Wednesday, January 30, 2013

෴ නිම් හිම් නැති.....සතුට ෴

සතුට!
ඔබ කොතැනද කියා
නොදැන සිටියෙමි මා
කිසි විට...

නමුත්
හදවතේ කොනක රැඳී
ඒ සතුට
තිබෙන බව 
දැන සිටියෙමිය මා
ඉගෙනුමට විඳි දුක ම
නැවත පෙරලුනි
සතුටු කඳුළු වලටම
අහෝ
මෙයයි මා පැතුවේ
මෙයයි මා සිතුවේ
දැන සිටිමි කෙදින හෝ
ඵල දරන බව ඒ පැතුම
ජීවිතේ
විසල් පියවරක්
තැබිමි අද ..... මා
එයම මදිද මට
ලං වෙන්න ජය ටැඹට
ජීවිතේ
සෝ සුසුම් දුක් ගැහැට
උරුම වූ මගේ සිතට
ලැබුණි අද
තවත් එක් ජය ටැඹක්
තවත් එක් පැන් පොදක්!

Monday, January 28, 2013

විභාග භීතිකාව ...

  

උදේ ඉඳන් රෑ වෙනකන් මදුරුවන්ට                 තැලුවා
අන්තිමේදී ඒ දවසෙත් කරපු දෙයක්                 නැතුවා
විනාඩියක් පොත බලලා ඉතුරු පැයම                කෑවා
අනේ හපොයි මක් කෙරුවද ඒ කාලේ               අපිලා


මවුන් ඇවිත් බලනාකොට අපි කරන්නේ         වැඩමයි
එත් ඉතින් ඒ වැඩ ගැන දන්නෙත් මේ               අපිමයි
පාසල් ගිය ඒ කාලෙත් කෙරුවෙම ගොන්         වැඩමයි
ඒ සුන්දර අතීතෙනම් මතක් උනොත්                දුකමයි





එක පාරක් නින්ද ගියොත් අයෙත් නෑ           ඇහැරුනේ
ක්‍රිකට් තරඟයක් තිබුනොත් එදාට නෑ වැඩ           කලේ
අන්තිමේදී  කිලෝ ගණන්  පාඩම් වැඩ ගොඩ       උනේ
ඒවා දැකල පිස්සු හැදිලා බාගෙට හොල්මන්         උනේ


ඕ ලෙවලෙත්  ගොඩ දාගෙන උඩින් ගියේ        අපිමනේ
ඇඟේ තියෙන අමාරුවට සයන්ස් කලෙත්         අපිමනේ
උදේ ඉඳන් රෑ වෙනකන් පොත් බැලුවෙත්         අපිමනේ
අනේ හපොයි මක් කෙරුවත් කෙල වෙන්නේ   අපිටනේ


බන ගෙදරක් මල ගෙදරක් වැරදුනේ නෑ               අපිට
මහ රෑ නිදි මර මර ඉඳ කත් ඇද්දෙත්                    උන්ට
ඕන තැනක  හැම වෙලේම අපි ඉන්නවා              උඹට
වැරදුනාම කවුරුත් නෑ  අම්මප  බන්                     අපට


ඔන්න බොලේ තිස් වෙනිදට එනවලු            කරකැවිලා
මැවිලා පෙනේ තිබෙනා හැටි අපිටම කෙල            වීලා
ගිය පාරත් මේ උන්දැලා  තිබුනෙ  තොයිලෙ       නටලා
අනේ හපොයි මක් කෙරුවද ඒකට මේ                අපිලා


පින්තූරේ ගත්තේ ගූගලෙන්

Friday, January 25, 2013

අමාරුවෙන් ගත්තු ලයිසොම

   ඔන්න කොහොම හරි (හරිම අමාරුවෙන්) ලයිසොම ගත්තලු.. ඕක ගන්න කලින් කියපු පණ්ඩිත කතන්දර කියෙව්වේ නැත්තං මෙතැනින් ගිහිල්ල බලලම එන්න. ඩ්‍රයිවින් කරන්න ලයිසන් ගන්න එකත් මෙච්චර ගේමක් දෙන්ට ඕන වැඩක්ද කියල හිතුනේ ඊයේ තමා අප්පා.. යකෝ එතනට ගියාම මාර බයක්නේ ආවෙ. බිත්තර තම්බන්ට උනත් පුළුවන්ලු. මොකේද කියල මතක නෑ හැබැයි. ඔන්න ඉතිං මේ,, මං පාරේ වාහන පැදවීමට බලපත්රේ ගත්තු හැටි අහන්න කැමති කට්ටිය මේ පොස්ටුව කියවත්වා. කියවල කොමෙන්ට් කොරත්වා. අකමැති අය ඉන්නවනම් ඔවුන්ද කියවත්වා.. කවුරු හරි ඕන් යන්ට හිතන් ඉන්නවනම් බලන එක හොඳා..

  මේකනේ වැඩේ. අපේ ගම රත්නපුරේ. ඒත් ලයිසොන් ගන්ට කියල ආවේ වේරහැර. යකෝ මෙච්චර දුරක් මොකටැයි මේ බූරුවා ආවෙ. අනේද කියන්නේ. කොහොම හරි වේරහැරෙන් ලයිසන් ගන්න එක ගොඩක් පහසුයි. දුර වගේ නෙවෙයි. ලයිසන් එකත් දවසින්ම හදාගන්ට පුළුවන්. හැබැයි ඉතිං කියන්ට ඕන ඕක අස්සේ පගාව නම් ගොඩක් තියෙනවා. ඒවායින් බේරිලා තමා ඉන්ට ඕනෑ. අපිනම් අහුවෙයිද ඕවට නේ.. කොහොම හරි ඔන්න ගියා කියමුකෝ. මම දැන් කියන්ට හදන්නේ ඔන්න මම ට්‍රයලේ පෙන්නපු හැටි. හී හී මටම හිනා වෙලාවකට.. , තනියෙන් නෙවෙයි මායි නෑදෑ කමින් අයියා වෙන කෙනෙකුයි එක්ක තමා ආවේ. 

