Saturday, October 19, 2013

කාසි මොට ද තාත්තේ!

     හාත්පස සිසාරා තිබූ ඝන අන්ධකාරය, සෙමින් සෙමින් නැගෙන හිරු කිරණින් පියැවී යන්නට විය. ඒ තවත් එක් දිනයක උදාව යි. උදෑසන නිහැඬියාව බිඳිමින් විටෙක ඇසුණු බල්ලෙකුගේ බිරුම් හඬකින් සලකුණු වූයේ අසල ඇති ගම්මානයකි. සිව් දෙසින් ම පුළුල් කඳු වළල්ලකින් වට වූ මේ කුඩා ගම්මානය උදෑසන නැවුම් වාතයේ පහස විඳිමින් තිබුණි. ඈත සිට බලන්නෙකුට නගරයේ කිසි දා දැකිය නොහැකි ගමේ ගැමි සුන්දරත්වය මොනවට විද්‍යාමාන වනු ඇත. 

" සෝමපාල මල්ලි උදහැනක්ම කොහෙද මේ? " උදෑසන ම අලුතින් කැපූ පස් පාර දිගේ ඉදිරියට ඇදෙන මැදිවියේ පුද්ගලයෙකි.

" ආ කර්ලිනා අක්කේ. මං මේ යනවා ටවුමට ඩිංගක් ගිහින් එන්න.. " 

   සෝමපාල තම ගමන ඉක්මන් කළේ කර්ලිනාට තවත් කිසිවක් කීමට ඉඩකඩ නොතබමිනි.

   අනෙක් ගම් වැසියන්ට මෙන්ම නිවසට උවමනා කරන අඩුම කුඩුම ටික මිලදී ගන්නට හැරුණු විට සෝමපාල ට නගරයට එන්නට තවත් එක් හේතු කාරණාවක් ඇත. නගරයට යන සෑම දිනකම වාගේ ඔහුගේ අත වූයේ ලියුම් කඩදාසියකි. ඒ වෙනත් රටක සේවය කරන තම බිරිඳට ලියූ ලිපියකි. 

   සිය බිරිඳ විදෙස් රටක සේවයට යාමට ගත් තීරණය පිළිබඳව සෝමපාල සිටියේ එතරම් හිත් මනාපයකින් නොවේ. එහෙත් ඉඳහිට ලැබෙන කුලී වැඩකින් වත් ගොවිතැනෙන් වත් තම දරු පවුල නඩත්තු කිරීමට නොහැකි බව හොඳාකාරව ම දත් බැවින් කිසිවක් නොදොඩා පැත්තකට වී සිටින්නට ඔහුට සිදු විය. එදා සිට අද වන තුරු අවුරුදු දෙකක් පමණ සෝමපාලට සිදු වූයේ තම වැඩිමහල් දියණිය සහ කුඩා පුතු සමග පුංචි ගෙපැලක තනි වීමට ය.

   කෙසේ වුවත් ඉන් පසු සෝමපාලලාට මුදල් වලින් නම් එතරම් අඩුවක් නොවීය. ඔහු තම බිරිඳ වැලි කතරේ දුක් විඳ හම්බ කර ගත් මුදල නැති නාස්ති නොකළේ ය. එම මුදල් එකතු කර නිවසක් සෑදූවේ අනාගතය ගැනත් සිතාම ය. 

   " තාත්තේ, අම්මා මේ අවුරුද්දටවත් අපිව බලන්න එයි ද? "

   එය සෝමපාලට නිතර ඇසෙන පැණයකි. එවැනි විටෙක ඔහුට සිදු වූයේ කුමක් හෝ බොරුවක් පවසා දරුවන් සැනසීමට ය. එහෙත් එය සැමදා සිදුකළ හැක්කක් නොවීය.

    අලුත් අවුරුද්ද ළඟ ළඟම එයි. ගමේ කොයි කවුරුත් අලුත් අවුරුද්දට ලක ලැහැස්ති වෙනු දුටු සෝමපාල මෙවර නගරයට යන්නේ තම දරුවන්ට අවුරුද්දට ඇඳුම් ටිකක් ගැනීමට ය. මව ළඟ නැති දරුවන්ට මේ අවුරුදු කිහිපයේ දී පියෙක් මෙන්ම මවක් ද වීමට ඔහුට සිදු විය. උදෑසන ම නගරයට ගිය සෝමපාල නැවත නිවසට පැමිණෙන විට තරමක් දහවල් වී තිබුණි. පොලිතීන් කවර දෙකකින් ඔහුගේ දෑත ම බර වී තිබුණි. ඔහුගේ මුහුණ දෙස බැලූවෙකුට පෙනී යන්නේ දවස පුරා නගරයේ කරක් ගසා හෙම්බත් වූ අයුරකි. 

   තම නිවස ඉදිරිපිට පිරිසක් රැස්ව සිටිනු දුටු සෝමපාලගේ පය තවත් වේගවත් විය. කව්රු කව්රුත් කම්මුලේ අත් ගසාගෙන බලා සිටියේ ඔහුගේ නිවස දෙස ය. 

" අනේ අම්මපා බං, මේ රටට මොන ගිනි විජ්ජුම්බරයක් පාත් වෙන්න යනවද කියල හිතා ගන්න බෑ.. "  ඒ කටහඬ කර්ලිනාගේ ය.

" ඒකනේ මේ මහ ගිනි දවාලේ මෙච්චර දෙයක් වෙන්න තරං.... " ඒ තවත් කටහඬකි.

    සෝමපාල එකවරම කරකවා අතහැරියාක් මෙනි. ඔහුට අගක් මුලක් ගලපා ගැනීමට නොහැකි විය. ඔහු අවසිහියෙන් මෙන් ඇර දමා තිබූ දොරෙන් ඇතුලට රිංගුවේ සිත තුල කැකෑරෙන අසීමත බියකිනි. අවසානයේ දුටු දෙයින් ඔහුගේ පපුව තුල ඇවිලෙමින් තිබූ ගිනිදැල් ක්ෂණයකින් නිවී ගියේය.

" මොකද පුතේ උනේ? " 

" අනේ තාත්තේ! මායි මල්ලියි ................. " සෝමපාලගේ දියණිය සෝමපාල ව බදාගෙන හඬන්නට විය. 

" පොඩි උන් දෙන්නා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල දොර අරිනකොට ගේ ඇතුලේ ඉඳපු මිනිහෙක් කුස්සියේ ජනේලෙකින් පැනල දුවල. බය වෙච්චි පාරට කෑ ගහගෙන ඇවිල්ලා අන්තිමේදී නතර උනේ අපේ ගෙදර " 

  සෝමපාලගේ අසල්වැසියෙක් වූ මැගිලින් කටහඬ අවදි කළාය.

  සෝමපාල ගේ ඇස නිතැතින් ම යොමු වූයේ ඇඳුම් අල්මාරිය දෙසට ය. ඔහු හරිම අපහසුවෙන් පිළිවෙලකට අඩුක් කර තිබූ ඇඳුම් සී සීකඩ විසිරී ගොසිනි. 

" අනේ දෙයියනේ, සල්ලි ටික! "

  නිවසේ ඉතිරි වැඩ කටයුතු සඳහා ඔහු විසින් එකතු කර තිබූ මුදලින් රුපියලක්වත් ඉතිරි කර නොතබා සියල්ල රැගෙන ගොසිනි. රැයක නොව මහ දවාලේ කාගේත් ඇස් වලට වැලි ගසා ය. 

" ඔහොම දෙයක් පිට එකෙක් ට කරන්න බෑ.. අනිවාර්යයෙන් ම ගමේ එකෙක් තමයි " 

" ඔව් ඔව්.. මාත් පිලිගන්නවා ඒක. මොකා උනත් මුංට හෙන හත වදින්න ඕන මේ කරපු දේට " 

   ඒ රැස්ව සිටිදෙතුන් දෙනෙක් කී කතා ය. එහෙත් සෝමපාලගේ සිතට තරමක සැනසිල්ලකි. ඔහු කලින් බිය වී සිටියේ තම දරුවන් ට කුමක් හෝ කරදරයක් දැයි කියා ය. ඔහුට තම පවුල මෙන් අන් කිසිවක් වටින්නේ නැත. කෙසේ වෙතත් නිවසේ වැඩ කටයුතු අතරමග ඇනහිටුණේ  මේ අකරතැබ්බ නිසාවෙනි. එහෙත් බොහෝ දුරට නිවසේ වැඩ ද අවසන් ය.

   කෙමෙන් කෙමෙන් කාලයද ගෙවී යන්නට විය. අලුත් අවුරුද්දට තව ඇත්තේ දින කිහිපයක් පමණි. පසු ගිය සිදුවීම නිසා සෝමපාලගේ දරුවන් සිටින්නේ එතරම් සතුටකින් නොවේ. සෝමපාලගේ නමට තැපෑලෙන් ලියුමක් ලැබෙන්නේ මෙවිට ය.

" මොකද්ද තාත්තේ ලියල තියෙන්නෙ? " 

" අම්මා අවුරුද්දට අපිව බලන්න එනවලු පුතේ.... " 

  සිය කුඩා පුතුගේ කඳුළු පිරි මුහුණෙන් සියුම් සිනහවක් නැගෙනු දුටු සෝමපාල සැනසුම් සුසුමක් හෙලීය.

Wednesday, October 9, 2013

වල්ල පට්ටා වවමු - රට නගමු

   අපේ ලොකු තාත්තලයි වත්තේ තිබිච්ච විසාල වල්ල පට්ට ගහක් හොරු කපලා! මං කියන්නේ නෑ මේක කරපු එවුන්ට හෙන ගහන්න කියල. මට තියෙන ප්‍රශ්නේ තමා හොරු ඉස්සර වෙන්ට කලින් අපිට ඉස්සර වෙන්ට බැරි වුනු එක. ඒ වත්ත තියෙන්නෙ අපේ ගෙට උඩහ. වැඩි ඈතක නෙවෙයි. කවුරුත් නැති වෙලාවක් බලල මුං ගහ පිටින්ම ගලෝගෙන ගිහිල්ල free smiley... මේ සිද්ධිය වෙනකං මම දන්නේ නෑ වල්ල පට්ටා මෙච්චර වටිනවා කියල. ඔය කාගේ කාගෙත් වතු වල වල්ල පට්ටා හෙම තියෙයි නං ටිකක් පරිස්සං කර ගන්න වෙයි.

