Wednesday, January 9, 2013

රෝද දෙකේ කෙරුවාව



        රෝද දෙකේ වාහන සුලබ නැත. එනිසා ඒවායේ වටිනාකමද ඉතා වැඩිය. නමුත් රෝද හතරේ, රෝද හයේ වාහන ඕනෑ තරම් ඇත. එනිසා ඒවායේ වටිනාකම අඩුය. මේක ලිය ලියා ඉන්න මටද රෝද දෙකක් ඇත. එනිසා රෝද දෙක ගැන ලියන්නට සිත් විය. නැතිනම් හරි නැත. රෝද දෙකක් ඇත්තෝ එහි අගය හොඳාකාරවම දනිති.



  රෝද හතරට යාමට නොහැකි තැන් වලට රෝද දෙකට යා හැක. ඇතැම් විට පර ලොවට රෝද දෙකේ ඇත්තෝ ඉක්මනින්ම යති. රෝද දෙකක් හැදුවේ අහවල් කාරියකට දැයි අසන්නට සිත් වන්නේ එවිටය. රෝද දෙක එතරම්ම මිනිහාට සමීපය. ඇතැමුන් අල්ලපු ගෙදරට යන්නේද රෝද දෙකෙන්ය. ඒ එය එතරම්ම ඔවුනට සමීප බැවිනි. මේක ලියන මමද එවැන්නෙකි. රෝද දෙකක් තියා ගෙන කකුල් දෙකට දුක් දෙන්නේ කුමකටද. ඇතැමුන් රෝද දෙකෙන් පිඹගෙන යති. ඔවුන්ට වැඩි කල් පිඹීමට නොහැක. රෝද දෙකට නැග ගත් මොහොතේ සිට එයින් බසින මොහොත දක්වාම හරිම කල්පනාවෙන් සිටිය යුත්තේය. මන්ද, එයට ඇත්තේ රෝද දෙකක් පමණක් බැවිනි. ඇතැමුන් යන්නේ හරියට රෝද හතරක් උඩ යනවා වාගෙය. ඔවුනට රෝද දෙක මතක් වන්නේ හතර හන්දි ද කැඩුන විටය. කෙසේ හෝ මේ රෝද දෙක නම් මිනිසාට මහඟු සම්පතකි. රෝද දෙකක් නිර්මාණය කරන්නට සිත් වූ පුද්ගලයා නම් දක්ෂයෙකි. ඔහු මිනිහා ගැන ගොඩාක් දේ සිතා ඇත. ඔහුට පින් සිද්ද වෙන්නට අපි දැන් රෝද දෙකක් උඩ යන්නෙමු.

   කොහොම උනත් රෝද හතරේ, හයේ කට්ටියනම් මේ රෝද දෙකේ උදවිය ගැන එතරම් තැකීමක් කරන්නේ නැතුවා වාගේය. විශේෂයෙන්ම රෝද හයේ අය ය. ඒ අය යන්නේ රෝද දෙකේ අය පාරේ පදික වේදිකාවේ යනවා කියා හිතා ගෙනය. එවිට පදිකයන්ට යන්න වෙන්නේ කාණුවේය. රෝද හයේ උදවියගේ ටිකක් ඇස් පෙනීම දුර්වලය. එනිසා ඔවුන්ට පාරේ ගමන් කරන රෝද දෙකේ උදවිය නොපෙනේ. ඔවුන් සැම විටම හදන්නේ රෝද දෙක උඩින් යාමටය. රෝද දෙකේ උදවියට එලොව යාමට සිදුවන්නේ මේ නිසාය. කෙසේ හෝ මේ රෝද දෙකේ උදවිය සිදු වන ඇබැද්දි නම් එමටය. මේ වැඩි හරියක් සිදු වන්නේ ඒ අයගෙම වැරදි නිසාවෙන්ය. ඇතැම් ඇබැද්දි දුටු විට රෝද දෙකට නැග යාමද එපා වන අවස්ථා එමට ය. ඒත් බැඳ ගත්තනම් ගහපං කියන්නා වාගේ අරගත්තානම් පැදිය යුත්තේය. ඒ රෝද දෙකේ නීතියයි. අපේ රටේ සෑම ගෙවල් පහකින් එකකට නම් රෝද දෙකක් ඇත. ඒ එය එතරම්ම මිනිහාට සමීප බැවිනි.

