   නේ
සිතේ කුහක කම් අත්හැර ගන්                  නේ
සමන් දෙවිඳුනේ පිහිටක් වන්                   නේ

වට පිට නොබලා පාර බලන්                   නේ
අඩියෙන් අඩියට සාදු කියන්                    නේ
දම්වැලෙ එල්ලී දඹය නඟින්                    නේ
සමන් දෙවිඳුනේ අප රැක දෙන්                 නේ

සියලු දෙනම ගොස් පද්මෙ වඳින්               නේ
මාර යුදෙන් ජය ගත්තා වැන්                    නේ
පුද පූජා කොට පින් ලැබ ගන්                   නේ
සුමන සමන් දෙවි මේ පින් ගන්                 නේ

ප.ලි..  ඈත හිමේ කරක්ගැහීම ( සිරිපා කරුණා කිරීම සහ සමනොළ අඩවියට ඇතුල් වීම ) එතරම් පහසු කටයුත්තක් ලෙස ගැමියෝ නොසළකති. එම අඩවිය හා බැඳි ජනප්‍රවාද, ජනකතා හා කටකතා බොහෝය.. මේවායේ කියැවෙනුයේ අඩවියේ හාස්කම් පිළිබඳව ය. මේවා යම් පුද්ගලයෙක් පිළිගත්තා හෝ පිළිනොගත්තා හෝ ඔහු ඒවා කියැවිය යුත්තේමය.. ඒවා ගැන ලිවීමට නම් වෙනමම පෝස්ටුවක් ඉදිරිපත් කළ යුතුය. 


Saturday, April 13, 2013

අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ........

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ
කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා
කොහෝ කොහෝ කොහේ ඉඳන්
කොහෝ කියනවදෝ......


  ඔන්න සිංදුවක් එහෙම කියලාම පටං ගන්න කියලා හිතුනා අද පෝස්ටුව. දන්නෙම නැතුව අලුත් අවුරුද්දත් අත ළඟටම ආවානෙ නේ.. ඕං පරණ අවුරුද්දට අන්තිමට දාන පෝස්ටුව ඔහොම දානවලු. නොනගතේ ලබලා තියෙද්දී තමා මේක කොටන්නේ මේ. තව දෙයක් කියන්ට එපැයි. මේක මේ බොගේ අස්සෙ ඔබන පනස්වෙනි පෝස්කටුව නොවැ. ඉතිං එදා මෙදා තුර යන්තං ගැට ගහගෙන පනහකුත් ලිව්වා එහෙනම් මේකා...

  සනත් නන්දසිරි, සුජාතා අත්තනායකයන් සමග ගායනා කළ මේ සිංදුව අහද්දී මට නිකම්ම මතක් උනේ අතීතය. ඔහොම සිංදුවක් අහද්දී කවදාවත් වර්තමානයවත් අනාගතයවත් මතක් වෙන එකක්යෑ.. මොකද ඒ සින්දු වල තියෙන සුන්දර පරිසරය දැන් නූතන විද්‍යාව කියන එකෙන් කෘත්‍රීමවවත් ඇතිකරන්න පුලුවන්යෑ.. දැං ඉන්න මොඩර්න් වෙච්චි කොහා (මල් කොහා) දැං අවුරුද්දට කෑගහන එකක්වත්යෑ. අපිටත් හරි ගණන් උස්සනවනේ. කොහා කියලා එකෙක් දැන් මේ ලෝකේ ඉන්නවද කියලවත් හොයා ගන්ට බැරුව ඉන්දැද්දී මෙන්න අද උදේ එකෙක් යන්තං කෑ ගහනවා ඇහුණා. දෙයියනේ කියලා කොච්චර ආසාවෙන්ද හිටියෙ මුගෙ කටහඬ ටිකක් අහන්න. කොහෙද, ඒකත් එක පාරයි. අවුරුද්දට පත්තු කරන රතිඤ්ඤා වල සද්දෙට බයේද කොහෙද මූ කෑ ගහලා තියෙන්නේ. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ... ඒ වෙලාවේ මටත් අහන්ට හිතුනේ ඔහොම තමා.. අම්මපා දැං රබන් පදයක්වත් ඇහෙනවා කියලායෑ..


නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ
ඒ තාලෙට වරල් සළාලා
නව අවුරුදු නැටුම් නටනවා

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙනවා
ගම්මානෙට අවුරුදු එනවා

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනා වේ
රිදී එළිය ගමට ගෙනාවේ


(ඩබ්. ඩී අමරදේවයන්)

අලුත් අවුරුද්දට සිංදුවකුත් අහලම යමු එහෙනම්....


  තව ටිකකින් අලුත් අවුරුද්දකුත් ලබනවනේ එහෙමනම්. සිංහල අපිට අලුත් අවුරුදු කීයක් නම් තියෙනවද. ජනවාරි පළවෙනිදට සුදු මහතැන්ගේ දින දර්ශනේට අනූව කවුරුත් අවුරුද්ද සමරනවා නොවැ. වෙසක් පෝය දවසට තමා සිංහල බෞද්ධයන්ගේ නියම අවුරුද්ද තියෙන්නේ. ශ්‍රී සම්බුද්ධ වර්ෂ වලට අනූව නව බුද්ධ වර්ෂයක් ආරම්භ වෙන්නෙ වෙසක් පොහෝ දාට.. එතකොට මේ අප්‍රේල් මාසේ සමරන්නේ සිංහල-හින්දු අලුත් අවුරුද්ද...  ඒ කියන්නෙ සිංහල බෞද්ධයා හින්දු බැතිමතුන් සමඟ සාමූහිකව එකමුතු වෙලා සමරන අලුත් අවුරුද්ද. විශේෂයෙන්ම අස්වනු ගෙට අරගත්තට පස්සෙ අලුත් සහල් වලින් කිරිබත් එහෙම උයලා ඒ ප්‍රීතිය ජයටම සමරන්නේ මෙදාට තමා. හතර වටින්ම ගිගුම් දෙන රතිඤ්ඤා සද්දෙන්ම තේරෙනවනේ අපේ කට්ටිය කොච්චර නම් ජයට අලුත් අවුරුද්ද සමරනවද කියලා.. 

  හ්ම්ම්ම්... එහෙනම් තවත් හෝරා කිහිපයකින් එළැඹෙන සිංහල හින්දු සමගිය පිළිඹිබු කරන්නා වූ මහා මංගල්‍යය ට බ්ලොග් ලෝකයේ එදා මෙදා තුර හමුවුණු, තවමත් හමු නොවුණු සහ අන්තර් ජංජාලයෙන් හමු වූ දුටු නොදුටු ඔබ සැමට සහ පවුලේ සැමට හද පත්ලෙන්ම (බොක්කෙන්ම) මගෙනුත් සුභාශිංසන....!!! 



Tuesday, April 9, 2013

අපිත් උන්මන්තකයෝද ඈ......!

  ෆේස් බුකියට ඇබ්බැහි වීම උන්මන්තක ලෙඩක්ය කියල කලින් පෝස්ටුවක කිව්වත් මතක ඇතිනේ. මේ පෝස්ටුව දාන්ට හිතුනේ මේ ඒකට ලැබුණු ප්‍රතිචාර සහ අපේ සයිලන්ට් සහන් අයියා ඊයේ පෙරේදා දාලා තිබුණු පෝස්ටුවක් දැකලා..

  ෆේස් බුකියට ඇබ්බැහි වීම දැන්නම් විසාල ලෙඩක් වෙලා තියෙනවා කියලා පේනවා. මේ ළඟදි දවසක ෆොටෝ එකක් දැක්කා බයික් ඇක්සිඩන්ට් එකක්. බයික් කාරයා මළා. මිනිහගේ ළඟ තිබුණු ස්මාර්ට් ෆෝන් එකේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙලා හිටියේ. අනතුරට හේතුව හරියටම ඒකද කියල කියන්ට මම දන්නේ නෑ. ඒත් හැම දෙයක්ම හරි ගානට සමතුලිත කරගෙන වැඩ කළානම් තමා හොඳ.