  අපි ඉතිං සුභම සුභ මොහොතක් එහෙම බලල ගෙදරින් එලියට බැස්සා. දන්නවද වෙලාව. පාන්දර තුනයි. ඇයි ඉතින් අපිට ට්‍රයලේ පෙන්නන්න තියෙන්නේ උදේ නවයට නොවැ. පාරට එද්දී ඔන්න තුනයි කාල විතර වෙලා. ඇයි ඉතින් හද්දා වන්නියේ නොවැ ගෙවල් තියෙන්නේ. ආයි ඉතිං බොරු කියන්ඩ ඕන එකක්යෑ. ආවා බස් එකක් කොලොම්බෝ කියල ගහල තිබුන. අපිත් ඉතින් නැග්ග ඕකට. මහරගමෙන් බහිද්දී අප්පේ හයයි තිහයිනේ. මොනවා කරන්නද. කටුවාවල බස් එකේ නැගිලා ඔන්න ආවා.. ට්‍රයලේ නවයට. හත විතර වෙද්දී අපි එතැන. එහෙම තමා ඕන දේකට වෙල පහම යන එක ඇඟට ගුනයිලු. ඔන්න දැන් ලර්නර්ස් එකක් අල්ලලා යන්න ඕන. එතකොට වැඩේ ටිකක් විතර ලේසියි. අපි අඳුරන එක්කෙනෙක් හිටියා. එයා ඔන්න ලර්නර්ස් එකෙකුත් අල්ලලා දුන්නා. දැන් වැඩේ බාගෙට ගොඩ. ඊළඟට තියෙන්නේ ට්‍රයලේ. මතක් වෙනකොට කකුල් දෙක වෙවුලනවනේ. ඇයිද දන්නේ නෑ. නවේ කිව්වට දහය විතර උනා ඕක පටන් ගන්න. අම්මෝ හිටපු සෙනග. අපි කලින් සේන්දු වෙච්චි හින්ද හොඳට ගියා.මට හම්බු උනේ යකෙක් වගේ එක්සෑමිනර් මහත්තයෙක් නොවැ. අනිත් අයියටනම් හරිම හොඳ මෑන් කෙනෙක් හම්බු වෙලා. මම එතෙන්දීම හිතා ගත්ත තුනම ෆේල් කියල ( තුනම කිව්වේ වාහන පන්ති තුන. මම ඔය තුනටම දැම්මනේ ) අම්මප මටමනේ වෙන්නේ.



  ඔන්න ඉතින් ඇතුලට ගිහිං ඔක්කොම කටයුතු කරගෙන ඒ අස්සේ ශරීර කෘත්‍යයන් ටිකත් කරගෙන ආවා 8 ගහන තැනට....ලබ් ඩබ් , ලබ් ඩබ් ගගා ගැහිච්චි හාර්ට් එක මෙන්න ඩක ඩක ගගා ගැහෙනවා. අර පරණ බයික් එකක් ස්ටාර්ට් කරාට පස්සේ වගේ. අට ගැහිල්ලේ ප්‍රායෝගික ක්‍රියාකාරකමට නම් කියාපු පොට් එක. කොන්ක්‍රීට් එහෙම දාලා හදල තියෙනවා එළම එකට. අඩි විස්සක්වත් නැද්ද කොහෙද බොලේ. ගෙදරදී පුරුදු උනේ අඩි තිහක හතලිහක විතර අටක් ගහන්නනේ. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. ඒත් ඉතිං මෙච්චර කාලයක් බයික් පැදපු එකේ ඕකත් මහ කජ්ජක්ද කියල ගහගෙන ගහගෙන ගියා අට! මාත් ඉතින් අට ගහනවා. එක්සෑමිනර් මාමත් බලාගෙන ඉන්නවා. මම මේ මැරීගෙන අට ගහනවා කියල මේකාට තේරෙන්නේ නැහැ නෙව. අන්තිමේ අටවල් දහයක් විතර ගහනකම් මේකා නෙවෙයි කටඇරියේ. 

  ඊට පස්සේ තමයි තියෙන්නේ පස්සට ගන්න. වෑන් එකයි, රෝද තුනේ එකයි රිවර්ස් කොරන්නම එපාය. ඒකත් ෆුල්ම ගේම දීල කළා. වෑන් එකට නැගල ක්ලච් එකට කකුල තියන කොට කකුල නටනවා හරියට ඔරලෝසුවේ බට්ටා නටනවා වගේ. වෑන් එකත් පැද්දි පැද්දි ලු ගියේ බෝට්ටුව වගේ. කොහොමහරි කොච්චර සැරයි කිව්වත් එක්සෑමිනර් මාම මොකුත් කිව්වේ නෑ. 

  ඊට පස්සේ තමයි ** ඉරෙන වැඩේ තිබුනේ. වාහන තුනම මහ පාරේ ට්‍රැෆික් අස්සේ පැදගෙන යන එක. පෝලිමට යන්ට තිබුනේ. බයික් එකනම් අරං ගියාට කවුරුවත් දැක්කෙවත් නැද්ද කොහෙද. මම විතරනේ. එක්සෑමිනර් වාහන දෙක තුනක් ඉස්සරහ... ඊට පස්සේ රෝද තුනේ එක. එක්සෑමිනර් මාමත් ඇවිල්ල නැග්ග නේද පස්සෙන්. කොහොම හරි එකත් පැද්දා. ඊළඟට වෑන් එක. ඇස් දෙක වහගෙන පැද්දා. බය ටිකක් ඇරුනට පස්සේ ඔන්න ඇස් දෙක ඇරගෙන පැද්දා. ඊට පස්සේ ජියරෙත් දෙකට, තුනට විතර වැටුනා මතකයි.කොහොම හරි ඔන්න ඔය තුනම දිනුම්. ජය වේවා කියල ලයිසොමත් එදාම හදාගෙන ආවා එන්න ගෙදර. ගෙදර එද්දී රෑ නමේ විතර වෙලානේ. එච්චර වෙලා ගියාද. යන්න ඇති. මාර කස්ටක් නේ කෑවේ. කටු කන්නම ඉපදිච්චි අපිට ඕවත් ම කටුද කිව්වලු.






  ප.ලි : මේ ඒක නෙවෙයි.. කියන්න බැරි වුනානේ. ඔය තුනට ලයිසොන් ගත්තම ලෑන්ඩ් මාස්ටරේ ( අත් ට්‍රැක්ටරේ ) බෝනස් දෙනවනේ. මං දැන් ගමේ කුඹුරු වැඩ කොරන්න ට්‍රැක්ටරයක් ගන්ට කියල හිතාගෙන ඉන්නේ. ආ තව එකක් තියෙනවා. කාට හරි අන්තර්ජාලය තුල කොහේ හරි යන්ට ඕනනං ඕන් මට කියන්ට. මොකද මං දැන් ලයිසොන් තියෙන පොරක් නොවැ.


Saturday, January 19, 2013

අපිත් කහවත්තේ බොලව්!

   මම මේ නිකං කිව්වේ මමනම් කහවත්තේ නෙවෙයි. කහවත්ත පහු කොරලත් තව ගොඩක් දුර යන්ට ඕන. අද කහවත්ත කියලා කියන්නේ හරිම කතාබහට ලක් වෙච්චි පැත්තක් නොවැ. කහවත්ත කිව්වම අද ලංකාවේ නොදන්නේ කවුද ඉතිං. පොඩි එකාගේ හිටන් හැම එකාම දන්නවනේ. හරිම ප්‍රසිද්දයි. ඒ තරමටම ප්‍රසිද්ද වෙන්ට මොකද්ද අම්මපා උනේ. නොදන්න එකා වගේ අහන හැටි විතරක් නේ. ඔන්න තවත් කවුද එක්කෙනෙක් අතුරුදහන් වෙලාලු.



