Wednesday, February 27, 2013

ෆේස් බුකියට ඇබ්බැහි වීම උන්මත්තක රෝගයක්ලු!

    ලු යන්න දාලා කිව්වේ ඉතින් ඔන්න මං කියන දෙයක් නොවන හින්ද. ඒත් ඉතින් මේ උන්දැලා පරීක්ෂණ කරලා ඔප්පු කරලා පෙන්නපුවහම ඉතින් බොරු කියල අහක දාන්නයැ. එක්කෙනෙක් නෙවෙයි ගොඩ දෙනෙක් මේ ගැන පරීක්ෂණ එහෙම කරලා ඔප්පු කරලා තියෙනවා. ඒ උන්දැල කියන විදියට බුකියේ ඉන්නේ උන්මත්තක රෝගියෝලු. මේ රෝගයට ඇබ්බැහි වෙලා ඉන්න හුඟ දෙනෙක් වයස අවුරුදු 18ත් 35ත් අතර අයලු. මේ රෝගයේ නම තමයි " ෆේස් බුක් උන්මාදය".


Facebook Addiction Disorder


   ඔය ඇමෙරිකාවේ තියෙන එක එක ආයතන වලින් කරපු සමීක්ෂණ වලින් තමයි මේ බව ඔප්පු වෙලා තියෙන්නේ. ගොඩක් සමීක්ෂණ ආයතන සොයාගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි බුකියට වැඩියෙන්ම ඇලී ගැලී වාසය කරන්නේ කාන්තාවෝ කියන එක. ඇත්තද දන්නේ නෑ කතාව. වැඩේ කියන්නේ සමහරු උදේ මූණ හොදගන්නත් කලින් නැගිට්ට ගමන් කරන මුල්ම රාජකාරිය බුකිය පැත්තේ විසිට් එකක් දාන එකලු. දත් මැදලා මූණ එහෙම හෝද ගන්නේ ඊට පස්සෙලු. අනේද කියන්නේ. තවත් සමහරු රෑ දොළහට විතර නැගිටලා බුකිය පැත්තේ ගිහින් එනවලු. හීනෙන් වෙන්න ඇති මයේ හිතේ. ඇමෙරිකාවේ ඔහොම කිව්වට ඉතින් ලංකාවෙත් ඔහොම තමා. ඉතින් ඔය ගැන කට්ටිය සැරටම පර්යේෂණ කරනවලු මේක ලෙඩක්ද කියල හොයන්න. ලංකාවෙත් කාලෙකට කලින් මේ බුකිය තහනම් කරන්ට යනවාය කියල කට කතාවක් ගියා මතක ඇති. 

   මූණු පොත ( බුකිය ) පැත්තේ නිතර දෙවේලේ ඇවිල්ල මූණ පෙන්නලා යන සෙනග දැන් කෝටි 70ත් ඉක්මවලා. දවසකට අලුතෙන් හැදෙන මූණු පොතේ ගිණුම් ටික දැක්කම මාර්ක් මලයට තරු පෙනිලා. ඒක හින්දද කොහෙද දැන් ඔන්න මැරිච්ච උදවියගේ ගිණුම් ටික අයින් කරලා දාන්ට හදනවලු. දැන් කවුරු කවුරුත් බලනවා ඇති කොහොමද බොලේ මැරුණා කියල දැන ගන්නේ කියල. මෙහෙමලු, කාගේ හරි බුකියේ එකවුන්ට් එකක් වැඩි කාලයක් නිකන් නිකරුනේ කිසිම යාවත්කාල වීමක් නැතුව තිබුනොත් එයාගේ යාලුවන්ට බුකියේ ඉහල තැන් වලින් පණිවුඩ එනවලු මිනිහ මැරිලද කියල අහල. එතකොට මුං ඔව් කියල කිව්වොත් ගිණුම අවලංගු කරලා දානවලු. එහෙමලු බුකියේ ඉඩ ගන්නේ. නැත්තන් දැනටමත් බුකියේ ඉඩ නෑලු. 