cuongdang.info

  බලාගෙන ගියාම දැන් මේ ලෝකේ හැමෝටම මොකක් හරි උන්මන්තක රෝගයක් තියෙනවා. ඒත් ඒක සමාජයට ලෙඩක් වෙන්නේ නැත්තං ප්‍රශ්නයක් නැහැනේ. ඒත් මේ දේ ගොඩාක් දුරට දැන් සමාජයටත් බලපාලා තියෙන හැටි ඔබට මූණුපොතේ පැත්තේ ගියොත් බලාගන්ට පුලුවන් වේවි. අන්තර්ජාලය භාවිතය සහ ඇබ්බැහි වීම කියන්නේ මෙතැන වචන දෙකක්. මොකද සාමාන්‍ය විදියට ජීවිතේ සියලු වැඩ කටයුතු පසෙක නොහෙලා අන්තර්ජාලය පාවිච්චි කරන උදවිය ඕනෑතරම් අපි අතර ඉන්නවා නොවැ. සාමාන්‍යයෙන් බොහෝ විට දවසෙන් වැඩි කාලයක් අන්තර්ජාලය භාවිතා කරන යෞවන යෞවනියන්ට මානසික අවපීඩන තත්ව ඇති වී මානසික ඒකාග්‍රතාව ඇතිකර ගැනීමේ අපහසුතා ඇතිවන බව පර්යේෂණ වලින් සනාථ කරගෙන තියෙනවා. 

  ඔන්න අන්තර්ජාලෙට යම් පුද්ගලයෙක් අන්තර්ජාලෙට ඇබ්බැහි වෙලාද නැද්ද කියලා හොයා ගන්න පර්යේෂණයක් කරලා තියෙනවා. ඒකට තියෙන්නෙ පුංචි ප්‍රශ්න කිහිපෙකට උත්තර සපයන්න විතරයි. මේ හැම ප්‍රශ්නෙකටම උත්තර 06 ගානෙ තියෙනවා. අනිවාර්යයෙන් ඒ හයෙන් එකකට උත්තර දෙන්නම ඕන. ඔක්කොම ප්‍රශ්න විස්සක් තියෙනවා. ඔබ ඒ ප්‍රශ්න විස්සට මුලින්ම පුංචි කොළ කෑල්ලක උත්තර දෙන්න ඕන. ඊටපස්සේ කරන්ට තියෙන්නේ ආපු උත්තර විස්සේ අංක ටිකේ එකතුව බලන එක. ඉතිං මාත් ඔය ප්‍රශ්න විස්සට උත්තර දීලා ආපු අංක ටික එකතු කරලා බැලුවා. බොරු කියන්නේ මොටද. ආවා උත්තරේ 32ක්!.. මම දැන් ජංජාලේ පාවිච්චිය ටිකක් අඩු කරලා තියෙන්නේ.. ඉස්සර බැලුවානම් සීයෙන් සීයම එනවා..

  ඉතිං ඔබට වෙලාවක් තිබේනම් කොළයක් අතට අරගෙන පල්ලෙහායින් දාලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර දීලා බලන්න ලකුණු කීයක් ලැබෙනවාද කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ ප්‍රශ්න මම හදාපු එකක් නෙවෙයි පර්යේෂණ කණ්ඩායමක් හදපු ප්‍රශ්න ටිකක්. ඒ වගේම ඒ ටික මට හම්බුනේ මෙන්න මේ ලිංකුවේ තිබිලා..