  පොල් ලී කිලෝවකට රුපියල් ලක්ෂ එක හමාරක් විතර දෙනවා කිව්වොත් කොහොමද? මුළු රටේම තියෙන පොල් ගස් ටික කපල දාල අන්තිමට පොල් ගස් න්‍යෂ්ට වූ විශේෂයක් බවට පත් වෙයි. ( න්‍යෂ්ට උනා කිව්වේ මේ පොළොවෙන් සදහටම වඳ වෙලා ගියා ය කියන එක ) ඔන්න ඔය වගේ වටිනා කියන දෙයක් හැබැයි වැඩේ සිද්ධ වෙන විදිය නම් හරි නෑ. 

  අපි වල්ල පට්ටා කියන මේ ගහේ විද්‍යාත්මක නම Gyrinops walla. අපේ රටට ආවේනික ශාකයක්. රටේ අනිත් තැන් වල කොහොම උනත් අපේ පැති වල නම් බොහොම සරුවට මේවා හැදෙනවා. සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වල්ල පට්ටා ගහක් උස යනවා. ඉස්සරනං ලණු අඹරන්ට, උදලු මිට හදා ගන්නට පවා පාවිච්චි කරලා තියෙන්නෙ මෙව්වා තමා. ඒකට දැන්. රා කරුමාන්තේ ජනප්‍රිය කොලා වගේ මේවටත් වෙනම ම රජය මැදිහත් වෙලා නීත්‍යානුකූල ක්‍රමේකට මිනිස්සුන්ට වගා කරන්න ඉඩ දුන්නනම් අපේ රටේ වටිනා ජාන සම්පත නිකං නිකරුනේ සුද්දන්ට විකිණෙන එක නවත්ත ගන්න පුළුවන්.

  අපේ රටේ දැනට තියෙන නීතියෙන් නං ඉතිං මෙව්වා රට පටවන්න තහනං. ඒත් අපේ උන්දැල කාලයක් තිස්සේ හරිම සූක්ෂම විදියට කාටත් හොරා මෙව්වා පිට රට පැටෙව්වා. ඒකත් අහු වුනේ මේ ඊයේ පෙරේදා.. ඒ අහුවෙනකොටත් ශ්‍රී ලංකන් වල්ල පට්ටා ටොන් ගණන් පිට ගිහිං ඉවරයි.

   ඇත්තටම මොකද්ද මේ ගහේ ලක්ෂ ගානක් වටිනා දේකට තියෙන්නෙ. එකනං බලන්නම වටිනවා. හැම ගහක්ම ඔය කියන විදියට වටින්නේ නෑ. හොඳ පරණ ගස් තමයි වටින්නේ. වල්ල පට්ටා ශාකය ටිකක් පරණ වෙන කොට ඔය ගහේ හැදෙනවා කියනවා එක්තරා දිලීරයක්. වල්ල පට්ටා විතරක් නෙවෙයි ගොඩක් ආවෘත බීජක ශාක වල ඔය දිලීරය ඉන්නවා. වල්ල පට්ට ගහේ විශේෂත්වය තමයි ඔය කියන දිලීරයට එරෙහිව ගහ තුල නිපදවෙනවා රසායනික සංයෝගයක්. ඒක එක්තරා රෙසීනයක්. මේ රෙසීනය කළු පාටයි. ඕක තමා වටින්නේ. මේ රෙසීනය ඉතා වටිනා සුවඳ විලවුන් නිපදවන්න යොදා ගන්නවා.


   වල්ල පට්ටා ගහක් හොඳින් වර්ධනය වෙන්න යන්නේ අවුරුදු හත අටක් විතරයි. ඒත් අර කලින් කිව්ව රෙසීනය හැදෙන්න ඊට වඩා වැඩි කාලයක් යනවා. සමහර විට අවුරුදු 20 ක ටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකයි වටිනාකම තවත් වැඩි වෙන්න හේතුව. ඒත් අපේ රටෙත් මේක වගාවක් විදියට නීත්‍යානුකූලව කරනවානම් අවුරුදු විසි තිස් ගණන් බලන් ඉන්න ඕන නෑ. දැන් විද්‍යාව දියුණුයි. අපි හිතමු අපි අපේ ගෙවත්තෙත් වල්ල පට්ටා ගස් දෙක තුනක් හිටෙව්වා කියල. හොඳ පරිනත අවධියට ආවට පස්සේ අපිට පුළුවන් අර කලින් කිව්ව දිලීරේ ඔය ගස් දෙක තුනට කෘත්‍රිම ව  එන්නත් කරන්න. එතකොට හොඳ ප්‍රතිඵල වඩා ඉක්මනින් අරගන්ට පුළුවන්. cool smiley 
  
gyrinops.blogspot.com/


    අනිත් දේ තමයි ඔය ගස් හැදෙන්නේ පඳුරු විදියට. ඉතිං එක වල්ල පට්ටා ගහක් ලඟින් තවත් පැළ ටිකක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මේ ශාකය බීජ වලින් වගේම අතු වලිනුත් පැළ වෙනවා. ඉතිං වගාවක් හදා ගන්න ඒ හැටි ප්‍රශ්නයක් නෑ.

  ඔන්න එහෙනං ඔහොමයි වැඩේ වෙන්නේ. සුදු හඳුන් කියන්නෙත් ඔය වගේම වටිනා දෙයක්. ඒත් සුදු හඳුන් වලට වඩා වල්ල පට්ට සුලභයි....






Thursday, September 26, 2013

වලස් වෙස් .....

 " නැගිටපං බං සේනයෝ! උඹේ කල්පනාව මෙතෙන්ටම වෙලා ඉන්ඩ ද? ඉර ත් පායලා "

" යකෝ දැන් නිදා ගත්ත විතරනේ. උඹ හිතුවද මගේ ඇස් පේන්නේ නෑ කියල. පොඩ්ඩක් හිටහන් එලිය වැටෙනකන්. මේ මහ රෑ කොහේ කියල යන්ට ද. අනික බං, ඕක ඔච්චරටම හදිස්සියෑ...  "

 " ඇස් පේන්නේ කොහොමද බං නිදා ගෙන ඉන්නකොට. පොඩ්ඩක් ඇස් ඇරලා බලාපං, හතර වටෙන් එළිය වැටීගෙන එන විදියට පේන්නෙ නං දැන් හය හමාර ට විතර ඇති. පරක්කු වෙන්ට බෑ. මතකනේ මුදලාලි කිව්වදේ " 

"  එච්චර වෙලා ගියාද. දැන්නේ නිදා ගත්තේ.... මේ ඒක නෙවෙයි බං සිරිදාස අයියේ මිනිහා අපේ ගාන දෙයි නේ. වෙලාවකට හිතෙනවා බං ගෙදෙට්ට වෙලා හිටියනං හොඳයි කියල  " 

" උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක මං බලා ගන්නං. ගෙදර හිටියා වගේ නෙවෙයි බං. උඹට ආයි ජීවිතේට රස්සාවක් කරන්න ඕන වෙන්නේ නෑ. සැප සැප! " 

" ඔව් ඔව්.. හිරේ ගියොත් රස්සාවක් කරන්න ඕන නෑ තමා බං. උඹ මේ පිස්සුවක් කතා කොරනවා "

   සිරිදාස යනු 'පිටදෙනිය' ගමේ ග්‍රාම සේවක තැන ගේ පුත්‍රයා ය. පුත්‍රයා යැයි කීවද ඔහුගේ වයස අවුරුදු හතළිහකට නොඅඩු විය යුතුය. නමුත් පෙනුමෙන් නම් අවුරුදු විස්සක විසිපහක කොලුගැටයෙක් මෙනි. තම පියා ගමේ නායකයා උවත් ඔහු එයින් හිස උදුම්මා ගත්තේ නැත. ගමේ කාගේත් සිත දිනා ගැනීමට සිරිදාසට හැකි වූයේ එනිසා විය හැක. 
සිරිදාස දවසෙන් වැඩි කාලයක් ගත කළේ ගමෙන් පිට ය. ඔහු මහ කැලෑව තුල හේනක් වගා කළේ ය. ඔහු තම දරු පවුල නඩත්තු කළේ එමගිනි. 

   දිනක් සිරිදාසට ධර්මවර්ධන නම් පුද්ගලයෙක් මුණ ගැසෙයි. ඔහු පිට ගම් කාරයෙකි. කා අතරත් ඔහු ජනප්‍රිය වූයේ ධර්මවර්ධන මුදලාලි යනුවෙනි. නමින් මුදලාලි වුවද ඔහු කළ වෙළඳාමක් නම් නැත. නමුත් ඔහු නිධන් සොයන්නෙක් බව දැන ගැනීමට සිරිදාස ට වැඩි දවසක් ගත නොවීය. 

" මොන නිධන් ද ධර්මේ අයියේ මෙහේ. ඕවා ඔක්කොම හාරලා අරං ඉවරයි "

" සිරිදාස මලයා මගේ වචනේ විශ්වාස කරන්නේ නෑනේ ඉතිං! මම ඔය වගේ කීයක් නම් අරං තියෙනවද. පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. බැරි වෙන්නේ නෑ " දිනක් සිරිදාස සමග ධර්මවර්ධන මුදලාලි එසේ කීවේ ඔහු තුල බලාපොරොත්තුවක් ද ඇති කරමිනි. 

මහ කැලේ මැද්දේ ඇත්තේ විසල් කඳු ගැටයකි. එතරම් මිනිස් පහසක් නොලද මෙම කන්දේ නිදන් වදුලක් තිබේදැයි සෙවීමට මුදලාලි විසින් සිරිදාස ව පිටත් කරන්නේ ඔහු කැලේ ගැන හොඳින් දන්නා නිසාවෙනි. මේ ගමනට සේන ද කැටුව යාමට සිරිදාස ට සිදු වන්නේ අන් කිසිවක් නිසා නොව, කෙසේ හෝ මේ නිධන් කතාව සේනගේ ද කනට වැටුණු නිසාවෙනි. ඔහු ද මේ කාර්යයට හවුල් කර නොගත්තේ නම් නපුරක් විය හැකි බව සිරිදාස ට සිතුනේ ඉබේටම ය.


" හරිද උඹ දැන් ලෑස්තිද. ඉක්මනට යමං. ගිනි මද්දහනේ බෑ ඔය කන්දේ නගින්න. ඒකයි මං උඹට කිව්වේ ඉක්මනට යමු කියල " සිරිදාස එසේ කීවේ තාමත් නිදිමත විකාරෙන් කියවන තම ගමන් සගයා දෙස බලා සිනාසෙමිනි. 

