Tuesday, January 1, 2013

කන්දේ අසිරිය බලන්න ගිය ගමන... (2 කොටස)

   ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සොභාව සෞන්දර්යය අතින් අනූන වූ ගෝනදෙණිය කන්ද වන අරණ ගැන ලියැවුණු වෙබ් ටීකාවේ දෙවන දිගහැරුමයි මේ. කලින් ලිපිය කියැවූයේ නැතිනම් මෙතැනින් කියවලම එන්න.

මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණයම සැලකු විට මෙයට කඳු 7ක් අයත් වේ. අපි නැග්ගේ මින් විශාලතම කන්දට යි. වර්ෂා කාලයේදී මෙහි ගලා එන දිය අගල් වල ජලය හොඳින් පිරී තිබුනද, පායන සමයේදී එතරම් ම ජලය නොපවතී. හරිත පැහැයෙන් ගිලගත් විශාල කඳු ගැටයක් වට කරමින් වටේට විශාල තේක්ක යායකි. මේ තේක්ක යායේ ශාක වගා කිරීමට ප්‍රථම මුළු ප්‍රදේශයම වන වැස්මෙන් වැසී පැවති බව අප සමග අයෙක් පැවසීය.

ශාක වලට අමතරව සතුන් විශේෂ රැසකටම මේ කන්ද නිවහනක් වී පවතී. හඳුන් දිවියා, තිත් මුවා, වල් ඌරා, මුගටියා, මොණරා හා වලිකුකුළා වැනි සත්ව හා පක්ෂී විශේෂ රැසකට මෙය තෝතැන්නක් වී ඇත. අප කන්දට ගිය දවසේ ද තිත් මුවන් කිහිප දෙනෙකුම දැක ගත හැකි වුවද, එකෙක් හෝ ඡායාරූපයකට ගැනීමට දැරූ ප්‍රයත්නය නිෂ්ඵල වීය. 

අපි කන්දේ මුදුනටම නැග්ගෙමු. එහි මුදුනට හාත්පස දර්ශනය වූ ආකාරය දුටු අපි අමන්දානන්දයට පත් වුනෙමු. ඈත දියඹේ ගමන් කරන විශාල නැව් පවා හොඳින් දැක ගැනීමට අපට හැකි විය. කිව යුතු කරුණ නම් අප සිටින්නේ මහ මුහුදේ සිට සැතපුම් ගණනාවක් ඇතීන් වීම ය. මේ කඳුකරය මෙන් නොවන බව මට වැටහුනේ එවිටය. පළාතටම තිබූ එකම කන්ද මෙය විය. ඉතින් මෙතරම් දුරක් පැහැදිලිව නිරීක්ෂණය වීම පුදුමයට කරුණක් නොවේ. එසේනම් වළගම්භා රජු සැඟවී සිටීමට මෙවන් ස්ථානයක් තෝරා ගැනීම පුදුමයට කරුණක් නොවේ.


කඳු මුදුනට හාත්පස පැහැදිලිව නිරීක්ෂණය වන අයුරු

නමුත් කීමට නම් දුක්ඛදායක කරුණක් තිබේ. එයනම් බොහෝ කාලයක සිට මේ භූමිය නිධන් සොරුන්ගේ ආධිපත්‍යට ලක්වී තිබේ. ඔබ කන්දට යම් දිනක පැමිණියහොත් එසේ නිධන් ලබා ගැනීමට දැරූ උත්සහයන් වල ශේෂ රිසි සේ දැක බලා ගැනීමට හැකි වෙනු ඇත. කඳු මුදුනේම පෞරාණික චෛත්‍යයක නටබුන් පවතී. එය කෙතරම් පැරණි දැයි තවමත් තක්සේරු කර නොමැත. එය දැන් වල් බිහි වී ඇත. කෙසේ වුවත් වග කිව යුතු පාර්ශවයක දෙනෙත් ඒ වෙත තවමත් යොමු වී නැති බවනම් පෙනී යයි. මේ පෞරාණික වටිනාකමකින් යුතු චෛත්‍යයෙන් ද නිදන් ලබා ගැනීමට එහි තැනින් තැන හාරා ඇති අයුරු දුටුවෙකුගේ නෙතට කඳුලක් උනනුයේ ඉබේටම ය.


කඳු මුදුනේ නටබුන් වී ගිය චෛත්‍යය

නිධන් හොරුන් විසින් චෛත්‍යය හාරා ඇති අයුරු

කොහොම උනත් ගමට ලැබී ඇති වටිනා උරුමයක් වූ මේ කන්ද රැක ගැනීමට ගමේ තරුණ කැළ මහත් උනන්දුවකින් යුතුව කටයුතු කරති. එය කාටත් ආදර්ශයකි. කන්දේ පැළ සිටුවීමේ ව්‍යාපෘති කිහිපයක් ද මීට පෙර පවත්වා ඇත.




මේ ගැන තවත් ලැබෙන තොරතුරු ඔබ වෙත ලබා දීමට අපි සැමවිටම කටයුතු කරන්නෙමු. එහෙනම් ඉතින් පහතින් දීල තියෙන පුංචි වීඩියෝවත් බලලම යන්න. මේ ගැන ඔබේ අදහසත් පුංචි කොමෙන්ටුවකින් කියල යන්නත් අමතක කරන්න එපා හොඳේ...




4 comments:

  1. harima wadgath wisthara tikak..
    welawaka nidahase kiyawanna one...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට.....

      Delete
  2. මේවා විනාශ කරලා තියන හැටි දැක්කම නම් කණගාටුවක් ඇති වෙන්නේ. ඒ වුනත් ඒ ගමේ කොල්ලෝ ටික නම් කරන්නේ වටිනා වැඩක්.
    චින්තක මාව ෆලෝ කරලා තිබුනට ඒ ප්‍රොෆයිල් එකේ මේ බ්ලොග් එකට ලින්ක් එකක් නැති නිසා මේ පැත්තට එන්න පාර හොයා ගන්න බැරිව හිටියේ. දැන් නම් හරි..
    වටිනා තොරතුරු ටිකක්.. ජය..!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි෴
      සතුටුයි මේ පැත්තට ආපු එක ගැන

      Delete