Saturday, December 22, 2012

තනිකම හා නිහැඬියාව.....

වරදක් ලබන්නට ඔබට 
වරදක්
කළ හැකිද
සතුටක් ලබන්නට
ඔබට
සතුටක් කළ හැකිද
මෙලොව මියෙනා තුරා - සදාකල් ඔබ මගෙය
සසර සරනා තුරා - සදාකල් ඔබ මගෙය
ඔබ ද... මා ද..... යනු ,
දෙදෙනෙකු නොවන බව
අත්දැකීමෙන්ම
සපථ කළෙමු
ඔබ ද... මා ද... යනු ,
එක් අයෙක් නොවන බව
 වරෙක ඔබම මා හට
පැවසුවා මතකය!
එසේනම්
මා ඔබේ කවුරුන් ද
ඔබ මගේ කවුරුන් ද
නොදන්නෙමි මා තවම.....


මෙලොව මෙතරම් නිහඬ බව
දන්නේ ඔබ හා මා පමණ ද
ඒ නිහඬ බවෙ සුවඳ
විඳින්නේ අප පමණ ද
සිතට එන අදහසට - පණ පොවා කවි ලෙසට
කියූවේ ඔබ විතරම ද මා හට
ඒ කවියෙ පද වැලට
සවන දිගු වූයේ - මගෙ විතර ද
සබඳ මට කිව මැනව
ඔබ නොවෙද

තනිකම!


Thursday, December 20, 2012

මනස හා මනෝකාය



     සිත ගැන අදහස් ටිකක් කලින් ලිපියේ දැම්මෙමි. අප කාටත් තිබෙන මේ සිත නම් මහත් අරුමයකැයි ඔබේ සිතටද සිතෙනු ඇත. එසේ සිතේ නම් අගනේය. මනසේ ඇඳෙන සිතුවම් දෙස නොබැලූ කිසි කෙනෙක්, මනසේ ඇඳි සිතුවම් වල රසය නොවිඳි කිසි කෙනෙක් සොයා ගැනීමට නැති තරම්ය. අපි සියල්ලෝම පෘතක්ජන මනුෂ්‍යයෝ වෙමු. අප විසින් සිත දමනය කොට නැත්තේය. ඉදින්, කොතරම් කාර්යබහුල වුවත් මනසේ ඇඳෙන සිතුවිලි දෙස නොබලා බේරීමට අපට නොමැත්තේය වෙලාවක්. එයයි සත්‍යය. මනස ගැන දිග හැරෙන මේ ලිපි පෙළෙන් මගේ තැත පවසා දීමයි ඔබට මේ “හිත” ගැන....

මනස හෙවත් අපේ හිත ගැන වැඩි දෙයක් කීමට අනවශ්‍ය බව මම දනිමි. මන්ද, මීට පෙර ලිපියේ ඒ ගැන කියූ බැවිනි. මනස යනු කිසි දිනෙක අපට අහිමි නොවන දෙයකි. එය මනෝකාය හා සම්බන්ධව පවතී. ඉතින් පසුගිය ලිපියටත් වඩා තරමක් ඔබ්බෙන් සිට මේ ගැන කතා කරන්නට කැමැත්තෙමි. මනෝවිද්‍යාව නම් වූ විෂය පථය වනාහී සැම කෙනෙක්ම ප්‍රිය කරන විෂයක් නොවේ. ප්‍රිය ඇත්තෝද, ප්‍රිය නැත්තෝද මෙය බලන්නේනම් අගනේය.

 අපේ සිත යනු අපේ මතක කියවනය බව කලින් කීවා ඔබට මතක ඇති. එහි ක්‍රියාකාරීත්වය ද යම් තරමකට එහි සඳහන් කොට ඇත. එය සරල අදහසකි. ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැක. අපට අපේ සිත පාලනය කළ හැකිනම් අපට කිසිවක් අමතක නොවී මතකයේ රඳවා ගැනීමට හැකි වනු ඇත. එහෙත් අප සැවොම පෘතක්ජන මිනිසුන් බව පෙර සඳහන් කළෙමි. අපට එසේ සිත පාලනය කළ නොහැක නමුත් භාවනාවෙන් සිත දියුණු කළ අයෙකුට යම් තරමකට සිත දියුණු කළ හැක. බුදු දහමට අනුවනම් මාර්ගඵල ලබා ගත්තෙකුට පහසුවෙන් සිත දමනය කළ හැක. 