  1. ඔබ මීළඟ වතාවේ අන්තර්ජාලයට සම්බන්ධ වූ විට කරන්නේ කුමක්දැයි සැළසුම් කරනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  2. අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වූ අවස්ථා වලදී ඔබ අසතුටට, නුරුස්සනා ස්වභාවයකට, නොඉවසිලිවන්ත තත්ත්වයකට පත් වනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  3. අන්තර්ජාල සබඳතාවය බිඳ වැටේයැයි හෝ ඔබගේ අන්තර්ජාල ගිණුම් සොරා ගනීවි යැයි හෝ මකා දමයි යැයි ඔබ බියෙන් පසු වනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  4. අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින වේලාව නිවැසියන්ට හෝ මිතුරන්ට පැවසීමට ඔබ මැළි වෙනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  5. පවුල, මිතුරන්, පෙම්වතා හෝ පෙම්වතිය සමඟ සම්බන්ධතාවය පැවැත්වීමට අවැසි නිසා ඔබ පරිගණක භාවිතය ප්‍රිය කරනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  6. කලින් සිතූ කාලයට වඩා වැඩියෙන් ඔබ අන්තර්ජාලයේ රැදී සිටිනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  7. අන්තර්ජාලයට සම්බන්ධ වූ පසු ඔබ අවම වශයෙන් එක් මිතුරෙක් සමඟවත් හෝ චැට් කරනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  8. අන්තර්ජාලයේ කුමක් කරන්නේ දැයි කෙනෙක් ඇසුවොත් ඔබ කරනා දේවල් පැවසීමේදී ඔබ පරිස්සම් වනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  9. ඔබගේ අන්තර්ජාල භාවිතයට කෙනෙක් බලපෑම් කරයි නම් එය ඔබට කරදරකාරී සහ අප්‍රියජනක දෙයක්ද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  10. අන්තර්ජාල භාවිතය නිසා ඔබගේ සැළසුම් හෝ අරමුණු ව්‍යාර්ථ වී තිබේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  11. ගෙදරින් පිටතට ගොස් මිතුරන් සමඟ කතා බහ කිරීමට අවස්ථාවක් ලද විටෙක ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්‍ය නිසා නොගොස් සිටිනවාද ? හෝ ඔබ යනවා නම් හදිසියේ හෝ අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ජංගම දුරකථනය ටැබ්ලට් පරිගණකය රැගෙන යනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  12. අන්තර්ජාල භාවිතය අඩු කිරීමට ඔබ සැළසුම් සකස් කළත් ඒවා ක්‍රියාවට නැඟෙන්නේ නැතිද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  13. අන්තර්ජාල භාවිතය නිසා ඔබගේ එදිනෙදා වැඩ අතපසු වෙනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  14. අන්තර්ජාලයෙන් නික්මයාමට ඔබට සිතුනද, “තව එක් වරක් ෆේස්බුක් ගිහින් බලලා එන්න ඕනා” හෝ “තව ටික වෙළාවක් ඉන්නවා” යැයි ඔබට සිතෙන්නේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  15. ඔබ රාජකාරී කටයුත්තක හෝ වෙනයම් කරයුත්තක යෙදී සිටින විට අන්තර්ජාලය භාවිතා කිරීම නිසා එම කාර්‍ය උපරිම ඵළදායිතාවෙයෙන් යුතුව කිරීමට නොහැකි වේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  16. අන්තර්ජාලයට සම්බන්ධවීමට යන අවස්ථාවේදී ඔබට සතුටක්, මානසිකව පිබිදුණු ස්වභාවයක් දැනේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  17. ඔබ අන්තර්ජාලයේ සිටින වේළාව ගැන ඔබේ මිතුරන් දොස් කියනවාද ? නැතිනම් ඒ ගැන කතා බහේ යෙදෙනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  18. අන්තර්ජාලයේ කුමක් කරන්නේදැයි සිතමින් ඔබ කාලය ගෙවා දමනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  19. අන්තර්ජාලයෙන් හෝ පරිගණකයෙන් ඔබේ රාජකාරී හෝ පාසල් වැඩක් කිරීමට ඇති අවස්ථාවේදී එයට පෙර ඔබ ෆේස්බුක්, ඊමේල් වැනි දෑ පිරික්සා බලනවාද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
     