   කහවත්ත කියලා කියන්නේ හරිම භයානක මිනීමරුවන් ඉන්න පළාතක් කියල තමයි ඈත පැති වල කතා වෙනවාය කියල කියන්නේ. අපිනේ දන්නේ ඒකෙ ඉන්න උන්ගේ හැටි. සමහරු මේ පැත්තේ එන්නත් බයෙන්ලු ඉන්නේ. ඇයි ඉතින් මාර ගොඩක් නෙ මැරුවේ. ඉස්සරනම් කහවත්ත පැත්ත මැණික් ඉල්ලම් මතු වෙච්ච පලාතක් විදියට මැණික් වලට හරිම ප්‍රසිද්ධ වෙලා තිබුනේ. දැන් තමයි වැඩේ. මැණික් ගැන කතාවක්වත් නැහැ නෙව. කහවත්ත කොටකෙතනෙයි කිව්වම මුළු ලෝකෙම උනත් ටිකක් සැලෙන්ඩර් වෙනවා. හැබැයි කහවත්ත කිට්ටුව හිටපු එකත් හොඳට ගියා. ඕන වෙලාවක ඕන සීන් එකකදී කහවත්තෙ කියල ෂේප් වෙන්ට පුළුවන්. හැබැයි ඒකත් ටිකක් හිතල බලල තැනේ හැටියට තමයි දාන්න වෙන්නේ. නැත්තං පොලීසියෙන් ඇවිත් කුදලගෙන යයි.

   දැන් නං ඉතින් කහවත්තේ හුට පට ටික ටිකක් විතර අඩු වෙලා තියෙන්නේ. ඒත් ඉතින් ඕකේ ඉන්න උන් කොහොමෙයි කොහේ හරි ගිහිං අපි කහවත්තෙයි කියල කියන්නේ. විලි ලැජ්ජාවේ බෑ කිව්වලු. කියපු ගමන් අහනවා කියන්නේ මචං කොටකෙතන පැත්තේද කියලලු. දැන් දීපංකො ආන්සර්.. ඒකනම් කමක් නෑ කියමුකෝ. දැන් ඉතින් කහවත්තේ පැත්තේ අහිංසක කොල්ලෙකුට මගුලක්වත් කතා කොරන්ට පුලුවන්ද. කහවත්තේ කියපු ගමන් දුව දේයියෑ.. මමනම් ඔන්න කහවත්තේ පැත්ත පළාතක නෙවෙයි ඕන් ආයි කිව්වා. නැත්තං අන්තිමේදී මේකට තිබිච්චි කොමෙන්ට් ටිකත් නැති වෙලා යයි, ඇයි මොකෙක්වත් එන් නැහැනේ බලන්ට. කොහොම හරි කහවත්තේ කස්ටිය නම් ඉතින් කොහේ ගියත් කහවත්තේ කියලනම් කියන්නේ නැහැලු. කවුරුත් දන්නැති පළාතක් කියල දානවලු. කොහොමින් කොහොම හරි ඒ වැඩෙන් විශාල ප්‍රසිද්ධියක් මේ පලාතට ලැබුනා. ඒකට හරි ගරු කරන්ට එපාය. කී දෙනෙක් නම් මේ ගැන කතා කලාද, කතා කරනවද. කාටද ඉතින් ආඩම්බර. මටනම් නෙවෙයි. ඒ පැත්තේ ඉන්න කස්ටියට තමා. අපි මෙහෙම කතා කලාට ඉතින් ඒ පැත්තේ කී දෙනෙක් මේ වෙච්චි පුද්ගල ඝාතන නිසා තාමත් කඳුළු සලනවා ඇත්ද. ඒවා මතක් වෙන කොටත් ලොකු දුකක් කනගාටුවක් හිතට එනවා. මොකදෑ ඉතින් අපිත් ළඟ පාත උදවියනේ. ළඟ පාත කියල කිව්වේ ගොඩක් ඈත හොඳේ...

  කොහොමින් කොහොම හරි මේකෙත් උනේ එසේ මෙසේ ඝාතන නෙවෙයිනේ. ඝාතන රැල්ලක්. ඕවයින් සියයට අනූ නවයක්ම කාන්තා ඝාතන නොවැ. දැනට ඝාතන දාසයක්ද කොහෙද වෙලා තියෙනවලු. ඔන්න පහුගිය 16 වෙනිදා ඉඳන් තවත් පිරිමි කෙනෙක් අතුරුදහන් වෙලා කියල කිව්වේ. මිනිහනම් ඔය කාන්තා ඝාතනයකට සැකපිට අත්අඩංගුවට අරගෙන පස්සේ නිදහස් කරපු කෙනෙක්.

  යුද්ධ කාලේ පුදුකුදුයිරිප්පු තිබුන හැටි මතකද. ෆුල් ආරක්ෂාව දාලා. හෙහ්. දැන් කහවත්තේ කොටකෙතනත් තියෙන්නේ ඔහොම්මම තමා. දැඩි ආරක්‍ෂිත කලාපයක්. ඔය ටික හින්ද තමයි මෙච්චර කාලයක් මිනීමැරුමක් වුනේ නැතුව තිබුනේ. ආරක්ෂක අංශෙට පිං සිද්ද වෙන්ට. ආයි හවස පහෙන් පස්සේ ගමට ඇතුළු වීම සපුරා තහනම්. පිට උන්ට කොහොමවත් ඇතුල් වීම තහනම්. රෑට ගෙවල් වලින් එලියට බැසීම සපුරා තහනම්... 
 
  කොහොම හරි ඉතිං අපේ උන් තමයි මේ වැඩෙන් ගන්ට පුළුවන් උපරිම සප් එක ගන්නේ. ඕන සීන් එකකදී අපි කහවත්තේ තමයි ආදර්ශ පාඨේ. එකෝමත් එක කහවත්තට ළඟ නගරෙක එකෙක් ( මම ද හොඳින් හඳුනන එකෙක් ) දවසක් කෙල්ලෙක්ට නම්බර් එකක් දීල. පස්සේ කෝල් එහෙම කරලා වැඩේ නැගලම ගිහිල්ල. ඔන්න ඔහොම කතාව ලියවී ගෙන ලියවී ගෙන යද්දී ඕකට හෙනහුරා පාත් වෙලා. වෙන කවුද ඉතින් කෙල්ලගේ අයියා මිසක්. ඔන්න දවසක් මිනිහා කෙල්ලට කෝල් එකක් දීල තියෙනවා. රාහු කාලේ පන්නලා කෝල් එක දෙන්ට මිනිහට අමතක වෙලා. ෆෝන් එක උස්සල තියෙන්නේ කෙල්ලගේ අයියා. අහනවලු දැන් කවුද කියලා. මිනිහත් සද්දේ දා ගෙන ගිහිල්ල අයියට. අයියත් නිකං ඉඳලා නෑ.. හොඳම වචන සැට් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අන්තිමේදී මිනිහට කියන්ට දෙයක් නැතුව කිව්වලු මම කොටකෙතනේ ඇයි ගේමද කියල. ඒක අහපු අයියා කාරයා හා මල්ලි එහෙනම් තියන්නං කියල ෆෝන් එක තිබ්බලු. හැබැයි ඉතිං එදායින් පස්සේ අර ගෑනු ළමයත් මුට මැසේජ් කොරල නෑ..

