Sunday, November 18, 2012

කොටස් එකලස්‌ කර පරිගණකයක් සාදමු (2 කොටස)



   හරි අද බලමු කොහොමද පරිගණකය එකලස් කරන්නේ කියල. ඉස් ඉස්සෙල්ලම මවුපුවරුවට සම්බන්ද කොටස් සවිකරන්ට ඕන. මවු පුවරුවකට සවිකරන ප්‍රධානම කොටස තමා ප්‍රොසෙසරය කියල කියන්නේ. අපි ඉස්සෙල්ලම බලමු මවුපුවරුවට ප්‍රොසෙසරය සම්බන්ද කරගන්න හැටි.



මුලින්ම මවුපුවරුවේ ප්‍රොසෙසරය සවිකළ යුතු ස්ථානයේ තිබෙන ලීවරය පසෙකට කර ඉහලට ඇදීමෙන් එය විවෘත කරගන්න ඕන. (දැන් තියෙන නවීන LGA 775 හෝ LGA 1155 වර්ගයේ සොකට්ටු වල ප්‍රොසෙසරය සවි කිරීමට පැරණි සොකට්ටු වල මෙන් සිදුරු නොමැත. එනිසා එවැනි සොකට්ටු වලට පැරණි ප්‍රොසෙසර සවි කල නොහැක.) ඊට පස්සේ ප්‍රොසෙසරය පිටතට ගෙන ප්‍රවේශමෙන් එය මවු පුවරුවේ වූ සොකට්ටුව සමග සම්බන්ධ කල යුතුය. මෙහිදී ප්‍රොසෙසරයේ ඇති ස්පර්ශක අතින් ඇල්ලීමෙන් වැළකිය යුතුය. මන්ද එවිට අතේ ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ මගින් ප්‍රොසෙසරයට හානි සිදුවිය හැකි බැවිනි. ඉන්පසු කලින් ඉහලට ඇදී ලීවරය පහලට අදින්න. එවිට ප්‍රොසෙසරය සොකට්ටුවට හොඳින් සවි වේ.  දැන් කරන්න තියෙන්නේ කූලින් ෆෑන් එක සවි කරගන එක. ඒක ප්‍රොසෙසරය මතම අලවගන්න තියෙන්නේ.  ඒක අලවන්න තියෙන ආලේපනය, ප්‍රොසෙසරය සමගම ලැබෙනවා. කරන්න තියෙන්නේ මුලින්ම සවි කරලා තියෙන ප්‍රොසෙසරයේ මතුපිටින් මේ ආලේපනය ගල්වන එක. දැන් කූලින් ෆෑන් එක ප්‍රොසෙසරය මත තබා අලවන්න. ඉන්පසු කූලින් ෆෑන් එකේ පවර් කනෙක්ටරය මවුපුවරුවට සම්බන්ධ කරන්න ඕන. මවුපුවරුවේ CPU Fan ලෙස සඳහන් කර ඇති ස්ථානයේ ඇති පේනුව සමග මෙය සම්බන්ධ කල යුතුය. 

ඊටපස්සේ තියෙන්නේ රැම් එක හරියට සම්බන්ද කරගන්න එක. සාමාන්‍යයෙන් මවුපුවරුවක රැම් ස්ලෝට්ස් දෙකක්වත් තියෙනවා. සවි කරන්නේ එක රැම් කාර්ඩ් එකක් නම් එය පළමු ස්ලොට් එකට සවිකරගන්න ඕන. දැන් වෙළඳපොළට එන්නේ DDR3 වර්ගයේ රැම්. ඒක නිසා ඔබේ මවුපුවරුව ඒ සඳහා ගැලපෙන එකක්දැයි පළමුව තහවුරු කරගත යුතුය. විවිද DDR මාදිලි වල රැම් මවුපුවරුවට සම්බන්ධ වන ස්ථානය තරමක වෙනස්. පහත රූප සටහන බලන්න.



රැම් කාර්ඩ් එක ස්ලොට් එකේ දෙපසින් තියෙන ක්ලිප්ස් මගින් මවුපුවරුවට සම්බන්ධ වේ.පළමුව මේ ක්ලිප්ස් දෙපසට කර ඉන්පසුව රැම් කාර්ඩ් එක ඇතුලට තද කල යුතුය. ක්ලිප් එක ආපසු හොඳින් වැසීමට පුළුවන් වන්නේ රැම් එක නිවැරදි පැත්තට සවිකළහොත් පමණි. නැතිනම් එය පිලිස්සී යාමට පවා හැක. 
තව ටිකයි. දැන් තියෙන්නේ මදර්බෝර්ඩ් එක කේසින් එකට සෙට් කරන එක. ඉස්සෙල්ලම කේසින් එකේ ඇන ටික ගලවල කේසින් එක විවෘත කරගන්න ඕන. ඊටපස්සේ මවුපුවරුවත් එක්ක ලැබිල තියෙන මදර්බෝඩ් මාස්ක් කියන තහඩු වලින් ගැලපෙන එකක් තෝරාගන්න ඕන. 