  20. මධ්‍යම රාත්‍රියේ හෝ ඊට පසුවත් අන්තර්ජාලය භාවිතා කිරීම නිසා ඔබගේ නින්ද අඩු වී තිබේද ?
    • 0 – කෙසේවත් නැත
    • 1 – කලාතුරකින්
    • 2 – සමහර වෙළාවට
    • 3 – නිතරම
    • 4 – සම්පූරණයෙන්ම වාගේ
    • 5 – සම්පූරණයෙන්ම
 ඔබ දැන් මෙයට පිළිතුරු සපයා අවසන් නම් ඔබ ළඟ ඉලක්කම් 20ක් ලියූ කොළයක් තිබිය යුතුයි. එම ඉලක්කම් සියල්ල එකතු කරන්න. ඔබට ලැබුණ පිළිතුර,
  • 30ට අඩු නම් -
ඔබ සාමාන්‍ය අන්තර්ජාල භාවිතා කරන්නෙකි. අන්තර්ජාලයට අබ්බැහි වීමක් ඔබට නැත.
  • 30ත් 50ත් අතර නම් -
ඔබ තරමක් දුරට අන්තර්ජාලයට ඇබ්බැහි වූවෙකි. ඔබගේ සැබෑ ජීවිතයේ යම් යම් දේ ඔබෙන් ඈත්වීමට පවා හැකියාවක් තිබේ. නමුත් එය එතරම් බරපතල තත්ත්වයක් නොගනී.
  • 50ට වැඩි නම් -
නිසැකවම ඔබ අන්තර්ජාලයට සම්පූරණයෙන්ම ඇබ්බැහි වූවෙකි.  ඔබ දැන් අත්විඳිනවාට වඩා විශාල ප්‍රතිලාභයක් මෙම තත්ත්වය මඟ හරවා ගැනීමෙන් උදාකර ගත හැක. ඔබගේ මානසික නිරෝගීභාවය වර්ධනය කොට පවත්වාගෙන යාම සඳහා මෙම තත්ත්වයෙන් මිදෙන්නට උත්සාහ ගන්න. 

 
www.helpingpsychology.com


 ඔබට ඔබ ගැනම සිතීමට දැන් හැකිවනු ඇත. (මම මා ගැන සිතා ගත්තෙමි)

ප.ලි:: ඉහත සඳහන් ප්‍රශ්න පමණක් උපුටා ගත්තේ http://lionlk.com/how-to-tips/sinhala-internet-addiction-disorder-test යන ලිංකුවෙන් බව කරුණාවෙන් සළකන්න... 

Friday, April 5, 2013

සිංහලයා පැවත එන්නේ කුමන පරපුරකින්ද.......

  සිංහලයා පැවත එන්නේ ක්‍රි.පූ 6 වන සියවසේදී පමණ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි විජය ඇතුලු පිරිසගෙන් ද? නැතිනම් ඊටත් පෙර සිට මෙරට ජීවත් වූ මානව පරපුරකින් ද? එසේත් නැතිනම් සිංහලයා යනු මෙලොවට ඉබේ පහළ වූවෙක්ද?? මෙයට නිසියාකාර පිළිතුරක් අප කවුරුත් දැන සිටිය යුත්තකි..

  පිළිතුරක් සෙවීමටනම් අතීතයට ගමන් කළ යුත්තේම ය. මේ ගැන විවිද මත දක්වන පුද්ගලයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එක් කොටසකගේ මතය වන්නේ සිංහල පරපුරේ ආරම්භකයා විජය රජු බවයි. අනෙක් පිරිස එයට තදින්ම විරුද්ධ වන අතර ඔවුන් පවසන්නේ සිංහලයාට ඊට වඩා විශාල අතීතයක් පවතින බවයි. එය ලක් දිව රජ කළේයැයි සැලකෙන රාවනා නම් අධිරාජයේකුගේ කාලයටත් වඩා එහාට දිවයන බව ඔවුන්ගේ මතයයි.

  විජය යනු බුදු රජාණන් වහන්සේට සමකාලීනව ජීවත් වූ පුද්ගලයෙකි. ඔහු එකල ඉන්දියාවේ වංග නම් දේශයේ රජ කළ සිංහබාහු රජුගේ සහ සිංහ සීවලී බිසවගේ පුතණුවන්ය. මොහු රජ කුමාරයෙක් වුවද අපරාධකරුවෙකි. මොහු විසින් සිදුකල විවිධ අපරාද නිසා පිය රජු මොහු ඇතුලු හත්සියයක් පමණ පිරිස හිසෙන් අර්ධයක් බූ ගා නැවක නංවා රටින් පිටුවහල් කළ බව වංශ කතා වල දැක්වේ. මේ පිරිස දැන හෝ නොදැන සිරිලකට ( තම්බපන්ණියට ) ගොඩබසින්නේ මේ සිදුවීමෙන් අනතුරුය. විජය ඇතුලු පිරිස ලංකාවට ගොඩබැසි දින බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ බව මූලාශ්‍ර වල දැක්වේ...