Friday, January 18, 2013

ඩ්‍රයිවින් ලයිසොන්

   සල්ලි දීල අර ගන්න වාහන වලට යන්ට කියල පාරක් හදා තිබෙන බව ඇත්තකි. ඒත් ඒවායේ යන්නද අවසර ගන්ට උවමනාය. නැති නම් පොලෝසියෙන් දඩ කන්ට වෙයි. මේ අවසරය නම් ඩ්‍රයිවින්ග් ලයිසොම ය. ඒත් අද කාලේ පාරවල් වල යන උන්දැලා ඔක්කොම ලයිසන් කාරයෝද? සිදු වෙන අනතුරු ගණන් කරන්ට බැහැනෙ. මේ විදියට ගියොත් පාරේ යන පදික උදවියටත් ලයිසොන් ගන්ට සිදු වෙන දවසකුත් ළඟදීම එයි. වැඩේ කියන්නේ මම හීනෙන් දැක්කනේ කස්ටිය පාරේ ඇවිදගෙන යන්ටත් ලයිසොන් ගන්නවා. හිහ්.. වාහන වලට ලයිසොන් ගන්ට ට්‍රයල් පෙන්නනවා වගේ පාරේ ඇවිදින්නත් ට්‍රයල් එහෙම පෙන්නලා පාස් උනාම තමයි ලයිසොන් දෙන්නේ. ෆේල් උනොත් බඩු. ආයි දවසක් දාගෙන පුරුදු වෙලා එන්ට ඕන. එතකං ඉතින් පාර පැත්තෙවත් යන්ට තහනම්. ඇයි ඉතින් මුට පාරේ ඇවිදින්ටවත් බැහැ නොවැ. පිස්සු නැත්තං ෂෝක් කිව්වලු.



   කොහොම හරි ඉතින් මෙහෙම කිව්වට වාහන පදින්ට ලයිසොන් ගන්න එකත් ලේසි පාසු කර්තව්‍යක් නෙවෙයි. ලයිසොන් ගන්ට කටු කාපු උන් තමා ඕක දන්නේ. ට්‍රයලේ පාස් නොවුනොත් ඉවරයි. හුඟ දෙනෙක් ෆේල් වෙනවලුනෙ. ඕවා අහද්දී එපා වෙනවා අප්පා... මොකදැයි මාත් මේ ලයිසොන් ගන්ටනේ ඉන්නේ. කොහොම හරි ඉතින් දන්න දහන් ගැටයක් දාල ගන්නවා. ඕවත් වැඩද නේ..! 

   අටේ ඉලක්කම ගහන එක තමා මරුම වැඩේ. පොඩ්ඩ බැරි වෙන්න මුන්දැලා ෆේල් කරනවනේ. කොහොම හරි ඉතින් අට ගහන්න බැරිනම් එකයි හතයි හරි ගහන්න බැරියැ නේද.. මෙහෙදී අට ගහන්න කොච්චර පුරුදු වෙලා ගියත් එහෙදි බයටම ගැහෙන්නේ වෙන වෙන ඒවමනේ. සමහරු අට පැත්තක තියල රවුම් ගහනවා. අම්මපා ලයිසොන් ගන්ට මෙහෙම ක්‍රමයක් හොයා ගත්තේ මොකාද දන්නේ නැහැනේ. ඌ හිටියනම් මෙතන....... වෑන් ඒකයි, රෝද තුනේ එකයි ෆුල් ගේම දීල රිවර්ස් කරන්ට පුරුදු උනාම හරි. බැරිම උනොත් තල්ලු කරන් හරි රිවර්ස් එක දෙන්ට බැරියැ.. වැඩේ කියන්නේ උපන් දා ඉඳන් බයික් පදින එවුන්, වෑන් පදින එවුන් ට්‍රයලේ ෆේල් වෙනවනම් අපිට කොහොම වෙයිද. කමක් නෑ මෙච්චර කාලයක් බලාගත්තු එකේ ඒකත් දෙයියොම බලා ගනියි.

   කොහොම හරි කමක් නෑ වාහනයක් නැතත් ඩ්‍රයිවින්ග් ලයිසොන් එකක් තියෙනවනම්. කාගේ හරි එකක් ඉල්ලගෙන පදින්ට බැරියැ. මාත් මේ තියෙන රෝද දෙකෙන් එහාට මෙහාට ගියාට කොහෙද තාම තියෙන්නේ ටෙම්පරි කොලයක්ද මොකද්ද එකක්නේ. ඒ මදිවට එල් බෝර්ඩ් එකකුත් ගහ ගන්ට ඕනලු. තාමනම් ගැහුවේ නෑ ඕන්. කොහොම හරි අපේ උන්දැලා ඉන්නවනේ ඔය ටෙම්පොරි කොළයක්වත් නැතුව... අපේ පැත්තේ එකෙක් ඉන්නවා ලයිසොන් නැතුව කොළඹ ගිහිං ඇවිත්. ලයිසොන් නැතුව නෙවෙයි ගෙනියන්න අමතක වෙලා. අනේද කියන්නේ! උගේ වාසනාවට වැඩේ මාට්ටු නොවී බේරුනේ පොලෝසියට. 

   ඩ්‍රයිවින්ග් ලයිසොන් එකත් එක්ක බැඳිච්ච රස කතා ඕන තරම් තියෙනවා. මේකනම් මේ මිත්‍රක්ට වෙච්ච අකරතැබ්බයක්. මේක පොඩි බයික් සීන් එකක්. දවසක් මෙයා එයාගේ මාමගේද කොහෙද බයික් එකක් අරගෙන ගමනක් ගිහිල්ලා තියෙනවා. අතරමගදී පොලීසියෙන් මෙයාව නවත්තලා. මිනිහා ළඟ තිබිලා තියෙන්නේ මිනිහගේ ලයිසොන් එක විතරයි. ඉන්සූරන්ස් එකයි ආදායම් බලපත්‍රෙයි තියෙන තැන මිනිහ දන්නේ නෑ. ඒකත් බයික් එකේම තියෙනවා කියල මාමා කිව්වලු. මිනිහා ඉතින් ඔන්න බයික් එකෙන් බැහැල එහෙම දැන් බයික් එකේ හැම තැනම ඕක හොයනවලු. ඒ අස්සේ ඔතන හිටපු එක පොලිස් කාරයෙක් ලඟට ඇවිල්ල අහනවලු මොකද මල්ලි ප්‍රශ්නේ කියල. මිනිහා කිව්වලු සර් ලයිසොන් එකනම් තියෙනවා අනිත් දෙක නෑ කියල. අන්තිමේදී මිනිහට ඔය දෙක හොයල දීල තියෙන්නේ අර පොලිස් කාරයාම ලු. ඔතනින් එහාට දෙයක් මම දන්නේ නෑ. කොහොම හරි හොඳ පොලිස් කාරයෙක් නොවැ. නැත්තං අරූට හොඳ කොළයක් ලියනවනේ.