  පොලෝසියේ මාමලා නම් ඉන්නේ රෝද දෙක සමග හරිම තරහකිනි. දැක්ක තැන නලාව වයලා නවත්වති. ඉතින් රෝද දෙකේ උදවියද නවත්තා ලයිසන් ඉන්සූරන්ස් පෙන්නා යති. ඇතැම් විට පඬුරු පාක්කුඩම්ද පුදති. ඉන්පසු බැන බැන එති. දවල් රෑ දෙකේම මෙතුමන්ලාගෙන් අපේ රෝද දෙකේ අයට ගැලවීමක් නම් නැත. දවසක් මිතුරෝ දෙදෙනෙක් රාත්‍රියේ බණ ගෙදරකට ගියෝය. ගියේ රෝද දෙකකිනි. එහෙත් පණ්ඩිත කමට හෙල්මට් දා ගෙන ගියේ නැත. අහෝ කරුමෙක මහත. වැඩි දුරක් යන්ට මත්තෙන් නලාව වයන හඬ ඇසුනි. නැවතුවොත් දඩයක් කනු නොඅනුමානය. නොනැවතුවොත් ද විසුමක් නැත. එහෙත් මිතුරන්ට ස්ථානෝචිත ප්‍රඥාවද මොකද්ද එක පහළ විය. මාමලාට චයිනා සැලියුට් එක ගසා දෙදෙනා ඉක්මනින් එතැනින් මාරු විය. චයිනා සැලියුට් එක අපේ අයගේ එළ සොයා ගැනීමකි. මහ රෑ නලා සද්දය ඇසුණු විගස පිටුපස අසුනේ සිටින තැනැත්තා සිය දෑත් වලින් පිටුපස නම්බර තහඩුව වසා ගනී. ඒ අතරේ අනෙකා රෝද දෙක අතුරු පාරකට දමාගෙන ඉක්මනින්ම මාරු වෙයි. දවල් වෙලාවකනම් මෙය කිරීම භයානකය. එහෙත් රාත්‍රියට නම් කදිමය.


  රෝද තුනේ ඒවාද ඇත. ඒවා මේ දෙකටම නැති ඒවාය. ඒත් ඒවාට වඩා රෝද දෙක හොඳය. ඒත් ආරක්ෂාව අතින් නම් රෝද තුන හොඳය. වැඩි දෙනෙක් අතර තියෙන්නේ මේ රෝද තුනේ ඒවා හා දෙකේ ඒවාය. ඒත් අපි කරන වැඩ වල හැටියට රෝද තුනට වඩා රෝද දෙක හොඳය. මොකද ඉක්මනට ඕනෑ තැනකින් මාරු වෙන්ට උවමනා උපාංගයක් අවශ්‍යය. ඒ සුදුසුකම සපුරන්නේ රෝද දෙක ය. රෝද තුන ඇත්තෝ හිත අමනාප කර ගැනුමට අවශ්‍ය නැත. ඇත්තටම රෝද දෙක වාගේම රෝද තුනද හොඳය. ඒත් වඩා හොඳ රෝද දෙකය. ඒ මා හිතන හැටිය.



රෝද දෙකක හිටි යකඩ ගොඩක් උඩ - ජීවිත රෝදය කැරකැවෙනා
රෝදෙට හසු වුන වායූ රොදක් ලෙස    -    ජීවිතයද අලුතින් ලියුනා
පාර තොටේ එන වාහන විලසට  - බොහො දෙන ජීවිතයට ලැබුනා
ඒ වාහන මා පසුකර යන ලෙස      -       ඔවුන ද මා පසු කර ඇදුනා



6 comments:

  1. අපේ ගෙදරත් රෝද දෙකක් නම් ඇත....

    අර මුලින්ම කියල තියෙන එක පොඩ්ඩක් වැරදියි නේද? //රෝද දෙකේ වාහන සුලබ නැත.//
    නැත නෙමෙයි නේද වෙන්න ඕනි.....

    ReplyDelete
    Replies
    1. දෙන්න හිතුවෙ දෙවිදියකටනේ.. ඒකනේ ප්‍රශ්නේ... මම අදහස් කළේ රෝද දෙකේ ඒවාට තියෙන්නේ පුට් සයිකල් , මෝටර් බයික් නෙහ්.. හි හී

      Delete
  2. නියමයි යාළුවා..
    රෝද දෙක හොද වුණත් යා යුත්තේ ඉතා ප්‍රවේසමිනි.. රෝද දෙකේ දුක්බර කතා එමටය..
    මගේ මලයාද රෝද දෙකක් ඉල්ලා රෝද දෙක ලැබුණ විගස හැම පාරක්ම අධිවේගී කරන බව පැවසූ හෙයින් දැන් ඒ ගැන කතා කරන්නටත් ගෙදරින් තහනම් කොට ඇත..
    හි හි..

    ReplyDelete
  3. රෝද වැඩි උන් රෝද දෙකට නම් ඉඩක් දෙන්නෙම නැත. දෙකෙන් ද තුනෙන්ද කරනම් ගසා යන්තම් කෙස් ගහෙන් බේරී ඇත්තෙමි. මං ඒ කතාව මෙන්න මෙහෙම ලියා ඇත්තෙමි. "මැරෙන්නට ගොස් ආපසු ආවෙමි.."

    ReplyDelete
    Replies
    1. කියැවීමි කියැවීමි... ඒකනම් මාරම අත්දැකීමකි...

      Delete