Saturday, December 15, 2012

පිටසක්වලයින් ඇත්තටම ඇවිල්ලද?



       දැන් ඉතින් 2012 දෙසැම්බර් මස 21 වැනිදාටත් බොහෝම ළඟයිනෙ. සමහර අය ටිකක් විතර බය වෙලා ඇත්තේ මොකද ලෝක විනාසයක් එනවලුනේ. මං මේ කතා කරන්නට හදන්නේ ඔය ලෝක විනාසේ ගැන නෙවෙයි. දැන් දැන් අපේ රටේ ලොකු මාතෘකාවක් වී ගෙන එන මේ පිටසක්වල හබේ ගැන. ඇත්තටම මේ පිටසක්වළ ජීවයක් තියෙනවද? ඒක අද ගොඩක් දෙනෙක් අතර තියෙන ප්‍රශ්නයක්. හිතුන ටිකක් මේ ගැන හොයල බලන්ට.

ඉස්සෙල්ලම කියන්න ඕන පිටසක්වලයින් ගැන තියෙන ගොඩක් කතා එක්කෝ කට කතා නැත්තන් කිසිම විද්‍යාත්මක සාක්ෂියකින් තොර ඒවා. ඒත් මේ අස්සේ හොඳින් ඔප්පු කරලා පෙන්නපු සිදුවීම් පවා තියෙනවා. මේ දවස් වල ලංකාවේ බොහෝ තැන්වල අහසේ විවිධ එළි දැක්ක කියල විවිධ ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම මේ සිදු වීම් බොරුය කියල ඒක සැරේටම අහක දාන්නත් බෑ. කොහොම හරි ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකේ බොහෝ රටවල් වලින් විවිධ ආකාරයේ අරුම පුදුම සිදුවීම් මේ ගැන අහන්ට ලැබෙනවා.



 මම මේ ගැන කතා කරන්න ආරම්භයක් ගන්නට හිතුවේ බුදු දහමෙන්. ඇත්තටම මම හිතන විදියට මේ පිටසක්වල ජීවය ගැන තොරතුරු ගොඩක් අපිට බුදු දහම ඇසුරෙන් ලබා ගන්නට පුළුවන්. එකල, එනම් බුද්ධ කාලීන භාරතයේ මෙවන් ජීවින් ගැන එනම් අහසින් පැමිණියවුන් ගැන විවිධ කතා හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ ද තමන් වහන්සේගේ සුත්‍ර දේශනා වල අපේ ලෝකයට පරිභාහිර වෙනත් ලෝක ගැන සඳහන් කොට තිබෙනවා. සදෙව් ලොව, බ්‍රහ්ම ලෝක වැනි ඉතා දියුණු ජීවින් ජීවත් වන ලෝක ගැන බුදු දහමේ සඳහන් වෙනවා. මින් බ්‍රහ්ම ලෝක ප්‍රමුඛ වන බවද සඳහන් වෙනවා. රූපාවචර හා අරූපාවචර ලෙස බ්‍රහ්ම ලෝක ප්‍රධාන ආකාර දෙකකින් යුක්ත වේ. මේවායේ මිනිසාට වඩා දියුණු ජීවින් ජීවත් වේ. එපමණක් නොවේ, එම දියුණු ජීවින් අතීතයේ සිටම අපගේ ලොවත් සමඟ ගනු දෙනු කරමින් සිටී. මෙයට සාක්ෂි ඕනෑ තරම් බුදු දහමෙන් සොයාගත හැක. සම්බුද්ධ සුත්‍ර දේශනා වල සඳහන් වන පරිදි, බුදු රජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමට දෙව් බඹුන් පවා පැමිණ තිබේ. ඔවුන් බුදුන් වැඩසිටි ආරාමයට ඉහළ අහස බුබුළුවමින් පැමිණි බව එම සූත්‍ර දේශනා වල සඳහන් වෙනවා. එපමණක්ම නොවේ. ප්‍රේත, අසුර ලෝක හා යම ලොව වැනි පහත් ජීවින් සිටින ලෝක ගැනද බුදු දහමේ සඳහන් වෙනවා. බුදු රජාණන් වහන්සේ මේ බොහෝ ලෝක වෙත වැඩම කළ බවද සඳහන් වෙනවා. එමෙන්ම බුදු රදුන් තමන් වහන්සේගේ දින චර්යාවේ එක් අංගයක් ලෙස දෙව් බඹුන්ට ධර්මය දේශනා කිරීමට වෙනම කාලයක් යොදවා ගෙන ද තිබෙනවා. 