Facebook Addiction Disorder

  ඔය බුකියේ තියෙන ගිණුම් වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ගිණුම් කියල හොයා ගෙන තියෙනවා. ඒ කියන්නේ බොරුවට හදා ගත්තු ඒවා. විශේෂයෙන්ම කෙල්ලන්ගේ නම් වලින් බුකියේ පෙනී හිටින කොල්ලෝ ඕන තරම් ඉන්නවා. ඉතින් ඕක උන්මත්තක රෝගයක් කියල අහන්නත් දෙයක්යෑ. ඒත් බුකියේ හිඳින හැමෝටම මේ උන්මත්තක රෝගය නැතිය. ඇත්තේ කිහිප දෙනෙකුට පමණි.  ඔබටද මා කලින් කියූ රෝග ලක්ෂණ ඇත්නම් ඔබටද එම රෝගය වැලඳී තිබෙනවා විය හැක. වහාම ප්‍රතිකාර ලබා ගන්නේනම් වටින්නේය. මොකද ෆේස් බුකිය වගේ වටිනා දෙයක් ඉදිරියටද පවත්වා ගැනීම අවශ්‍ය නිසාය. කලින් කියූ රෝග ලක්ෂණ පෙන්වන ඇතැමුන් සිය ජීවිතයේ අනෙකුත් සියලුම කටයුතු වලට වඩා ෆේස් බුකියේ ඇලී ගැලී වාසය කරති. බුකියේ හිඳීමට වැය කරන පැයක කාලයක් පවා හොයා ගන්නේ තමාට තිබෙන වටිනා රාජකාරියකට වැය කල යුතු කාලයෙන් නම් එය ඇත්තෙන්ම ඇබ්බැහියක් බවට පත් වේ. දවසේ කල යුතු අත්‍යවශ්‍ය වැඩ කටයුතු සියල්ල පොදිය පිටින්ම පැත්තකට තල්ලු කර බුකියේ පැය භාගයක් ගත කලද එය ඇබ්බැහියකි. සමීක්ෂණ ආයතන පවසන්නේ එලෙසින්ය. බුකිය අප කාටත් වැදගත්ය. නමුත් එය ජීවිතයේ එක විනෝදාංශයක් පමණක් කර ගත යුතුය.


පින්තූර ගූගලෙන්

Saturday, February 9, 2013

මගේ බුදු අක්කණ්ඩිට බුද්ධං සරණේ සරණයි!

    චන්දන අයියගේ පරණ පත්තර එකතු කරන විනෝදාංශේ දැකල ඔන්න මටත් හිතුන පරණ පත්තර ටිකක් කියවල බලන්න. ඔන්න ඔහොම අහු වෙච්චි එක පත්තරේක තිබුනා නේද මාර බඩ්ඩක්.. ඒක කියවල ඔන්න කියවපු නැති අයටත් කියවන්ට කියල දැම්මා ඕන්.. කිසිම වචනයක් වෙනසක් කරලා නෑ. ඒ වගේම නම් ගම් කිසිවක් වෙනස් කරලත් නෑ. මොකද මම ලිව්ව එකක් යෑ. 2005 පෙබරවාරි 7 වෙනිදා දවසක පළ වෙච්චි කතාවක්. ඔන්න එහෙනම් සියලු දෙනාගේම හිත සුව පිණිස දැම්මා.. 

කසුරිගෙ කොලම

 චන්ද්‍රිකාගේ උපන්දින ආරාධනා ලැබ හෝ නොලැබ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. ලොරි දෙකකට තෑගී බෝග ලැබී තිබුනේය. රෝස මල් පොකුරු... ලේන්සු පෙට්ටි.. සැන් පවුඩර්.. මාල වළලු පමණක් නොව සාරි හැට්ටද ඒ අතර විය. එහෙත් චන්ද්‍රිකා විශේෂයෙන් බලා සිටි කවුරුවත් තවම ඇවිත් නැත. ඒ නිසා කේක් එක කපන එක තව දුරටත් කල් දමන්නට සිදු විය.

ඩිලාන් පෙරේරාත් මහින්දානන්ද අළුත්ගමගේත් එකටම පැමිණෙනු දුටු චන්ද්‍රිකාගේ මුවට සිනාවක් ආවේය. තෑගී වශයෙන් මල් මල් චීත්ත රෙද්දකින් මැසූ බ්ලවුස් එකක්, සායක් විය. උඩ කෑල්ල ඩිලාගෙන්ය, යට කෑල්ල මහින්දානන්දගෙන්ය. තෑගී චන්ද්‍රිකා අතට දී පාදයක් පෙරට තබා දෙදෙනාම සුභ පැතුම් ගීතයක් ගයන්නට වූහ.