www.divaina.com


 විජය දුටු ලංකාව අද මෙන් නොවීය. එකල ලංකාවේ ගෝත්‍රික ජන කොටස් හතරක් විය. යක්ෂ, නාග, දේව හා රාක්ෂ යනු මේ ජන කොටස් හතරයි. මෙසේ පැමිණි විජය කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවකගේ උදව්වෙන් අනෙකුත් යක්ෂ ගෝත්‍රිකයන් සමග සටන් කර දිනා මෙරට රජකම ලබා ගනී. එහෙත් පසුව කුවේණිය ද හැර දමා වෙනත් ඉන්දියානු බිසවක් සරණ පාවා ගන්නේ කන්න දුන්නු අත හපා කෑවා වාගේ යන පිරුළද පසක් කරමින් යැයි මට හැඟේ.. ශ්‍රී ලාංකීය ප්‍රෞඪ ඉතිහාසය ලියැවෙන්නේද එතැන් සිටය. එහෙත් ඊට පෙර තිබූ ඉතිහාසය මැකී ගොස් ඇත්තේ කෙසේදැයි යන පැණය නිතැතින්ම සිතට නැගෙන්නේ මෙවිටය.

  ඉතිහාසය නම් විෂයකි. එය පිළිබඳ මූලාශ්‍රගත සාක්ෂි නොමැතිව කතිකා කළ නොහැක. ශ්‍රී ලංකාවේ විජය රජුගෙන් ඇරඹී තවමත් ලියැවෙන ලිඛිත ඉතිහාසයක් ඇත. ඒත් ඊට පෙර! ලක්දිව තම ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස තෝරාගෙන රජ කළ රාවනා නම් අධිරාජයෙකු ගැන බොහෝ දෙනා පවසති. එහෙත් එයද පුරාවෘතයක්ම පමණක් වී ඇත්තේ ඒ ගැන මූලාශ්‍ර හිඟ බැවිනි. විජය රජු තම්බපන්ණියට ගොඩ බසින විට මෙරට ප්‍රධාන ගෝත්‍රික ජන කොටස් කිහිපයක්ම වාසය කළ බව කලින් පැවසූයෙමි. දැන් අපිට ඇති සැකය නම් නූතන සිංහලයා බවට පරිනාමය වූයේ කුමන ජන කොට්ඨාසයද යන්නයි..

  "සිංහලය" යන වදන සෑදුනු ආකාරය මුලින්ම සොයා බලමු. මේ ගැන කියැවෙන කතාන්දර අතරින් එකක් දෙකක් කීමට කැමැත්තෙමි. සිංහලයාගේ උපත ගැන මත දක්වන පුද්ගලයන් කොටස් දෙකක් බව කලියෙන්ම පැවසූයෙමි. ඉන් පළමු කොටස එනම් සිංහල ජන කොට්ඨාසය විජය රජුගෙන් පැවත එන්නක් බව පිලිගන්නා අයගේ මතයනම් සිංහල යනු "සිංහ ලේ" යන වදනින් සෑදුනු වචනයක් යන්නයි. එහි යම් සත්‍යතාවක් දකිමි. විජය කුමරුගේ පිය රජු වන සිංහබාහු රජුගේ පියා සිංහයෙක් බව ඉතිහාසයේ සඳහන් වේ. සිංහබාහු විවාහ වී ඇති සිංහ සීවලී බිසව තමාගේම නැගණියයි. එනම් මේ දෙදෙනාගේම පියා සිංහයෙකි. මව සුප්පා දේවිය. ඇය මනුෂ්‍ය දුවක්. අපි දන්නා විද්‍යාවට අනූවනම් කිසිම දිනෙක සිංහයෙකුට හා ගැහැණියකට දාව දරුවන් දෙදෙනෙකු තබා එක දරුවෙකුවත් ඉපදීමට හැකියාවක් නැත. ඒ අනූව මේ කියන තැනැත්තා එනම් සිංහබාහු රජුගේ පියා සැබවවින්ම සිංහයෙකු නොව, සිංහයෙකු වැනි දරුණු, හැඩි දැඩි, ශක්තිමත් පුද්ගලයෙකු විය යුතුය. එනම් සිංහ යන නම සහිත ගෝත්‍රයක අයෙකු විය හැක. උදහරණයක් ලෙස අප රටේ නාග ගෝත්‍රිකයන් ලෙස ජන කොටසක් සිටියද ඔවුන් සැබවින්ම නාගයන් නොවීය. අප මෙන් සාමාන්‍ය මිනිසුන්ය. ඉතින් මේ සිංහ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් තම සිරුර තුලද සිංහ ලේ පවතින බැව් විශ්වාස කළහ. සිංහල යන වචනය ඉන් බිඳී ආවක් විය හැක.