ඔබට සිරුරක් ඇත. මටද සිරුරක් ඇත. එහෙත් ඒ සිරුර අප කාටවත් අයිති නැති බව ඔබ දන්නවාද? අපගේ භෞතික ශරීරය එනම් අපට පෙනෙන මේ මාංශ හා රුධිරයෙන් සැදී ඇති සිරුර අප මිය ගිය පසු අපට නොලැබේ. එය තාවකාලීක නිවසක් හා සමානය. අපේ භෞතික ශරීරය තුල එය හා සමාන්තරව පවතින අදෘශ්‍යමාන තවත් සිරුරක් පවතින බව ඔබ පිළිගන්නවද? මෙය අභෞතික ය, අපේ ඇසට නොපෙනේ. අධි මානසික විද්‍යාවට අනුව මෙය හඳුන්වන්නේ “මනෝකාය” නමිනි. ඇත්තටම මේ කුමක්ද? එහි කාර්යය කුමක්ද? යනුවෙන් ඔබේ හිතට ප්‍රශ්න නැගිය යුතුය. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඔබ තුලම පවතී. මන්ද, ඔබටත් මේ මනෝකායක් පවතින බැවිනි. යම් පුද්ගලයෙක් මියගිය පසු මනෝකාය ඔහුගේ සිරුරෙන් ඉවත් වේ. මේ මනෝකාය අසිරිමත් ශක්තියක් ගැබ් වූ එකකි. මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය. තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි. නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි.මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති. විටෙක, ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති. සමාධිය - ධ්‍යානය - අසිහිය - ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය හුයමානව පියවි ඇසට නොපෙනේ. 

මහාචාර්යය ඉයන් ස්ටිවන්ස් සහ මහාචාර්යය රේමන්ඩ් ඒ මූඩි යන අධී මානසික විද්‍යාඥයන් දෙදෙනා විසින් කරන ලද මරණාසන්න අත්දැකිම් පිළිබඳ පර්යේෂන අනුව හදිසි අනතුරු සහ බරපතල ශල්‍යකර්මවලදි පුද්ගලයා තාවකාලක මරණයකට පත්වෙද්දි මනෝකාය ඊට අයිති කරජකාය හෙවත් දේහය දෙස අහසේ සිට බලා සිටි අයුරු පිළිබඳ රසවත් තොරතුරු දැන් අනාවරණයවි තිබේ. අප දැන් ගෙවන අනිත්‍ය සහ අනාත්ම ජිවිතයේම මරණින් එහා සැඟවුනු කොටස දැන් තිර ගත වේ. මරණින් පසු එන නිසා පමණක් මෙය නිත්‍ය ආත්මයක රංගනයක් කර නොගත යුතුය. මේ වනාහී වර්තමාන රංගනයේම තවත් කොටසක් මිස අලුත් කිසිවක් නොවේ. මෙතනදි අප ගෙවන්නේ දෙවියන් වහන්සේ දුන් නිත්‍ය ආත්මයක තාවකාලික කොටසක් නොව අගක් මුලක් නැති සාංසාරික ජීවිතයක් බව තේරුම් ගත යුතුයි. මේ ජිවිතය අපට දැන් විශේෂ ජීවයක් වන නිසා එයසසරින් වෙන් කර ගෙන සිතන්නට මනෝකාය ආත්මයකට සමාන මහා අරුමයකි.
මනෝකාය වනාහි මුලුමනින්නම සංවේදි කයකි. මනෝකායට සියල්ල පෙනේ, සියල්ල ඇසේ, සියල්ල දැනේ, ඔනෑම තැනකට වේගයෙන් පාවී යැවේ. සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි. මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය. මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය. ක්ෂූද්‍ර දේහය -  Astral Body ද්විතීය ශරීරය -  Secondry Body ජීව ප්ලාස්ම සිරුර -  Bio - Plasma Body බලශක්ති සිරුර -  Energy Body අප‍්‍රකට (සියුම්) ශරීරය –  Subtle Body ප‍්‍රතිරූප ශරීරය -  Counterpart Body දිව්‍යමය සිරුර -  Ethical Body ජීවය (ප‍්‍රාණය) – Spirit ආත්මය -Soul

මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා - ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකාය යි.

Monday, December 17, 2012

සිත ද එක් කවියකි



         සිත! නම් අරුමයකි. එය ගැන පැවසිය හැකි අරුම පුදුම දෑ ද අපමණකි. එවන් අරුම වූ සිත ගැන, අරුම වූ සිතුවිලි ටිකක් එකතු කිරීමට මගේ සිතට සිතුණි. එය සිතුවිල්ලක්ම නොකොට, ඔබ හමුවේ තැබීමට සිතුවෙමි. ඔබත් මෙය හැකිනම් කටින් නොව සිතින් කියවන්ට.