   තවත් දවසක් මිනිහෙක් හොඳටම බීලා වාහනේ පැදගෙන ඇවිල්ල තියෙනවා. මිනිහවත් පොලීසියෙන් නවත්තලා. මිනිහටත් සැරටම වැදිලලු ඉඳලා තියෙන්නේ. පොලිස් කාරයත් මිනිහාට බැලුන් බෝලයක් දීල පුම්බන්ට. මිනිහා අහලා තියෙනවා පොලීසියෙන් සෑර් ඇයි මොකද, අද පොලීසියේ මොකක් හරි පාටියක්වත් තියෙනවද කියල. ඒ කතාවනම් ඉතින් ඩ්‍රයිවින්ග් ලයිසොන් මත් නෙවෙයි. මතක් වෙච්චි හින්දා දැම්මා. ඇයි දන්නවද. ඔය දෙනවා කියන බැලුම් බෝලේ තියෙනවා කියන්නේ පොටෑසියම් ඩයි ක්රෝමෙට්
( K2Cr2O )ලු නෙ. සාමාන්‍ය පෙළට හරි උසස් පෙළට හරි විද්‍යාව කරපු කට්ටිය ඕක දන්නවා. ඒක තැඹිලි පාටයි. ඔය මත්ද්‍රව්‍ය වල තියෙන ඇල්කොහොල් කියන ඒවා ඔය පොටෑසියම් ඩයි ක්රෝමෙට් හමුවේ ඔක්සිකරණය වෙනවා කියල දෙයක් වෙනවා. එතකොට තැඹිලි පාට නැති වෙනවා. එහෙමලු බීපු කස්ටිය අල්ල ගන්නේ. මම දන්නා විදියටනම් එහෙමයි. වෙන විදියක් නම් ඒක පහලින් ලියල යන්න අමතක කොරන්න එපා.. කොහොම හරි විද්‍යාව දන්න කෙනෙක් බීලා අහු වුනොත් උසාවියේදී ටෝක දාලා බේරෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් නඩුකාර උන්නාන්සෙත් විද්‍යාව හොඳට දැන ගන්ට ඕන. නැත්තං වෙන්නේ ගුටි කාලා තව ටිකක් වැඩියෙන් කාලයක් හිරේ ලගින්ට.


Thursday, January 17, 2013

Heal the World

ඇති බව යම් තැනක් 
මෙලොව
දනිමි මා....
එය නම් ආදරය වේ
හෙට දින එම තැන
දීප්තිමත් වේය වඩා

ඔබ!

උත්සාහ කළ යුතුය සෙවුමට
එය
එවිට කිසි විටෙක අවැසි නැත
හඬන්නට මා හට...
කිමද මේ තැන
කොහේ තිබේද මේ තැන
එය මහත් ගැටලුවකි
හැකිය මට පවසන්න 
එක දෙයක්
විවිධ මං ඇත යාමට 
එයට
ජීවත්ව හිඳින මිනිසුන් ද 
නොසලකන ලොවක සිට
හැකිය සැදුමට අපට
වඩා හොඳ ලෝකයක් එවිට
ලෝකය සුවපත් කරන්න!



Monday, January 14, 2013

෴ තායි පොංගල් අද තමයි ෴



      අද තමයි ජනවාරි  14. අද දෙමළ කස්ටියට හරි විශේෂ දවසක්. අද එයාලගේ අවුරුදු නොවැ. තෛපොංගල් දවස අද. අද හරියට බෞද්ධයන් වෙසක් පෝය සමරනවා වගේ තමයි ඒ අය තෛපොංගල් සමරන්නේ. හරිම අලංකාර උත්සව පවත්වනවා. උත්සවේ ජයටම තියෙන්නේ අද රෑට. හරිම ලස්සනලු.


    මට මේ සීන් ටික කිව්වේ මගේ යාලු මිත්‍රයෙක්. මිනිහා දෙමළ නොවුනට එයාලගේ පැත්තේ දෙමල අය ගොඩක් ඉන්නවා. ඒ  අය  ලොකු දෝලාවක් වගේ දෙයක් සරසනවලු. ඒක හරිම ලස්සනට සරසනවා කියල තමයි එයා කිව්වේ. ඒ දෝලාව අද උදේ 11ට කස්ටිය එකතු වෙලා උස්සනවලු. ඊට පස්සේ හැමෝම එකතු වෙලා මේක හැම තැනම උස්සගෙන යනවා. මේ දෝලාවේ තියෙනවා කියල කියන්නේ පත්තිනි මෑණියන්ගේ පිළිමයක් කියල තමා එයා මට කිව්වේ. හැමෝම බොහොම ගරු සරු ඇතුව ඕකත් උස්සගෙන  හැම ගෙදරකටම වගේ යනවලු. අන්තිමේදී කෝවිලටත් යනවා. අපේ යාළුවගේ ගෙදරටත් එනවලු. කොච්චර වෙලා මේක උස්සගෙන යනවද කියනවනම් මෙයාලගේ ගෙවල් පැත්තේ එනකොට රෑ 10 විතර වෙනවලු. ඒ පැත්තේ ගියානම් තව ෆොටෝ දෙක තුනකුත් දාන්න තිබුනා. කොහෙද ඉතින් ඕවට වෙලාවක්. 



    ලියපු එකේ තෛපොංගල් ගැන කරුණු කාරණා ටිකකුත් මේක අස්සෙම ලියල දාන්නම්. තෛපොංගල් කියන දෙමල වචනේ සිංහලෙන් සරලව කිව්වොත් ඕකට කියන්නේ අස්වැන්න නෙලීමේ උත්සවය” කියලා. ලෝකේ හැම තැනම ඉන්න දෙමල ජාතිකයන් හැම අවුරුද්දෙම මේක ජයටම සමරනවා. මේකෙන් ලොකු ආදර්ශයක් ගන්නත් පුළුවන්. ඒ තමයි වසරක් පුරාවට තම සියලු වැඩ කටයුතු වලට උදව් කරපු සොභා දහමට ප්‍රති උපකාර කිරීම. මේ උත්සවය අවම වශයෙන් අවුරුදු දෙදාහකටවත් කලින් ඉඳන් පැවත එන උත්සවයක් කියල තමයි ඒ අය විශ්වාස කරන්නේ. මේක සාමාන්‍යයෙන් දවස් තුන හතරක් විතර තිස්සේ පැවැත්වෙනවා.




   මේ අස්සේ අමුතු අමුතු කෑම බීමත් ගෙවල් වල හැදෙනවා. ඔයින් එකක් තමා පොංගල් බත් කියල කියන්නේ. ඒකත් රස කෑමක්. ඒක හදන්න එච්චර අමාරුවක් නෑ. ඔන්න මම මිනිහගෙන් ඒකත් අහ ගත්ත. ඔය කොයි දේ කොලත් ඉතින් ඉස් ඉස්සෙල්ලම මතක් වෙන්නේ බ්ලොග් එකනේ. ඉතින් ඔන්න පොන්ගාල් බත් හදන හැටිත් බොලොග් එකේ දැම්මා. පොංගල් බත කියල කියන්නේ කිරිබත් වගේම ආහාරයක් තමයි. ඔන්න හාල් කිලෝ දාහක පොංගල් බතක් යාපනේ පැත්තේ හදන්න යනවා කියල තියෙනවා දැක්ක පත්තරේ. කැමති කෙනෙක් ඉන්නවනම් ඉතින් හදල බලන්ට. ගුණ අගුණ කියන්නත් අමතක කොරන්න එපා.