මගේ බුදු අක්කණ්ඩිට බුද්ධං සරණේ සරණයි
මගේ බුදු අක්කණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගේ බුදු අක්කණ්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතින් අපි දෙන්නට මේ අක්කන්ඩිගේ සරණයි

ඩිලාන් සහ මහින්දානන්ද එසේ ගායනා කරන අතරතුර පැමිණි සරත් අමුණුගම චන්ද්‍රිකාට කොන්ඩ කට්ටක් තෑගී කරමින් ගීතයේ ඉතිරි ටික ගායනා කරන්නට විය.

සද්ද බද්ද නැතුව ඉන්න මහින්ද දන්නවා නේද
ජනාධිපති පුටුව ගන්න මිනිහ හදනවාලු නේද
ලඟට එන්ඩ දෙන්ඩ එපා
අනුරගේ තැන ගන්න එපා
ඒකයි මට කණගාටු


සරත් අමුණුගම එසේ ගයද්දී චන්ද්‍රිකා ඔහුගේ හිස අතගාමින් අන්තිම පදය ගායනා කළාය.

රෙදි බැනියම් අඳින එකා
පක්සෙන් පිට නොගිය එකා
ඒකයි මට කණගාටු

ගීතය අවසාන වුවද තිදෙනාම චන්ද්‍රිකා දෙස බලාගෙන සිටියහ.

"දැන් ගිහිල්ල ඉඳගන්න... මහින්දත් එන්ඩ වෙලාව හරි"

චන්ද්‍රිකා පැවසූ විගස ඩිලාන් මහින්දානන්ද සහ අමුණුගම පසෙකට ගොස් එකලඟ පුටු තුනක වාඩිවූහ.

එවිටම චන්ද්‍රිකා මහ හඬින් සිනාසෙන්නට වූවාය. බැලින්නම් රාජිත විල්ලාය. චන්ද්‍රිකාගේ අත අල්ලාගත් රාජිත පුංචි ලස්සන අත් ඔරලෝසුවක් බැඳ ඒ අතේ ඇඟිලි තුඩු අල්ලාගෙන ඩාන්ස් කරන්නට පටන් ගත්තේය.

මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
මේ නගරය මාඔබ වෙන් කෙරුණු නගරයයි
ගං ඉවුරේ රළ රැලි පෙර සේම ඇදෙනවා
අප නැතුවත් නුග ගස්පෙල තව දළුලනවා
ඒ කාලේ කියූ කියුම් යලි සිහිවෙනවා
ආයෙත් ඔබ ළඟට එන්න ආස හිතෙනවා

" රාජිත තාම ස්වීට්"

චන්ද්‍රිකා සිනාසෙමින් කීවාය. සියල්ලෝම අප්පුඩියක් ගැසූහ.

"අන්න සුරුට්ටු කඩ කාරයොත් එනව" ඩිලාන්ගේ කණට කොට සරත් අමුණුගම කීවේය. ඩිලාන් විතරක් නොව මහින්දානන්ද ද හිස ඔසවා බැලුවේය.


"අක්කේ ටිකක් එන්නකෝ
ඇවිදින් ඉඳ ගන්න කෝ
පුංචි කතාවක් කියන්න තියෙනවා

මල්ලි නිකං ඉන්නකෝ
මට යන්නට දෙන්නකෝ
පාටි එකේ වැඩපොළ මට තියෙනවා

 අක්ක හරිම කටකාරයි
ආදරයක් නැති ගානයි
මල්ලි හරිම දඟකාරයි
කියන කිසිත් දේ නාහයි

හෝ... හෝ...
අතන මෙතන මීටිං වල මට හොඳටම බනිනවා
බැනිල්ල නවතල ආවොත් පැටිස් එකක් කවනවා

 ඒ යුග ගීතය අවසන් වෙනවිටම ජී. ඇල්. පීරිස් පවුඩර් ටින් එකක්ද රැගෙන ශාලාවට ඇතුල් විය. ඔහු වෙත ගිය චන්ද්‍රිකා සිංදුවක් පටන් ගත්තාය.