‘සිත’ යනු කිමෙක්දැයි යමෙක් ඇසුවොත් ඔබෙන්, කිමෙක්ද ඔබ දෙන පිළිතුර. සිත තිබෙනුයේ කොහිදැයි යමෙක් ඇසුවොත් ඔබෙන් කිමෙක්ද ඔබගේ පිළිතුර එයට. අහෝ! නැතිදෝ පිළිතුරක්. සමහරෙකුටනම් ඇත්තේය පිළිතුරක්. උපන් දා සිට මිය යන මොහොත දක්වා ඔබ දන්නේ ඔබට සිතක් ඇති බව පමණි. එය ගැන ටිකක් සිතා බලන්ට ටිකක් හෝ සිතුවාද? ‘එය මට වැඩක් නැත. එයට කාලයක් නොමැත’ යන්න ඔබේ පිළිතුර විය යුතුය. ඇත්තෙන්ම එය ඔබේ පිළිතුර නොවිය යුතුය. සිත නම් පුදුමයකි. එහි ශක්තියද අපමණකි. ඒ මහත් ශක්තිය ඔබ අප කිසිවෙක් භාවිතා නොකිරීම දුකකි. විටින් විට ඔබෙ සිතට ගලා එන සිතුවිලි ගැන, ඔබ සිතනුයේ කිමද. සැමෝටම එක ලෙසට සිතුවිලි පහල නොවේ එලෙසට. කවි ලියන්ට හැමෝටම බැරුවා  සේය. එහෙත් විවිධ වූ සිතුවිලි විවිධ වූ ලෙසකට, විවිධ පුද්ගලයන්ගේ සිතට ගලා ඒ නිමක් නැතුව. ඒ සිතුවිලි එක්කොට ඔබේ උසටත් වැඩිය පොත් ගොඩක් ලිවිය හැකි බව ඔබ දන්නවද? වරද නම් ඔබ ඔබේ සිතට සවන් නොදීම ය. මෙයට හේතු බොහෝ ඇත. එකක්නම් මෙයට, ඔබට කාලයක් නොමැත. වර්ථමානයේ තිබෙන තරඟකාරී ලොවේ තරඟයට අප හසුව ඇත. දෙවැන්න නම් ඔබ, හරිම කම්මැලිය. එය හදා ගත යුත්තේ ඔබමය. කම්මැලිකම ඇති වන හැටිද මේ ගමනේම කියාලන්නෙමි. එය ඇති වන්නේ මෙලෙසිනි, ඔබ ඔබේ සිතට සවන් දීමට අකමැතිය. එවිට මේ කිසිත් අදහසක් ඔබේ සිතට නොනැගේ. එවිට ඔබ නින්දට හරිම කැමතිය. එවිට මෙලෝ වැඩක් නැති ඔබේ සිතද ගොරව ගොරවා නිදා ගනී. කම්මැලිකම ඇතිවන්නේ එලෙසිනි.



ඇත්තෙන්ම සිත නම් කවියකි. අප ඒ කවිය ලියන කිවිඳියෝ වෙමු. යමෙකුට කවි සිතුවිලි පහළ කරන්නේ සිතම ය. සිත යනු කිමෙක්දැයි සොයා බලමු. මට ඉස් ඉස්සෙල්ලාම මතක් උනේ ධම්ම පදයේ චිත්ත වග්ගයට අයත් ගාථාවක්.

දුරඞගමං ඒක චරං                                                    
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා

මොකද්ද මේ ගාථාවෙන් කියවෙන්නේ.... එය ඉතාමත් සරල වූ අදහසකි. දුරගමන් යන තනිව හැසිරෙන දෙයක් ගැන යම් දෙයක් ගැන මේ ගාථාවෙන් කියයි. “දුරඞගමං ඒක චරං” යනු එයයි. ඇත්තෙන්ම මේ කියන්නේ සිත ගැන නොවේද. අප වැනි පෘතක්ජන මිනිසුනට සිත පාලනය කර ගත නොහැක. එනම් සිත එක අරමුණක තබා ගැනීම ඉතාමත්ම අපහසුය. එය ශරීරය නම් වූ ගුහාවේ වාසය කරන ශරීරයක් නැති දෙයකි. “අසරීරං ගුහාසයං” යනු එයයි.  ඇත්තටම සිතට ශරීරයක් නැත එනම් එයට පඨවි ධාතුව නැත. එබැවින් මිනිසෙකුගේ ශරීරය කපා සිත කොහේදැයි සෙවීමට නොහැක. නූතන විද්‍යාවෙන් වත් මෙයට පිළිතුරක් නැත්තේය. එහෙත් මේ සිත පාලනය කළ හැකි ක්‍රම තිබේ. “යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති” යන පදයෙන් කියවෙන්නේ ඒ ගැනයි. සමථ හා විදර්ශනා භාවනා වැඩීමෙන් යමෙකුට සිත දියුණු කළ හැක. එවිට ඔහු සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා උසස් අයෙක් වේ. විදර්ශනා භාවනාව වැඩීමෙන් වැඩි දුරටත් සිත දියුණු කළ පුද්ගලයෙකුට අරහත් ඵලයට පත් වීමට පුළුවන. එනම් නැවත භවයක ඉපදීම නැවතිය හැක. එනම් ඔහු මාර බන්ධනයෙන් මිදේ. “මොක්ඛන්ති මාර බන්ධනා” යනු එයයි. ඒ අනුව නැවත භවයක අපට ඉපදීමට හේතු වන්නේද සිතම බව ඔබට වැටහෙන්නට ඇත. මාගේ මේ වෑයම ඔබට ධර්මය කියාදීම නොව, සිත ගැන යම් වැටහුමක් ලබා දීමය. 

සිත නොහොත් හිත අපි සිතනවාට වඩා අරුම වූ ශක්තියක් ගැබ් වූ අසිරිමත් දෙයකි. යමෙක් හොඳ මිනිසෙකු කරන්නේද, තවත් අයෙක් නරක මිනිසෙකු කරන්නේද සිතම ය. නුතන විද්‍යාඥයෝ පවා මේ ගැන පර්යේෂණ කරමින් සිටිති. සිත නම් අභෞතිකය. එනම් අපට එය දැකිය නොහැක. අපට එය ඇල්ලිය නොහැක. නමුත් අපට එය විඳිය හැක. එයයි සිතෙහි ඇති අරුමය. සිතේ කොටස් දෙකක් ගැන කතා කිරීමට හැක. මේ කොටස් දෙකනම් කවුරුත් දන්නා උඩු සිත හා යටි සිතය. ඒ දෙක අතර සම්බන්ධක පාලමක් ලෙස අතරමැදි සිතක් ද ඇති බව කියන්නෝද සිටිති. එහෙත් මේ කිසිවෙක් ඇත්තටම සිත දැක නොමැත. මන්ද, සිත නම් අභෞතික බැවිනි. උඩු සිත හා යටි සිත ගැන කතා කරමු. ඔබ අප සැවොම 99% ක්ම භාවිතා කරනුයේ උඩු සිතය. යටි සිත යොදා ගන්නෙම නැති තරම්ය. එදිනෙදා ජීවිතේ අපව පාලනය කරනුයේ මේ උඩු සිත මගිනි. එය තාවකාලිකය. සදහටම නොපවතින්නකි. එබැවින් එහි වටිනාකමක් නැත. මන්ද සැවොම භාවිතා කරන්නේ මේ උඩු සිත බැවිනි. මිනිසාගේ ක්ෂණික ආවේගයට වග කිව යුත්තා මේ උඩු සිතය. අප හොඳට හෝ නරක යොමු කරන්නේ මොහුය. යටි සිත එසේ නැත. එය උඩු සිතට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය. එය ස්ථීර ය. දුර්වල නැත. යටි සිතෙන් ප්‍රයෝජන ගන්නෝ ඉතා දුලභය. අපේ යටි සිත පවතින්නේ මර නින්දේය. මන්ද අප එය භාවිතා නොකරන බැවිනි. යටි සිත සැමවිටම අපට උපකාර කිරීමට ඉදිරිපත් වේ. එයින් නියම ප්‍රයෝජන ගැනීමට අප දැනගත යුතුය. යම් දෙයක් අපට දීර්ඝ කාලීනව මතකයේ තිබෙන්නේ යටි හිතේ පිහිටෙනි. ඔබට ඔබේ නම ඔබ බහ තෝරන අවධියේ සිට අද දක්වාම අමතක නොවී පවතින්නේ ඇයි කියා ඔබ නිකමටවත් සිතුවාද. ඔබ දැන හෝ නොදැන ඔබේ යටි සිත ඔබට උපකාර කර ඇත. 