පොංගල් බත් සැකසීම


අවශ්‍ය ද්‍රව්‍ය:  හාල් ( කිරිබත සැකසීමට )

                    පොල්
                    සීනි ( දුඹුරු සීනිලු වැඩියෙන්ම ගන්නේ)

                    හකුරු

                    වියලි මිදී ( අපි කියන්නේ මුද්දරස්පලම් කියලනේ )

                    කජු
                 

මෙන්න හදන හැටි:


            කිරිබත් හදන්න නොදන්නේ කවුද. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ හොඳ කිරිබතක් හදා ගන්න එක. හාල් පොල් ඕන වෙන්නේ ඒකට. ඉස්සරනම් මේකට පොල් කිරි දැම්මේ නැතිලු. දැම්මේ එළ කිරිලු. කොහොම තියෙන්න ඇද්ද. ඒත් දැන් දාන්නේ පොල් කිරි කියල තමා කිව්වේ. හරි, ඉතුරු ටික කරන්නේ මෙහෙමයි. කිරිබත හොඳ ගානට හැදීගෙන එනකොට හකුරු ටිකයි මුද්දරස්පලම් ටිකයි සීනි හා කජ්ජු ටිකයි ඕකට එකතු කරනවා. කිරිබත් හදපු ටිකට ගැලපෙන්න හකුරු හා සීනි දාන්නත් බලා ගන්න ඕන. නැත්තං ඉතිං ඕක කාලා කැරකි කැරකි ඉන්න තමයි වෙන්නේ.  ඊට පස්සේ ඉතින් හැඳි ගාන්ට තමා තියෙන්නේ. පදමට හදාගත්තොත් මරු. පොල් කිරි නැතුව එළකිරි දාන්ට පුලුවන්නම් තවත් එළ ලු.



කොහොම හරි යාලු මිත්‍රයා කියන විදියට ඕක මාරම කැමක්ලු. දුකේ බැරි වැඩේ කියන්නේ මට තාම කන්ට බැරි උනානේ. හදාගෙනවත් කන්ට ඕනෑ.

Friday, January 11, 2013

පුනර්භවය හා පුනරුප්පත්තිය

     ඔන්න ටිකක් කතා කරන්ට කියල හිතුන. පුනර්භවය හා පුනරුත්පත්තිය කියන්නේ එකක්ද දෙකක්ද? මේවා ගැන දන්නා අයත් ඇති. නොදන්න අයත් ඇතිනේ. ඉතින් ඔන්න ඒ ගැන ටිකක් ලියන්ට හිතුනා. මෙයිට කලින් දාපුවා කියෙව්වේ නැත්තං පහළින් ගිහිං කියවලම එන්න.

සිතද එක් කවියකි
මනස හා මනෝකාය

    මට නම් හිතෙන හැටියට ( ඇත්තටම ගොඩ දෙනෙක් කියන විදියට ) පුනර්භවය හා පුනරුප්පත්තිය කියල කියන්නේ දෙකක්. ඒ දෙක අතරේ ගොඩක් ලොකු සම්භන්ධයකුත් තියෙනවා. පුනර්භවය කියල කියන්නේ බුදුදහමේ කතා වෙන දෙයක්. මම ගොඩක් ලිපි වලට ආරම්භයක් බුදු දහමෙන් ගන්න කැමතියි. මොකද මේ හැම දෙයක්ම බුදු දහමේ හරිම අපූරුවට විස්තර කරලා තියෙනවා. බුදු දහමේ සඳහන් වන විදියට පුනර්භවය කියල කියන්නේ සත්ත්වයාගේ නැවත ඉපදීමක් සිදු වීම. ඇත්තටම මෙසේ නැවත ඉපදීමට හේතුවකුත් බුදු දහමේ සඳහන් වෙනවා. ඒ තමයි 'කර්මය'. සරලව කිව්වොත් කර්මය කියල කියන්නේ ක්‍රියාව කියන එක. ඒ කියන්නේ සත්ත්වයා ජීවත්ව සිටින තාක් කල් සිදුකරන විවිධ වූ ක්‍රියාවන් නැවත උපතකට හේතු වෙනවලු. බුදු හිමියන් සිදු කළේ මේ නැවත ඉපදීම හෙවත් පුනර්භවය නවතාලන අයුරු සෙවීම. ඒ ගැන තමා පටිච්ච සමුප්පාදයේ ටිකක් ගැඹුරින් විස්තර කරලා තියෙන්නේ. මම දැන් මෙතැන පටිච්චසමුප්පාදය ගැන කියන්ට යන්නේ නෑ. මොකද එතකොට මෙතැන බණ ගෙයක් වෙයි. කොහොම හරි අපේ හිත ගැන, අපිට අමුතු අමුතු හිතුවිලි පහළ වන ආකාරය ගැන කලින් පොස්ටුවක ( සිතද එක් කවියකි ) දැමුවෙමි. මට කියන්ට පුළුවන් පෘතක්ජන අපි මේ කර්මය නිසා නැවත අපේ පුනර්භවය සිදුවන හැටි. 

  අපි රහත් වෙච්චි අය නෙවෙයිනේ. ඒ කියන්නේ මේක ලියන හා කියවන අප හැමෝම පෘතක්ජන මිනිස්සු. ඉතින් අපිට අපේ හිත පාලනය කොරගන්න හරිම අමාරුයි. බුදු දහමේ සඳහන් වෙලා තියෙනවා අපි කරන ක්‍රියාවන් නිසා අපිට ආශාවන් කියල දෙයක් ඇති වෙනවාය කියල. ඉතින් මෙන්න මේ ආශාවන් හෙවත් ඇලීම් නිසා අපිට තවත් භවයක උපදින්ටත් ආශාවක් ඇති වෙනවා. අපි කරලා තියෙන ක්‍රියා හෙවත් කර්ම වලට අනුව අපිට ගැලපෙන ස්ථානයක උපදිනවා. ඔන්න ඕකට තමා පුනර්භවය කියල කියන්නේ. ඉතින් බලන්ටකෝ ඔය ඔක්කොම ආශාවල් වලට හේතුව අපේ ඔලු ගෙඩිය අස්සේ ඉන්න මොලේ නොවැ. මොකද අපිට හැඟීම් කියල දෙයක් ඇති වෙන්නේ මේ මොලේ හින්දනේ. ඉතිං අපේ හිත කරන්නේ මේ මතකයන් එකින් එක පෙළගස්සන එකනේ. කවුරු හරි කෙනෙක් මැරෙන මොහොතේ එයාගේ හිතේ යම් රූපයක් තිබේද ඒ රූපයට අදාළ ස්ථානයට ඔහුගේ හිත ( අපි එතකොට කියන්නේ විඥ්ඥානය කියල ) ඇදිල යනවා. අන්න එතැන තමා ඔහුගේ ඊළඟ උප්පත්තිය. මම කිව්වේ ගොඩාක් සරලව. එතැනින් එහාට දෙයක් ඒ හිතේ නෑ. පුද්ගලයා මිය ගියාට පස්සේ එයාගේ මතකයෙන් මනස ඉවත් වෙනවා. හරියට අපේ කොම්පියුටර් වල තියෙන රැම් කාර්ඩ් එක වගේ තමා. ඔක්කොම වැඩ කිඩ ටික ලයිට් යනකන් විතරයි. හැබැයි ඉතිං ඔය අස්සේ සමහර මනසවල් තියෙනවා භාහිර ශරීරයෙන් ඉවත් වුනත් සමහර මතකයන් රැඳිලා තියෙනවා ඉවත් වෙන්නේ නැතුව. ඔන්න ඔය වගේ කට්ටිය ගැන තමා අපි පුනරුප්පත්තියේදී කතා කරන්නේ. එකත් තව ටිකකින් කියන්නම්කො.