වෙනත් ආගම් වලින්ද මේ පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැක. කතෝලික ආගමේ සර්වබලධාරි දෙවි කෙනෙක් ගැන සඳහන් වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේව පුත්‍රයෙක් ලෙස සලකා ඔවුන් ගරු කරති. එමෙන්ම හින්දු ආගමේ ද විවිධ දෙවිවරු ගැන සඳහන් වේ. ඉස්ලාම් ධර්මයේද එලෙසමය. නබි නායක තුමා යනු දේව වරම් ලද පුද්ගලයෙක් බව ඔවුහු අදහති. මේ සියල්ලම සැලකු විට අතීතයේ සිටම වෙනත් ලෝක වල ජීවින් පෘතුවි වාසීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව පෙනී යයි.

බුදු දහමේ පමණක් නොවේ, වර්තමාන දියුණු තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් විද්‍යාඥයන් ද සොයා ගෙන ඇති පරිදි මේ මුළු මහත් වූ විශ්වය අනන්තය, අප්‍රමාණය. එසේ අපරිමාණ වූ මේ විශ්වයේ අප ජීවත් වන මේ සෞරග්‍රහ මණ්ඩලය නිකං දුහුවිලි අංශුවක් තරම් පමණක් වනවා ඇත. අපට ජීවය දෙන සුර්යයා වැනි තවත් විශාල වූ තාරකාවෝ මිලියන ගණනක් මේ විශ්වයේ ඇත. එනම් අපේ සෞරග්‍රහ මණ්ඩලය වැනි තවත් ග්‍රහ මණ්ඩල මෙපමණකැයි කිව නොහැකි තරමක් මේ විශ්වයේ තිබිය හැක. ඒවායේ දියුණු ජීවින් කොපමණ ඇත්ද. ඔවුන් ද අප ගැන විපරමෙන් සිටිනවා විය හැක. 

අප ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලයේ නම් වෙනත් ග්‍රහ ලොවක ජීවින් නැති බව දැන් මිනිසා දනී. එහෙත් ඒවායේද යම් දිනක මිනිසාට ජීවත් විය හැකි පරිසර නිර්මාණය කළ හැකි බව සොයා ගෙන ඇත. උදාහරණයක් ලෙස ලෙස බ්‍රහස්පති ග්‍රහයාගේ උප ග්‍රහයින් වන ගැනිමීඩ් හා අයෝ වැනි ග්‍රහයින් සැලකිය හැක. නමුත් හැමෝගෙම හිතට නැගෙන ප්‍රශ්නය වන්නේ මෙය නොවේ. මේ පිටසක්වල ජීවය ගැන තවමත් පැහැදිලි අදහස් ඉදිරිපත් කිරීමට තවමත් කිසිම කෙනෙකුට නොහැකි වී තිබීමයි. 



නූතන තාරකා විද්‍යාඥයින්ට අනුව අප අයත් වන චක්‍රාවාටය හා එහි අවට දියුණු හා ප්‍රාථමික අවධි වල පසු වන ජීවින් ලක්ෂ ගණනක් ජීවත් වෙති. එම දියුණු ජීවින් අපට වඩා දියුණු වූ ශිෂ්ටාචාර වලට උරුමකම් කියන්නෝ වෙති. ඇතැම් විට අපගේ හා ඔවුන්ගේ ශිෂ්ටාචාර අතර පරතරය වසර කල්ප ගණනක් විය හැක. එනිසා එවැනි ජීවීන්ට අප ඉතාමත් නොදියුණු ප්‍රාථමික මට්ටමේ ජීවින් ලෙස පෙනෙනවා ද විය හැක. පෘතුවිය බිහි වීද ගත වන්නේ තවමත් වසර බිලියන 4.5 ක් පමණි. ඇතැම් විට මිනිසා ඇතුළු පෘතුවි වාසි ජීවීන්ගේ පූර්වජයන් වෙනත් ලොවක ජීවින් පිරිසක් විය හැක. මෙය ඇත්තේන්ම සිතුවිල්ලක් පමණි. එය එසේ වූවානම් ඔවුන් පෘතුවි ග්‍රහයා දෙස නිතරම සෙවිල්ලෙන් සිටිනවා විය හැක. 