සිත තිබෙන්නේ කොහිද. සිත ශරීරය නම් වූ ගුහාවේ තිබෙන බව කලින් පැවසූවා මතක ඇති. එහෙත් එය ඇත්තටම තිබෙන්නේ කොහිද. ඇත්තටම එයට නිවැරදි පිළිතුරක් දිය නොහැක. සිත මුළු ශරීරය පුරාම පවතින බව ඇතැමුන් පවසති. ඔබට කෙටි කාලීන මතකය හා දිගු කාලීන මතකය ලෙස මතකයේ ආකාර දෙකක් පවතින බව ඔබ දන්නවාද? ඔබ එය දැනගෙන සිටිය යුතුය. යම් දෙයක් බොහෝ කාලයක් මතකයේ තිබීමටනම් එය දිගුකාලීන මතකයේ තැන්පත් විය යුතුය. කෙටි කාලීන මතකයේ තැන්පත් වූ යමක් බොහෝ කෙටි කාලයකින් අමතක වී යයි. මේ කෙටි කාලය පැය කිහිපයක් හෝ මිනිත්තු කිහිපයක් විය හැක. පාඩම් කරන දේ ඉක්මනින්ම අමතක වන බව බොහෝ සිසු සිසුවියන් පවසන කරුණක්. එයට හේතුව නම් ඔවුන් පාඩම් කරන කරුණු තැන්පත් වන්නේ කෙටි කාලීන මතකයේ වීමයි. එවිට ඒවා ඉක්මනින් අමතක වී යයි. එය දිගු කාලීන මතකයේ තැන්පත් කරවිය හැකිනම් ඔබට එය ලෙහෙසියෙන් අමතක නොවනු ඇත. ඇත්තටම සිත යනු කුමක්දැයි මෙන්න මෙතැනින් සොයා ගත හැක. සිත යනු, අපගේ මතකය කියවනය යි. එයට අපගේ කෙටි කාලීන මතකය හා දිගු කාලීන මතකය හොඳින් කියවිය හැක. උඩු සිත මගින් කෙටි කාලීන මතකය කියවන අතරම, යටි සිත ක්‍රමානුකූලව දිගු කාලීන මතකය කියවයි. අපේ මතකය ඇත්තේ අපගේ මොලය හා සම්භන්ධ වී ය. මතකය මොලයේ ඇති විශේෂිත ස්නායු සෛල වලින් සැකසී ඇත. එය ස්තර වශයෙන් පිහිටයි. අප මතකයට එකතු කරන කරුණු මේ ස්තර වල පිලිවෙලින් තැන්පත් වේ. එයයි අපේ සිරුරේ අරුමය! මේ අනුව අපේ සිත ද මොලය හා අනුබද්ධව පැවතිය යුතුය.



සිත දුර ගමන් යනවා යැයි කලින් පැවසූවා ඔබට මතක ඇති. එය වන්නේ මෙසේයි. ඔබේ ස්ථීර හෙවත් දිගු කාලීන මතකයේ ස්තර දිගේ ඔබේ සිත හෙවත් “මතක කියවනය” ඇදී යයි. එවිට ඔබ ඉදිරියේ ඒ සියල්ල දර්ශනය වේ. හරියට ඔබ එම ස්ථානයේ හිඳිනවා වැනි හැගීමක් ඔබට දැනේ. ඔබට දර්ශන පෙළක් දැක බලා ගැනීමට හැකි වේවි. මේ සියල්ල ඔබේ සිතේ හාස්කම් ය. වීඩියෝ සීඩී එකක ගබඩා කරලා තියෙන දත්ත ඔබේ වීසීඩී ප්ලේයරයෙන්, හෝ පරිගණකයේ සීඩී/ඩීවීඩී රොම් එකෙන් කියවනවා වගේ. පොඩ්ඩක් මේ ගැන ටිකක් හිතල බලන්ට.

 මේවා මගේ අදහස්. මනෝ විද්‍යාව ගැන ඔයාලගේ දැනුම ගැන කියන්ට මම දන්නේ නෑ. ඒත් මම හිතන්නේ මේ කරුණු ඩිංග හැමෝටම තේරෙනවා. මේකත් පුංචි ආරම්භයක් විතරයි. මනෝ විද්‍යාව කියන්නේ මම හරිම ආස කරන පැත්තක්. මම ගොඩක් දේවල් මනස ගැන, මානව විද්‍යාව ගැන හොයන්න ආසයි. ඉදිරියට තවත් මේ ගැන අදහස් ටිකක් බලාපොරොත්තු වෙන්ට. එතකං මේ ගැන ඔබේ අදහස් ටිකකුත් පහලින් කියල යන්ට අමතක කරන්නට එපා.