"නොකියාම එදා ඇසළමහේ සඳ ඇතිපායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා
නින්දේය එදා ඔබලා යනවිට මා සිටියේ
දැනුනා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ
මේ මාළිගයේ... ඒ.. ඒ..
මේ මාළිගයේ මට දැන් මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ පැකේජ් එකෙන් පහලට බැස්සේ

 චන්ද්‍රිකා එසේ ගායනා කරන විට ජී.එල්. පීරිස් කන්නාඩි දෙක ගලවා සාක්කුවෙන් ලේන්සුවක් ගෙන ඇස පිසදාගත්තේය. ඉන්පසු ඔහුද ගීතයක් ගයන්නට විය.

"ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
දුව පැන ඇවිදල සෙල්ලම් කළේ
ඔබ සමගින් එදා ඒ මා තමා
අද වෙන් වී ගිහින් යූ ඇන් පීයේ

 සියල්ලෝම තාලයට අප්පුඩිගසන්නට වූහ. ඒ අප්පුඩි අස්සෙන් චන්ද්‍රිකා ඉදිරියට පැන්නාය. බැලින්නම් මහින්ද රාජපක්ෂ අවිල්ලාය. රතු රෝස මල් පොකුර චන්ද්‍රිකා අතට දුන් මහින්ද කම්මුල් දෙකට තොත්තු දෙකක්ම දුන්නේය.

 ඉන්පසු මහින්දගේ ගැඹුරු හඬින් මුළු ශාලාවම ප්‍රාණවත් වී ගියේය.

"පැවතීමට හෝ නැතිවී යනු පිණිස මා ලොවේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ
මගේ ජීවය ගල් ලෙනකී එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා

සැනසීමට හෝ වැලපීමට මට වරින් වරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ.

 මහින්දගේ ගැඹුරු ගීතයට කවුරුත් පාහේ මහා හඬින් අප්පුඩි ගැසූහ.

"මේ යකාට මල් පූජා කරන්ඩ විතරක් නෙමේනේ.. සිංදු කියන්ඩත් පුළුවන්නේ.
අමුණුගම මදක් නැවී මහින්දානන්දගේ කණට කොට කීවේය. එවිටම චන්ද්‍රිකා උඩපැන සිනාසෙන්නට පටන්ගත්තාය.

කවුරුත් ඒ දෙස බැලූහ. බැලින්නම් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලාය. රතුපාට... සුදුපාට... කහ පාට... පාට පාට රෝස මල් කළඹක්ම ගෙනැවිත් චන්ද්‍රිකා අතට දී කම්මුල්වල්ට තොත්තු හතරක්ම දුන්නේය.

එවිටම චන්ද්‍රිකා ද ගීතයක් පටන් ගත්තාය.

"කොළ කඩ කඩ බොරුවට දෙනවා
මම ගහ හොඳහැටි අඳුනනවා
අපට බොරු චාටු එපා
අපට බොරු චාටු එපා සුදු කොල්ලෝ...

පොල් කඩලා ගාලා දෙන්නම්
රෙදි සෝදා වේලා දෙන්නම්
ඔබට ආඩම්බරනේ...
ඔබට ආඩම්බරනේ සුදු කෙල්ලේ.

මට බැරිය ජ.වී.පෙ. අඹරන්ටා
මට බැරිය ජ.වී.පෙ. අඹරන්ටා
හෝ... හෝ...
මට බැරිය ජ.වී.පෙ. අඹරන්ටා
උදව් වෙනවාද පනේ...
උදව් වෙනවද පනේ බෑ නොකියා.

 චන්ද්‍රිකා රනිල් ප්‍රවේගකාරී රංගනයක යෙදෙන්නට වූහ. එය උඩරට පහතරට කතක් ආලිංගන සියල්ලේ අච්චාරුවක් වැන්න. එහෙත් වැස්සක් පෑව්වාක් මෙන් එක්වරම රංගනයද ගීතය ද සියලුම සද්ද බද්ද ද නැවතී ගියේය. චන්ද්‍රිකාගේ මෙන්ම රනිල්ගේද විනොදබර මුහුණු එක්වරම වෙනස් වී බැරෑරුම් පෙනුමක් ගත්තේය. 

බැලින්නම් උපන්දින උත්සවයට ප්‍රභාකරන් අවිල්ලාය. ඔහු උත්සව ශාලාවට පා තබන විටම ගීතයක් ගයන්නට පටන් ගත්තේය.