    සේන වයස අවුරුදු විසිපහක පමණ කොලු ගැටයෙකි. ඉගෙනීමට සිතක් යොමු නොකළ ඔහුගේ රාජකාරිය වූයේ නිවසට වී දවල් දොළහ පමණ වන තුරු නිදා ගැනීම ය. එයින් එහා රාජකාරියක් ඔහුට නොමැත. මේ ගමනට තමන් සමග පැමිණේ කියාවත් සිරිදාසට මුලදී ඔහු ගැන විශ්වාසයක් නොවීය.

    ඔවුන්  පිටත් වූයේ ඊට පෙර දා සවස ය. රෑ බෝ වන විට කඳු පාමුලට පැමිණි දෙදෙනා රැය පහන් කිරීමට තැනක් සොයා ගත්තේ පසු දින උදෑසනින් ම කන්ද නැගීමට ය. දවල් ගිනි ගහන අව් කාෂ්ටකේ කන්ද නැගීම කෙතරම් අපහසුදැයි දන්නේ සිරිදාස පමණි.

" හා.. හා යමු. හැබැයි සිරිදාස අයියේ උඹට විශ්වාසයිනේ අපි හොයන එක එහේ ඇති කියල " 

" උඹට මං දැන් කී සැරයක් කිව්වද. විශ්වාසෙ තියා ගනින් " සිරිදාස කීවේ තරමක නොරුස්සනා ගතියකිනි.

    දැන් සිරිදාස සහ සේන සිටින්නේ මහ කන්ද පාමුල ය. තමන් ඉදිරියෙන් හිටගෙන සිටින්නේ පතාක යෝධයෙකු දැයි සිරිදාස ට සිතුනි. සිරිදාස මේ රාජකාරියට ධර්මවර්ධන මුදලාලි සමග කැමති වූයේ ඔහුගේ කීම නිසාමත් නොවේ. ඔහු කුඩා කළ ඔහුගේ සීයා විසින් පැවසූ දෙයක් නිසාවෙනි. එනම් මේ කඳු මුදුනේ ඇති නිධන් වදුලක් පිළිබඳව ය. ඒ ගැන වැඩි විස්තර තම සීයාගෙන් විමසා දැන ගැනීමට සිරිදාස ට නොහැකි වූයේ කුඩා කළ ඔහුට මෙය තවත් එක් කතාවක් පමණක් වූ නිසා ය.

   කන්දක් යැයි කීවද මෙය තනිකරම ගල් පරුවතයකි. එබැවින් දවල් දොළහට පමණ මෙය නැගීම සිතන්ටවත්  බැරිය. උදෙන්ම ගමන පටන් ගත් බැවින් ඔවුනට මෙය එතරම් අපහසු කාර්යයක් නොවීය. සිරිදාස ට කෙසේ වෙතත් සේන ට නම් මෙය මහ එපා කරපු වැඩකි. හරියට මහගිරි දඹේ නගිනවා වාගේ ය. කෙසේ වුවත් වැඩිය දොඩවන්ට නොගොස් හිටියේ සිරිදාස ට කේන්ති ගියොත් යැයි සිතා ය. 

" තව ටිකයි ඕකත් යමං.. හැබැයි පුතෝ පල්ලෙහනං බලන්න එපා " සිරිදාස සේනට කීවේ ය.

 " සිරි අයියේ නයෙක් ! "  කඳු මුදුනට ඔන්න මෙන්න තියා සේන විලාප දුන්නේ ය.



************
(දින කිහිපයකට පසු)



    කුකුලා හඬලන්නටත් පෙරාතුව කඳු නගින නඩයකි. නඩේ ඉස්සරහින්ම යන්නේ දැනටමත් අප දන්නා දෙදෙනෙකි. ඒ සිරිදාස හා සේන ය. ඉන් පසුව ධර්මවර්ධන මුදලාලි ය. ඔහුගේ පිටුපසින් කට්ටඩියෙකි. ඊටත් පිටුපසින් මුදලාලිගේ ගෝලයෙකි. කාගේත් අතේ පිහි, උදලු හා අලවංගු ය. කඳු නගින අතරමගදී ම කුකුලා ද හැඬලුවේ ය. ඒ හඬ ආවේ ධර්මවර්ධන මුදලාලිගේ ගෝලයාගේ අතේ එල්ලී තිබුණු කූඩුවෙනි. 
   මොවුන් මේ යන්නේ කඳු මුදුනේ ඇති ගලක සලකුණු කොට ඇති නයි සලකුණක් සොයා ගෙන ය. කලින් දිනයක සිරිදාස හා සේන හෝඩුවාවක් සොයා පැමිණි විට ඔවුනට මෙම සලකුණ දැක ගත හැකි විය. 

   කාගේ කාගේත් ගමන ඉක්මන් වූ බැවින් වැඩි වේලාවක් නොගොස් තැනට යාමට හැකි විය. තරමක විශාල ගල් තලාවකි. එහි එක් කෙළවරක නයි සලකුණකි. සේන දැක ඇත්තේ මෙය යි.

" ගුරුන්නාන්සේට විශ්වාසද මෙතන තියෙයි කියල "  එසේ ඇසුවේ මුදලාලි ය.

" එකපාරටම කියන්ට බෑ නෙව.. ටිකක් පරීක්සා කරලා බලන්ටෝන " කට්ටඩියා කීය.
" මට කොහොඹ අතු කෑලි ටිකක් කඩාන ගෙනත් දියන්.."

" එහෙමයි ගුරුන්නාන්සේ "  සිරිදාස හා සේන  වැඩේ බාර ගත්හ.

    කඳු මුදුනේ නම් කොහොඹ ගහක් තබා ලුණු මිදෙල්ල ගහක් වත් හොයා ගැනීමට නැත. දැන් නැවතත් කඳු පාමුලට යා යුතු ය. දෙතුන් සැරයක් ම ඉහල පහල ගිය සේනට හා සිරිදාස ට මෙය අපහසුවක් නොවීය. 

" අපි ආපු පාරෙ කොහොඹ ගහක් තිබුණා " කඳු පහලට පැමිණි පසු සේන කීවේය.

" යමං යමං.. කෝක උනත් ඉක්මනට " සිරිදාස ඉස්සර විය.

    සේන කීවා සේම රූස්ස කොහොඹ ගසක් ඔවුන් ඉදිරිපිට තිබුණි. හනිකට ගසට නැගී සිරිදාස කොහොඹ අතු කෑලි කිහිපයක් කඩා ගත්තේ ය. දැන් නැවතත් තිබෙන්නේ කඳු බඩගෑම ය. කෙතරම් මහන්සි වුවද තමන්ට ඉදිරියේදී ලැබෙන්න තිබෙන වස්තුව ගැන දෙදෙනාම සිහින මවන්නට විය.

" ෂ්..  ෂ්.. සිරි අයියේ උඹට ඇහුනද ඒ සද්දේ ! " නිහඬතාව බිඳිමින් සේන එක්වරම ඇසීය. 

" මොන සද්ද ද බං. මට ඇහුන් නෑ. සද්ද ද නැත්තේ මේ කැලේ " සිරිදාස එය එතරම් ගණන් නොගෙන කීය. 

" නෑ නෑ බං, එහෙම එ.. ක... ක්  නෙ..... " තමා කීමට ගිය වචන ටික ද ගිලගනිමින් සේන එකවරම ගල් පිළිමයක් විය. ඇසුණු ගෙරවිලි හඬින් ඒ දෙස බැලූ විට දුටු දර්ශනයෙන් සිරිදාස තුෂ්නීම්භූත වී ගියේ ය.

" දුවපාං! " සිරිදාස මර හඬ දෙමින් සේන ව ද ඇදගෙන පසු නොබලා දුවන්නට විය. ඔවුන් පසු පස පන්නන්නේ මහ ගල් පරුවතයකි. එදා මෙදා තුර සිරිදාස වලසුන් දැක ඇතත් මේ සා විසාල  එකෙක් දැක්කාම ය. තමන් යන්නේ කොයිබටදෝයි  කියාවත් සිහියක් නැති මේ දෙමිතුරෝ අවසානයේ නතර වූයේ තමන් පසුපස කිසිවෙක් නොපැමිනේ යැයි හොඳින් අවබෝධ උනු පසුව ය. 



" උඹලට මොකද්ද බං උනේ. මේ දාඩිය පෙරාගෙන. මොකෑ අවතාරයක්වත් දැක්කද " සුපුරුදු කටහඬකින් තමන් අමතනු ඇසුණු දෙදෙනාට පියවි සිහිය ආවේ එවිට ය. ඒ ඔවුන්ගේ හිතමිතුරු ගැමියෙකි. වලසා එළවාගෙන එනවිට තමන්ට පාර වැරදී ආපසු ගමටම දිව විත් තිබෙන බව සිරිදාස ට තේරුම් ගියේ එවිට ය.

" අවතාරෙටත් අන්තයි බං " සිරිදාස ට යන්තම් කතා කරගත හැකි විය.

" උඹලා මහ කැලේ මොද්ද කළේ. ඔන්න පොලීසියෙන් කඩාගෙන පැන්න කැලේට. කන්දේ නිධන් හාරනවලු " එසේ කියමින් ගැමියා යන්න ගියේ ය.

" විනාසයි , දැන් මොකෑ බං කරන්නේ " සිරිදාස නැවතත් භීරාන්ත විය. 

" කොහොම උනත් වලහා පැන්නේ අපිව ඕකෙන් බේර ගන්න! " සේන පැවසීය. 

" මොන බේරිල්ලක් ද බං. උඹ හිතං ඉන්නේ අරුන් ටික අපි ගැන නොකිය ඉඳියි කියලද. දැන් කරන්න දෙයක් නෑ. ටික කාලෙකට ගමෙන් වහං වෙලා ඉන්නයි වෙන්නේ " සිරිදාස තීරණයක් ගෙන තිබුණි.

 " සිරිදාස අයියේ උඹ මේ ඇත්තටම ද කියන්නේ. අපි අහුවෙයිද බං ? " සේන ඇසුවේ චකිතයකිනි.

    එදා ඒ සිද්දියෙන් පසු කන්දේ නිධන් හාරමින් සිටි පිරිස පොලීසියට කොටු විය. කවුරුන් ඔත්තුව දුන්නේදැයි කිසිවෙක් නොදනී. සිරිදාස හා සේන වලසාගේ උදව්වෙන් බේරුණු අතර ඉන් පසුව ඔවුන් එම ගමෙන් පිටවී වෙනත් ප්‍රදේශයක සිටි සිරිදාසගේ යහළුවෙකුගේ නිවසකට ගොස් එහි හේනක් වගා කළහ. ඔවුන් ආපසු ගමට පැමිණෙන විට සියල්ල යටගොස් තිබුණි.