ප.ලි: අපි ඉදිරිපත් කරපු 2011 උසස්පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය ඔබ තාම කියෙව්වේ නැත්තන් මෙතනින් ගන්ට


Saturday, December 15, 2012

පිටසක්වලයින් ඇත්තටම ඇවිල්ලද?



       දැන් ඉතින් 2012 දෙසැම්බර් මස 21 වැනිදාටත් බොහෝම ළඟයිනෙ. සමහර අය ටිකක් විතර බය වෙලා ඇත්තේ මොකද ලෝක විනාසයක් එනවලුනේ. මං මේ කතා කරන්නට හදන්නේ ඔය ලෝක විනාසේ ගැන නෙවෙයි. දැන් දැන් අපේ රටේ ලොකු මාතෘකාවක් වී ගෙන එන මේ පිටසක්වල හබේ ගැන. ඇත්තටම මේ පිටසක්වළ ජීවයක් තියෙනවද? ඒක අද ගොඩක් දෙනෙක් අතර තියෙන ප්‍රශ්නයක්. හිතුන ටිකක් මේ ගැන හොයල බලන්ට.

ඉස්සෙල්ලම කියන්න ඕන පිටසක්වලයින් ගැන තියෙන ගොඩක් කතා එක්කෝ කට කතා නැත්තන් කිසිම විද්‍යාත්මක සාක්ෂියකින් තොර ඒවා. ඒත් මේ අස්සේ හොඳින් ඔප්පු කරලා පෙන්නපු සිදුවීම් පවා තියෙනවා. මේ දවස් වල ලංකාවේ බොහෝ තැන්වල අහසේ විවිධ එළි දැක්ක කියල විවිධ ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම මේ සිදු වීම් බොරුය කියල ඒක සැරේටම අහක දාන්නත් බෑ. කොහොම හරි ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකේ බොහෝ රටවල් වලින් විවිධ ආකාරයේ අරුම පුදුම සිදුවීම් මේ ගැන අහන්ට ලැබෙනවා.



 මම මේ ගැන කතා කරන්න ආරම්භයක් ගන්නට හිතුවේ බුදු දහමෙන්. ඇත්තටම මම හිතන විදියට මේ පිටසක්වල ජීවය ගැන තොරතුරු ගොඩක් අපිට බුදු දහම ඇසුරෙන් ලබා ගන්නට පුළුවන්. එකල, එනම් බුද්ධ කාලීන භාරතයේ මෙවන් ජීවින් ගැන එනම් අහසින් පැමිණියවුන් ගැන විවිධ කතා හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ ද තමන් වහන්සේගේ සුත්‍ර දේශනා වල අපේ ලෝකයට පරිභාහිර වෙනත් ලෝක ගැන සඳහන් කොට තිබෙනවා. සදෙව් ලොව, බ්‍රහ්ම ලෝක වැනි ඉතා දියුණු ජීවින් ජීවත් වන ලෝක ගැන බුදු දහමේ සඳහන් වෙනවා. මින් බ්‍රහ්ම ලෝක ප්‍රමුඛ වන බවද සඳහන් වෙනවා. රූපාවචර හා අරූපාවචර ලෙස බ්‍රහ්ම ලෝක ප්‍රධාන ආකාර දෙකකින් යුක්ත වේ. මේවායේ මිනිසාට වඩා දියුණු ජීවින් ජීවත් වේ. එපමණක් නොවේ, එම දියුණු ජීවින් අතීතයේ සිටම අපගේ ලොවත් සමඟ ගනු දෙනු කරමින් සිටී. මෙයට සාක්ෂි ඕනෑ තරම් බුදු දහමෙන් සොයාගත හැක. සම්බුද්ධ සුත්‍ර දේශනා වල සඳහන් වන පරිදි, බුදු රජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා ශ්‍රවණය කිරීමට දෙව් බඹුන් පවා පැමිණ තිබේ. ඔවුන් බුදුන් වැඩසිටි ආරාමයට ඉහළ අහස බුබුළුවමින් පැමිණි බව එම සූත්‍ර දේශනා වල සඳහන් වෙනවා. එපමණක්ම නොවේ. ප්‍රේත, අසුර ලෝක හා යම ලොව වැනි පහත් ජීවින් සිටින ලෝක ගැනද බුදු දහමේ සඳහන් වෙනවා. බුදු රජාණන් වහන්සේ මේ බොහෝ ලෝක වෙත වැඩම කළ බවද සඳහන් වෙනවා. එමෙන්ම බුදු රදුන් තමන් වහන්සේගේ දින චර්යාවේ එක් අංගයක් ලෙස දෙව් බඹුන්ට ධර්මය දේශනා කිරීමට වෙනම කාලයක් යොදවා ගෙන ද තිබෙනවා. 