  අනෙක් මතය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. එම මතය රැගෙන එන්නේ මා කලින් කියූ දෙවන කණ්ඩායමයි. මෙහිදී 'සිවු හෙළය' නම් වූ සංකල්පයක් ගැන කතා කළ යුතුය. මේ සිවු හෙළය යනු මා ඉහතින් දැක්වූ ලංකාවේ එකල සිටි ගෝත්‍රික ජන කොටස් හතරයි. ඔවුන්ගේ මතය අනූව සිංහලයාගේ උපත සිදුවී ඇත්තේ මෙම ප්‍රධාන පෙළපත් හතර මුල්කර ගෙනය. ඒවා නම් යක්ෂ, නාග, දේව හා රාක්ෂ යන පෙළපත්ය. මේ අනූව යක්ෂ ගෝත්‍රිකයින් යකඩ කර්මාන්තයේ යෙදුන බවත්, නාග ගෝත්‍රිකයන් නාවික කටයුතු සිදුකළ බවත්, දේව ගෝත්‍රිකයන් පාලන තන්ත්‍රයේ අනුශාසකවරු ලෙස කටයුතු කළ බවත්, රාක්ෂයින් ගොවිතැනෙහි යෙදුණු බවත් දැක්වේ. සිංහල යන වචනය මේ සිවු හෙළය යන වදනින් සෑදුනු බවද විශ්වාස කිරීමට අපහසු නැත.



  විජය රජුට ලක්දිව සිටි සියලු ගෝත්‍රික ජනතාව විනාශ කර දැමීමට හැකියාව නොලැබුණි. ලක් රජය ගෙන යාමට ඔහුට මෙන්ම ඔහුගෙන් පසුව රජ වුණු අනෙක් රජවරුන්ටද මේ ගෝත්‍රිකයන්ගේ උදව් උපකාර නොමදව ලැබුණු බව ඉතිහාසය සාක්ෂි දරයි. විශේෂයෙන්ම ඔහුගෙන් පසු කාලයකදී ලක්දිව රජ වුනු පණ්ඩූකාභය යනු විජය පරපුරේ චිත්‍රා කුමරියගේ හා යක්ෂ පරපුරේ දීඝ ගාමිණී කුමාරයාගේ පුතණුවන්ය. එනම් එතැන් පටන් සියලු රජවරු එක පරපුරකින් නොව මේ සියලු මානව පරම්පරා වලින් පැවත එන්නන් විය. ඉතින් සිංහලයාගේ ආරම්භය ද එසේ සිදුවූවා විය හැක. සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාය ඇරඹෙන්නේ එලෙසින් විය යුතුය. එනම් සිංහලයාගේ මූලාරම්භකයා ලෙස විජය රජු පමණක් පිදීම එතරම් උචිත නොවේ. ඔහුද එහි එක් පුරුකකි. නූතනයේ මෙසේ පරිණාමය වූ සිංහලයා නම් මානවයාගේ මූලාරම්භය එක පුරුකක් නොව පුරුක් කිහිපයකින් බැඳී ගිය ජාලයක් සේ පවතින්නකි. ඒ සියල්ල මනාව වටහා ගැනීම සිංහලයන් වන අපගේ යුතුකමකි.