*******************


Friday, September 13, 2013

..෴ හක්ක පටස් ෴..

      හීන් බණ්ඩාර යනු ගමේ සිටි කවුරුත් හඳුනන, ප්‍රසිද්ධ චරිතයකි. නමින් හීන් බණ්ඩාර වුවද ඔහුගේ ශරීරයේ හීන්දෑරි පෙනුමක් නම් ගෑවී වත් තිබුනේ නැත. හැඩි දැඩි අඟ පසඟ සහ මුහුණ පුරා වැවී තිබුණු දැලි රැවුලෙන් පෙන්නුම් කළේ දුටු ගැමුණු රජ දවස සිටි දස මහා යෝධයෙකුගේ ලක්ෂණ යැයි නොසිතූ කෙනෙක් එම ගමේ සිටින්නට ඇතැයි සිතිය නොහැක. ගමේ කා අතරත් ඔහු ජනප්‍රිය වී තිබුනේ හීන් බණ්ඩා යන නමිනි. ඔහුගෙන් උපකාර පතා පැමිණි ගැමියන් ඔහුව ඇමතුවේ බණ්ඩයියා යනුවෙනි. එය තරමක් ගරු කටයුතු නමක් නිසා විය යුතුය. එසේ කියන්නේ ඔහුටත් වඩා වැඩිමහල් ගැමියන් ද ඇමතුවේ එසේ බැවිනි.

     සිංහරාජ මහ වනය මායිමේ පිහිටි මේ ගමේ ජීවත් වූයේ පවුල් කිහිපයක් පමණි. එය සම්පූර්ණයෙන්ම වාගේ බාහිර ලෝකයෙන් වෙන් වූ නිසංසල ගමකි. රුදුරු වන සතුන් බහුල මහ වනයත් සමග නිරන්තර සටන් කර තම ජීවන සටන ගෙන යාමට එම ගමේ මිනිසුන්ට සිදු විය. මේ කතාවේ කතා නායකයා වන හීන් බණ්ඩාර යනු වනාන්තරය හා බද්ධ වූ ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. ඔහු කුඩා කල සිටම හැදුණේ වැඩුනේ තනිවම ය. ඔහු විවාහ ජීවිතයක් ගත කළේ ද නැත. හීන් බණ්ඩාරගේ පියා කුඩා කලදීම ඔවුන් අතහැර ගොස් ඇත. ඔහු යන්තම් බහ තෝරන කාලය වන විට මව ද අකාලයේ මිය ගියා ය. එතැන් පටන් හීන් බණ්ඩා ට තමන් වෙනුවෙන් සිටියේ තමන් ම පමණි.

     හීන් බණ්ඩා යනු කිසිසේත්ම උපාසක චරිතයක් නම් නොවේ. රාත්‍රී කාලයේ වනාන්තරය දෙසින් ඇසෙන වෙඩි ශබ්ද ගැමියන්ට එතරම් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එවන් දිනක පසුදා උදෑසන හීන් බණ්ඩාගේ නිවස ඉදිරිපිට දිගු පෝලිම් දැකිය හැක්කේ ගංවතුරෙන් අවතැන් වූවන් සහනාධාර බලාපොරොත්තුවෙන් සිටින්නා මෙනි. සතෙකු දෙන්නෙකු මරා මස් කරගෙන නගරයට යන හීන් බණ්ඩා කළු කඩ කාරයෙකුට මස් ටික විකුණා යම් මුදලක් උපයා ගනී. දඩයම් කිරීම අතින් නම් හීන් බණ්ඩා යනු අති විශිෂ්ටයෙකි. මහ වනේ ගැන ඔහු දන්නා තරම් වනේ වන සතෙකුවත් දන්නවාදැයි සැක සහිත ය. ඒ හැකියාව ඔහුට ලැබුනේ කුඩා කළ සිටම මහ වනේ කරක් ගසා ලත් අත්දැකීම් නිසාවෙනි. නිරන්තර සතුන් ගැවසෙන තැන්වල හීන් බණ්ඩාගේ ගිනි බටයක් නම් වරදින්නේ නැත. වල් ඌරෙකුට, ඕලු මුවෙකුට තබා මී මින්නෙකුටවත් නිදහසේ වනයේ ඇවිදීමට හීන් බණ්ඩාගෙන් ඉඩක් නැත. ඇරත් හීන් බණ්ඩාට නොදන්වා වනයට රිංගීමට ගැමියෙකුටවත් නුපුළුවන. එසේ නොකියා ගියේ නම් ඔහුටත් සිදු වන්නේ ඌරන්ට ඇටවූ මරු වැලකට හසු වී ඌරන් ගිය ලෝකෙට ම යන්නට ය.



     දිනක් හැන්දෑ යාමයේ හීන් බණ්ඩා මහ මූකලාන දෙසට ඇදුනේ හක්ක පටස් කිහිපයක් ද අතින් ගෙන ය. හක්ක පටස් සෑදීම ට හීන් බණ්ඩා උපන් හපනෙකි. බොහෝ දෙනා හක්ක පටස් හදනුයේ "චීන පටස්" නම් ගිනි කෙළි වර්ගයෙනි. නමුත් හීන් බණ්ඩා එම කිසිවක් යොදා නොගෙන තනිවම හක්ක පටස් සාදයි. ඔහු යොදා ගන්නේ තිරිවානා ගල් කැබලි තුනක් සහ වෙඩි බෙහෙත් ටිකකි. ඒවා නිවැරදිව සම්භන්ධ කොට හොඳින් ආවරණය කර පිටින් මෝර කරවල කැබැල්ලක් හෝ බොම්බිලි කරවල කැබැල්ලක් ගැට ගසයි. බොම්බිලි කරවල කෑල්ලේ ගඳ ඌරන්ට හැතැප්ම ගණනක් දුරට දැනෙන බව හීන් බණ්ඩා දනී. රසවත් ආහාරයක් යැයි රැවටී මෙම තිරිසන් සතුන් ඒ වෙත ඇදෙන්නේ බඩ කට පුරවා ගන්නට ය. බඩ කෙසේ වෙතත් හක්ක නම් පුරවා ඉස්මොල්ල පැලී මොළ ගෙඩිය එලියට ඒමට ගත වන්නේ නිමේශයක් පමණි. හීන් බණ්ඩාගේ හක්ක පටස් වලට හසු වූයේ මේ අහිංසක වන සිවුපාවුන් පමණක් ම නොවේ. අහල පහල ගෙවල් වල සිටි බල්ලන් ද හක්ක පටස් අනුභව කිරීමට ගොස් දිවි නසා ගෙන සිටිනු අනන්තවත් දැකිය හැක. කෙසේ නමුත් දින කිහිපයක ම සිට හීන් බණ්ඩාගේ තුවක්කු වලටවත් හක්ක පටස් වලට වත් සතුන් හසු නොවීය. පසු වන්නේ දීර්ඝ වියලි කාලගුණයක් බැවින් සතුන් ජලය සොයා වනාන්තරය ඇතුලට යනවා විය හැක.

"ඈ බං බණ්ඩයියේ, මොකෝ මේ ටිකේ වෙලා තියෙන්නෙ. කැලේ හිටපු සත්තු ටික ඔක්කොම ඉවර වෙලැයි?" කැලෑව දෙසට ඇදෙන හීන් බණ්ඩා දුටු ගැමියෙක් ඇසීය.

"එහෙමත් ඉවර වෙනවද බං සුගතෝ ... මේ මහ කැලේ ඉන්න සත්තු ටික. උනුත් අපි වාගේම තමා. දරු මල්ලෝ හදනවා.." හීන්බණ්ඩා පිළිතුරු දුන්නේ ය. "මේ පෑවිල්ලේ සත්තු අල්ලගන්න අමාරුයි බං. උනුත් කුලප්පු වෙලා ඉන්නේ අපි වගේ.. අදවත් බලන්ට ඕන මොකක් හරි කරන්න" එසේ කියමින් හීන් බණ්ඩා මහ වනය තුලට ඇදී නොපෙනී ගියේ ය.

     තමන් සතුන්ට අවසන් ගමන් සලසා ඇති ස්ථාන හීන් බණ්ඩා හොඳාකාරව ම දනී. ඔහුගේ මෙවර තීරණය වනයේ තරමක් ඇතුලට වන්නට තුවක්කු කඳක් බැඳීම ය. වන සතුන් නිතර යන එන ජලාශයක් වනය මැදට වන්නට තිබෙනු හීන් බණ්ඩාගේ මතකයට නැගුණි. අඩිය ඉක්මන් කළ හීන් බණ්ඩාට එතැනට ඇඳිරි වැටීමට පෙර ලඟා වීමට හැකි විය. දැඩි පෑවුමක් වුවද එම ජලාශයේ වතුර සිඳී ගොස් නොතිබුණි. හක්ක පටස් දෙක තුනක් ඌරන් පැමිණෙතැයි සිතිය හැකි තැන් කිහිපයක තැබූ හීන් බණ්ඩා ආපසු පැමිණියේ තරමක් රෑ බෝ වූ බැවිනි. නමුත් වැඩි දුරක් ඒමට ඔහුට ඉඩ ලැබුනේ නැත. තමා පසු කර ආ ජලාශය දෙසින් විශාල ශබ්දයකින් හක්ක පටස් කරලක් පුපුරා යනු ඔහුට ඇසුණි. "ගම්භාර දෙයියන්ට ඉස්තූති වෙන්ට ඕන.." හීන් බණ්ඩාට ඉබේටම කියැවුණි. දැන් නම් ආපසු හිස් අතින් ගමට යාමේ අදහසක් ඔහු තුල නැත. ඔහු ආපසු හැරුනේ රෑ බෝ වී තිබුනත් තමන්ට ලැබුණු වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටයි. 