වෙනත් ආගම් වලින්ද මේ පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැක. කතෝලික ආගමේ සර්වබලධාරි දෙවි කෙනෙක් ගැන සඳහන් වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේව පුත්‍රයෙක් ලෙස සලකා ඔවුන් ගරු කරති. එමෙන්ම හින්දු ආගමේ ද විවිධ දෙවිවරු ගැන සඳහන් වේ. ඉස්ලාම් ධර්මයේද එලෙසමය. නබි නායක තුමා යනු දේව වරම් ලද පුද්ගලයෙක් බව ඔවුහු අදහති. මේ සියල්ලම සැලකු විට අතීතයේ සිටම වෙනත් ලෝක වල ජීවින් පෘතුවි වාසීන් සමග සම්බන්ධතා පැවැත්වූ බව පෙනී යයි.

බුදු දහමේ පමණක් නොවේ, වර්තමාන දියුණු තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් විද්‍යාඥයන් ද සොයා ගෙන ඇති පරිදි මේ මුළු මහත් වූ විශ්වය අනන්තය, අප්‍රමාණය. එසේ අපරිමාණ වූ මේ විශ්වයේ අප ජීවත් වන මේ සෞරග්‍රහ මණ්ඩලය නිකං දුහුවිලි අංශුවක් තරම් පමණක් වනවා ඇත. අපට ජීවය දෙන සුර්යයා වැනි තවත් විශාල වූ තාරකාවෝ මිලියන ගණනක් මේ විශ්වයේ ඇත. එනම් අපේ සෞරග්‍රහ මණ්ඩලය වැනි තවත් ග්‍රහ මණ්ඩල මෙපමණකැයි කිව නොහැකි තරමක් මේ විශ්වයේ තිබිය හැක. ඒවායේ දියුණු ජීවින් කොපමණ ඇත්ද. ඔවුන් ද අප ගැන විපරමෙන් සිටිනවා විය හැක. 

අප ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලයේ නම් වෙනත් ග්‍රහ ලොවක ජීවින් නැති බව දැන් මිනිසා දනී. එහෙත් ඒවායේද යම් දිනක මිනිසාට ජීවත් විය හැකි පරිසර නිර්මාණය කළ හැකි බව සොයා ගෙන ඇත. උදාහරණයක් ලෙස ලෙස බ්‍රහස්පති ග්‍රහයාගේ උප ග්‍රහයින් වන ගැනිමීඩ් හා අයෝ වැනි ග්‍රහයින් සැලකිය හැක. නමුත් හැමෝගෙම හිතට නැගෙන ප්‍රශ්නය වන්නේ මෙය නොවේ. මේ පිටසක්වල ජීවය ගැන තවමත් පැහැදිලි අදහස් ඉදිරිපත් කිරීමට තවමත් කිසිම කෙනෙකුට නොහැකි වී තිබීමයි. 



නූතන තාරකා විද්‍යාඥයින්ට අනුව අප අයත් වන චක්‍රාවාටය හා එහි අවට දියුණු හා ප්‍රාථමික අවධි වල පසු වන ජීවින් ලක්ෂ ගණනක් ජීවත් වෙති. එම දියුණු ජීවින් අපට වඩා දියුණු වූ ශිෂ්ටාචාර වලට උරුමකම් කියන්නෝ වෙති. ඇතැම් විට අපගේ හා ඔවුන්ගේ ශිෂ්ටාචාර අතර පරතරය වසර කල්ප ගණනක් විය හැක. එනිසා එවැනි ජීවීන්ට අප ඉතාමත් නොදියුණු ප්‍රාථමික මට්ටමේ ජීවින් ලෙස පෙනෙනවා ද විය හැක. පෘතුවිය බිහි වීද ගත වන්නේ තවමත් වසර බිලියන 4.5 ක් පමණි. ඇතැම් විට මිනිසා ඇතුළු පෘතුවි වාසි ජීවීන්ගේ පූර්වජයන් වෙනත් ලොවක ජීවින් පිරිසක් විය හැක. මෙය ඇත්තේන්ම සිතුවිල්ලක් පමණි. එය එසේ වූවානම් ඔවුන් පෘතුවි ග්‍රහයා දෙස නිතරම සෙවිල්ලෙන් සිටිනවා විය හැක. 