මදර්බෝඩ් එක කේසින් එකට සෙට් කරන්න තියෙන්නේ ඉස්කුරුප්පු ඇන වලින්. මදර්බෝඩ් මාස්ක් තහඩුව නිවැරදිව සම්බන්ද වෙන විදියට මදර්බෝඩ් එක කේසින් එකට සෙට් කරගන්න ඕන. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. 
දැන් පවර් සප්ලයි එකේ ඉඳං එන පවර් කේබල් ඒක මදර්බෝඩ් එකට සවි කරන්න ඕන. තියෙන කේබල් ගොන්නෙන් පළල වැඩි එක තමයි මේ සඳහා ගන්නේ. 

පරිගණකයට සවිකරන අනෙකුත් උපාංග වන ඩීවීඩී ඩ්‍රයිව්, වීඩියෝ කාර්ඩ්, හාර්ඩ් ඩිස්ක් ආදිය සම්බන්ධ කරන්නේ ඊට පස්සේ. 


දැන්නම් තියෙන ගොඩක් හාර්ඩ් ඩිස්ක් SATA වර්ගයට අයත්. ඒ වුනාට IDE වර්ගයේ පැරණි හාර්ඩ් ඩිස්ක් තවම තියෙනවා. ඔබ සවි කරන්නේ IDE වර්ගයේ හාර්ඩ් ඩිස්ක් එකක්නම් ඒ සඳහා වෙනමම IDE 1 හා IDE 2 ලෙස මවුපුවරුවේ IDE ස්ලොට්ස් තිබෙනවා. සවිකරන්නේ SATA වර්ගයේ එකක්නම් ඒ සඳහා  SATA පොර්ට් තිබෙනවා. කොහොම උනත් හාර්ඩ් ඩිස්ක් එක සවි කරන්න කලින්
ජම්පර් එක මාස්ටර් තත්වයේ තැබිය යුතුයි. ඔබ IDE කේබල් එකක් හරහා IDE හාර්ඩ් ඩිස්ක් දෙකක් සවි කරනවානම් එය ස්ලෙව් තත්වයේ තියෙන්න ඕන. එහෙත් සවි කරන්නේ එක හාර්ඩ් ඩිස්ක් එකක්නම් ජම්පරය තියෙන්න ඕන මාස්ටර් තත්වයේ. ඉන්පසු එයට පවර්සප්ලයි එක හරහා විදුලිය ලබාදිය යුතුයි. සවිකර ඇත්තේ SATA වර්ගයේ ඩිස්කයක්නම් එයට වෙනමම පවර් කේබලයක් ලැබේ.

ඒ වගේම තමා සීඩී හෝ ඩීවීඩී ඩ්‍රයිව් එකක් සවිකරගන්නෙත්. මේවත් IDE හා SATA ලෙස ආකාර දෙකෙන්ම තියෙනවා. 

ඔබ පරිගණකයට ඩිස්ප්ලේ ඇඩප්ටරයක් සවිකරනවානම් මේ ටිකත් කියවන්න. මේ ඩිස්ප්ලේ ඇඩප්ටරය හෙවත් වීඩියෝ කාර්ඩ් එක සවි කරන්නේ මදර්බෝඩ් එකේ තියෙන AGP ස්ලොට් එකට. ඩිස්ප්ලේ ඇඩප්ටරය මේ ස්ලොට් එකට තබා සීරුවෙන් තද කල යුතුය. එවිට ටික් හඬක් නංවමින් එය සවි වේ. මේ සෑම උපාංගයකම සංවේදී කොටස් අතින් ඇල්ලීමෙන් වලකින්න ඕන.  මන්ද එවිට අතේ ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ මගින් ඒවට හානි සිදුවිය හැකි බැවිනි. 

ඔන්න ඉතින් ඔයිට වඩා දෙයක් කරන්න නැහැ. දැන් තියෙන්න කේසින් එක වහල දාන එක. ඊටපස්සේ ඉතින් ඔබේ පරිගනකයට මොනිටර්, කී බෝඩ්, මවුස්, ස්පීකර්ස් සවිකරගන්න තමයි තියෙන්නේ. හොඳ ඔපරේටින් සිස්ටම් එකක් දා ගත්තනම් සියල්ල සම්පූර්ණයි.


5 comments:

  1. හොඳයි මල්ලි. අහම්බෙන් දැකපු පෝස්ට් දෙකම කියෙව්වා ඔන්න.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා අයියේ,,,,

      Delete