     වියලි කාලගුණය නිසා වනයේ ගස් කොලන් මැලවී ගොස් තිබුනේ වියලි කලාපයේ දේශගුණය සිහිපත් කරවමිනි. වනයට ඇතුළු වන කෙනෙකුට මේ සිංහරාජ වනය ම දැයි සැකයක් නැගෙන්නේ නිතැතිනි. ඉඳ හිට නැගෙන රැහැයියන්ගේ හඬ, බස්සෙකුගේ විලාපය හැරුණු විට වනාන්තරය රාත්‍රී කාලයේදී නම් ඉතා නිසංසල ය. රාත්‍රීය එලිය කරන චන්ද්‍රයා අහසේ පෙනෙන්නට නොතිබුණු අතර තිබුනේ තාරකා කිහිපයක ආලෝකය පමණි. අඳුරට හුරු හීන් බණ්ඩාගේ දෑස් වලට මෙය එතරම් නුහුරු අත්දැකීමක් නොවීය. පොකුණ අසලට ගිය හීන් බණ්ඩාට දැක ගත හැකි වූයේ මැරී වැටී සිටින වල් ඌරු නාම්බෙකි. ඔහුට දැනුන සතුට කියා නිම කළ නොහැක. නැවත වරක් මුදල් ටිකක් අතේ ගැවසෙන කාලය ළඟට ම පැමිණ ඇත. හීන් බණ්ඩා උමතු වූවෙකු මෙන් වල් ඌරා කරට ගෙන ගම දෙසට ආවේ සුනංගු වීම එතරම් හොඳ දෙයක් නොවන බැවිනි. ඔහුගේ අදහස වූයේ පසුදා පාන්දර ම ගැමියන් අවදි වීමටත් පෙර නගරයට යාම යි. නැතිනම් මස් වලින් කොටසක් ගමේ උදවියට ද දීමට හීන් බණ්ඩාට සිදු වේ. එබැවින් ගම හරහා නොගොස් වෙනත් පාරකින් නිවසට යාමට ඔහු අදහස් කළේ ය.

     රාත්‍රී කාලයේ තිබූ නිහැඬියාව බිඳිමින් මුළු ගමම දෙවනත් කරගෙන ගිනි කඳක හඬක් ඇසුනේ ගමේ සිට කිලෝමීටරයක් පමණ ඈතිනි. ඒ හඬට නොදෙවෙනිව ඇසුණු තවත් ශබ්දයකින් ගැමියෝ වික්‍ෂිප්ත වී ගියහ. ඒ මිනිසෙකුගේ විලාපයකි. කාට කාටත් මතක් වූයේ හීන් බණ්ඩා ය. නමුත් මේ මහ රෑ වනයට ඇතුළු වීමට කිසිවෙකු තුල ආත්ම ශක්තියක් නොවීය. කෙසේ වුවද අවසානයේ ගැමියෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුහු හඬ ආ දෙසට ගිය විට දුටු දර්ශනයෙන් අන්ද මන්ද වී ගියහ. හීන් බණ්ඩා ලේ විලක් මැද වල් ඌරෙකු ද බදා ගෙන පණ අදිමින් සිටියේ ය. ඔහුගේ කකුලේ උකුල් ඇටයට පහලින් සුනු විසුනු වී ගොස් තිබුණි. අධිකව රුධිරය වහනය වී තිබූ බැවින් ඔහුට වැඩි වේලාවක් ජීවත් වීමේ වාසනාව නොලැබුණි.

     පසු දා ගමේ ප්‍රධාන පුවත හීන් බණ්ඩා ය. 

"මෙච්චර කාලයක් වන සතෙකුට පාඩුවේ ඉන්න නොදීපු එකේ විපාකේ තමා බොල ඔය.. ඕකට තමා කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කරුමේ කියල.. මේ ලෝකෙදීම පල දෙනවා. ඕක වෙන්න තිබුනේ ඔයිට ඉස්සෙල්ල.." එක් ගැමියෙක් එසේ කීවේය. නමුත් ඔහු ද හීන් බණ්ඩා ගෙනා මස් කෑල්ලක රස බලා නැති දැයි සැක සහිතය.


ප.ලි.  ඔන්න ඉන්න ගමන් කතාවක් ලිව්වා..කියවලා බලලා අඩු පාඩු කියන්ට හොඳේ.....

Wednesday, August 28, 2013

මෙහෙමත් හොල්මන් ~_~


“ මං කාලයක් තිස්සේම මේ ඉසව්වේ තමයි හිටියේ...! හැමදාම මේ අහල පහල ගෙවල් වල ඇවිද ඇවිද හිටියේ. සමහර දා ට.... ඔව් සමහර දාට මහ රෑ පාර දිගේ ආපු මිනිස්සු මට බය උනා.. ඒත් මගෙන් ඒ කාටවත් කරදරයක් උනේ නෑ.....” මෙසේ ආවේශ වී කෑගසන කාන්තාවක් ගැන අපිට දැන ගන්නට ලැබිල දැන් වැඩි දවසක් නෑ. මේ ගැන මුළු ගම පුරා පමණක් නොවෙයි අහල ගම් වලටද පැතිරී යන්න ගත වුනේ සුළු කාලයක්...


හොල්මන් - අවතාර, පෙරේත කුම්භාණ්ඩයින් ගැන මගෙත් ඒ හැටි විශ්වාසයක් තිබුනේ නෑ. නමුත් අවිශ්වාස ම කලෙත් නෑ.. අවිශ්වාසයක් ගොඩනැගෙන්නට කාරණා සිද්ද වුනෙත් නෑ.. අප ජීවත් වන මේ පෘතුවි තලය මත අපට සමාන්තර තවත් බලවේග පවතින බවනම් යම් තාක් දුරකට විශ්වාස කලා. ඒත් ඒ ගැන හොයන්න නොගියේ එයින් පලක් වෙන්නේ නැති නිසා.... නමුත්, මේ ඇසූ දෙය ගැන නම් ටිකක් සොයා බලන්නට සිත ගියේ ඒක සිදු වුනේ අපේ ගම් ප්‍රදේශයේ නිසා. ඇරත්, මං නිතර දෙවේලේ යන එන පාරත් මේකට සම්භන්ධ වෙනවනේ..

මීට කලින් දවසක මගේ මිත්‍රයෙක් මුහුණ දුන්නු අපූරු සිද්දියක් ගැන කලින් ලිව්වපෝස්ටුවෙන් කිව්වනේ. ඒක සත්‍යම සිද්ධියක්. හැබැයි ඒකෙ මට කියන්න බැරිඋන කරුණක් තිබුනා. ඒක දැන් කියන්නම්. ඒ තමයි ඔය කියන පාරෙ මහ රෑ දහයට එකොළහට විතර හැමදාම වගේ ගමන් කරපු කෙනෙක් හිටියා. අර මං කලින් කියපු මිත්‍රයා රෑ දහයට විතර ඔය පාරෙන් ගියේ එහෙමත් දවසක තමා. ඒ වගේ දවසක තමයි අහම්බෙන් වගේ මේ සිදුවීමට මුහුණ දෙන්නේ... ඒත් මම මේ දැන් කියන්න හදන පුද්ගලයා එහෙම නෙවෙයි, නිතරම වාගේ ගෙදර එනකොට මහ රෑ යක්කු ගස් නගින ටයිම් එක. ඒත් මට දැන ගන්න ලැබුණු විදියට මෙයාටනම් කවදාවත් ඔය මළ මෝහිනී නම් මුණ ගැහිලා නෑ.. ඉදිරියේදී හම්බුවෙයිද දන්නෙත් නෑ.. දැන් කවුරුත් හිතනවා ඇති කවුද මේ පුද්ගලයා කියල.. ඒ පුද්ගලයා තමයි මම... :D

දැන් කවුරුත් බලයි මූ කොහෙද මේ මහ රෑ හැමදාම යන්නේ කියලා.. ඊට පස්සේ කියයි මේකා මේ බොරුවට යාලුවෙක් ව දාලා කියලා තියෙන්නෙ මුටම වෙච්චි සිද්ධියක් කියල. ඒම තමා අපේ අයියලා... මේකයි ඇත්ත සීන් එක.. විභාගෙත් ලියල ගෙදෙට්ට වෙලා නිකං බලාගෙන ( බකං නිලාගෙන ) ඉන්න කොට පොඩි පොඩි ක්ලාස් ටිකක් සෙට් උනා කරන්න.. ඇයි ඉතිං අපිව කියල මේ විස්ස විද්‍යාලයකට ගන්නවා කියලයෑ... කවද ගන්නද... ලබන අවුරුද්දෙවත්....?/ ඉතින් අන්තිමේදී ක්ලාස් ටිකක් වැඩි වෙලා නයිට් ක්ලාස් තුන හතරකුත් කරන්ට සිද්ද උනා.. ඔන්න ඔය වැඩේ හින්ද තමා මට හැමදාම රෑ වෙලා ඔය පාරෙ යන්ට එන්ට උනේ.. දඬු මොනර යානයත් තියෙන හින්දා ඒ හැටි ප්‍රශ්නයක් උනේ නෑ ඕන්. නිකං වෙලාවක නෙවෙයි දහයට එකොළහට විතර.. ඔය ඉඳලා හිටලා වල් ඌරු සෙට් එකක්, කල වැද්දෙක් දෙන්නෙක්... එහෙමත් නැත්තං හඳුන් දිවියෙක් එහෙම මගදී හම්බු උනාට කවුද හිතුවේ මේ වගේ උදවියත් මේ පාරෙ ඉන්නවය කියල.


ඔය සිද්දිය දැන ගත්තු වෙලේ මගේ ඇඟේ මවිල් ගස් ටික කෙලින් උනා කියල කිව්වොත් හරියටම හරි. ඔය කතාව කියල ඉවර උනාම මං උගෙන් ඇහුව ඇයි ඔය කතාව මට කිව්වේ කියල. ඊට පස්සේ මිනිහා කියපි උඹත් හැමදාම මේ පාරෙ යන එන එකානේ. ඒක හින්ද උඹේ හොඳටයි කිව්වේ කියල. මොකද්ද තියෙන හොඳේ මං අහන්නේ.. ඒ කතාව ඇහුවට පස්සේ මං හිටියේ නිකං පිස්සු හැදිලා වගේ. ඇත්තටම මං බය උනා. ඒ පාර කොච්චරටම භයානක ද කියල මටත් තේරුනේ ඔය කතාවෙන් පස්සේ. ඒත් පුදුමේ කියන්නේ මෙච්චර කල් එහෙම එකක් හිතුනේ නැති එකනෙ.