දැන් ආයිමත් සැරයක් අතීතය දෙස හැරී බලමු. මෙච්චර දෙයක් කතා කරලත් ඒ ගැන නොකිව්වොත් වැඩක් නෑ. අපි පුරාන ඊජිප්තු ශිෂ්ටාචාරය දෙස පුංචි විපරමක් කරමු. ඊජිප්තු ශිෂ්ටාචාරයේ අරම්භය ක්‍රි.පූ 3150 දී පමණ වන බව සලකනවා. එහි ආරම්භකයා වන්නේ පළමුවන පාරාවෝ රජතුමා. අද ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණු වුනත් ඒ දියුණු තාක්ෂණික ක්‍රම වලින්වත් හොයා ගන්න බැරි දේවල් කොච්චර තියෙවද. ඒ වගේ දෙයක් තමයි මේ ඊජිප්තු ශිෂ්ටාචාරය. කිතු උපතටත් වසර දහස් ගණනකට පෙර විසූ මිනිසාට මෙවන් වූ දියුණු තාක්ෂණයක් තිබුනාද? එසේනම් එම තාක්ෂණය දැන් කොහිද? මෙය මහත් ගැටලුවකි. ලොව අරුම පුදුමයක් ලෙස සැලකෙන ඊජිප්තුවේ මහා පිරමීඩ සැදීමේ තාක්ෂණය ඔවුන්ට කෙසේ ලැබුනේද. ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුත් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල පිරමීඩ වේ. එම තාක්ෂණය දැනුදු තිබුනේනම් වර්තමාන ලෝකයේ මහා විස්කම් නිර්මාණ දකින්නට පුළුවන් වනු ඇත. එහෙත් එම තාක්ෂණයට එක් වරම කුමක් සිදු වූයේද? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු තවමත් ලැබී නැත.

මේ කියන කතාත් එක්ක මේ දවස් වල ලංකාව පුරා අය දකින අද්භූත එළි වල සම්භන්ධයක් තියෙනවද කියලත් හොයල බලන්න ඕන. මේ වෙන කොට ලංකාවේ ඉරණවිල, අම්බලන්තොට, වැල්ලවාය, අනුරාධපුර, වැලිමඩ, කෝවිල්යාය, මල්පෙත්තාව, ලුණුගම, නෝනාගම, උහුපිටගොඩ, පුහුල්යාය, තවාළුවිල, තණලන්ද වගේ ප්‍රදේශ වලින් මේ අද්භූත එළි ගැන වාර්තා වෙනවා. කොළඹ ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් නම් කියන්නේ ඒ ගොල්ලෝ මේ ගැන හොයල බලනවා කියලයි. මේ වෙනකොටත් ලංකාවේ ගුවන් හමුදාව මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා කියල ඔවුන් පවසනවා. ගුවන් හමුදවෙන්නම් ප්‍රකාශ කරලා තියෙන්නේ හඳුනා නොගත් යානා පිළිබඳව ඔවුන්ගේ රේඩාර් වල සටහන් වෙලා නෑ කියලයි. කෙසේ වෙතත් මේ අද්භූත එළි ගැන ටිකක් අවධානයෙන් ඉඳින්න කියල ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් කියල තියෙනවා.

ඒක නෙවෙයි, මේ අද්භූත එළි වලින් වැඩිම ප්‍රමාණයක් බ්‍රහස්පති ග්‍රහයාගෙන් නිකුත්වන ඒවා බව තාරකා විද්‍යාඥ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේ දවස් වල පෘතුවිය හා සමීපව බ්‍රහස්පති ග්‍රහයා ගමන් කරනවාලු. ඒත් මේ අතරේ හඳුනා නොගත් ආලෝක ධාරාවන් ද පවතින බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව වැඩි දුරටත් සොයා බලනවලු.

කොහොමින් කොහොම හරි මේ අද්භූත එළි නම් මම තාම දැක්කේ නෑ. ළඟදීම දකින්ට ලැබුනොත් අගනේය කියල හිතෙනවා. ඒත් මට එක දෙයක් හිතාගන්න පුළුවන්. මේ එළි ඇත්තටම මොනවද කියාලා අපිට ළඟදීම දැන ගන්න පුළුවන් වේවි.


5 comments:

  1. හැමෝගෙම කතාව මේකනේ අනේ.....

    ReplyDelete
  2. කොහොම හරි කොමෙන්ටුවක් දැම්මට දෙදෙනාටම තුති෴

    ReplyDelete
  3. ඒක තමා අපිටත් ඕනි...

    ReplyDelete