  බුදු දහමේ සඳහන් වෙනවා මාර්ගඵල ලබාගත්ත පුද්ගලයන්ට පුනර්භවයක් නෑ කියල. ඔවුන්ට තම සිත පාලනය කරන්ට පුළුවන්. ඉතින් නැවත භවයකට ඒ කියන්නේ නැවත උපතකට හේතු වන සිතුවිලි ඔවුනට පහසුවෙන් ඉවත් කරන්ට පුළුවන්. අපි කියනවා ඒකට නිර්වාණාවබෝධය කියල. බුදු සමිඳුන් සොයා ගත්ත පරම සත්‍යය වෙච්ච චතුරාර්ය සත්‍යයෙන් කියවෙන්නේ ඔය ගැන තමයි. මේ බොරු කියල කාටවත්ම කියන්ට බැහැ. මොකද දැන් විද්‍යාඥයෝ පර්යේෂණ වලින් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා නැවත උපතක් තියෙන බව.

  පුනරුප්පත්තිය කියල කියන්නේ එක්තරා ආකාරයක පුනර්භවයක් මැ තමා. මගේ වචන වලින් කිව්වොත් පර්යේෂණ වලින් ඔප්පු කරලා පෙන්නපු පුනර්භවය. ඒ කියන්නේ පර්යේෂණාත්මක පුනර්භවය. මේ පුනරුප්පත්තිය කියන වචනෙන් කියවෙන්නෙත් නැවත ඉපදීමම තමා. ඒත් බුදු දහමේ කියවෙනවා වගේ ගැඹුරින් අදහසක් නෑ. බොහෝ දෙනා කතා කරන්නේ පුනරුප්පත්තිය ගැන මිසක් පුනර්භවය ගැන නෙවෙයි. ඒක එතරම්ම හොඳ දෙයක් නෙවෙයි. කලියෙන් කිව්වනේ යමෙක් මිය යන මොහොතේ ඔහුගේ හෝ ඇයගේ සිතේ තියෙන රූපය ( අපි කියනවා ඒකට චිත්ත රූපය කියල ) ට ගැලපෙන තැනක ඒ පුද්ගලයා ඉපදෙනවා කියල. ඉතිං සමහරු මිය යන කොට ඔවුන්ගේ අතීත මතකයනුත් නොමැකී ඔවුන්ගේ හිත් වල තියෙනවා. ඒක දුර්ලභ සංසිද්දියක්. ඉතින් ඔවුන් ඊළඟ භාවයේ ඉපදුනාම කලින් ආත්මේ ඔවුන් හිටපු හැටි, කරපු හැටි, මැරුණ හැටි අනිත් අයට කියනවා. විද්‍යාඥයෝ මෙන්න මේ වගේ කලින් ආත්මේ ගැන කියන කට්ටිය අල්ලගෙන පරීක්ෂණ කරලා තමයි මේ පුනරුප්පත්තිය කියන මාතෘකාව ලෝක ශබ්දකෝෂයට ඇතුලත් කොලේ. මේ වගේ කෙනෙක් උපදින්නේ ලෝකේ මිනිස්සුන්ගෙන් දාහකට එක්කෙනෙක්ද කොහෙද කියල තමයි එයාල කියන්නේ. මේ වගේ සිදුවීම් ඕන තරම් තියෙනවා. ඉන්ටෙර්නෙට් එකෙනුත් ඕනා තරම් කියවන්ට පුළුවන්. හැබැයි ඉතින් මේ පර්යේෂණ හින්දා බුදු දහමෙන් කියපු පුනර්භවය කියන දේ ඇත්තක් කියල හැමෝටම ඔප්පු උනා. ඒත් නරක දේ ඒක නෙවෙයි. දැන් හැමෝම කතා කරන්නේ මේ පුනරුප්පත්තිය ගැන විතරක් වීම. ඇයි මොකද හරි හරි ලස්සන සිදුවීම් නෙ තියෙන්නේ. ඉතින් එතකොට මේ ගැන බුදු දහමේ ලස්සනට කියල තියෙන පටිච්චසමුප්පාදය වගේ මෙලොව වසන හැම සත්ත්වයෙකුටම වටිනාකමක් තියෙන මාතෘකා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඔවුන් කලින් ආත්මේ ගැන කතා කර කර ඉන්නවා මිසක් ඊලඟ ආත්මේ නවත්ත ගන්න හැටි කල්පනා කරන්නේ නෑ. සසරේ තියෙන දුක ඔවුන්ට කවදාවත් පේන්නේ නෑ. මොකද ඔවුන්ගේ මේ ආත්මවාදය නිසා. 

  පුනර්භවය කියල කියන්නේ සම්පූර්ණයෙන්ම බුදු දහමට අයිති පැතිකඩක්. පුනරුප්පත්තිය කියල කියන්නේ ගොඩක් මනෝවිද්‍යාවට බර වෙච්ච පැතිකඩක්. බුදු දහමට වගේම මනෝවිද්‍යාවට ද ආදරය කරන්නෙක් විදියට මට කියන්න තියෙන්නේ අපි කවුරුත් මේ දෙකම හොඳින් හදාරන්න ඕන. ඒ වගේම අපේ ජීවිතයට ආදර්ශ ගන්න ඕන පුනර්භවය ඇසුරෙන් මිස පුනරුප්පත්තිය ඇසුරෙන් නෙවෙයි. පල්ලෙහායි දාල තියෙන්නේ සුභාෂිතයෙන් උපුටා ගත්තු කවියක්.



ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හළොත් යෙහෙකි පව්කම් නො තබා ම සිත
නැතත් එ පරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත


Wednesday, January 9, 2013

රෝද දෙකේ කෙරුවාව



        රෝද දෙකේ වාහන සුලබ නැත. එනිසා ඒවායේ වටිනාකමද ඉතා වැඩිය. නමුත් රෝද හතරේ, රෝද හයේ වාහන ඕනෑ තරම් ඇත. එනිසා ඒවායේ වටිනාකම අඩුය. මේක ලිය ලියා ඉන්න මටද රෝද දෙකක් ඇත. එනිසා රෝද දෙක ගැන ලියන්නට සිත් විය. නැතිනම් හරි නැත. රෝද දෙකක් ඇත්තෝ එහි අගය හොඳාකාරවම දනිති.