කොහොම හරි ඔන්න පහු වෙනිදත් නයිට් ක්ලාස් එකක් තිබුනා. උදේ පාන්දර ගෙදරින් ගිය එක ආයි ගෙදර එනකොට රෑ දහයත් පහුවෙනවා. දවසෙම ක්ලාස්. හොඳටම හෙම්බත් වෙලා තමයි ගෙදර එන්නෙත්. මං අපේ අම්මටත් මේ සිද්ධිය කිව්වා.. මං කොච්චර බයවෙලා හිටියද කියනවනම් අම්මට කිව්වා අද වෙන පාරකින් එන්නම් කියල. හැබැයි ඒ පාරෙන් ආවොත් බයික් එක මග දාලා තමයි එන්න වෙන්නේ. මොකද අපේ ගෙදරට වාහනයකින් එන්න පුළුවන් පාරකට තියෙන්නෙ ඔය හොල්මං පාර විතරයි. ඒකත් පාරක් නෙවෙයි. අම්මා කිව්වා මොකටද බය වෙන්නේ, ඔන්න ඔහේ ඉතිපිසෝ භගවා ගාථාව කිය කියා එන්න කියල. අම්ම කියයි. මමනේ එන්න ඕන තනියෙන්. මොනවා කරන්නද ඔන්න ඔහේ එනවා කියල හිතට දහිරිය අරං ( ජීවිතේට අරගෙන නෑ ඔහොම දහිරියක් ) ගියා පන්තියට.

 වෙනද වගේම පන්ති ටික අහවර වෙලා එනකොට දහය විතර වෙලා. ප්‍රධාන පාර දිගේ ඇවිදින් අතුරු පාරට හැරෙව්වා.. දැන් හාර්ට් එක බීට් වෙනවා හොඳට දැනෙනවා. පාලු රබර් වත්ත තව ටිකක් ඉස්සරහ. එතකං බය වෙන්න කාරී නෑ.. කෝකටත් කියල දැන්ම ඉඳල ඉතිපිසෝ භගවා කිය කියා ගියා.. බුදු ගුණ සිහි කරන කොට ඔය එක එක මෙව්වා පේන්නේ නෑ කියල මාත් අහල තියෙනවා. අන්තිමේදී මාරක පිම්මට ටික ටික කිට්ටු උනා. වෙනදා දැනුනේ නැති අමුතුම බයක් හිතට ආවා. හරියට හතර වටේටම ඉන්න රබර් ගස් ටික මගේ දිහා බලාගෙන හිටියේ නිකං මාව ගිලින්න වගේ. යන්න පුලුවන් උපරිම වේගෙන් යන්න හැදුවේ. කොහේ යන්නද කොන්ක්‍රීට් කට්ටේ පටන් ගන්නේ තව ටිකක් ඉස්සරහින්.. එතකං ඉතිං වලව සුපර් ක්‍රොස් යනවා වගේ තමයි පාර... එක පාරටම පිටිපස්සෙන් ලොකු එළියක් මතු උනා. මට ඇති වෙච්චි සතුට කොච්චරද කියනවනම්.. දෙයියනේ බයික් එකක්!! ඒත් මට එච්චරම ෂුවර් නෑ. මේකත් හොල්මනක්ද දන්නේ නැහැනේ. හිමිහිට ඉස්සර කරලා යන්න දීල මං පස්සෙන් ගියා. මෙච්චර වෙලා තිබුණු බය මටත් නොකියාම ගිහිල්ල නොවැ.



කොහොමහරි එදා අර බයික් එක හම්බු උනේ නැත්තං මොනවා වෙයිද කියල හිතාගන්න බෑ. ඇයි බය වැඩි කමට රටේ නැති හොල්මං පේන්න තිබුනා. කොහොම හරි ඔහොම දවස් දෙක තුනක්ම ටිකක් බයෙන් ගියාට බුදු ගුණ බලේ නිසාද කොහෙද මටනම් මොකෙක්වත් පෙනුනේ නෑ.. ටික ටික ඔය බය ඇරිලා ගිහිං පරණ පුරුදු තාලෙටම ආවා.. අර හැමදාම දකින කුකුලගේ මොකද්ද එකක් ගැන කියන්නේ. අන්න ඒ වගේ තමයි. ටික ටික කාලේ ගෙවිල ගිහිං උසස් පෙළ විභාගෙත් පටන් ගත්තනේ. ඊට පස්සෙනම් නයිට් ක්ලාස් ටික ටික අඩු වෙලා ගියා. යන්තන් බ්ලොග් එකත් ලියන්න වෙලාවක් හම්බු උනා. ඒත් දැනුත් ඉඳල හිටලා නයිට් ක්ලාස් එකක් දෙකක් තිබුනට දැන් හිතේ බයක් නෑ... හිතේ බය තමයි ඔය ඔක්කොටම...


thethreewisemonkeys.com


ඔන්න ඔය අතරේ තමයි අලුත් ම සිද්ධිය කරලියට ආවේ. ඒක තමයි ඔය පටන් ගන්නකොටම දාල තියෙන්නෙ. ඔය සිදුවීම් පෙළ සිද්ධ වෙච්ච රබර් වත්ත කිට්ටුව තියෙන ගෙවල් අතලොස්සෙන් එක ගෙදරක හිටපු කාන්තාවකට තමයි මේ දේ වෙලා තියෙන්නෙ. ඒ හැටි වයසක ඉන්න කෙනෙක් නෙවෙයි මට වඩා අවුරුදු තුන හතරක් වැඩිමල් ඇති ඔන්න. එයා හිටිගමන් උදේ වෙලාවක ආවේශ වෙලා කියවන්න පටන් ගත්ත කියල තමයි ගෙදර උදවිය කියන්නේ. ඒ තරුණ කාන්තාව කියවන විදියට එයාට ආවේශ වෙලා තියෙන්නෙ එයාගෙම අම්මා. ඇය මීට අවුරුදු කිහිපයකට කලින් මොකක් හෝ හේතුවකට වහ බීලා මිය ගියා. මට මේක ඊයේ පෙරේදා දැන ගන්න ලැබුනට ඔය හොල්මන් කතන්දරේ එදා ඉඳන්ම මේ රබර් වත්ත පුරා තිබිල තියෙනවා. මතක් වෙනකොටත් ඇඟ හීතල වෙලා යනවා. බොහෝ දෙනෙක් මේ ආවේශ වෙලා ඉන්න කාන්තාවට කියල සාස්තර අහ ගන්නට ය කියල ගියා. මොකද හොල්මනක්නේ.. හැම දෙයක්ම තත්පර දෙකෙන් හොයල ඇවිල්ල කියයි. ඒ ගියපු උදවිය අතරේ මේ මිය ගිය කාන්තාව ජීවත් ව හිටපු කාලේ ළඟින්ම ඇසුරු කරපු අයත් හිටියා.. ඒ අයව හරිම පහසුවෙන් හඳුන ගන්න විතරක් නෙවෙයි පවුලේ විස්තරයි ආපු ගියපු තැනුයි හරියට බලාගෙන හිටියා වගේ කියන්න මෙයාට පුළුවන් වෙලා තියෙනවා. අනේ මන්දා මේ ඇත්තද බොරුද කියල හිතා ගන්ට බෑ. මොකද මට ඔතනට යන්න බැරි උනානේ. මිනිස්සු කියන ඒවා එක පාරටම විශ්වාස කරන්නත් බෑ.. ඒත් හැමෝම කියන එකේ අවිශ්වාස කරන්නත් බෑ.. මං කොහොම හරි බලන් හිටියේ මේ කියන කෙනා ඔය ප්‍රදේශේ අත ඇරලා යන්නේ කවද්ද කියල.

ඔන්න මගේ බලාපොරොත්තු ඉහල නංවමින් එක දවසක් මේ කාන්තාව කියල තිබුනා එයා මේ ඔක්කොම අතෑරලා යන්නම යනවා කියල ආයි කවදාවත්ම නොඑන්න. එයා දවසකුත් කියල තිබුනා. කොහොම හරි අපි බලන් හිටියේ එදාට යන්නම යයි ද කියල. මතක හැටියට මාසේ පෝය දවසකද කොහෙද.. කිව්වා වගේම අර ආවේශයෙන් කියව කියව හිටපු කාන්තාවට ආපහු සිහිය ඇවිල්ලා. හොල්මනත් ගියපු ලකුණු තමයි පේන්න තිබුනේ. ඊට පස්සේ ඔය රබර් වත්ත එහෙම ටිකක් එලි කරලා හැදුවා හැමෝම එකතු වෙලා. දැන්නම් ඒ හැටි බයක් හිතෙන මූණක් නෑ..



මේ ඊයේ පෙරේදා අලුත් ආරංචියක් ගම වටේ ගියා. ඒ තමයි අර කලින් ආවේශ වුනු කාන්තාව ආයෙමත් සැරයක් ආවේශ වෙලා.. මේ පාරනම් අම්මා නෙවෙයි.. ඊටත් කලින් මැරිච්ච ආච්චි කෙනෙක්ලු......!!


Thursday, August 22, 2013

෴ ෴ හොල්මන් ෴ ෴

   මෙය මගේ මිතුරෙකු ලැබූ අත්දැකීමක්. අපේ ගම තිබෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර කිහිපයක් ඇතුලට වන්නට ය. ගම කිව්වට එක ගමක් නොව ගම් කිහිපයක්..... ඉතින් ඔය මහ පාරට යන්නට මාර්ග කිහිපයක්ම තියෙනවා. එයින් ප්‍රධානම මාර්ගය වැටිලා තියෙන්නේ මහ විශාල රබර් වත්තක් මැදින්... රබර් වත්තක් කිව්වම ඉතින් ජනාකීර්ණ ප්‍රදේශයක් නෙවෙයි කියල කාටවත් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. මේ විශාල රබර් වත්ත මැදින් වැටිලා තියෙන මාර්ගය කොන්ක්‍රීට් දාලා එහෙම හොඳට හදල තියෙන්නෙ.. හැම පැත්තෙන්ම පාර වෙලා ගෙන තියෙන සුවිසල් රබර් ගස් නිසා මේ පාරට මහ දවල් දොළහටවත් ඒ හැටි ඉර එළියක් නැති තරම්. ඉතින් ඔය පාරේ මහ දවල් පවා තනියම පයින් ඇවිද ගෙන යද්දී අමුතුම චකිතයක් ඇතිවෙන්නේ. ඒත් දවල්ට මිනිස්සු ටිකක් ඉන්න නිසා ඒ හැටි ප්‍රශ්නයක් නෑ.