"අඩි එන්නඩි රාක්කම්මා පල්ලාක්කු නිනෛප්පු එන් නෙන්පු කුලන්ගුදඩි, 

 ප්‍රභාකරන්ගේ ද්‍රවිඩ ගීතය සිංහලයට පරිවර්තනය කොට ගායනා කළේ වික්‍රමබාහු සහෝදරයා විසිනි. 

"මම ගන්නෙමී කරකාර බන්දාලා
පුංචි වලව්වේ හාමු දැන්..
මම ඉන්නෙමි මහරාජා වාගේ මේ රටේ
කාටත් කචල් අදිමින්..
වලව්වේ හාමුට කියනව මං
පුංචි හාමු මගේ මනමාලි
පුල්ලි කොටිය බැඳී බර බාගෙන් 
මම උතුරට කැන්දන් යමි...

අඩි එන්නඩි රාක්කම්මා..

 එම්. පී. ආර්. මෙන් රාජ කුමාර ඇඳුමකින් සැරසීසිටි ප්‍රභාකරන් එක් අතකින් උඩු රැවුල කරකවමින්ද අනිත් අතින් ඉනේ තිබුණු රත්තරන් කඩුව ගෙන හිස වටා ලෙලවමින්ද චන්ද්‍රිකා වටේ යමින් නියම රාජකීය නැටුමක් නැටුවේය. ඉන්පසු චන්ද්‍රිකා ඉදිරියට ගොස් ප්‍රේමනීය දෙමල රාජකුමාරයෙක් විලාශයෙන් එක් පාදයකින් දණගසා චන්ද්‍රිකාගේ අත ගෙන පිටි අත්ල සෙමින් සිඹ යලි නැගී සිට කඩුව කොපුවේ දමා දෑතින් ඈට පිළිගැන්වූයේය. කඩුව මෙන්ම කොපුවද දඹ රත්තරනින් නිමවා තිබුනේය. කදු මිට මෙන්ම කොපුවද කැටයම් වලින් යුක්ත විය. චන්ද්‍රිකා ඒ වටිනා ත්‍යාගය පිළිගෙන ප්‍රභාකරන්ට සීරියස් සිනාවක් දී "වනක්කම්" යැයි කීවාය. ඉන්පසු චන්ද්‍රිකා සහ ප්‍රභාකරන් අතරේ ද්‍රවිඩ බසින් සංවාදයක් ඇති විය.

"කනවනේ කන් කන්ඩ දෙයිවම්?" චන්ද්‍රිකා කීවාය.

"කාදරික්ක නේරම් ඉල්ලෙයි" ප්‍රභාකරන් පිළිතුරු දුන්නේය.

"නාඩෝඩි මන්නම්?"

"තායි සොල්ලෙයි තට්ටා දේ"

"පාසමලර්"

 ඉන්පසු දෙදෙනාම සිනාසෙන්නට වූහ. සියල්ලෝම ගල්භීත වී බලා සිටියහ. මොකක්වත් නොතේරුන නමුත් ඩිලාන්, මහින්දානන්ද සහ අමුණුගම ද හරි හරියට සිනා සුනහ.

 චන්ද්‍රිකා, ප්‍රභා දුන් රත්තරන් කඩුව රත්තරන් කොපුවෙන් එලියට ගත්තාය. මුළු ශාලාවම රත්තරන් ආලෝකයකින් පිරී ගියේය.

 ශ්‍රී ලංකාවේ හැඩයට නිර්මාණය කොට තිබූ බර්ත් ඩේ කේක් එක කපන්නට සූදානම් වූවාය. හැම දෙනාම එතනට රොක් වූහ. "හැපී බර්ත් ඩේ ටූ යූ" ගීතය ගායනා කරන්නට සූදානම් වූහ. රත්තරන් වුවද කඩුව බර හෙයින් චන්ද්‍රිකාට තනිවම එය හසුරුවා ගැනීමට නොහැකි විය. චන්ද්‍රිකා ප්‍රභා දෙස බැලුවාය. ප්‍රභාකරන් ඉදිරියට විත් චන්ද්‍රිකාගේ අතත් කඩුවත් අල්ලගෙන අල්ලාගෙන ශ්‍රී ලංකාවේ හැඩය ගත් කේක් එක මතට පහත් කරන්නට විය. හැමෝම නොඉවසිල්ලෙන් සිටියේ කොහොම කපනවා දැයි දැක බලා ගැනීමටය.