දැන් ආයිමත් සැරයක් අතීතය දෙස හැරී බලමු. මෙච්චර දෙයක් කතා කරලත් ඒ ගැන නොකිව්වොත් වැඩක් නෑ. අපි පුරාන ඊජිප්තු ශිෂ්ටාචාරය දෙස පුංචි විපරමක් කරමු. ඊජිප්තු ශිෂ්ටාචාරයේ අරම්භය ක්‍රි.පූ 3150 දී පමණ වන බව සලකනවා. එහි ආරම්භකයා වන්නේ පළමුවන පාරාවෝ රජතුමා. අද ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණු වුනත් ඒ දියුණු තාක්ෂණික ක්‍රම වලින්වත් හොයා ගන්න බැරි දේවල් කොච්චර තියෙවද. ඒ වගේ දෙයක් තමයි මේ ඊජිප්තු ශිෂ්ටාචාරය. කිතු උපතටත් වසර දහස් ගණනකට පෙර විසූ මිනිසාට මෙවන් වූ දියුණු තාක්ෂණයක් තිබුනාද? එසේනම් එම තාක්ෂණය දැන් කොහිද? මෙය මහත් ගැටලුවකි. ලොව අරුම පුදුමයක් ලෙස සැලකෙන ඊජිප්තුවේ මහා පිරමීඩ සැදීමේ තාක්ෂණය ඔවුන්ට කෙසේ ලැබුනේද. ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුත් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල පිරමීඩ වේ. එම තාක්ෂණය දැනුදු තිබුනේනම් වර්තමාන ලෝකයේ මහා විස්කම් නිර්මාණ දකින්නට පුළුවන් වනු ඇත. එහෙත් එම තාක්ෂණයට එක් වරම කුමක් සිදු වූයේද? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු තවමත් ලැබී නැත.

මේ කියන කතාත් එක්ක මේ දවස් වල ලංකාව පුරා අය දකින අද්භූත එළි වල සම්භන්ධයක් තියෙනවද කියලත් හොයල බලන්න ඕන. මේ වෙන කොට ලංකාවේ ඉරණවිල, අම්බලන්තොට, වැල්ලවාය, අනුරාධපුර, වැලිමඩ, කෝවිල්යාය, මල්පෙත්තාව, ලුණුගම, නෝනාගම, උහුපිටගොඩ, පුහුල්යාය, තවාළුවිල, තණලන්ද වගේ ප්‍රදේශ වලින් මේ අද්භූත එළි ගැන වාර්තා වෙනවා. කොළඹ ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් නම් කියන්නේ ඒ ගොල්ලෝ මේ ගැන හොයල බලනවා කියලයි. මේ වෙනකොටත් ලංකාවේ ගුවන් හමුදාව මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා කියල ඔවුන් පවසනවා. ගුවන් හමුදවෙන්නම් ප්‍රකාශ කරලා තියෙන්නේ හඳුනා නොගත් යානා පිළිබඳව ඔවුන්ගේ රේඩාර් වල සටහන් වෙලා නෑ කියලයි. කෙසේ වෙතත් මේ අද්භූත එළි ගැන ටිකක් අවධානයෙන් ඉඳින්න කියල ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් කියල තියෙනවා.

ඒක නෙවෙයි, මේ අද්භූත එළි වලින් වැඩිම ප්‍රමාණයක් බ්‍රහස්පති ග්‍රහයාගෙන් නිකුත්වන ඒවා බව තාරකා විද්‍යාඥ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේ දවස් වල පෘතුවිය හා සමීපව බ්‍රහස්පති ග්‍රහයා ගමන් කරනවාලු. ඒත් මේ අතරේ හඳුනා නොගත් ආලෝක ධාරාවන් ද පවතින බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව වැඩි දුරටත් සොයා බලනවලු.

කොහොමින් කොහොම හරි මේ අද්භූත එළි නම් මම තාම දැක්කේ නෑ. ළඟදීම දකින්ට ලැබුනොත් අගනේය කියල හිතෙනවා. ඒත් මට එක දෙයක් හිතාගන්න පුළුවන්. මේ එළි ඇත්තටම මොනවද කියාලා අපිට ළඟදීම දැන ගන්න පුළුවන් වේවි.