  රෝද හතරට යාමට නොහැකි තැන් වලට රෝද දෙකට යා හැක. ඇතැම් විට පර ලොවට රෝද දෙකේ ඇත්තෝ ඉක්මනින්ම යති. රෝද දෙකක් හැදුවේ අහවල් කාරියකට දැයි අසන්නට සිත් වන්නේ එවිටය. රෝද දෙක එතරම්ම මිනිහාට සමීපය. ඇතැමුන් අල්ලපු ගෙදරට යන්නේද රෝද දෙකෙන්ය. ඒ එය එතරම්ම ඔවුනට සමීප බැවිනි. මේක ලියන මමද එවැන්නෙකි. රෝද දෙකක් තියා ගෙන කකුල් දෙකට දුක් දෙන්නේ කුමකටද. ඇතැමුන් රෝද දෙකෙන් පිඹගෙන යති. ඔවුන්ට වැඩි කල් පිඹීමට නොහැක. රෝද දෙකට නැග ගත් මොහොතේ සිට එයින් බසින මොහොත දක්වාම හරිම කල්පනාවෙන් සිටිය යුත්තේය. මන්ද, එයට ඇත්තේ රෝද දෙකක් පමණක් බැවිනි. ඇතැමුන් යන්නේ හරියට රෝද හතරක් උඩ යනවා වාගෙය. ඔවුනට රෝද දෙක මතක් වන්නේ හතර හන්දි ද කැඩුන විටය. කෙසේ හෝ මේ රෝද දෙක නම් මිනිසාට මහඟු සම්පතකි. රෝද දෙකක් නිර්මාණය කරන්නට සිත් වූ පුද්ගලයා නම් දක්ෂයෙකි. ඔහු මිනිහා ගැන ගොඩාක් දේ සිතා ඇත. ඔහුට පින් සිද්ද වෙන්නට අපි දැන් රෝද දෙකක් උඩ යන්නෙමු.

   කොහොම උනත් රෝද හතරේ, හයේ කට්ටියනම් මේ රෝද දෙකේ උදවිය ගැන එතරම් තැකීමක් කරන්නේ නැතුවා වාගේය. විශේෂයෙන්ම රෝද හයේ අය ය. ඒ අය යන්නේ රෝද දෙකේ අය පාරේ පදික වේදිකාවේ යනවා කියා හිතා ගෙනය. එවිට පදිකයන්ට යන්න වෙන්නේ කාණුවේය. රෝද හයේ උදවියගේ ටිකක් ඇස් පෙනීම දුර්වලය. එනිසා ඔවුන්ට පාරේ ගමන් කරන රෝද දෙකේ උදවිය නොපෙනේ. ඔවුන් සැම විටම හදන්නේ රෝද දෙක උඩින් යාමටය. රෝද දෙකේ උදවියට එලොව යාමට සිදුවන්නේ මේ නිසාය. කෙසේ හෝ මේ රෝද දෙකේ උදවිය සිදු වන ඇබැද්දි නම් එමටය. මේ වැඩි හරියක් සිදු වන්නේ ඒ අයගෙම වැරදි නිසාවෙන්ය. ඇතැම් ඇබැද්දි දුටු විට රෝද දෙකට නැග යාමද එපා වන අවස්ථා එමට ය. ඒත් බැඳ ගත්තනම් ගහපං කියන්නා වාගේ අරගත්තානම් පැදිය යුත්තේය. ඒ රෝද දෙකේ නීතියයි. අපේ රටේ සෑම ගෙවල් පහකින් එකකට නම් රෝද දෙකක් ඇත. ඒ එය එතරම්ම මිනිහාට සමීප බැවිනි.

  පොලෝසියේ මාමලා නම් ඉන්නේ රෝද දෙක සමග හරිම තරහකිනි. දැක්ක තැන නලාව වයලා නවත්වති. ඉතින් රෝද දෙකේ උදවියද නවත්තා ලයිසන් ඉන්සූරන්ස් පෙන්නා යති. ඇතැම් විට පඬුරු පාක්කුඩම්ද පුදති. ඉන්පසු බැන බැන එති. දවල් රෑ දෙකේම මෙතුමන්ලාගෙන් අපේ රෝද දෙකේ අයට ගැලවීමක් නම් නැත. දවසක් මිතුරෝ දෙදෙනෙක් රාත්‍රියේ බණ ගෙදරකට ගියෝය. ගියේ රෝද දෙකකිනි. එහෙත් පණ්ඩිත කමට හෙල්මට් දා ගෙන ගියේ නැත. අහෝ කරුමෙක මහත. වැඩි දුරක් යන්ට මත්තෙන් නලාව වයන හඬ ඇසුනි. නැවතුවොත් දඩයක් කනු නොඅනුමානය. නොනැවතුවොත් ද විසුමක් නැත. එහෙත් මිතුරන්ට ස්ථානෝචිත ප්‍රඥාවද මොකද්ද එක පහළ විය. මාමලාට චයිනා සැලියුට් එක ගසා දෙදෙනා ඉක්මනින් එතැනින් මාරු විය. චයිනා සැලියුට් එක අපේ අයගේ එළ සොයා ගැනීමකි. මහ රෑ නලා සද්දය ඇසුණු විගස පිටුපස අසුනේ සිටින තැනැත්තා සිය දෑත් වලින් පිටුපස නම්බර තහඩුව වසා ගනී. ඒ අතරේ අනෙකා රෝද දෙක අතුරු පාරකට දමාගෙන ඉක්මනින්ම මාරු වෙයි. දවල් වෙලාවකනම් මෙය කිරීම භයානකය. එහෙත් රාත්‍රියට නම් කදිමය.


  රෝද තුනේ ඒවාද ඇත. ඒවා මේ දෙකටම නැති ඒවාය. ඒත් ඒවාට වඩා රෝද දෙක හොඳය. ඒත් ආරක්ෂාව අතින් නම් රෝද තුන හොඳය. වැඩි දෙනෙක් අතර තියෙන්නේ මේ රෝද තුනේ ඒවා හා දෙකේ ඒවාය. ඒත් අපි කරන වැඩ වල හැටියට රෝද තුනට වඩා රෝද දෙක හොඳය. මොකද ඉක්මනට ඕනෑ තැනකින් මාරු වෙන්ට උවමනා උපාංගයක් අවශ්‍යය. ඒ සුදුසුකම සපුරන්නේ රෝද දෙක ය. රෝද තුන ඇත්තෝ හිත අමනාප කර ගැනුමට අවශ්‍ය නැත. ඇත්තටම රෝද දෙක වාගේම රෝද තුනද හොඳය. ඒත් වඩා හොඳ රෝද දෙකය. ඒ මා හිතන හැටිය.



රෝද දෙකක හිටි යකඩ ගොඩක් උඩ - ජීවිත රෝදය කැරකැවෙනා
රෝදෙට හසු වුන වායූ රොදක් ලෙස    -    ජීවිතයද අලුතින් ලියුනා
පාර තොටේ එන වාහන විලසට  - බොහො දෙන ජීවිතයට ලැබුනා
ඒ වාහන මා පසුකර යන ලෙස      -       ඔවුන ද මා පසු කර ඇදුනා