ප.ලි. ඕන් කිව්වා කිසිම දේසපාලන ආරවුලක් නැහැ. හුදෙක් රස වින්දනය සඳහා පමණයි. ඔතනින් එහාට උනේ මොකද කියල කියන්න දෙයක් නැහැනේ. කවුරු කවුරුත් දන්නවනේ.... :D

Tuesday, February 5, 2013

෴ අධ්‍යාපන අත්වැල ෴

      නිදහස් දිනයට පස්සේ දවසේ තමයි ලියන්න ලැබුනේ.. රටට ලැබුණු නිදහස හා සාමය සදාකල් රැකේවා කියල ඔන්න මම ප්‍රාර්ථනා කරනවා.. 

    මම මේ බ්ලොග් එක පටන් ගත්තේ අරමුණු කිහිපයක් හිතේ තියා ගෙන. එකක් තමයි ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පිං සිද්ද වෙන්න මගේ අදහසුත් සයිබර් අවකාශෙට ලියල දාන්න.. තවත් එකක් තමයි අධ්‍යාපනය පැත්තෙන් මම දන්නා දේවල් අනෙකුත් අයත් සමග බෙදා ගැනීම.. තොරතුරු තාක්ෂණය, සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විෂයන් සම්භන්ධව උගත් දේ අනෙක් අයත් සමග බෙදා ගන්න.. ඒකට මීඩියාෆයර් ගිණුමකුත් හදාගත්තා... ඊට පස්සේ ගොඩක් අධ්‍යාපනික තොරතුරු ටිකක් ලබාදෙන්න පුළුවන් උනා.. අද මම දෙන්ට හදන්නේ මම හදාපු දෙයක් නෙවෙයි.. උසස්පෙළ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ජීව විද්‍යාව සම්භන්ධව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද නව විෂය නිර්දේශයන්, ගුරු අත්පොත් හා ප්‍රායෝගික පරීක්ෂණ ලැයිස්තු. දැන් ඔබට මේවා වෙන වෙනම ලබාගැනීමට අවශ්‍ය නෑ. සියල්ල එකතුකළ සිප් ගොනුවක් ලෙස පහසුවෙන් භාගත කරගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහායින් දීල තියෙන ලින්ක් උඩ කොටන එක විතරයි.. ( කොටන්න කිව්වේ ක්ලික් කරන්න )





   රසායන විද්‍යාව 2011 නව නිර්දේශයේ ප්‍රශ්න පත්තරේට බහුවරණ විවරණයක් ලියා ගන්නත් පුළුවන් උනා. ඒකනම් දැන් දාල ගොඩක් දවස්. ඒක ගත්තේ නැති අය මෙතැනින් ගිහිං අරගන්න..

   තොරතුරු තාක්ෂණයට උනන්දුවක් දක්වන ඔබට හොඳ ආරම්භයක් ලබා ගැනීමට ද, ඒ ගැන යමක් කමක් දන්නා ඔබට තව දුරටත් ඒ ගැන හැදෑරීමටද වැදගත් වන දෙයක් තමයි සාමාන්‍ය පෙළ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරු අත්පොත.. අන්තර්ජාලය සම්භන්ධව, පරිගණක හා එහි ඉතිහාසය සම්භන්ධව, පරිගණක පද්ධති සම්භන්ධව, පරිගණක ක්‍රමලේඛ භාෂා හා විෂුවල් බේසික් වලින් ප්‍රෝග්‍රෑමින් කරන හැටිද මුල සිට සරලව තියෙනවා.. ඒක අරගත්තේ නැත්තං මෙතැනින් ගිහිං අරගන්න..



Saturday, February 2, 2013

කෙමිස්ට්‍රි පේපරේ ලිව්ව හැටි.......