    මේ වත්ත කෙලවරේ තියෙන්නෙ තුන්මං හන්දියක්. එයින් එක පාරකින් තමා අපේ ගෙවල් දිහාට එන්න තියෙන්නෙ. මේ කතාව කියන අපේ මිත්‍රයාත් අපේ ගෙවල් කිට්ටුවම ඉන්න කෙනෙක්. එයා නිතරම වගේ රෑ බෝ වෙලා ඔය පාරෙන් බයික් එකෙන් යනවා. ඉතින් නිතර දෙවේලේ යන නිසා ඒ හැටි ගානකුත් නෑ. ඔය කියන දවසෙත් මිනිහා ඔතනින් මහ පාරට ගිහින් තියෙනවා. එතකොට වෙලාව රෑ 10 ට විතර ඇති කියල තමා කිව්වේ. දහයට විතරනම් බලු බල්ලෙක්වත් නෑ පාරෙ.. ඔහොම යනකොට අර මම කලින් කිව්ව තුන්මං හන්දිය තමා මුලින්ම හම්බු වෙන්නේ. ඔය තුන්මං හන්දියෙන් පස්සේ තමා පාර කොන්ක්‍රීට් කරලා තියෙන්නෙ. තුන්මං හන්දිය දක්වා පාර අබලන්. මෙයා ඈත ඉඳලම දැකලා තියෙනවා ඔය කියන තුන්මං හන්දිය ළඟ සුදු පාටට ඇඳ ගත්තු කෙනෙක් ඉන්නවා. ඒත් මෙයා ඒක එච්චරටම ගණන් අරගෙන නෑ. මොකද ඔය හන්දිය උඩ තියෙන කන්දේ මුදුනේ ගෙයක් තියෙනවා. ඒ ගෙදර කෙනෙක්වත් වෙන්න ඇති කියල මෙයා හිතල තියෙන්නෙ. තවත් ටිකක ළඟට ගිහිල්ලා බලපුවාම දැකපු දෙයින් මිනිහගේ රෝම කෙලින් වෙලා.


www.livescience.com


    සුදු පාට ගවුමක් ඇඳ ගත්තු කාන්තාවක්. කොන්ඩේ කඩා වැටිලා. මූණ හරියටම බලාගන්ට බැරි වෙලා.... ටිකෙන් ටික රබර් කෑල්ල මැද්දෙන් පාර දිගේ පල්ලෙහාට ගිහින් තියෙනවා. මේකාගේ සරුවාංගෙම හීතල වෙලා ගියාලු. ගෑනු කෙනාගේ අතේ මොනවා හරි තිබිලා තියෙනවා. ඒ මොනවද කියල පෙනුනේ නැහැලු. මිනිහට හිතුනලු මොහිනීවත් ද කියල. කොහොම හරි බයික් එකේ එලියට මේ ඔක්කොම ලස්සනට පෙනිලා. ටිකෙන් ටික ඉදිරියට ගිය මේ කාන්තාව වංගුවකින් නොපෙනී ගිහින් තියෙනවා. දැන් මෙයාටත් කර ගන්න දෙයක් නෑ.. මිනිහාට ඕනි පාරට යන්න. මේ කාන්තාවත් ගියේ ඒ පැත්තටමයි. ආපහු හරවාගෙන එන්න හිතුනත් ගියේ අත්‍යවශ්‍ය වැඩකට නිසා, නොගිහිනුත් බැරි නිසා ඕන දෙයක් වෙච්චදෙන් කියල හිමිහිට ඉස්සරහට ගිහින් තියෙනවා. වංගුව හරවනවාත් සමගම මෝටර් සයිකලය ඉද්ද ගැහුවා වගේ නතර උනාලු. බ්රේක් ගැහුවද නැතිනම් ගැහුනද කියල තාමත් හිතාගන්න බැරිලු...

   මෙතෙක් වෙලා ඈතින් සිට නැරඹු චිත්‍රය දැන් තමා ඉදිරියෙන් තමන් ලඟින්ම තිබෙනු ඔහු දැක ඇත. තමන්ට අඩි කිහිපයක් ඉදිරියෙන් පිටුපස හැරී සිටි කාන්තාව දුටු ඔහුගේ අත් සහ කකුල් හිරි වැටී ගිය බව ඔහු මා සමග පැවසීය..  එවෙලේ ඉතිපිසෝ භගවා... " ගාථාව කිව්වේ නැද්දැයි මම ඇසූ විට ඔහු කිව්වේ, " ඒ වෙලාවේ ඕවා මතක් උනේ නෑ බං " යනුවෙනි. කොන්ක්‍රීට් පාර මැද නතර වී සිටි මෙම කාන්තාව එකවරම හිස හරවා ඔහු දෙස බලා ඇත.. " එතකොට තමයි මට මූණ බලා ගන්න පුළුවන් උනේ. රතු ම රතු පාටයි.. වැඩි වයසකුත් නෑ.. මගේ දිහා රවල වගේ බැලුවේ.." ඔය තියෙන්නෙ මිනිහාගේම වචන..

     "ඉතිං උබට ළමය එහෙම දුන්නේ නැද්ද වඩාගන්න කියල.."

     " උඹ මේ ළමයි ගැන කතා කරනවා. මම බයේ හිටියේ ඇවිල්ල බයික් එකටවත් නගියිද කියල,.. "

   ඉන්පසු එම කාන්තාව ටිකෙන් ටික ඈතට ගමන් කර නොපෙනී ගොස් ඇත.. ඔහුද සෙමින් සෙමින් ඉදිරියට ගොස් ඇත. ක්‍රමයෙන් රබර් වත්ත අවසන් වූ පසු නිවාස කිහිපයක් හමු වේ.. එතැන් සිට එම අවතාරය ඔහු ඉදිරියේ පෙනී සිට නැත.

   කොහොම උනත් මිනිහා සති දෙක තුනක් යනකන් ආයිමත් ඔය පාරෙන්නම් ඇවිල්ල නැහැ. දැන් නම් ආයිමත් එනවා. ඒත් ඊට පස්සේ ඒ කාන්තාව හම්බ වෙලා නැහැ. 

   ඔය වගේ දෙයක් දකින්න යම් පුද්ගලයෙක් ගේ හිතේ ඒ වෙලාවේ තියෙන සිතුවිලි ගොඩක් බලපානවා. මට ඒ දේ හොඳටම තේරුනේ ඔහු මට ඊට පස්සේ කියපු දෙයින්. එයා ඔය කාන්තාව දැකපු දවසේ හවස මිනිහ අඳුරන දෙතුන් දෙනෙක්ම කියල තියෙනවා ඔය රබර් කෑල්ල හරියේ 'හොල්මන්' තියෙනවාය කියල. ඉතින් රෑ වෙලා එතනින් යනකොට මෙයාට අර කලින් කිව්ව දේ මතක් වෙලා තියෙනවා. හැබැයි ඔය දේවල් දකින්න හිත විතරක්ම බලපානවා කියන්නත් බෑ..

    පස්සේ ආරංචි කරලා බලපුවාම මේ දේ කිහිප දෙනෙක්ම දැකල තියෙනවා. සමහරු තවමත් රෑ බෝ වී ඒ පාරෙන් එන්නේ නෑ.. හැබැයි දැන ගන්න ලැබුන දේ තමයි, මේ කාන්තාවගෙන් කාටවත්ම කිසිම හිරිහැරයක් නෑ..

    තවත් දවසක් මේ පාරෙ රෑ බෝ වී තනියම පයින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුත් මෙම ස්ත්‍රිය දැකල තියෙනව. ඇය ඔහු ළඟට පැමිණ අසා තිබෙන්නේ මල්ලී හැමදාම මේ පාරෙන්ද යන්නේ යනුවෙනි... ඔය පාරෙ රෑ වෙලා එන සමහරු නම් කියන්නේ තමන්ට හැමදාම වාගේ මේ ස්ත්‍රිය මුණ ගැසෙන බවයි. නිතර දෙවේලේ දකින බැවින් දැන් එතරම් බියක් නැතැයි ඔවුහු කියති...

මේ ඇත්තටම කව්ද කියල හොයා ගන්න පස්සේ පුළුවන් උනා... ඒක ඉස්සරහට ලියන්නම්..

Monday, August 12, 2013

ඩොට් නෙට් ෆ්රෙම් වර්ක් මල ඉලව්ව.......


    වින්දෝරෙ මාමලාත් ඔන්න අලුත් ජනේලයක් හදලනෙ... ඉතින් මටත් හිතුනා හන්තානෙට පෙම් බඳින ගමන් ඔය අටවෙනියට හදාපු ජනේලෙ ඇතුලෙනුත් රිංගල ගිහින් ඇතුලෙ වෙන්නෙ මොනාද කියල බලල එන්න.. ඒත් ඇතුලෙ පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ තමා .net Framework හුට පටයක් ඇති වීම.

    වින්ඩෝස් 8 වල අන්තර්ගත කරල තියෙන්නෙ .net Framework 4.5  කියන වර්ශන් එක. ඒක අලුත්ම වර්ශන් එකක්. ඒත් සමහර මෘදුකාංග වලට .net Framework 3.5 හෝ ඊට පෙර සංස්කරනයක් ඉල්ලනව. “එන්කාර්ටා” , “බ්‍රිටැනිකා” ආදිය ඒවායින් සමහරක්. මාත් ඉතින් වින්ඩෝස් 8 දාපු ගමන්ම අහු උනේ ලෙඩක් තමයි. කොහොමහරි ඉතිං ගූගල් දෙයියන්ගේ උදව්වෙන් විසඳුමක් හොයා ගත්තා. අනිත් අයටත් උදව්වක් වෙයි කියල ඔන්න මේකෙත් දැම්මා...
 
    .net Framework 3.5 වින්ඩෝස් 8 වල ඉන්ස්ටෝල් නොවුනද එය වින්ඩෝස් 8 DVD එකේ තිබේ. අප කල යුත්තේ එය සොයාගෙන ඉන්ස්ටෝල් කිරීමය. මුලින්ම ඔබ ලඟ තිබෙන වින්ඩෝස් 8 DVD එක ඔබේ පරිගනකයෙ DVD රොම් එකට දමන්න. ඔබේ පරිගනකයේ වින්ඩෝස් 8 ඉමේජ් ෆයිල් එකක් තිබෙනම් එය මවුන්ට් කිරීම වුවද කල හැක. අපට උවමනා කරන .net Framework ගොනු ඇත්තේ G:\sources\sxs නම් ෆෝල්ඩරය තුලය.  (සැ..යු : ඔබ විසින් මෙහි කිසිවක් සිදු කිරීම අවශ්‍ය නොවේ)   මෙහි මා G:\ යනුවෙන් දක්වා ඇත්තෙ වින්ඩෝස් 8 DVD එක ඕපන් වී ඇති ඩ්‍රයිව් එක වේ. එය ඔබේ පරිගනකය තුල වෙනස් විය හැක.