   ඕනෑම පුද්ගලයෙකුට ජීවිතේ ගොඩක් අද්දැකීම් තියෙනවා..එහෙම අත්දැකීම් නැති පුද්ගලයෙක් හොයාගන්න බැරි තරම්. ජීවිත ගමනේ නොයෙක් හැල හැප්පීම්, කරදර බාධක වගේම සතුටුදායක සිදුවීම් පවා තියෙනවා.. ඒකාකාර ජීවිතෙන් යම් තරමකට හරි අත් මිදෙන්න ඇතැම් සිදුවීම් අපට උපකාර වෙනවා. යම් කෙනෙක්ගේ චරිතය හැඩ ගස්වා ගන්න මෙන්න මේ අත්දැකීම් මහා පිටිවහලක් වෙනවා..ඒක නිසා එහෙම කිසි අත්දැකීමක් නැති අයෙකුට කවදාවත් පරිපූර්ණ මිනිසෙකු වෙන්න බෑ.. මේ සිදුවීම් අතර තිබෙන ඇතැම් සිදුවීම් ජීවිතේට කිසිදා අමතක වෙන්නෙත් නැති තරම්. ඒවා ඒ තරමටම මනසට කා වැදිලා. ඔන්න ඉතිං මම දැන් කියන්න යන්නේ මට වෙච්චි පුංචි ඇබැද්දියක් ගැන. පුංචි කියල කිව්වට තව ඩිංගෙන් ලෝක විනාසේ උනා වගේ තමා.

   දිනය වර්ෂ 2012ක් වූ අගෝස්තු මස 15 වන බදාදා ය.. උසස් පෙළ විභාගය පටන් ගෙන ඇත. ඒ වන විට ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයන් අවසන්ය.. ජීව විද්‍යාව තිබුනේ අගෝස්තු 06, 07 දවස් දෙකේ. භෞතික විද්‍යාව පළමු කොටස අගෝස්තු 10.. දෙවන කොටස තිබුනේ ආයි අගෝස්තු 13.. බයෝ ඉවරවෙලා දවස් දෙකකින් පිසික්ස් එක.. ආයි දවස් දෙකකින් පිසික්ස් දෙක.. ඔය විදියට දවස් දෙකෙන් දෙක තමයි විභාගේ තිබුනේ.. දැන් ඉතිං බයෝ පිසික්ස් දෙකම ඉවරයි..කෙමිස්ට්‍රි අන්තිමට! ඔලු ගෙඩිය අස්සේ තිබිච්ච බරවල් දෙකක්ම ඉවරයි.. ඊට පස්සේ බයෝ පිසික්ස් දෙක Shift + Delete + Enter ගහල අයින් කරලා එහෙම කෙමා වලට බැස්සා.. කෙමා තමා ෆේවරිට් මැ එක.. ඉතින් හිතේ එච්චර බරක් තිබුනේ නෑ.. කොහොම හරි 14 වෙනිදා දවසෙම දමා ගෙන පාඩම් කළා.. දැන් ඔන්න පහළොස් වෙනිදා උදෙත් නැගිටලා ලෑස්තිය පාඩම් කොරන්න.. උදේ පහට විතර නැගිටලා කියවගෙන කියවගෙන ගියා පොත් ටික.. ඔන්න එතකොට තමා හතට විතර කෝල් එකක් ආවෙ.. අපේ ඉස්කෝලේ එකෙක්.. මාත් ඉතිං ගත්තා. මොකක් හරි අහගන්නද දන් නෑනේ..හිහ්...

-->
උඹ කොහෙද බං ඉන්නේ??”

ගෙදර බං! උඹ කොහෙද?”

යකෝ එතකොට උඹ එන්නේ කීයටද... මම දැන් ඉස්කෝලේ කිට්ටු කරලා ඉන්නේ..”

     මගේ කට ඇරුනාද, නැතිනම් මම කට ඇරියාද කියා දැන් මට මතක නැත.. දන්නෙම නැතුව ෆෝන් එකද කට් වී ඇත.. යකෝ මූට පිස්සුද අද ඉස්කෝලේ යන්න හෙටනෙ විභාගේ... කෝල් කරපු එකාට බැන බැන විභාග කාල සටහන සෙව්වෙමි.. සොයන්නාට සම්භ වේ කිව්වා වාගේ එයද සම්භ විය.. එය දුටු මාගේ දෙවොල් රත් විය.. ඇත්තටම මුලින්ම මතක් වූයෙ ඉපැරණි ජන වහරේ එන රුවන් වැකියකි..
නයි කයිද සෝස් පාන්!
ඉතිරිය මතක් වූයෙ පසුවය.. බොලව් පිස්සු හැදී තිබුනේ කෝල් කළ එකාට නොව මට ය. විභාගය හෙට නොවේ අදය! කුමකින් කුමක් සිදු වූවාදැයි මතක නැත. වෙලාව උදෑසන හත පසු වී මිනිත්තු කිහිපයකි.. මවු පාර්ශවය බිය වී කෑගසනු යාන්තමට වාගේ මතකය.. ඉදින් තවත් නම් කවර කතාද.. තත්පර කිහිපයක් තුල ලැස්ති වී පාරට පැන්නෙමි... නිවසේ සිට ප්‍රධාන පාරට යාමට පැය කාලක් පමණ ගත වේ.. නමුත් එදා කොපමණ වෙලා ගත වීදැයි මතක නැත.. අධි වේගී බසයක එල්ලුනා නම් මතකය... පාසලට යාමට පැය එක හමාරක් පමණ ගත වේ. අධි වේගී බසය ලෙල්ලටම පාගා ගිය බැවින් 8.30 වන විට පාසලට පැන ගත්තෙමි.... පේපරේ බෙදීමට තත්පර අරික් කාලකට පෙරාතුව ආසනයේ හිඳ ගැනීමට හැකි විය.. එය මා ලද ජයග්‍රහණයකි. කෙසේ වුවත් එවෙලේ තිබූ මානසික තත්වය යහපත් නැත..වෙනදා පේපරේ බෙදීමට පැයකටවත් කලින් ඉස්කෝලේය. ඒත් අද!! “ඩක ඩකස්” “ඩක ඩකස්” ඒ හදවත ගැහෙන සද්දෙය... පූර්වයේ කළ පිනක් හේතුවෙන් එදා තිබුනේ කෙමිස්ට්‍රි පේපරේය.. පිසික්ස් තිබුනානම් ලොවේ තියා ලොවි ගහේවත් නැත්තාය.. කොහොම උනත් එළ කිරි එකටම කොටු ටික කපා හරින්නට හැකි විය.. කොටු පනහෙන් හතලිස් හයක්ම එල එකට කපා ඇති බව පසුව සොයා ගත්තෙමි.. මටම මං ගැන පුදුම හිතුනේ එවිටය... :D

    සම්පූර්ණ වැරැද්ද වෙන කිසිවෙකු අත නොව මා අතය. පාඩම් කළා විනා විභාග කාලසටහන මදකට හෝ නොබැලීම මගේ දුර්වල කමකි.. එදා වාසනාවට වාගේ දුරකතන ඇමතුමක් නාවානම් කුමකින් කුමක් සිදු වේද.. ඒ ගැන සිතීම පවා මං දැන් අත හැරලා තියෙන්නේ.. කොහොම හරි නව නිර්දේශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශයෙන් 19 වැනි තැනට එන්න පුළුවන් උනා. ඒත් ඒ ජයාග්‍රහණය අස්සේ ඔන්න ඔය වගේ කතාවකුත් තියෙනවා කියල මම කවදාවත් අමතක කරන්නේ නෑ.. ප්‍රතිඵල ආපු වෙලාවේ ලොකු සතුටක් ආවා තමයි.. ඒත් මම දන්නවා ( දැන් මේක කියවපු හැමෝම දන්නවා ) ඒක ලැබුනේ හරිම පුදුම විදියකට කියල.....



    කෙසේ හෝ කෝල් කළ යාළුවාට පිං සිද්ද වෙන්නට මා හට විභාගය ලිවීමට හැකි විය.. එදා ඒ කෝල් එක නාවානම් අද මම මේ බ්ලොගය ද නොලියන අතර නැවතත් කටු කාගෙන පංති වන්දනාවේ යන්නේය... කෙමිස්ට්‍රියට උඩින්ම ඒ සාමාර්ථයක් ආවේ එදා වුනු සිද්දියද නැවත වරක් මතක් කරමින්ය... එය නික්ම ගිය අතීතයක්ම පමණක් වුවද බොහෝ දෙනෙකුට පුංචි හෝ ආදර්ශයක් ගැනීමට එය ද මාතෘකාවක් වනු ඇත යන්න මගේ මතයයි.. ඒ මං වාගේ ගොන් වැඩ කිරීමට නොව මෙවැනි දෙයක් නැවතත් සිදුවීම වලකා ලීමටය..