   කරන්න තියෙන්නේ මෙච්චරයි... මුලින්ම Command Prompt එක ඕපන් කරගන්න ඕන. ඕපන් කල යුත්තේ  Administrative Privileges යටතේ.. ඒකට Command Prompt අයිකන් එක මත රයිට් ක්ලික් කල විට ලැබෙන මෙනු එකෙන් Run as administrator යන්න තෝරන්න ඕන. ඊට පස්සෙ පහලින් තියෙන command  එක කොපි කරලා Command Prompt වින්ඩෝ එකට පේස්ට් කර Enter කරන්න.


 
Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source:G:\sources\sxs /LimitAccess
 
   මෙහි G:\sources\ යන්නෙහි G  ලෙස දක්වා ඇත්තේ වින්ඩෝස් 8 DVD එක ඕපන් වී ඇති ඩ්‍රයිව් එක වේ. එය ඔබේ පරිගනකය තුල වෙනස් විය හැක.
 
    දැන් ඔබේ පරිගනකයට .net Framework 3.5  ඉන්ස්ටෝල් වී ඇත. සැක හැර දැනගැනීමට අවැසිනම් Control Panel වෙත ගොස් එහි Programs හි වම් පස ඉහලින් ඇති Turn Windows features on or off යන්න ක්ලික් කරන්න. එවිට පහත රූපයේ පරිදි එහි .NET Framework 3.5 යන්න ඉදිරියෙන් ඇති චෙක්ස් බොක්ස් එක සිලෙක්ට් වී තිබෙනු දැකිය හැක.  මීට පෙර එසේ සිලෙක්ට් වී නොමැත. දැන් ඔබේ මෙහෙයුම සාර්ථක ය. මෘදුකාංග ස්ථාපනය කිරීමේදී ගැටලු මතු නොවේ...
 

ප.ලි :  අ.පො.ස උසස් පෙළ සහ අ.පො.ස සාමාන්‍ය පෙළ  නවතම ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට අපේ අලුත් පිටුවට එකතු වන්න http://csklanka.blogspot.com/p/blog-page_6.html




Saturday, June 8, 2013

ඈත හිමේ නෑසූ කතා.......


සමනල අඩවිය ගැන කලින් පෝස්ටුවක කිව්වා මතක ඇති. මේ ලියන්නේ එහි අනෙක් කොටස. සිරිපා අඩවිය ගැන බොහෝ දෙනා ඇසූ නෑසූ කතා අපමණ තිබේ. මෙවැනි කතා බොහොමයක් සිරිපා අඩවිය අවට ගම්මාන වල ඉන්න වැඩිහිටි උදවිය දන්නවා. මේ ලියන්නේ ඒවායින් මට පුවත්පත් කිහිපයකින් ලැබුණු කිහිපයක්..


1. 
සමනළ අඩවිය කියල කියන්නේ මැණික් වලින් පොහොසත් වෙච්චි ප්‍රදේශයක්. ඒ නිසා අතීතයේ වගේම වර්තමානයේත් මැණික් ඉල්ලම් හොයාගෙන ඈත හිමේ කරක්ගහන උදවිය ඕනෑතරම් සිටිති. මේක ඒ වගේ කතාවක්. මේ කතා සියල්ල කියන්නේ සමනල අඩවිය අවට ගම්මාන වල ඉන්න වැඩිහිටි උදවිය.
‘‘කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැ`දුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට  ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපුමහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ.’’
‘‘
මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ `දලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ.’’
‘‘
ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ පිස්සුවෙන්ම මිනිහා මැරුනා’’ සිරිපා හිමේ හාස්කම් එහෙමයි.


 

2. සමන් දෙවිඳුන්ගේ වාහනේ සුදු ඇත් රජෙක් කියලා ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒනිසා හිමේ අලි,කොටි, වලස්සු, වගේ භයානක සිවුපාවුන් වගේම නයි පොළොන්ගු වගේ සර්පයොත්, දිවිමකුලූවොත් ඉන්න බවට ජනතාවගේ විශ්වාසයක් තියනවා. වුනාට සමනල අඩවියෙදි මේ සත්තු ඇහැට දැක්ක අය හරිම අඩුයි.
වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි බට `දුර බි`දින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.


3. සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ඇත. අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි.
සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.

 4.
සමනොළ කන්ද මුදුනේ බුදුරදුන්ගේ සිරිපා සටහන ලෙස බෞද්ධයන් වැද පුදන අතර හින්දුන් සලකන්නේ ‘‘ශවනොලි පාදම්’’ ලෙසය. එනම් හින්දුන්ගේ වන්දනාමානයට පත්වූ ‘‘ශිව’’දෙවි`දු පැමිණි ස්ථානයක් ලෙසය. එසේම මුස්ලිම්වරු ‘‘ආදම්ගේ පා’’ සලකුණ මෙහි ඇතැයි සලකා වන්දනාමාන කිරීමට පැමිණෙති. මේ කවුරු ආවත් සිරිපා අඩවියට පැමිණිය යුත්තේ සියලූ දුසිරිත්වලින් වැළකීමෙන්ය. නිසා සිරිපා අඩවිය ශුද්ධ භූමියකැයි යන මතය ජනතාවගෙන් ඈත් කළ නොහැක. අශුද්ධවන්තයන්ට හෝ කට වරද්දා ගන්නා පුද්ගලයන්ට මේ අඩවියේ දී විවිධ අකරතැබ්බවලට මුහුණ පාන්නට සිදුවූ කතා පුවත් සිරිපා අඩවිය අවට විවිධ ප‍්‍රදේශවලින් විවිධ ආකාරයෙන් අසන්නට ලැබේ.

  තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු බෙලිහුල්ඔය - බගවන්තලාව මාර්ගය ඔස්සේ ( සීතාඑළිය කැලෑව හරහා ඇති දුෂ්කර මාර්ගයකි ) සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්‍යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවී ඇත. .


5. සමනළ අඩවියේ හාස්කම් වලට ලක් වුනු සුද්දන්ගේ කතා ද අපමණය..
1944 දී කිංස්ටන් නමැති යුරෝපීය ජාතිකයා ප‍්‍රමුඛ පිරිසක් සිරිපා කරුණාකරද්දී මුහුණපෑමට සිදුවු අපූරු සිදුවීමක් ගැන පසුකලක විලියම් ස්කින්ස් සටහන්කර තිබුනේ ඔහුගේ ‘‘ඇඩම්ස්පීක්’’ පොතේය. සිරිපා අඩවිය ගැන බෞද්ධයන් දැක්වූ ඇතැම් විශ්වාස බටහිර රටවල ජනතාව විශ්වාස නොකළහ. එකල මේ රට පාලනය කළ ඇතැම් සුදු පාලකයන් සිරිපා කරුණා කරන්නට ඇති ආශාව නිසා එහි පැමිණිය ඔවුන් තමන්ගේ සුපුරුදු චාරිත‍්‍ර අත්නොහැරියේය. මේ නිසා මත්පැන්, මාංශමය ආහාර ආදිය සිරිපා අඩවියට රැුගෙන යාමට ඔවුන් අමතක නොකළහ. කිංස්ටන් මේ සිරිපා ගමනේ දී තම ප‍්‍රයෝජනයට බ‍්‍රැන්ඩි සහ බියර් වැනි පිටරට නිෂ්පාදිත මත්පැන් වර්ගද බේකන් රැගෙන ගොස් තිබුණි. මේවා සිරිපා අඩවියට අකැප දේවල් යැයි ඔහුට කියන්නට එදා ඔහුගේ ගමනට එක්ව සිටි අතවැසියෝ බියවූහ. පිරිස පලාබද්දල පාරේ දියබෙත්මේ තිබූ අම්බලමේ එක් දිනක් රාත‍්‍රිය ගත කරන්නට තෝරාගෙන තිබුණේ එතැනට එනවිට සවස් වී තිබූ නිසාය.
මේ අම්බලමේ මැස්සක් කිංස්ටන්ට අලූතින් සාදා තිබුණි. ඔහු බේකන් සමග පාන් කෑල්ලක් කා බ‍්‍රැන්ඩි ටිකක් පානය කර නින්දට යන්නට මැස්සේ වැතිරුන රාත‍්‍රිය පුරාම ඔහුට නොයෙක් විකාර ශබ්ද මෙන්ම රූප පෙනෙන්නට විය.ඔහු සමග ගමනට එක්ව සිටි අතවැසි සියලූ දෙනා අම්බලමේ ගෙබිම මත තද ශීතලේ ගුලිවී ගොර අදිමින් නිදද්දී කිංස්ටන් මැස්සේ මේ අත පෙරළෙන්නට විය. නින්ද යාගෙන එද්දී අම්බලමේ බිත්තිය එහා පැත්තේ වල් අලින්ගේ `ඩින් තිගැස්සී අවදිවෙයි. අම්බලමක් නිසා දොර ජනෙල් එහි නොවීම  කිංස්ටන්ගේ බිය තවතවත් වැඩි වන්නට විය. කල්පනාවේ සිටියදී යළිත් යන්තම් දෑස් පියවෙන විට ඔහු තිගැස්සි අවදිවූයේ චීටාගේ හඩ ඇසීමෙනි. මේ ආකාරයට කැලෑ බළලූන් වලි කුකුල්ලූ හා වෙනත් සතුන්ගේ කෑ ගැසීම් නිසා කිංස්ටන් එදින රැය පහන් කළේ නිදි වර්ජිතවය. මේ හඩවලට ඔහු කොතරම් බියවීද යත් ඔහුගේ බස්තම අත ආසන්නයේ තබාගෙන මැස්සේ වැතිර සිටියේය. නමුත් ඔහුගේ අතවැසියන් කිසිවෙකුටත් මේ ශබ්ද නොඇසී තිබූ අතර ඔවුන්ට හොදින් නින්දගොස් තිබුණි.ඔහු සමග ගිය සෙසු අතවැසියන් කීවේ සිරිපා අඩවියේ අකැප දේවල් අනුභව කිරීම විකාර පෙනෙන්නට හේතුවක් වන්නට ඇතිබවයි. මේ අතර සිරිපා අඩවියට ආසන්නව යම් වැදගත් පුද්ගලයෙක් ජීවත් වෙද්දී යමෙකුට රාත‍්‍රියේ තුන්වරක් මහා හඩක් ඇසුනොත් එකී වැදගත් පුද්ගලයාගේ මරණය සිදුවන බවට දැනට වසර එකසිය පනහත් දෙසීයත් අතර කාලයක විශ්වාසයක්ව පැවතිනි.